2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා

වතුරත් මසුරං ගෝල්ෆේස් හතරවරං

 2018 සැප්තැම්බර් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

වතුර එකක් ගන්න පුළුවන්ද?

කූල්ද නෝර්මල්ද?

කූල් එකක් දෙන්නකෝ? කීයද?

කූල් එකක් හැටයි...

එතකොට නෝර්මල් එක කීයද?

නොර්මල් එකක් පනහයි.....

ඇයි එච්චර ගණන්? කඩේ ලීටරේ බෝතලයක්ම හැත්තෑවයිනේ

ඒ කඩේනේ මහත්තයා... මේක ගෝල්ෆේස් එක. ගන්නවනම් ගන්න. මහත්තයා ගත්තේ නැති වුණාට අපෙන් බඩු ගන්න ඕන තරම් අය ඉන්නවා

සිය මිතුරකු පැමිණෙනතුරු ගෝල්ෆේස් පිට්ටනියට වී සිටි ලියුම්කරැට අසල තිබූ පෙට්ටි කඩයකින් මෙම කතාබහ ඇසිණි. මේ පිළිබඳව ලියුම්කරැට සොයා බැලීමට සිත් විය.

ඇත්තටම ඇයි අයියේ ඔයාලගේ බඩු මෙච්චර ගණන්? ලියුම්කරු ද අසල සිටි පෙට්ටි කඩයක හිමිකරැවකු හා කතාවට එළඹුණේය.

ගණන් කියලා මිනිස්සු නොකා නොබී ඉන්නේ නෑනේ මහත්තයා. එකෙක් දෙන්නෙක් ඇවිල්ලා මස්තබාල්දු කරාට අපෙන් බඩු ගන්න කස්ටමර්ස්ලා ඕන තරම් ඉන්නවා මේ ගෝල්ෆේස් එකේ.

ඇයි ඉතිං මේ හැම එකක්ම ගණන්?

වතුර එකක් පනහයි, බීම එකක් සීයයි. ඔය පොඩි පොඩි ‍ෂෝටිස් කෑම අයිටම්වලින් රුපියල් පහක් දහයක් තියන් තමයි අපි ජීවත් වෙන්නේ. ලොකු ගාණක් නෑ. පොඩි සම්තිං එකක් තමයි අපිටත් තියෙන්නේ....

ඒ වුණාට පිට තැන්වල පොඩි කඩවලට වඩා මෙහේ එකට එකක් ගණන්නේ

ගණන් කියලා මිනිස්සු කඩවලට නෑවිදින් ඉන්නේ නෑනේ මහත්තයා. අනික මිනිස්සු මේ ගෝල්ෆේස් එකට එන්නේ මොකටද? ටිකක් විනෝද වෙලා යන්න. එහෙම එන එකේ අපෙන් මොනවා හරි ගත්තට එයාලට පාඩුවක් නෑනේ. අනික මෙතනට එන හැමෝමටම සම්තිං එකක් දෙන්නත් එපැයි

කාටද එහෙම ගාණක් දෙන්න ඕන?

ඇයි දවසකට නගර සභාවේ කීදෙනක්, පොලීසියේ මහත්තරු කීදෙනක් මෙතනට එනවද අපෙන් ගාණක් කපං යන්න. ඒ හැමෝම සතුටු කරන්නත් වෙලා තියෙන්නේ අපිට. ඒ සම්තිං එකත් දීලා කඩ කුලියත් ගෙවලා කියක් හරි අපේ අතටත් එන්න ඕනනේ මහත්තයා.

ඒ වුණාට මිනිස්සුන්ගෙන් එහෙම පොඩි දේකට ලොකු ගාණක් ගන්න එක වැරදියි නේද?

මිනිස්සුන්ගෙන් අපි මංකොල්ලකාලා නෙවෙයිනේ මල්ලි සල්ලි හම්බ කරන්නේ.. පොඩි ගාණක් තියන් එහෙම විකුණුවට කමක් නෑනේ..

කීයද ඔයාලා ඔය වතුර එකක් ගේන්නේ? බීම එහෙම?

