2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

සබරගමුවෙන් විහිදෙන සුමන සමන් දෙවි අනුහස

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 941

මහනුවරට නුදුරු ගඩලාදෙණිය විහාරයේ ගම්පොළ IV වන භුවනෙකබාහු රජුගේ කාලයට අයත් (14 වැනි සියවස) ශිලා ලේඛනයේ “උපුල්වන් සමන් බොක්සල් ස්කන්ධ විභීෂණාදී දෙවියන්ගේ ආඥාව” යනුවෙන් සඳහන්ය. 14 වන සියවස පමණ වනවිටත් සමන් දේව ඇදහීම උඩරට ප්‍රදේශයේ පවා ප්‍රචලිතව පැවැති බව ඉන් පැහැදිලිවේ.

• දේවාල උපත

දඹදෙණියේ රජ කළ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ (1236-1270) තඹ සන්නසේ සමන් දෙවියන් උදෙසා ගම්වර පූජා කිරීමක් පිළිබඳව දැක්වේ. කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජුගේ රත්නපුර සමන් දේවාල ගල් සන්නසේ රජු විසින් දේවාලයට කළ පුද පූජා ගැන සඳහන්ය. මෙම සන්නස පෘතුගීසින් විනාශ කළත් එහි පුස්කොළ පිටපත් හමුවී තිබේ. සන්නසට අනුව රත්නපුර සමන් දේවාලය ඉදිකරවා ඇත්තේ දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු රජ සමයේදීය. කෝට්ටේ යුගය වනවිට එම පුදබිම බැතිමතුන්ගේ දුකට පිහිට වන ප්‍රකට පූජ්‍යස්ථානයක් බවට පත්ව ඇත.

• පෘතුගීසින්ගෙන් වූ හානිය

කෝට්ටේ රාජධානියේ අවසන් පාලකයා වූ ධර්මපාල රජු කතෝලික දහම වැළඳගෙන රාජධානිය තෑගි ඔප්පුවක් මගින් පෘතුගාලයේ රජුට පැවරීමත් සමඟ පෘතුගීසිහු තම ආගම ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ. සීතාවක රාජසිංහ රජුගේ වියෝවත් සමඟ සීතාවකට ද බලය ව්‍යාප්ත කළ පෘතුගීසීහු ජනතාවගේ විරෝධය මැද සබරගමු මහ සමන් දේවාලය බිඳ දැමූහ. එම උස්බිම්කඩෙහි ඔවුන්ගේ බලකොටුවක් සහ ශාන්ත සැල්වදෝර් මුනිවරයාට කැප කළ දේවස්ථානයක් ඉදිකළහ. මෙම අවදානම් අවස්ථාවේ දේවාලයේ භාරකරුවෝ එහි තැන්පත් කර තිබූ දේවාභරණ ආරක්ෂාව පතා බලංගොඩ බොල්තුබේ සමන් දේවාලයට රැගෙන ගියහ. එහි රහසේ සුරක්ෂිතව තැන්පත් කළ දේවාභරණ පුදපූජාවලට ලක්විය.

• නව ප්‍රතිසංස්කරණය

දෙවැනි රාජසිංහ රජු (1629-1687) මහනුවර සිහසුනට පත්වීමත් සමඟ සබරගමුව ගැනද අවධානය යොමුකර ලන්දේසීන්ගේ උදව්වෙන් පෘතුගීසින් ඒ ප්‍රදේශවලින් පලවා හැරියහ. යළිත් වරක් 1658 වනවිට කඩාබිඳ දැමූ දේවාලයේ ඉදිකිරීම් ඇරඹුණි. මෙලෙස නව සැලසුමක් මත ඉදිවූ දේවාල බිම උඩමළුව හා පහත මළුව යනුවෙන් කොටස් දෙකකින් සමන්විත විය. ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වනවිට සුදුවැලි අතුරා ඇති භූමිය පහත මළුව වේ. පියගැට පෙළ නැගීමෙන් පසුව බැතිමතුන් පිවිසෙන්නේ උඩමළුවටය.

• පෘතුගීසි නිර්මාණ

පෘතුගීසි නිර්මාණ බිඳ දමා නව දේවාලය ගොඩනැගුව ද එම බලපෑම සිහිපත් කරන ශෛලමය නිර්මාණ දෙකක් අදත් අපට දැකගත හැකිය. එක් නිර්මාණයක් වන්නේ කුර ගෙවල් හෙවත් නැරඹුම් ශාලාවක් ලෙස භාවිත කරන ගොඩනැගිල්ලේ බිත්තියට සවිකර තිබෙන අඩි 4ක් උස අඩි 2ක් පළල කළුගල් කැටයම් පුවරුවකි. පෘතුගීසි හමුදා නිල ඇඳුමින් සැරසුණු අයෙක් අසිපතක් හා පලිහක් අතැතිව සිටින අතර ඔහුගේ පයට පෑගී සිටින උඩුකය නිරුවත් දෝතියක් හැඳි පුද්ගලයෙක් එහි කැටයම් කර තිබේ. බිම වැටී සිටින පුද්ගලයා පෘතුගීසි සොල්දාදුවාගෙන් එල්ල වන පහරක් වළක්වන ආකාරය ද පසෙකින් ඔහුගේ අසිපත සහ පලිහ වැටී තිබෙන ආකාරය ද ඉන් පෙනේ.

