2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 37

1. ජනාධිපතිවරණය කලින් නොතියන බවට ජනාධිපතිවරයා පහුගිය දවසක ප්‍රකාශ කළා. එතකොට මේ පක්ෂවල සිදුවන සූදානමට මොකද වෙන්නෙ?

2. අගමැතිවරයා ලංකාවේ නැති අතරේ හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වෙනවා. මේකෙන් පෙනෙන්නෙ ආණ්ඩුවේ මතගැටුම් උත්සන්න වෙලා කියලද?

3. මාසයෙන් මාසයට තෙල් මිල වැඩිවෙනවා. ඒ අනුව බස් ගාස්තු, දුම්රිය ගාස්තු ඇතුළු ජනතාවට වුවමනා කරන බොහෝ භාණ්ඩ හා සේවා මිල වැඩිවෙනවා. මෙමගින් මහජනතාව අපහසුතාවයට පත්වෙනවා.  ආණ්ඩුවට මේවාට උත්තරයක් නැද්ද?

4. 20 වැනි සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 05 වැනිදා ජ.වි.පෙ. විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් 20 සංශෝධනය සම්බන්ධයෙන් රටේ දේශපාලන පක්ෂවල පොදු එකඟතාවයක් තිබෙන බවක් පෙනෙන්නෙ නැහැ. ඒ කියන්නෙ මේ සංශෝධනයට එරෙහිව පක්ෂවල අර්බුද තියෙනවා කියලද?

හදිසි කැබිනට් රස්වීමෙ අවුල මොකක්ද?
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල

1. ජනාධිපතිවරයා කියලා තිබුණේ එහිදී නියමිත කාලයට කලින් මැතිවරණයක් පවත්වන්නෙ නැහැ කියලා. කොහොමත් 2020 ජනවාරි 08ට කලින් ජනාධිපතිවරණයක් තියන්න ඕන. මේකට තව තියෙන්නෙ අවුරුද්දක් වගේ කාලයක්. මේකට තමයි මේ පක්ෂ සූදානම් වෙන්නෙ. කොහොමත් ජනාධිපතිවරණයකට අවුරුද්දකට කලින් වගේ ඉඳගෙන සූදානම් වෙන්න ඕන.

2. අගමැතිතුමා විශේෂ සමුළුවකට තමයි විදේශගතවෙලා ඉන්නෙ. ඒ අතරතුර තමයි ජනාධිපතිවරයා කැබිනට් එක කැඳවලා තිබුණේ. මේක සාමාන්‍ය දෙයක්. මීට පෙරත් එහෙම වෙලා තියෙනවා. මතගැටුමක් නෙවෙයි, මම හිතන්නෙ අවශ්‍යතාවයක් අනුව තමයි එහෙම කැබිනට් එක කැඳවලා තිබුණේ. කොහොමත් කැබිනට් එක කැඳවීමේ බලය ජනාධිපතිවරයාට තියෙනවා.

3. ඇත්තටම පහුගිය ආණ්ඩුව යුද්ධය ඉවර කරලා ජනතාවට සහන මිලට තෙල් ලබාදෙනවා කිව්වට 2015 වෙනකම් තෙල් මිල අඩු කරන්න බැරිවුණා. ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන්නා එවකට. නමුත් ඒකවත් ක්‍රියාත්මක කළේ නැහැ. අද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිහින් තියෙනවා. එහෙම මිල අඩු වැඩි වෙනකොට අපි ඒ මිල පාලනයට සූත්‍රයක් යොදලා තියෙනවා. නමුත් අද යහපාලන රජය පහුගිය ආණ්ඩුවට වඩා අඩුවෙන් තමයි තවමත් තෙල් ලබාදෙන්නෙ.

4. 20 සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ දාලා තියෙන්නෙ පෞද්ගලික යෝජනාවක් හැටියට.  ඒ ගැන අපි කලබල වෙන්න ඕන නැහැ. 19 වැනි සංශෝධනය තුළින් අපි රටේ ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටුකරලා තියෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී අංග ව්‍යවස්ථාවට එකතු කරලා තියෙනවා. ඒ නිසා ඔවුන් 20 සංශෝධනය ගෙනාවා කියලා අනිත් අයට බයවෙන්න දෙයක් නැහැ.

