2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

නූලෙන් වැරදුණු ශ්‍රී ලංකා ක්‍රිකට් හතරවරම් ගැහිල්ල

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 44

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මෙරට ඉතිහාසයේ දරුණුතම ප්‍රශ්න රැසකට මුහුණදුන් ආයතනයකි. දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් අහිමි වීමේ සිට දුර්වල පරිපාලනය තෙක් සිදුවූ යම් යම් ක්‍රියා හේතුවෙන් හැමදාම ක්‍රිකට් ආයතනය රටේ මිනිසුන්ගේ දෝෂ දර්ශනයට ලක්විය. ඒ නිසාම හැමදාම මෙන් ක්‍රිකට් ආයතනය හොඳක් ඇසුවේ නැත.

කෙසේ වෙතත් මෙකී ක්‍රිකට් ආයතනය දරුණුතම දෝෂාරෝපණයට ඉතිහාසයේ ලක්වූයේ යහපාලන රජය තුළය. එහි චෝදනව බරපතළ ලෙස එල්ල වූයේ එම ආයතනයේ සභාපතිවරයා ලෙස තිලංග සුමතිපාල මහතා පත්වීමත් සමඟය. සුදු ව්‍යාපාරවලට සෘජුව හෝ ගෑවී සිටින අයකුට එකී පුටුවේ වාඩිවීමටත්, මාධ්‍ය ආයතනයක් හිමි අයකු හෝ ගෑවී සිටින අයකුට එම් පුටුව දැරීමටත් අවසර නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ විනය රෙගුලාසි වලට ඇතුළත්ව ඇත. එහෙත් ඊට පිටින් යමින් සුමතිපාල මහතා පත්ව ඇති බව පසුගිය කාලය පුරාම අැසන්නට විය. එපමණක් නොව එය තව තවත් තීව්‍ර කරමින් 1996 ලෝක කුසලාන ජයග්‍රාහී කණ්ඩායමේ නායකයා වන වර්තමාන ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූ කාලය ලෙස යහපාලන රාජ්‍ය සමය ඉතිහාස ගත වන බවය. එලෙස, ඔහු පවසන්නේ මේ කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් දරැණු ලෙස කඩා වැටීමත් ක්‍රිකට් ක්‍රීඩකයන් තේරීමේදී තේරීම් කමිටුවට එහා ගොසින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් එයට මැදිහත් වීමත් නිසාය. අවසානයේ ඔහු ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සිදුවන්නට යන අපරාධය සම්බන්ධයෙන් දැනුවත් කළේය. එහෙත් අවසානයේ අර්ජුන අමත්‍යවරයාට ඉහළින් දෙහි කපා තිබුණේ තමන්ට අයිති රාජකාරිය පමණක් සිදුකරන ලෙස දන්වාය. ඒ අතරතුර කාලයේ තේරීම් කමිටු සාමාජිකයන් පවා පරිපාලනයේ මැදිහත්වීම මත සියලු දේ අත්හැර දමා ගෙදර ගියහ. එපමණක් නොව ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන් ක්‍රිකට් ආයතනයටත් ක්‍රීඩා අමාත්‍යවරයාටත් දැඩි වාග් ප්‍රහාර එල්ල කළ සමයක් විය.

අවසානයේ ක්‍රිකට් ආයතන නිලවරණය පැමිණි අතර අධිකරණයට කළ පැමිණිල්ලකට අනුව නිලවරණය වාරණය විය. මේ තත්ත්වය මත ක්‍රිකට් ආයතනයේ පරිපාලනය කඩාවැටුණු අතර ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ක්‍රිකට් පරිපාලනය සඳහා අතුරු කමිටුවක් පත්කරන ලෙසය. එහෙත් වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයා එය තඹ සතයකට මායිම් නොකර නිසි බලධරයකු පත්කළ අතර ඔහු ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයා විය. එහෙත් ක්‍රිකට් සම්බන්ධයෙන් අකුරක් හෝ දන්නා අය කීවේ එය අසාර්ථක වැඩක් කියාය.