මේ පිළිබඳව පැතිර ඇති ජනප්‍රවාදයක් වන්නේ පෘතුගීසින් භීතියට පත්කළ කුරුවිට රාළ්නම් රණකාමියා පෘතුගීසි සොල්දාදුවන් 50ක් මරා දැමීමෙන් පසු ගෝමස් නම් පෘතුගීසි සොල්දාදුවා අතින් මරණයට පත්වීම ඉන් නිරූපණය වන බවයි. නමුත් එම කැටයමට පහළින් ඇති පෘතුගීසි ශිලා ලේඛනය පවසන්නේ වෙනත් කතාවකි.

“මේ කඩුවෙන් මම මොහුව මර්දනය කළෙමි. මා ඉන්දියාවට පැමිණ දැන් වසර 23කි. ඉන් වසර 15ක් කපිතාන්වරයෙක් ලෙස සේවය කළෙමි. නොබෝ කලකින්... පටුනේ රජතුමා වෙමි. සයිමන් සිංඤෝ වන මම ඔහු (යාපා පටුණේ රජු) පරාජය කළෙමි.”

ඒ අනුව පෙනෙන්නේ සයිමන් සිංඤෝ නම් පෘතුගීසි කපිතාන්වරයා වර්ෂ 1591 දී යාපනය ආක්‍රමණය කර පුවිරාජ පණ්ඩාරම් නම් රජු යටත් කරගැනීම ඉන් පැවසෙන බවයි.

අනෙක් පෘතුගීසි මතක සටහන වන්නේ දැනට දේවාලයේ දික්ගෙය අසල ගොඩනැගිල්ලක තබා තිබෙන අඩි 2ක් දිග අඩි 1 ½ක් පළල පෘතුගීසි රාජකීය ලාංඡනයයි.  ප්‍රකාරය අලුත්වැඩියා කිරීමේදී මෙම ගල්පුවරුව හමුවී තිබේ.

• දේවාල සැලසුම

පහත මළුවෙහි ප්‍රාකාරය දෙපස ඇති ගොඩනැගිලි පෙරහර නැරඹීම සඳහා භාවිත කෙරේ. පියගැට පෙළට වම්පසින් කුලුණු හතරකින් යුත් පත්තිරිප්පුවද පියගැට පෙළ දෙපස මුරගෙවල් දෙකක් ද පිහිටා තිබේ. දේවාලය දෙපස “මඩම” යනුවෙන් හැඳින්වෙන අඩි 6ක් උසට තැනූ වේදිකා දෙකකි. පහත මළුවේ පියගැට පෙළ නැගීමෙන් පසු හමුවන්නේ ශාන්ති මණ්ඩපය නම් කොටසයි. එයට නුදුරින් අඩි 50ක් දිග දික්ගෙයයි. එම කොටස භාවිත කරන්නේ නැටුම් නිර්මාණ සඳහාය. ඊට පසු හමුවන්නේ දේවාල ගොඩනැගිල්ලයි. මහල් තුනකින් යුත් එය සඳුන් කූඩම හෙවත් වැඩසිටින මාලිගය නම්වේ. එහි පළමු මහල ගබඩාව සඳහාත් දෙවැනි මහල දේවාභරණ තැන්පත් කිරීමට ද යොදාගෙන තිබේ. තෙවන මහල සමන් දේව ප්‍රතිමාව තැන්පත් කිරීමට වෙන්ව ඇත.

ශාන්ති මණ්ඩපයට වම්පසින් දළදා විහාරයත් දකුණු පසින් පත්තිනි දේවාලයත් ඉදිකර ඇත. ශාන්ති මණ්ඩපයට ඇතුළුවන ප්‍රධාන දොරටුව දෙපස බිත්තිවල පැරණි චිත්‍ර කොටස් කිහිපයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මතුකරගෙන සංරක්ෂණය කර තිබේ. ඒවා ශිව වටුක සහ චාලී නම් ආරක්ෂක යක්ෂ රූපය. එයට ඉහළින් මකර තොරණක් දැකගත හැකිය.

පෙරහර ගමන් කිරීම සඳහා උඩුවීදිය, කුඹල් වීදිය, හුණු වීදිය, ආදී වශයෙන් වෙන්කරන ලද වීදි කිහිපයක්ද පවතී. පැරණි බෝධි වෘක්ෂයක් සහ බුදු මැදුරක්ද මෙහි පිහිටා තිබේ. දීර්ඝ කාලයක් නිරන්තර පුදපූජාවලට ලක්වෙමින් පවතින සබරගමු මහ සමන් දේවාලය පුරාවිද්‍යා රක්ෂිත ස්මාරකයක් ද වේ.

