2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

කොළඹ හතේ බාලිකා පාසලක් ළඟ E-සිගරුට් පොට් එක

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

කොළඹ 07 පිහිටි ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයකි. ඊට යාබද පෞද්ගලික ඉඩමක ඇත්තේ සුවිසල් දෙමහල් නිවසකි. නිවෙස් හිමියන්ට අමතරව නිරන්තරයෙන් එහි යන එන තරුණයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා එක්ව කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය ඉලෙක්ට්‍රෝනික සිගරට් ජාවාරම සුරාබදු නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් අල්ලා ගැනුණේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටය.

අමෙරිකාව, කැනඩාව වැනි ලොව දියුණු රටවල නීතියෙන් තහනම් කර තිබෙන ඉලෙක්ට්‍රොනික සිගරට් විදේශ රටවලින් ගෙන්වා බෙදාහරිමින් සිටියදී කොළඹ ප්‍රධාන සුරාබදු කාර්යාලයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් පසුගියදා වැටලීම සිදුකර තිබුණි. එහිදී කොළඹ හතේ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයකට යාබදව පිහිටි සුවිසල් නිවෙසක කුලී කාමරයක පවත්වාගෙන ගිය ඉලෙක්ට්‍රොනික් සිගරට් නොහොත් E - සිගරට් ගබඩාවක් වටලා සැකකරුවන් දෙදෙනෙක් සමඟ රුපියල් ලක්ෂ 20කට අධික E සිගරට් ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගනු ලැබීය.

අන්තර්ජාලය හරහා පූර්ණ ප්‍රචාරණ කටයුතු සිදුකරමින් නව යොවුන් වියේ පසුවන පාසල් දරුදැරියන්ට සහ රාත්‍රී සමාජශාලාවලට යන එන ධනවත් තරුණ තරුණියන්ට පමණක් අලෙවි කරමින් පවත්වාගෙන ගිය ජාවාරම ඉතා සූක්ෂමව සිදුකළ එකකි. ජාවාරම සිදුකරමින් සිටි තරුණයන් දෙදෙනා ඉලෙක්ට්‍රොනික දුම්වැටිවලට අමතරව ඒ සඳහා භාවිතා කරන නිකටින් රසායනිකය අඩංගු දියර විශේෂයක් අඩංගු ඇසුරැම අලෙවි කරමින් සිට ඇත. එම දියර අඩංගු එක් අසුරණයක් රුපියල් 3000ක සිට ඉහළ මිලකට අලෙවි කරන අතර විද්‍යුත් දුම්වැටියක් ලෙස හඳුන්වන නවීන විද්‍යුත් උපකරණයකට සමාන මෙවලම රුපියල් 5000-16000ක් අතර මිලකට අලෙවි කෙරී තිබේ. ඒවායේ හැඩය, ප්‍රමාණය සහ නිෂ්පාදන සමාගමේ නාමය මත විවිධ මිල ගණන්වලට අලෙවි කිරීම සිදුකරන බව හෙළි වී තිබේ.

E - සිගරට්ටුවේ දියරය පිරවීමට ස්ථානයක් වෙන්කර තිබෙන අතර, ඊට එක් වතාවක් දියරය එක්කිරීමෙන් පසු තුන් වතාවක් භාවිත කළ හැකිය. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටුවා ඇති අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරක් අනුව විමර්ශනය සිදුකර මෙහෙයුම දියත් කර තිබුණි. තොරතුර ලැබුණු දිනයේ සිට දින 15කට ආසන්න කාලයක් විවිධ අංශ ඔස්සේ සෝදිසි කර තිබේ. ඊට ප්‍රධාන හේතුව වූයේ සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරට අනුව පාසල් ළමුන් ඉලක්ක කරගත් E - සිගරට් ජාවාරමක් සිදුකෙරෙන බවට වාර්තා වීමය. ඒ අනුව ජාවාරම ප්‍රසිද්ධ බාලිකා පාසලක් ආසන්නයේම සිදුකිරීම තොරතුරට තවත් බරපතළ ස්වභාවයක් ඇති කර තිබිණ.

සුරාබදු නිලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ උපාය දූතයන් දෙපලක් දින ගණනාවක් පුරා සිදුකළ රහසිගත මෙහෙයුම අතරතුර වැටලීමට සූදානම්ව තිබුණේ සියලු තොරතුරැ අනාවරණය කරගෙන ජාවාරම්කරුවන් හා හිතවත් වීමෙන් අනතුරුවය. කාන්තා පාසලේ පසෙකට වන්නට පිහිටි සුවිසල් දෙමහල් නිවස තාප්ප හා ගේට්ටුවලින් වට කළ එකකි. එහි ඇතුළු වූ නිලධාරීහු නිවෙස පසුපසට ගමන් කරමින් උඩුමහලට පිවිසෙන දක්වා වූ පියගැට පෙළකට නැගගත්හ. එහි කෙළවර වූයේ තරමක කාමරයකි. පිවිසුම ප්‍රදර්ශනාගාරයක් වැනිය. බිත්තිය වටා අලංකාර රාක්ක සකසා එහි E - සිගරට් සහ ඒවාට භාවිත කරන දියර භාජන පිළිවෙළකට අසුරා තිබිණ. සියල්ල දිස්වී තිබුණේ නවීන දුරකතන හා සමාන මෙවලම් ලෙසය. මාදිලි කීපයක E - සිගරට් උපකරණ තිබී ඇති අතර ඒ සඳහා භාවිත කරන දියර වර්ග රස ගණනාවකින් අලෙවියට තිබී ඇත. 

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් දෙදෙනාම කොළඹ ප්‍රධාන පෙළේ පාසල් දෙකක අධ්‍යාපනය ලැබූ තරුණයන් වන අතර දෙදෙනාම කොළඹට ආසන්න පදිංචිකරුවෝ වෙති.

එක් අයෙක් නාවික ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිට යළි පැමිණ තිබෙන අතර, ඔවුන් අවුරුදු 23 හා 26 වයසේ පසුවන්නෝ වූහ. සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවලින් මේ උපකරණ ගෙන්වා ජාවාරම සිදුකළ අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී විදේශික තරුණ තරුණියන් කීපදෙනෙක් සහ තරුණ වයසේ පාසල් ළමුන් පිරිසක් ද රැඳී සිට ඇත. ඔවුන් වයස 18, 20, 25 වයසේ පසුවන්නෝ වූහ. 

සිගරට් පනත යටතේ ලංකාවට ගෙන්වීමට තහනම් මෙම උපකරණය ජාවාරම් කළ සැකකරුවන් හා භාණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සුරාබදු අපරාධ අංශ නිලධාරීන් ක්‍රියාකර ඇත. ඔවුනට වසරක සිරදඬුවමක් හා මුදලින් දඩයක් ගෙවීමට නීතිමය ප්‍රතිපාදන පවතී.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආර්. සේමසිංහ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම් හා මෙහෙයුම්) එම්.බී. වන්සූරිය මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ ප්‍රධාන සුරාබදු පරීක්ෂක ඒ.ආර්. ලැම්බට් මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂකවරැන් වන අකිල රත්මල්වින්න, සිසිත ඇල්ලේවෙල, සුරාබදු නියාමකවරැන් වන රමිත දේශාන්, ශක්‍යා ජයවර්ධන හා සුරාබදු රියැදුරු අසංක යන අය වැටලීමට දායක වූහ.

 කතාව/ සේයාරූ - සමන්ත ප්‍රදීප් විල්තෙර 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00