2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

කෝච්චිය එනවා දැක දැක කාර් එකේ සිරවූ යාපනේ පවුල

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 80

පසුගියදා ඕමන්න පන්ඩ්‍රිකෙයිදකුලම් ප්‍රදේශයේදී කුඩා කාර් රථයක් දුම්රියට බිලිවීමෙන් එහි ගමන්ගත් සිව් දෙනෙකු මියගොස් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තවත් දෙදෙනකු ජීවිත බේරාගැනීම අලුත්ම අනතුරය.

අනතුරට ලක්වූ සියල්ලෝම යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෝ වූහ. එම පිරිසෙන් එක් අයෙකු විදෙස්ගතව සිට නැවත යාපනයේ පිහිටි නිවස වෙතට පැමිණීමෙන් පසුව සිය ඥාතීන් බැලීමට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇත.

ජෙම්ස් කමලනාදන් නැමති 36 හැවිරිදි පුද්ගලයා විදෙස්ගතව සිට නිවසට පැමිණ සිය තෑගි බෝග රැගෙන ඥාතීන් බැලීම සඳහා කිලිනොච්චියෙන් කාර් රථයක් කුලී පදනම මත ගෙන වව්නියාව ඕමන්ත ප්‍රදේශයට පැමිණ ඇත. එම කාර් රථයේ 08 දෙනෙකු පැමිණ ඇති අතර කාර් රථය ඕමන්ත ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය මාර්ගයකදී දුම්රිය මාර්ගය හරහා මාරුවීමට රියැදුරු උත්සහ දරා ඇත්තේ කිසිදු අවධානයක් යොමු නොකොටය.

කෙසේ වෙතත් අදාළ දුම්රිය හරස් මාර්ගයේ තරමක් උස් ස්ථානයක් වන හෙයින් කාර් රථයේ 08 දෙනෙකු සිටීම නිසා බර වැඩීමෙන් දුම්රිය මාර්ගය හරහා දැමීමේදී කාර් රථයේ යට කොටස දුම්රිය මාර්ගයේ වැදී සිර වී ඇත.

එම අවස්ථාවේදී රියදුරු දුම්රිය මාර්ගයේ දුම්රියක් ගමන්කරන බව නොදැන සහ නොදැකීම හේතුවෙන් රියදුරු කාර් රථයෙන් බැස ඇත්තේ කාර් රථයේ යට කොටස දුම්රිය මාර්ගයේ වැදුණු තැන පරීක්ෂා කිරීමටය කාර් රථයෙන් රියැදුරු බසිනවාත් සමඟම දුම්රිය පැමිණෙන අයුරු දැකගත හැකිවීමෙන් රියදුරු කෑ ගසා ඇත්තේ කෝච්චිය එනවා. බැහැලා දුවන්න කියාය.

එම කෑගැසීමත් සමඟ ඉදිරි අසුනේ සිටි කුඩා ළමයාට පමණක් බැස ගැනීමට අවස්ථාව ලැබී තිබේ. කාර් රථයේ පිටුපස තවත් 06 දෙනෙකුම තරමක් හිර වීමකින් සිටීම නිසා ඔවුන්ට බැස ගැනීමට තරම් කාලයක් නොවීය. කාර් රථයේ පිටුපස සිටියේ කාන්තාවෝය. ඉදිරි අසුනේ සිටියේ පිරිමි අයයි. වේගයෙන් පැමිණි දුම්රිය කාර් රථයේ පිටුපස වැදිණි.

පිටුපස වැදුණු දුම්රිය කාර් රථය මීටර 50 ක් පමණ ඇදී ගොස් තිබිණි. පිටුපස සිටි කාන්තාවන් සිව්දෙනාම මිය ගියහ. ඒ අතර 13 හැවිරිදි දැරියක් විය. ඉදිරි අසුනේ සිටි දෙදෙනා තුවාල ලැබූහ. රියදුරු හා තවත් 06 හැවිරිදි දරුවකු බේරිණි.

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයාගේ බිරිඳද මියගිය අය අතර විය. මෙම අනතුරින් මිය ගියේ යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඉසෙයි ඥානවතී, 32 හැවිරිදි කාන්දීපන් යමුනා, 13 හැවිරිදි කාන්දීපන් දිසාලිනි සහ යාපනය මණිපායි පදිංචි 30 හැවිරිදි කමලනාදන් ශිවරංජනී යන අය වෙති.

අනතුර සම්බන්ධයෙන් අසල්වැසි ජනතාව කියා සිටියේ අදාළ ස්ථානයේ කලක සිට මෙවැනි අනතුරැ සිදුවන බවටත් එම දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂිත වැඩපිළිවෙළක් සිදු කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති අතරම අදාළ අනතුරේදී රියදුරු අවධානයෙන් කටයුතු කළේ නම් මෙම අනතුර වළක්වා ගැනීමට හැකියාවක් තිබූ බවයි.

♦ වන්නි රොමේෂ් මධුෂංඛ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00