• දේවාල මංගල්ල

මහ සමන් දේවාලය පූජනීය ස්ථානයක් පමණක් නොව සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ද වේ. මේ දිනවල එහි පැවැත්වෙන ඇසළ පාරහැර ඒ අතර ප්‍රධාන සංස්කෘතික අංගයයි. පුරාණයේ සබරගමුව පළාතේම ජනතාව පා ගමනින් පෙරහර මංගල්ලයට පැමිණියහ. අලුත් සහල් මංගල්ලය (ගොයම් කපා පාගා අලුත් අස්වැන්නෙන් දෙවියන් පිදීම) අලුත් අවුරුදු උත්සව, වසර අවසානයේ පවත්වන උත්සවය එහි අනෙක් උත්සව අවස්ථා වේ.

• ඇසළ පෙරහර

මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර සබරගමුවේ ප්‍රධාන සංස්කෘතිකාංගයකි. පහතරට ගැමි සංස්කෘතිය මෙන්ම සබරගමු නර්තන සම්ප්‍රදාය ඉස්මතු කොට දක්වන අවස්ථාවක් වශයෙන් ද මෙය වැදගත්ය. සබරගමුවට ආවේණික සංස්කෘතිකාංග රාශියක් මෙහිදී නිරූපණය වේ.

පෙරහර ආකාර තුනකි. ඒ කුඹල් පෙරහර, දෙවේල් පෙරහර සහ රන්දෝලි පෙරහර වශයෙනි. කුඹල් පෙරහර දින 5ක් ද දෙවේල් පෙරහර දින 5ක් ද රන්දෝලි පෙරහර දින 5ක් ද වශයෙන් පෙරහර දින 15ක් පැවැත්වේ.

කුඹල් පෙරහර, පත්තිනි දේවාල පෙරහර හා සමන් දේවාල පෙරහරත් එකතු කරගෙන උඩමළුවේදී පැවැත්වේ. එහිදී නැවුම් කළ දෙකක් අතින්ගත් කුඹල්කරුවකු හා වළං කඳක් අතින් ගත් අතවැසියකු ගමන් කිරීම විශේෂත්වයකි.

දෙවේල් පෙරහර ලෙස සැලකෙන්නේ ඇසළ පෙරහැරේ ප්‍රථම වීදි සංචාරයෙහි දේවාභරණ ඇතකු පිට වඩම්මවන අතර පත්තිනි දේවාලයේ දෝලාවද එහිදී වඩම්ම වනු ලැබේ. අවසන් රන්දෝලි පෙරහැර පෝය දිනයේ රාත්‍රී වීදි සංචාරය කරන පෙරහරේ වැදගත්ම අංගයයි. එය නැරඹීමට විශාල පිරිසක් දේවාල බිමට පැමිණෙති.

• රන්දෝලි පෙරහර

අවසන් රන්දෝලි පෙරහරයි. දළදා පෙරහර, පත්තිනි පෙරහර, බිසෝ පෙරහර, කුමාර පෙරහර යනුවෙන් මෙය අංග පහකින් සමන්විතය.

මෙහි දැකගත හැකි මහ බබා කෝලම ජනප්‍රිය නර්තන අංගයකි. එය සබරගමු සමන් දේවාලයට පමණක් සීමාවූවකි. එයින් සීතාවක රාජසිංහ රජු නිරූපණය වන බව පැවසේ. මුහුණු දෙකකින් නිරෑපණය කෙරෙන මෙම කෝලම තුළින් මුහුණේ එක් පැත්තක් භයානක ලෙසත් අනෙක් පැත්ත පියකරු ලෙසත් නිර්මාණය කර තිබේ.

“රෙද්ද රනින් ඇඳ නරුපට තබමින් ඉණ වට රුලි                   තබනා
සද්ද සිටින ලෙස සිලිම්බු දෙකකුත් අරගෙන දෙපයට          පළඳවනා
සිද්ද පොරණ ඉසිවර බස විලසට සැරසිලි මේ                      ලෙසිනා 
ඇද්ද වෙනත් මේ හැටියට නැටුමක් සබරගමුව දෙවොලෙහි   සොදිනා”

මෙවර පෙරහර මංගල්‍යය පැවැත්වෙන අතරම රු. මිලියන 100ක වියදමින් රජය විසින් අලුත්වැඩියා කළ දේවාලයේ වහලය ඇතුළු ගොඩනැගිලි නැවත ජනතා අයිතියට පත්කිරීම ද සිදුවේ.

කුසුම්සිරි විජයවර්ධන
    සේයාරූ : අන්තර්ජාලයෙනි