2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

පරණ ඩයල් - (කවි කොළකාරයා)

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 231

සකළ සිරින් පිරි සිරි ලංකාවේ දකුණු පළාතේ අති            සොබනා
අපරැක්කේ සිටි රූප සුන්දරී මිහිබට දෙවඟන නම             සොබනා
අල්ලපු ගමේම ගැටවරයෙක් විය නහයට අහන්නෙ නැති   හපනා
හඳ ඇති දවසක මහ රෑ දොළහට පැනලා ගියේ හපනා       සොබනා

දහයයි කොළේ... සත දහයයි කොළේ. ගන්න ගන්න දහයයි කොළේ...

පැනලා ගිහිල්ලා ජෝඩුව ගොයියෝ හරියට අවුරුද්දයි       ගෙවුණේ
කරත්ත පාරේ බෝක්කු කට ළඟ ගැබිණි කතගෙ සිරුරකි    තිබුණේ
පෙති පෙති කපලා මරා දමා ඇත දැකපු අයගෙ හිස අත්      ගැහුණේ
අහන්න දුක දෙයි බලන්න පුදුමයි අයියෝ සොබනිට මොකද  වුණේ

දහයයි කොළේ... දහයයි. මේ ඇඟ ලොමුඩැහැ ගැන්වෙන පුවත ඇස්වලට කඳුළු ගලන විදිහට කවි හතළිහකින් ලියා ඇත්තේ හක්මන සිරිපාල කවියායි. මිනීමරුවාට වෙච්ච දේ දැනගන්න ඉතුරු ටික කියවන්න හා! සත දහයයි කොළේ...

මේ ඒ කාලේ කවි කොළයක් විකුණපු හැටියි. වැඩියෙන්ම කවි කොළ ප්‍රචාරය වුණේ ගමේ සති පොළේ. එහෙමත් නැතිනම් බස් පොළේ. ඉස්පිටිතාල ගේට්ටුව අරින තුරු එකතුවෙලා හිටිය සෙනඟටත් කවි කොළ අලෙවි කළා. මේ කවි ගායනා කළේ හරිම දුක්මුසු කටහඬකින් බොහොම ළයාන්විත තාලයකටයි. කවි කොළකාරයා මුළු කවි කොළේම එක හුස්මට කියව ගෙන ගියේ නැහැ. මුලින් අගින් කවියක් දෙකක් විතරයි කිව්වේ. ඒවා කිව්වෙ අසන්නන්ට කුතුහලය ඇවිස්සෙන විදියටයි. ඉතින් ඒ දුක්මුසු හඬින් ගායනා කරපු කවි දෙක තුනට වසීවෙච්ච අය සිද්ධියේ ඉතුරු ටික දැනගන්න ශත දහයක් දීලා කවි කොළයක් ගන්න ලෝබ වුණේ නැහැ.

හදිසි මිනී මැරිල්ලක්, එහෙමත් නැතිනම් හොරකමක්, නැතිනම් ආදර කතාවක් වාගේ ජනතාව කුතුහලයට පත්කරන්න පුළුවන් සිද්ධියක් අරගෙන කවි කොළයක් රචනා කළේ ඒකෙ උණුසුම මැකීයන්නටත් කලින්, ඒ කාලේ කවි කොළ රචනා කරන්ඩ විතරක් නම් දරපු කවියො ගම්වල හිටියා. ඕනෑම කෙන්දක් කන්දක් කරලා අසා සිටින අයගේ හදවත් කම්පාවෙන විදියට කවි කොළයක් රචනා කරන්න ඒ අයට අපහසු වුණේ නැහැ. අද වාගේ පුවත්පත්වල ගමේ සිද්ධවෙන අපරාධ ඒ කාලේ වාර්තා වුණේ නැහැ. අද වාගේ පුවත්පත්වල ගමේ සිද්ධ වෙන අපරාධ ඒකාලේ වාර්තා වුණේ නැහැ. එහෙම පත්තරවලට ගියේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ පත්තර කියෝපු අයත් අඩුයි. වැඩි කොටසක් අපරාධ ජනතාව අතරට නොගිහිං ගමේම වැළලිලා ගියා. අන්න ඒවා වළෙන් ගොඩට අරගෙන පාඨකයාට දෙන්නැයි කවි කොළකාරයා කටයුතු කළේ. ඇත්තටම ඒක මහජන සේවයක් වගේම එයාගේ බිස්නස් එකක්. කවි කොළවල රසවින්දේ නූගත් ගැමියන් කියලයි පෙනෙන්නට තිබ්බේ.

