2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

ජනපතිත් ප්‍රශ්න කළ ගිං-නිල්වලා අබිරහස

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

අහසින් වැටෙන එක් දිය බිඳක්වත් ප්‍රයෝජන නොගෙන මහ සයුරට එක් නොවිය යුතුය. එසේ සිතා වැඩකළ මිනිසුන් සිටි රටක වාරි කර්මාන්තයට හිමිවූයේ සුළුපටු තැනක් නොවේ. එදා රජුන් කළ වාරි කර්මාන්ත සම්බන්ධව අප අභිමානෙන් කතා කරමු. අදද වාරි ව්‍යාපෘති ඇත. එහෙත් අප කතා කරන්නේ ඒවායේ අභිමානය ගැන නොවේ. ලොක්කන්ට ලැබුණු පංගු, අල්ලස් පිළිබඳවය. එය එක්තරා ආකාරයක ඛේදවාචකයකි. මේ කතාව ද එහි තවත් දිගුවකි. 

වාරි ව්‍යාපෘතියක මහාපරිමාණ වංචාවක් සම්බන්ධ කතිකාවක් නිර්මාණය වෙමින් තිබේ. ඒ ගිං නිල්වලා හැරවුම්  ව්‍යාපෘති සම්බන්ධවය. එහෙත් තවමත් මහජනයා තුළ සැලකිය යුතු අවධානයක් ඊට නොමැති සෙයකි. අමෙරිකානු ඩොලර් මිලියන 30 ක හෙවත් රුපියල් මිලියන 4800 ක අල්ලසක් පිළිබඳව මාධ්‍ය වාර්තා පසුගිය දිනවල දී පළවිය. ඒ අල්ලස් මුදල ඇසූ පමණි ඇඟ හිරිවැටී යන තරම්ය. මේ අල්ලස ඉල්ලුවේ කවුද? කාගෙන්ද? කුමක් සඳහාද? මේවාට පිළිතුරැ නම් තවම කරළියට පැමිණ නැත. අප මෙම ලිපිය ලියන්නේ ඒ සියල්ල අනාවරණයට නොව ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය  පිළිබඳව අතීත වර්තමාන කතා පිළිබඳව විශ්ලේෂණාත්මක සංවාදයක් සඳහාය. ඉදිරියේ දී තවත් බොහෝ දෑ රටට අනාවරණය වනු ඇත. එ බැවින් මේ සියල්ල දැන සිටීම රටේ අයිතිකරැවන් වන  මහජනයා ලෙස ඔබට වැදගත් වනු ඇත. 

පළමුව මෙම ගිං ගඟ නිල්වලා ගඟ හරවන්න යන කතාව කුමක් දැයි සරලව දැන ගැනීම වටී. ඊට වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 690 ක් බව කියවේ. රැහුණේ මිනිසුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් විසඳීම මෙහි අරමුණයි. ගල්ල මාතර ප්‍රදේශවල ජනතාවට බලපාන ගංවතුර තත්ත්වය වැළැක්වීම, හම්බන්තොට මොනරාගල දිස්ත්‍රික්කවල පානීය ජල ගැටලුවට විසඳුම් දීම ඉන් ප්‍රමුඛය. තවද විශාල කෘෂිකාර්මික සංවර්ධනයක් ඇතුළු තවත් ප්‍රතිලාභ රාශියක් මෙම ව්‍යාපෘතිය හරහා බලාපොරොත්තු වෙයි.

ඒ අනුව ගිංගඟ පිටදෙණියාව ප්‍රදේශයෙන් හරවා සිංහරාජය හරහා උමං මාර්ගයෙන් කොටපළ ගෙන ඒමට නියමිත අතර, කොටපළදී නිල්වලා ගගේ ජලය ද ගෙන අම්පානගල ජල හැරවුම් ඒකකයෙන් වීරකැටිය මුරැතවෙල ජලාශයට එක් කිරීම සැලැස්ම බව කියවේ. මුරැතවෙල ජලාශයෙන් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට ද ජලය  ගෙන ඒමට නියමිත බව ද පැවසෙයි. මේ සියල්ල පිළිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් අදාළ පාර්ශ්වය රට හමුවේ තබා නැත. මේ නිසා අදාළ තොරතුරැ නිශ්චිත දැනගැනීමට තව ටික කලක් ගතවෙනු ඇත.