මේවා අපිට දෙන්නේ මට්ටක්කුලියේ ඩයල් එකක්. ඒවා තමයි අපි දෙන්නේ. බඩු ෂුවර්. ආයේ හොඳ බඩු. දෙකක් නැහැ. සමහරැ මෙතනින් කන්නේ නෑ අපිරිසිදුයි එළියේ කෑම හදන්නේ කියලා. මේ පෙට්ටි කෑල්ලේ වෙනම කුස්සියක් තියන් කෑම හදන්නත් බෑනේ. ඔයාටම පේනවනේ මල්ලි. අනික මේ ගාණට මෙහෙම බඩු විකුණන්නේ අපි විතරක් නෙවෙයි. බලන්නකෝ වටේට ඇවිදලා මේකේ තව කොච්චර සීන් තියනවද කියලා..

මොනවද එහෙම තියන සීන්?

ඔය නගර සභාවෙන් තමයි වාහන පාර්ක් එක කරන්නේ. එතනින් මිනිස්සු කීදෙනකුගෙන් ගසා කනවද? අනික පාක් එකේ තියන ටොයිලට් එකට යන්න පුළුවන්ද බලන්න? ඒ වුණාට රුපියල් විස්සක් ගන්නවා. මේවත් ටෙන්ඩර් දාලා තමයි ගන්නේ. අපි පොඩි ගාණකට වතුර එකක් විකුණන එකට, ‍ෂෝටිස් අයිටම් එකක් විකුණන එකට තමයි හැමෝම සීන් එක දාන්නේ.

මිනිස්සු මේවා පැමිණිලි කරන්නේ නැද්ද?

පිස්සු කතා කරනවද මහත්තයා මිනිස්සුන්ට වෙන වැඩ නැතුවද මේවා පැමිණිලි කරන්නේ. පවුල් පිටින් මෙතනට එන්නේ මොකටද? සතියකට පාරක් දූ දරුවො එක්ක ඇවිල්ලා විනෝද වෙන්න. එහෙම එකේ ඕවා පැමිණිලි  කර කර ඉන්න වෙලාවක් නැහැ මිනිස්සුන්ට. අනික අපි දන්නවා මිනිස්සුන්ට ඕන මොනවද කියලා. ඒ ඒ වෙලාවට යන අයිටම් අපි දන්නවා. වැස්ස වෙලාවට කූල් වතුර බීම විකුණන්න බැහැනේ. ඒ කාලවලට අපි වෙන අයිටම් එකක් කරනවා.

ඇත්තටම ඔච්චර ගාණට විකුණලත් මිනිස්සු එනවද බඩු ගන්න?

දවසකට මේ කොළඹට ට්‍රිප් යන කීදෙනෙක් මේ ගොල්ෆේස් එකට එනවද? එහෙම සෙට් දෙක තුනක් බැස්සා කියන්නේ අපි විතරක් නෙවෙයි මේ ගෝල්ෆේස් එකේ බිස්නස් කරන හැමෝටම හොඳයි. මොනවා හරි ගේමක් ගහලා තමයි මල්ලි අපිත් ජීවත් වෙන්නේ. මෙහෙම නැතුව මේ ගෙන්දගම් පො‍ළොවේ පය ගහලා ජීවත් වෙන්න අමාරුයි.

ඒ වුණාට මිනිස්සුන්ට වැඩි ගාණට බඩු විකුණන එක වැරදි නැද්ද?

මල්ලී... කන්න පින තියනවම් ඉබ්බා කැන්ටිමට එනවා කියනවනේ. ඒ වගේ තමයි මෙතනත්. නිකන් මෙතන පෙට්ටි කඩයක් දාගෙන ඉන්නවා නෙවෙයිනේ. අපිත් මේවට බදු ගෙවාගෙන ඉන්නේ. සාධාරණ විදියට කාටවත් ජීවත් වෙන්න බැහැ. එහෙම වුණොත් වෙන්නේ අනිත් උන් අපි එක්ක ගේමට එනවා. හැමෝම කියන්නේ අපි ගිනි කනවා කියලා. එහෙමයි කියලා අපි මේ බිස්නස් එක නවත්තනවද? නෑනේ? මල්ලි අපි මොන ගේම ගහන්නෙත් ජීවත් වෙන්න. එහෙම නැතුව රජ වෙන්න හිතන් නෙවෙයි.

විනෝදය තකා ගෝල්ෆෙස් යන හැමෝටම හොරෙන් ඔවුන්ගේ පොකැට්ටුවට තට්ටු වෙන අයුරු ඔවුන්වත් දන්නේ නැත. ඒ තරමටම තමන්ගේ වෙළෙඳාම සාර්ථක කර ගැනීමට ඔවුන් ගොතනා නූල් සූත්තර තේරැම් ගැනීමට කිසිවෙකුට හැකියාවක් නැත

 හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00