2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

සීයයි කිව්වට දෙන්නෙ පන්සීයට

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 91

බෙල්ට් එක සීයයි, බෙල්ට් එක සීයයි... ලාබ කළා හැමතැනම නෑ හැමදාම නෑ... අපි ළඟ විතරයි, බෙල්ට් එක සීයයි එකක් සීයයි... කඩේ ගාණට වඩා අඩුවෙන් කඩේ ගාණට වඩා අඩුවෙන්... බෙල්ට් එක සීයයි, බෙල්ට් එක සීයයි...

සීයයි සීයයි කියලා තමයි විකුණන්නේ. ඒ වුණාට මාසයක් දාන්න බැහැ. අනික සීය නෙවෙයිනේ ඇත්ත ගාණ කියන්න නිකම් මිනිස්සු රවට්ටන්නේ නැතුව. සීයයි සීයයි කියලා කෑගැහුවට හිල් විදින්න වෙනම ගාණක් ගන්නවනේ. ඒ ගාණ කියන්න නිකං මිනිස්සු අමාරැවේ දාන්නේ නැතුව.

උදේ පාන්දර ඇවිල්ලා නිකං මස්තේ දාන්න එපා මහත්තයා. මහත්තයා අපෙන් බඩු අරං නෑනේ. 

ඔයාලගෙන් තමයි මම අරං ගියේ. ඉක්මනට කැඩුණොත් එකක් දෙන්නම් කියලා කිව්වේ. නිකං බොරැ එපා. මිනිස්සු රවට්ටන්න එපා බාල බඩු විකුණලා.

මහත්තයා මේ වාත නොවී යනවද මෙතනින් මහ පාන්දර බිස්නස් කන්නේ නැතුව. මෙතන අපි ගොඩක් කල් ඉඳන් මේ බිස්නස් එක කරන්නේ මහත්තයා. වෙන තැනකින් බඩු අරං අපිට වාත වෙන්න එපා.

පිටකොටුව කෙලින් වීදියෙහි රතු පල්ලිය අසල වීදි නාට්‍යයක් බඳු මෙම සිදුවීම ලියුම්කරැගේ ඇස ගැටුණේ අහම්බයෙනි.

මුව අයා එම සිදුවීම දෙස බලාසිටි මාර්ගයේ ගමන් ගත් සියලු දෙනාට එම ස්ථානයෙන් නික්ම යන්නට වුණේ මහා මාර්ගයේ ජංගම සේවයේ නියුතු පොලිස් නිලධාරියකු ඊට මැදිහත්වීම නිසාවෙනි.

මහා මාර්ගය දෙපස බොහෝ පදික වේදිකාවල විකිණීමට තබා ඇති මෙම බෙල්ට් මෙතරම් අඩු මිලට විකිණීම පිළිබඳව ලියුම්කරුටද සොයා බැලීමට සිතුණි. 

රතු පල්ලිය අසල සිදුවූ සිදුවීම හිතේ තබාගෙන ලියුම්කරැ පිටකොටුව පුරාවට සැරිසැරුවේ මෙම කතාවට අදාළ විස්තර ටිකක් සොයාගැනීමේ අරමුණෙනි. කෙලින් වීදිය දිගේ රතු පල්ලිය පසුකරමින් මඳක් දුර පැමිණෙන විට පාර අයිනේ ලෑලි තට්ටුවක වෙළෙදාමේ යෙදී සිටි පුද්ගලයකු සමඟ කතාවට එක්වුණේ ඒ සඳහාය. 

කොහොමද මේ බෙල්ට්වල ගණන් එහෙම?

රුපියල් සීයේ ඉඳන් පන්සීය වෙනකම් තියනවා. හැබැයි ඉතින් බෙල්ට් එක සීයයි කියලා තමයි විකුණන්නේ. 

ඒ මොකද ඒ එහෙම කරන්නේ?

නැත්නම් එකපාර ලොකු ගාණක් කිව්වම මිනිස්සු එන්නේ නැහැනේ. ඒ නිසා තමයි ඉතින් හැමෝම ඔය විදියට කෑගහලා විකුණන්නේ.