කෙසේ වෙතත් ව්‍යාපෘතියේ සැලසුම් සම්බන්ධ විවේචන තිබෙන බව කියයුතුය. ඇතැම් තැන්හි ඒ පිළිබඳව සඳහන් වූ කරුණු කිහිපයක් ද මෙසේ දක්වන්නේ කාගෙත් අවධානය පිණිසය. මාතර ජල ගැලීම්වලට මෙයින් විසඳුමක් නොලැබෙන බව එක් විවේචනයකි. පිටදෙණියාව කොටපළ අම්පානගල පිහිටා ඇත්තේ ධාරා ප්‍රදේශවල ඉහළ කොටසේ වීම ඊට හේතුව බව කියවේ. තවද වියළි කාලවලදී ගංඟාවල ඉහළ කොටසේ ජලය හම්බන්තොට යැවීම නිසා පානීය ජල අර්බුදයක් ඇතිවීමේ අවදානමක් සහ කරදිය මිශ්‍රවීමේ අවදානමක් ගැන ද මත පළවේ. මේ එල්ල වන විවේචනවල පදනම අප ප්‍රශ්න නොකරමු. ඒ පිළිබඳව ක්‍රියා කළ යුත්තේ බලධාරීන්ය. තවද විවේචන සහ සාපේක්ෂව අවාසි ඕනෑම ව්‍යාපෘතිය තිබීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් එවාට හොඳින් ඇහුම්කන් දීම විශාල ව්‍යාපෘතිවලදී ඉතා වැදගත්ය. 

මෙම ව්‍යාපෘති සම්බන්ධ පසුගිය කාලයේ සිදු වූ සිදුවීම් කිහිපයකට මීළඟට අවධානය  යොමු කරමු. 2017 නොවැම්බර් මාසයේදී විගණකාධිපති විශේෂ වාර්තාවක් ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය සම්බන්ධ ඉදිරිපත් විය. මෙම වාර්තා ඉල්ලා සිටින්නේ රාජ්‍ය ගිණුම් පිළිබඳව කාරක සභාව මගිනි. මෙම වාර්තාව අධ්‍යයනයේ දී මෙම ව්‍යාපෘති සම්බන්ධ පසුගිය කාලයේ නිලධාරීන් ක්‍රියාකර ඇති ආකාරය අවුල් සහගත බව කිව යුතුය. නිලධාරීන් පසුපස දේශපාලනඥයන් සිටි බව එහි නොතිබුණත් අප ඒ පිළිබඳව කියන්නේ එය එසේ වීම මෙරට ප්‍රායෝගිකව යථාර්ථය වන බැවිනි. 

මෙම වාර්තාවේ ඇතුළත් කරුණු දීර්ඝ සාකච්ඡාවකට බඳුන් කිරීමට බලාපොරොත්තු නොවුණ ද අවසන් නිගමන තුන සැකවින් දක්වන්නේ යථාර්ථය විමසා අවබෝධ කර ගනු පිණිසය.

ව්‍යාපෘතිය හඳුනාගැනීම් කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම, අත්තිකාරම් ලබා දීම, ක්‍රියාත්මක අදියර සම්බන්ධයෙන්  සැලසුම්, විනිවිදභාවය, රෙගුලාසි අනුගමන කිරීම අදිය වගකිවයුතු පාර්ශවයන් සැලකිය යුතු මට්ටමෙන් පැහැර හැර ඇති බව සඳහන්ය. මෙම ක්‍රියාවලියේ දී රජය වැයකර ඇති මුදලට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රතිලාභ නොලැබී ඇති බව ද කියවේ. එවක වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට සෘජුව  වගකිවයුතු බව නිගමනය කර තිබේ. 

මේ  සියල්ල සමඟ ගිං නිල්වලා ගංගාවල උඩුගම් බලා පීනා ගොස් මෙම වාරි ව්‍යාපෘතියේ අතීත කතාව තරමක් හෝ ඔබ හමුවේ තැබිය යුතුය. 2009 වර්ෂය මෙම ව්‍යාපෘතියේ මූලික කතා බහ ඇති වූ වර්ෂයක් වන අතර 2011 - 2012 වර්ෂ වලදී මෙම ව්‍යාපෘති සම්බන්ධ ප්‍රධන සිදුවීම් කිහිපයක් සිදුව ඇත. මෙහි ශක්‍යතා වාර්තාව ලබා දීමේ වගකීම පැවරෙන්නේ චීනයේ ලියාපදිංචි සමාගමක් වන සී. ඒ. එම්. සී. ඉන්ජිනියරින් කම්පැනි ලිමටඩ් සමාගමටය. 

මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධව චීන සමාගමට ගෙවිය යුතුව තිබූ ආරම්භක මුදල ගෙවීම සම්බන්ධව ද මතු වූ ගැටලුවක් මතුවිය. ඒ හරහා නිර්මාණය වූ අර්බුදයක් දුරදිග ගොස් පසුගිය කාලයේ පුවත් නිර්මාණය විය. මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් දියත් කෙරුණු අතර හිටපු වාරිමාර්ග ලේකම්වරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරන්නේ ඒ අනුවය. මෙම කතාව අක්මුල් හතර අතේ පැටලී ඇති දීර්ඝ කතාවකි.