ඇතුළේ ගැටුම් නිසා රට අරාජික වෙනවා
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ (ඒකාබද්ධ විපක්ෂය)

1. ජනාධිපතිවරණය කලින් පවත්වන්නෙ නැහැ කියන එකෙන් අදහස් වෙන්නෙ ජනාධිපතිතුමාට හැකියාවක් තියෙනවා ජනවාරි මාසෙ 08 වැනිදායින් පස්සෙ 2019 ජනාධිපතිවරණය කැඳවන්න. කලින් තිබුණෙ නැතිවුණාට අනිවාර්යයෙන්ම සූදානම් වෙන්න ඕන 2019 ඔක්තෝබර් වෙද්දි නාමයෝජනා කැඳවන්න. මොකද, මේ රටේ ඉදිරි ජනාධිපති 2020 ජනවාරි 08 වැනිදාට දිව්රුම් දෙන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒක තීන්දු කරලා තියෙනවා. ඉතින් මේ රටේ තවත් වසරක් යන්න කලින් ජනාධිපතිවරණයක් තියන්න ඕන. ඒක ඉතාම කෙටි කාලසීමාවක්.

2. ඇත්තටම බලයට පත්වුණු දවසේ ඉඳලම මේ රටේ අවාසනාවට සමාජ, ආර්ථික, දේශපාලන තත්ත්වය අස්ථාවර වුණේ මේ හවුල් ආණ්ඩුවේ ප්‍රතිපත්ති දෙකක ගැටුම නිසයි. ඒ ප්‍රතිපත්ති දෙක උග්‍රවුණා අගමැතිවරයත් ජනාධිපතිවරයත් අතර තිබෙන ගැටුම නිසා. මේ අර්බුද මෑත ඉතිහාසයේ උග්‍රවීම හැරෙන්න වෙන දෙයක් දැක්කෙ නැහැ. ඒ නිසා අපිට අභ්‍යන්තර වශයෙන් දැනගන්න තිබෙන කරුණු කාරණා අනුව ඒ විරසකය ප්‍රබලවෙලා තියෙනවා. ඒ ප්‍රබලවීම හරහා රට තවත් අරාජික තත්ත්වයට පත්වීම තමයි වෙන්නෙ.

3. බොහොම පැහැදිලිවම 2015 වසරේ ඉඳන්ම ආර්ථික අපගමනය වාර්තා වුණා. ඉතිහාසයේ වාර්තා වූ අඩුම ආර්ථික වර්ධන වේගය වුණේ 2017 වසරේදීයි. මේ නිසා එක පැත්තකින් දැන් ජනතාවගේ ජීවන බර අධිකවෙමින් පවතිනවා. තෙල් මිල මාස්පතා ඉහළ යනවා. ඊට අමතරව ජනතාවගේ ආදායම් මාර්ග අඩුවෙලා තියෙනවා. මේ සියලු කරුණු එක්ක රටේ ජනතාවගේ මුදල් සංසරණය අඩුවෙලා තියෙනවා. මේ ජනතාවට කිසිම ආර්ථිකමය සෙතක් නැහැ.

4. 20 සංශෝධනය හරහා අගමැතිවරයා බලාත්මක කිරීමක් තමයි කරන්න හදන්නෙ. ජනතා විමුක්ති පෙරමුණ දැනට ක්‍රියාත්මක කරන තත්ත්වයත් එක්ක ඔවුන් එජාපයේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බව අවස්ථා කිහිපයකදීම තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම පසුගිය කාලයේ ජනතා විමුක්ති පෙරමුණ ද්‍රවිඩ ජනතා සන්ධානය සමඟ කිට්ටු සබඳතාවක් වර්ධනය කරගෙන යනවා. ඒ හරහා ජනාධිපතිවරයාගේ බලය අඩුකිරීමෙන් අගමැතිවරයාගේ බලතල වැඩිකරලා එක ගලෙන් කුරැල්ලන් දෙදෙනකු බිඳවැට්ටවීමේ අභිලාෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව පෙනෙනවා. මේ රටේ බහුතරයක් දේශපාලන පක්ෂ එයට විරුද්ධව කටයුතු කරන බව පැහැදිලියි.

වලිගෙ එල්ලිලා පාර්ලිමේන්තු ආ අයගේ කතා වැඩක් නෑ
කළුතර දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස

1. වර්තමාන ජනාධිපතිවරයාට ආයෙමත් ජනාධිපතිවරණයක් ගැන කතා කරන්න කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ. ශ්‍රීලනිපයේ ලේකම් ධූරය දරාගෙන කැබිනට් ඇමැතිවරයෙක් විදියට විශ්‍රාම යන්න හිටපු ඔහු ඔය ජනාධිපති පුටුවේ වාඩිවුණේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා. මින් පසු ජනාධිපතිවරණ තියන්නෙ නැහැ කියලා. වෙච්ච පොරොන්දුව එතුමා මතක් කරගන්න ඕන. දැන් මේ ජනාධිපතිවරණයට පක්ෂ සූදානම් වෙනවද නැද්ද කියන එක එතුමාට වැදගත් නෑ. මොකද රටේ ජනතාව වරමක් දීලා තියෙනවා විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරන්න කියලා. ඒ අනුව ජනාධිපතිවරණයක් නැහැ ඉදිරියට. ජනාධිපතිතුමා 2015 නොවැම්බර්, දෙසැම්බර් සහ ජනවාරි 08 වැනිදා දක්වා කරපු කියපු ලියපු දේවල් මතක් කරගත්තා නම් මෙවැනි ප්‍රකාශයක් කරන්න ඕන නැහැ.