මේ ජරමර මැද ක්‍රිකට් ආයතනයත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවත් පණ ගැහි ගැහී ඉදිරියට ඇදී ආ අතර පසුගියදා පැවති දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ක්‍රිකට් තරගාවලිය ඉතිහාස ගත තරගාවලියක් විය. එනම් ක්‍රිකට් ආයතනයේ පරිපාලනයක් නොමැතිව, පුහුණුකරුවන්, කළමනාකරුවන් නොමැතිව කණ්ඩායමක් ක්‍රීඩා කළ එකම තරග සංචාරය මෙය වීම නිසාය. මේ නිසා දිනේෂ් චන්දිමාල් වැනි ක්‍රීඩකයන්ට එල්ලවුණු චෝදනා වලට පිළිතුරු දීමට පවා ඉදිරිපත් වීමට කිසිවකු සිටියේ නැති අතර ක්‍රීඩකයෝ අසරණ වූහ. එහෙත් සතුට නම් කිසිවකු නොමැතිව ක්‍රීඩා කළ කණ්ඩායම අවසානයේ තරග කීපයක් දිනා ගැනීමය.

මේ සියල්ල මැද පසුගියදා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මාධ්‍යයට නිවේදනයක් නිකුත් කළේ මේ ක්‍රිකට් ආයතනයේ දූෂිත බවේ තවත් සිද්ධියක් රටට අනාවරණය කරමිනි. එනම් එළඹෙන ශ්‍රී ලංකා සහ එංගලන්ත ක්‍රිකට් සංචාරයේ විකාශන අයිතිය ලබාගැනීම සම්බන්ධයෙන් වූ වංචාවක් ගැනය.

එහි විකාශන අයිතිය සුප්‍රසිද්ධ ආයතනයක් වන සෝනි සමාගමට ලබා දී ඇති අතර ඒ සඳහා වූ ගෙවීම් එම ආයතනයෙන් පසුගියදා, සිදුකිරීමට පියවර ගෙන තිබිණි. එම ආයතනය විසින් ඩොලර් මිලියන 5.5 ක් හෙවත් ලංකා මුදලින් රුපියල් කෝටි 90ක් ගෙවීමට නියමිතව තිබී ඇත. සාමාන්‍යයෙන් එවැනි ආයතන මුදල් හුවමාරු කිරීමේදී ඉතාමත් සංවේදීව එම කටයුතු සිදුකරන ආයතනයි. එහෙත් ඒ බව නොදත් හෝ මායිම් නොකළ මෙරට ක්‍රිකට් ආ‍යතනයේ මුල්‍ය අංශයේ ප්‍රධානියා පසුගිය දවසක පවසා ඇත්තේ මෙරට බදු ක්‍රමවේදය, නිසා එම මුදල් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුමකට බැර නොකර හොංකොංහි පෞද්ගලික ගිණුමකට බැර කරන ලෙස කියාය. ඒ සඳහා ඔහු ක්‍රිකට් ආයතනයේ ලිපි ශීර්ෂ හරහා දන්වා ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරියාගේ සහ අනෙකුත් ගිණුම් අංශයේ නිලධාරින්ද අත්සන් හොරට ගසාය.

ඔහු පළමු නෛතික ලිපි ලේඛන නිසි ක්‍රමවේදයට යොමු කළත් ඔහු ඊට පසු ලිපි ලේඛන විද්‍යුත් තැපෑල හරහා යොමුකර ඇත්තේ ව්‍යාජ විද්‍යුත් ලිපිනයන් හරහාය පසුව මේ පිළිබඳව සැක සිතී සෝනි ආයතනය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට දන්වා ඇත්තේ මෙවැනි ගිණුමක් සහ මෙලෙස මුදල් බැර කළ යුතුද යන්න කියාය. පසුව ඈෂ්ලි මහතාට එ ගැන සැකසිතී පරීක්ෂණ සිදුකර ඇති අතර මෙය කූට වැඩක් බව අනාවරණය වී ඇත.

එනම් මේ සඳහා භාවිත කෙරුණු ඈෂ්ලි ද සිල්වා මහතාගේ විද්‍යුත් තැපෑල සහ අනෙකුත් සියලු විද්‍යුත් තැපෑල ව්‍යාජ ඒවා බව තහවුරු වී ඇත. එසේම හොංකොංහි පිහිටි ගිණුම එරට විදේශ පුද්ගලයකුට අයත් එකක් වූ අතර එය මාස ගණනකට පෙර එම රටට ගොස් විවෘත කර ඇතැයි අනාවරණය වී ඇත. එසේ සකසා එම ගිණුම් අංකය සෝනි ආයතනයට ව්‍යාජ ලේඛන හරහා යොමු කර තිබිණි. මේ සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා පසුගියදා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ එවැනි සමාගම් විදෙස් රටවල ගිණුම්වලට මුදල් බැර නොකරන නිසා මේ පිළිබඳව හෙළිවූ බවය. ඒ බව දැන දැනත් මෙලෙස විදෙස් රටක ගිණුම් අංකයක් ලබාදීම අනුවණ ක්‍රියාවක් බව ඔහු පෙන්වා දෙයි. එසේම මේ දේ සිදුකළ පුද්ගලයා තම මතයට අනුව “වයර් මාරු වුණු” පුද්ගලයකු බවද ඔහු කීය.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා.