ඊළඟට 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයට පෙර සහ පසුව වාරිමාර්ග අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය අතර ගනුදෙනු සම්බන්ධයෙන් ගැටලු මතු වූ බව සඳහන්ය. දේශපාලන වේදිකාවේ ද මෙම කරුණ සංවාදයට ලක්වුණු වූ බව ඇතැම් විට ඔබට මතක ඇත. ඒ අනුව 2015 ජනවාරි 1 සහ 8 කාලය තුළ මුදල් අමාත්‍යාංශය විසින් වාරිමාර්ග අමාත්‍යාංශය වෙත රුපියල් මිලියන 3,549 නිදහස් කර ඇති බව කියවේ. මෙම ගැටලුව පිළිබඳව නඩු හබ කෙසේ වෙතත් හැමගේ මතකය කාලයේ වැලිතලාවෙන් වැසී ගිය බව දැන් ඔබට සිහිපත් වනු ඇත. 

දැන් නැවතත් ආසන්නතම සිද්ධිය වන අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් අල්ලස් ඉල්ලූ කතාවල සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඒ හා සම්බන්ධ කතා කිහිපය උපුටා දක්වමු. එයින් එකකට අනුව මෙම අල්ලස් සිදුවීම පිටුපස සිටින්නේ දේශපාලකයකුගේ උපදේශකයකි. ඔහු ඩොලර් මිලියන 5 ක් මුදල් ප්‍රථමයෙන් ලබා දෙන ලෙසටත් ඉතිරි ඩොලර් මිලියන 25 සිංගප්පූරුවේ බැංකුවක තැන්පත් කරන ලෙසටත් අදාළ විදේශ සමාගම සමඟ එකඟතාවයක් ගොඩනාගෙන ඇති බවට චෝදනාවකි. තව කතාවකට අනුව දකුණේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙක් මේ පිටුපස සිටිති. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 10 වැනිදා හම්බන්තොට මාගම් රැහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික උත්සවයේ දී ගිං නිල්වලා ව්‍යාපෘති සම්බන්ධ ප්‍රකාශයක් සිදුකළේය. ඒ අනුව මේ ආණ්ඩුව යටතේ මෙම යෝජනා ක්‍රමය ප්‍රමාද වීම ගැනත්  පරීක්ෂණයක් පවත්වන්නට සිදුවෙනු ඇතැයි ඔහු පවසයි. ජනාධිපතිවරයා මේ අණ්ඩුවේ වගකිවයුතු අය තමන්ගේ දේශපාලන වටිනාකම් පරිස්සම්  කරගෙන කටයුතු කළයුතු බවත් කියයි. කැබිනට් පත්‍රිකාව මාස තුනක් තිස්සේ ප්‍රමාද වන බව තමන් දන්නා බවත් ඊට හේතුවත් තමන් දන්නා බවත් මෙහි දී සඳහන් විය. ජනපති අනතුරැ ඇඟවීමක් මෙහිදී අදාළ පාර්ශවයන් වෙත සිදුකරන බව අපට අවබෝධ වෙයි.

එම පාර්ශවයන් කවුද? පසුව ඒකාබද්ධයේ මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා පැවසුවේ මෙම වංචාවට අදාළ පුද්ගලයන් කවුදැයි ආණ්ඩුව හෙළි කළ යුතු බවයි.

සියල්ල හරහා අපට අවබෝධ වන්නේ මෙම ව්‍යාපෘති සම්බන්ධව අතීතයේ ද වර්තමානයේ ද ඇතැම් දෙනා කටයුතු කර ඇත්තේ දූෂිත අරමුණ පෙරදැරිව බවයි. දොලපිදේනි  පුළුටු සොයා එන ප්‍රේතයන් කුම්භාණ්ඩයන් මෙන් ඩොලර් මිලියන බිලියන ගණනින් ව්‍යාපෘති ක්‍රියාත්මක වන විට දූෂිත නිලධාරීන් හා දේශපාලකයන් කෙළ හලමින් ඒ පිටුපස එන බව අපි දනිමු. මෙම ව්‍යාපෘතියේ වටිනාකම වැඩිවීම අක්‍රමිකතා සියල්ල පසුපස ඇති හේතුවයි. මෙයින් කොටසක් තමන්ගේ සාක්කුවට දමා ගැනීමට උත්සාහ කරන පිරිස් සිටින බව පැහැදිලිය. 

වැරදි අඩුපාඩු සහ වාසි අවාසි ඕනෑම කටයුත්තක තිබිය හැකිය. ගිං නිල්වලා ව්‍යාපෘතියේ පමණක් එය එසේ නොවිය යුතු යැයි යෝජනා කළ නොහැකිය. සියල්ල සිදුවිය යුතු පිළිවෙළක් තිබේ. සියල්ලට පෙර රට ජනතාවය. පාලකයන් නිලධාරීන්  ගෙදරින් ගෙනා කිසිවක් නොමැති නිසාත්, මේ සියලු මුදල් ජනතාවට අයිති නිසාත්, ගිං ගඟේ සහ නිල්වලා ගංදෑලේ මෙරට ජාතික ධනය දිය නොකරන ලෙස අවධාරණය කරමු. තවත් හෙළිවන්නට බොහෝ දේ ඇත. ඊට සූදානමින් අවධානයෙන් සිටීම අවශ්‍යය. 

 චමිඳු නිසල් ද සිල්වා