2. කොහොමත් ඉතින් මේ හවුල් ආණ්ඩුව ගැටුම් ආරවුල්, අර්බුද හවුලේ කොටාගෙනම තමයි හදාගත්තෙ. මේ ආණ්ඩුව ආරම්භ කරද්දිම දන්නවා මෙවැනි ගැටුම් සිදුවෙනවා කියලා. නමුත් ඔවුන්ට තිබුණේ ඇමැතිකම් වැඩිකරගැනීමේ චේතනාව විතරයි. ඒ නිසා ඇමැතිකමට අවශ්‍ය සියලු දේ ලැබෙනවා නම් රටට හෙණ ගැහුවත් කමක් නෑ කියලා ඉන්නත් ඒ අය සූදානම්.

3. රටේ ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණා එජාපය ආවොත් සහන ලැබෙයි, බඩු මිල අඩුවෙයි කියලා. නමුත් දැන් ඒක පුස්සක් බවට පත්වෙලා තියෙනවා. මාසෙන් මාසෙ මිල සූත්‍රයක් හදාගෙන තෙල් මිල වැඩිකරනවා කිසිදු හේතුවක් නැතුව. දැන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවෙලා තෙල් මිල වැඩිවෙන්නෙ නැහැ. ඒනිසා අපි අහන්න කැමතියි මේ මිල සූත්‍රය හැදුවේ කවුද, මොකටද මේ මිල සූත්‍රය තියෙන්නෙ කියලා. මේ ආණ්ඩුවටත් රටේ ආර්ථිකය හදන්න සැලැස්මක් නැති බව තමයි මෙයින් පෙනීයන්නෙ.

4. ශ්‍රීලනිපයට නම් එයට අර්බුදයක් තියෙන්න හේතුවක් නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉඳලා මෛත්‍රීපාල මහත්තයා දක්වා එජාපයට මේ ගැන අර්බුදයක් තියෙන්න විදියක් නෑ. රනිල් මහත්තයා පක්ෂ නායකයා විදියට සමුළු දෙකක තීන්දුවක් අරගෙන තියෙනවා විධායකය අහෝසි කරනවා කියලා. වමේ පක්ෂවලට අර්බුදයක් තියෙන්න විදියකුත් නැහැ ඒ ගැන. ඒ නිසා කාගෙවත් වලිගේ එල්ලිලා පාර්ලිමේන්තුවට එන පක්ෂවල අය කියන කතා නෙවෙයි අපිට වැදගත් වෙන්නෙ. රටේ ප්‍රධාන පක්ෂ ඔවුන්ගේ ස්ථාවරව ක්‍රියාත්මක කරනවා නම් එච්චර දෙගිඩියාවෙන් ඉන්න වුවමනාවක් නැහැ.

ආණ්ඩුව ගෙදර යවන පණිවුඩය දීලයි තියෙන්නෙ
ජාතික නිදහස් පෙරමුණු දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර

1. පාර්ලිමේන්තුවේ බලය අස්ථාවර වුවහොත්, පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය නැතුව ගියොත් පාර්ලිමේන්තුව අක්‍රීය වෙනවා. ඒ පාර්ලිමේන්තුව අක්‍රීය වූ තත්ත්වයක් ඇතුළේ රට සම්පූර්ණ අක්‍රීය තත්ත්වයකට පත්විය හැකියි. ඒ නිසා ජනාධිපතිවරයා කෙසේ කොහොම කිව්වත්  රටේ ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම් වෙනවා කියන එක පහුගිය ජනබල උද්ඝෝෂණයෙන් පෙන්නුවා. අපි දන්නවා ජනාධිපතිවරණය තියන්න ඕන වෙලාව. ඒ නිසා මේ යන තත්ත්වය එක්ක මොන කතා කිව්වත් එතුමාට සිදුවෙනවා කඩිනම් ජනාධිපතිවරණයකට එන්න.

2. මතගැටුම් පූර්ණව උත්සන්න වෙලා තියෙනවා. අපි දැක්කා ලංකාවේ හිටපු බුද්ධි අංශ නිලධාරීන් වගයක් ඉතාම පැහැදිලි හඬපට සහිතව. මේ රටේ පාතාලය හරහා ජනාධිපතිවරයා හෝ අනාගත නායකත්වයට එන්න නියමිත, ඔවුන් විශ්වාස කරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතයට තර්ජනයක් වන යම් දේශපාලන කුමන්ත්‍රණයක් රටට හෙළිවෙලා තියෙන මොහොතක්. ඒක අතිශය භයානක තත්ත්වයක්. ඒ නිසා ඒකට වහාම පරීක්ෂණයක් කළ යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුවේ ඇතුළේ තියෙන ගැටුම් උග්‍ර අතකට පත්වීම වළක්වන්න බැහැ.