මෙලෙස පදික වේදිකාවේ වෙළෙඳාමේ යෙදී සිටි පුද්ගලයා සමඟ හිතවත්කමක් ගොඩනගාගත් ලියුම්කරු මෙම මිලට බෙල්ට් විකිණීමේ කතාන්දරය ඔහුගෙන් විමසුවේය. ඔහු සිය අනන්‍යතාවය හෙළිනොකිරීමේ පොරොන්දුව මත එම කතාවට අදාළ අටුවාටීකා රැසක් ලියුම්කරැ සමඟ කියා දැම්මේය.

කොහෙන්ද මේ බඩු ගේන්නේ?

මෙහෙමයි. මේවා ගොඩක් ඩැමේජ් බඩු. හැමතැනින්ම ගේනවා. රටින් තමයි ගොඩක් ගේන්නේ. එහෙම ඩැමේජ් බඩු මේ ලංකාවට ඕන තරම් එනවා බෙල්ට් විතරක් නෙවෙයි. ඒ ආවම අපිට මේ බජාර් එකෙන් ලයින් එක එනවා. මේ ඔක්කොම තොග මිලට සෙට්කර ගන්නවා. 

එතකොට මොකක්ද මේ බෙල්ට් එක සීයට දීලා හිල් විදින්න වෙනම ගාණක් ගන්නවා කියන කතාව?

ඒක මෙහෙමනේ. එදාවේල ටුවර් කරගෙන ඉන්න සෙට් එක තමයි එහෙම කරන්නේ. ඒ අය කීයක් හරි හොයාගෙන ඔය විදියට සීයයි කියලා විකුණනවා. ගන්න ගියාම හිල්වලට තව ගාණක් ඉල්ලනවා... හැබැයි අපි ළඟ එහෙම නැහැ. සීය නම් සීයයි. හැබැයි නෝ ගැරන්ටි නෝ ‍වොරන්ටි.

ඒ කිව්වේ?

සීයට ඉතින් ඔරිජිනල් ඒවම දෙන්න බැහැනේ. අනික පන්සීයක් දීලා ගත්ත කියලත් ඔරිජිනල් ඒවා නෙවෙයි දෙන්නේ. මේවා කොහොමත් ගොඩක් කල් පාවිච්චි කරන්න බැහැ. 

මේව ගන්න මිනිස්සු එනවද?

මහත්තයා හිතන්නේ බිස්නස් නැත්නම් අපේ අය තට්ටු දාගෙන මේ බිස්නස් එක කරයි කියලද? කොහොමත් ලාබ බඩුවක් තියනව නම් මිනිස්සු එතනට ඇදෙනවා.

ඒ වුණාට බාල බඩු මිනිස්සුන්ට අන්දලා දෙන එක හරි මදියි නේද?

මෙහෙමනේ. අපි කරන්නේ බිස්නස් එකක්. වෙන මොනවත් නෙවෙයි. ඒ නිසා පින් පව් තෝරලා බිස්නස් කළොත් හැමදාම ඉන්න වෙන්නේ පාඩු කාගෙන තමයි. මේක අපි කාලයක් කරගෙන  යන එක. හැමෝම බිස්නස් වැටිලා කිව්වට අපිට බිස්නස් වැටිලා නැහැ. මිනිස්සු අන්දනවා නෙවේ එයාලගේ ඉල්ලුමට අපි සැපයුම දෙනවා එච්චරයි.

ඔහු පවසන්නේ සැබෑවකි. ලාබ බඩු ඇති තැනට බොහෝ පිරිස් ඇදෙනා අයුරු අපද දැක ඇත. නමුත් එම ස්ථානවලින් බඩු ගන්නා බොහෝ අයම නැවතත් එම පදික වෙළෙඳාමට චෝදනා කරන්නේ බාල බඩු විකුණනවා කියාය. 

ලාබයට විකිණීමට තිබූ පමණින් සෑම දෙයක්ම හොඳ බඩුවක් වන්නේ නැත. සැමවිටම මිනිසුන් මොවුන්ගේ සටකපටකම්වලට අසුවන්නේ ජනතාව අතර තිබෙන නොදැනුවත්කම නිසාය. කොටුවේ ඇවිදිනා සියලු දෙනා යමක් ගැනීමට පෙර දෙවරක් නොව තෙවරක් කල්පනා කළ යුත්තේ එබැවිනි.

 හසිත් අංජන