“මේ සිද්ධියට සම්බන්ධ ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියා. ඔහුගේ වැඩ තහනම් කළා. එහෙම කළේ ඔහුගේ පෞද්ගලික විද්‍යුත් තැපෑලෙන් තමයි මේ පණිවිඩ හුවමාරු කරලා තියෙන්නේ. පළවෙනි ඉන්වොයිස් එක මට කොපිවෙලා තිබුණේ. ඒත් සැකකටයුතු ඉන්වොයිස් සියල්ල අපිට හොරා යවලා තිබ්බේ. ඒත් අපේ නම් තිබ්බා. ඒ වගේම අපේ ආයතනයේ ඉන්වොයිස් හදන, කෙනෙක් ඉන්නවා, පරීක්ෂා කරන කෙනෙක් ඉන්නවා, අවසර දෙන කෙනෙක් ඉන්නවා. ඒ සියල්ලන්ගෙම අත්සන් තියෙනවා. හැබැයි ඒවා ව්‍යාජ අත්සන් කියලා තමයි ඔවුන් කියන්නේ. දැන් පරීක්ෂණ, සී.අයි.ඩී. එකට දීලා තියෙන්නේ. ඒ අය පරීක්ෂණ කරලා බලයි.” යැයි ඔහු කීය. ඒ අනුව මේ වෙන්න ගිය මූල්‍ය වංචාව අනූනවයෙන් නැවතුණේ විදෙස් සමාගම නිසාය. නැත්නම් කෝටි 90ක් වතුරේය. මෙකී සැකකාර නිලධාරියා තිලංග සුමතිපාල මහතා සභාපතිත්වය දරන සමයේදී එම තනතුරට කැඳවා ඇති බව සඳහන්ය. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නා බොහොමයක් සුමතිපාල මහතාට ද මේ පිළිබඳව චෝදනා එල්ල කරති. එහෙත් පරීක්ෂණ සිදුකරන තෙක් එහි හරි වැරැද්ද කිව නොහැක.

මේ සියල්ල අතරතුර පසුගියදා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට ලිපියක් ලැබුණි. ඒ මීට කලින් ක්‍රිකට් ආයතනයේ සභාපතිත්වය දැරූ සභාපතිවරු හත්දෙනකු විසින් සකසන ලද ලිපියකි. රියෙන්සි විජේතිලක, විජය මලලසේකර, සිදත් වෙත්තමුණි, ජයන්ත ධර්මදාස, උපාලි ධර්මදාස, ආනා පුංචිහේවා, අර්ජුන රණතුංග යන අය විසිනි. ඔවුන් පවසන්නේ තිලංග සුමතිපාල මහතාගේ වසර දෙකක පාලන සමය තුළ බිඳවැටුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතියේ ආධිපත්‍ය යටතේ ගොඩනගන ලෙස කියාය. එසේම ඒ සමයේදී දරුණු ලෙස කණ්ඩායම පරාජයට පත්වූ බවත් මේ වනවිට විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇෆ්ගනිස්තානයද ශ්‍රීලංකා කණ්ඩායම පසුකර ගොස් ඇති බවය. ඒ නිසා මේ ආයතනය ගොඩගන්නා ලෙස දන්වා ඇත.

මේ ආකාරයට ක්‍රිකට් ආයතනයේ පරිපාලනය කෙරෙහි සමාජයේ පමණක් නොව රටේ ක්‍රීඩා ප්‍රධානීන් පවා සිටින්නේ කලකිරීමකය. සුමතිපාල මහතාගේ තීන්දු තීරණ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන තත්ත්වයට හේතුවී ඇති බව ඔවුහු පෙන්වා දෙති. එසේ නම් එම වළෙන් ගොඩ ඒමට ක්‍රමවේදයක් ක්‍රීඩා ඇමතිවරයා සතුවිය යුතු නොවේද? වංචා දූෂණ නැවතීමට සැලැස්මක් ක්‍රිඩා අමාත්‍යවරයා සතුවිය යුතු නොවේද? එහෙත් එය සිදුකරනවාද? නැත්නම් තවමත් ක්‍රීඩා අමාත්‍යවරයාත් එක් එක් හස්තවලට පාලනය වනවාද?

ගයාන් ගාල්ලගේ