3. ආණ්ඩුවට උත්තරයක් නැහැ. දැන් ඩොලර් එක 165 දක්වා වර්ධනය වෙලා. එය 170ක් දක්වා වර්ධනය වුණත් කරන්න දෙයක් නැහැ. මිල සූත්‍ර දාගෙන තෙල් මිල පාලනය කරනවා කිව්වට තවම එහෙම තත්ත්වයක් දකින්න නැහැ. ජනතාව කොහොමත් මේ මගින් පීඩාවට පත්වෙනවා. ඒක වළක්වන්න බැහැ. මේ ආණ්ඩුවට ජනතාවට දෙන්න උත්තරයක් නැහැ දැන්.

4. ඒකාබද්ධ විපක්ෂය පැහැදිලිවම එක තීන්දුවක ඉන්නවා මේ 20 සංශෝධනයට විරුද්ධ පක්ෂයක් හැටියට. ඒ සටනට දැන් ජාතික නිදහස් පෙරමුණ අවතීර්ණ වෙලා ඉවරයි. අපි ගමින් ගමට ගිහින් ජනතාව දැනුවත් කිරීමේ සටනට නායකත්වය දෙමින් ඉන්නවා.

විපක්ෂයට ඕනෑ ආණ්ඩුව කචල් කරන්න
සමස්ත ලංකා ජනතා කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් ඉෂාක් රහුමන්

1. ජනාධිපතිවරණය නියම වෙලාවට ජනාධිපතිවරයා විසින් පවත්වයි. ඒ පිළිබඳ සැකයක් ඇතිකරගන්න ඕන නැහැ. අනික ඉතින් ඒ සඳහා සූදානම් වෙන්න ඕන පක්ෂයකට අයිතියක් තියෙනවනෙ. ඒ ගැන බිය විය යුතු නැහැ.

2. නැහැ. එහෙම උත්සන්න වෙන්න තරම් මතගැටුමක් යහපාලන ආණ්ඩුව ඇතුළේ නැහැ. මේක ඉතාම සාමකාමීව යනවා. විපක්ෂයේ ඉන්න ඇතැම් අයට ඕනවෙලා තියෙනවා මේක කචල් ගොඩක් කරන්න. නමුත් එහෙම ගැටුමක් ඇතිකරන්න ඔවුන්ට බැරිවෙලා තියෙනවා. ඒ නිසා ඔවුන් තමයි මේ චෝදනාව කරන්නෙ.

3. තෙල් මිල පාලනය කරන්න මිල සූත්‍රයක් වර්තමාන මුදල් අමාත්‍යවරයා විසින් හඳුන්වා දුන්නා. ඒ අනුව ඉදිරියේදී ලෝක වෙළෙඳපොළෙහි මිල ඉහළ පහළ යන අවස්ථාව අනුව ලංකාවෙත් තෙල් මිල පාලනයක් සිදුවෙයි. තවමත් අපි තෙල් ලබාදෙන්නෙ පහුගිය ආණ්ඩුව ලබාදුන්නට අඩුවෙන්.

4. පැහැදිලිවම මෙහි අර්බුදයක් තියෙනවා කියලා අපි හිතනවා.

ඡන්ද පොරොන්දු ඉටුකරනවා
ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රී කාවින්දිරන් කෝඩිස්වරන්

1. මේ ආණ්ඩුව බලයට ආවේ නිසි කලට මැතිවරණවලට යනවා කියලා. ඒ පොරොන්දු ඉටුකරමින් පවතිනවා රජය මේ වෙනකොට ජනාධිපතිවරණය කලින් නොතියා නියමිත වෙලාවට තියනවා කියන්නෙ.

2. නැහැ. අපේ යහපාලන ආණ්ඩුවේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. යම් අයෙක් උත්සාහ කරනවා නම් ප්‍රශ්න ඇතිකරන්න ඒක කවදාවත් වෙන්නෙ නැති වැඩක්.

3. පහුගිය රජය කාලයේ තෙල් මිල ඉහළ ඉහළ ගිය ආකාරය ගැන කවුරුත් දන්නවා. නමුත් මේ ආණ්ඩුව යටතේ යම් මිල පාලනයක් යටතේ තමයි තෙල් ලබාදෙන්නෙ. ඒ නිසා යම් මිල ඉහළ පහළ යාමක් සිදුවෙන්න පුළුවන්.

4. ඒ ගැන විස්තරයක් කියන්න බැහැ.