මට මතකයි අපේ ගමේ ඒකාලේ කවි කොළ රචනා කරපු කවියෙක් හිටියා සේතං අයියා කියලා. මිනිහට රටේ එහා කොණේ සිද්ධවෙච්ච සිද්ධියක් වාර්තා වුණ ගමන් මිනිහා වැඩේට බහිනවා. පුංචි සිද්ධියක් ආරලු බූරලු දාලා ලොකු කරලා එක් රැයකින් කවි තිහ හතළිහක කවි කොළයක් රචනා කරන්න මිනිහා දස්සයෙක් වුණා. සමහර කවි කොළ වෙළෙන්දෝ එක එක සිද්ධි මිනිහා ගාවට අරගෙන ඇවිත් ඒකට කවි කොළයක් රචනා කර ගත්තා. එහෙම නැත්නම් සමහර මුද්‍රණාල අයිතිකාරයො කවි කොළ ගහලා විකුණන බිස්නස් එකෙන් පෝසත්තු වුණා. අද කවි පොතකින් පන්සීයයක් විකුණා ගන්න අමාරු වුණාට ඒ කාලේ කවි කොළේකින් දාහක් දෙදහක් අච්චු ගහලා විකුණ ගන්න අමාරු වුණේ නැහැ.

එදා අද වගේ මුද්‍රණ පහසුකම් නැති හින්දා අච්චු කන්තෝරුවෙ අකුරු අමුණන මැෂින් එකේ තමා කවි කොළ ගැහුවේ. ඒ කාලේ වර්ණ මුද්‍රණ නැති හින්දා කළු සුදු කවි කොළ තමා තිබුණේ. ගොඩාක් පාවිච්චි කරලා අකුරු ගෙවිලා තිබිච්ච හින්දා සමහර කවි කොළවල අච්චු අකුරු පැහැදිලිව පෙනුණේ නැහැ. ඒ වුණත් අමාරුවෙන් වගේ කියවාගන්න පුළුවන්. කවි කොළේ තිබුණු පින්තූරයත් කළු සුදු එකක්. ඒකත් එච්චර පැහැදිලි නැහැ.

මේ කවිකොළවලට මිනිස්සු ඇදගන්න පුළුවන් “හෙඩ්ලයිං” තමා දාලා තිබ්බේ. “රටම කම්පා කළ බිහිසුණු මිනීමැරුම, ඇඟේ ලේ වතුර කළ සහගහන අපරාධය, වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් වෙන්න එපා. මේ විදියට “හෙඩ් ලයිං” එක කියවපු ගමන් තමුන් බස් එකේ යන්ඩ තියාගෙන හිටපු සත පහ දහය වියදම් කරලා කවි කොළයක් අරගෙන ගෙදරට පයිං ගිය මිනිස්සු ඒකාලේ හිටියා. කවි කොළේ සල්ලි දීලා අරගෙන යන බොහෝම දෙනෙක් ඒවා කියවන්ඩ අකුරු සාත්තරේ දැනං හිටියේ නැහැ. ඒක සල්ලිවලට ගන්නේ කවි කොළකාරයා කියෝපු විදියට පපුව කම්පා වුණ හින්දයි. ඒ හින්දා ගෙදරට අරං ගිය කවිකොළේ ගෙදර හිටපු අකුරු දන්න කාට හරි කියෝලා කියවා ගෙන රසවිඳපු එකයි ගෙදර වැඩි දෙනා කළේ. කවි කොළේ කොච්චර රහට ලියලා තියෙනවද කිව්වොත් අපරාධ වෙච්ච තැන හිටිය වගේ සිද්ධිය හිතේ මැවෙන විදියට රචනා කරන්න කවි කොළ රචකයා දස්සවෙලා හිටියා.

කවි කොළේ කියෝපු තැනක් තමයි එදා ගමේ කෝපි කඩේ. ගමේ කෝපි කඩේට උදේට එකතුවෙච්ච අයට එතැනදී කවි කොළයක් කියවන්ඩ ගමේ කවුරු හරි අකුරු සාත්තරේ දන්න මහදැනමුත්තෙක් ඉදිරිපත් වුණා. එයා හයියෙන් තාලෙට කවි කොළේ කියෝන කොට කඩේට කෝපි බොන්ඩ ආපු බොහොම දෙනා හකුරු කෑල්ල හපන්න අමතක කරගෙන කට ඇරගෙන කවි කොළේ රසවින්ඳා. මෙහෙම කවි කොළ කියෝන කොට ඒක අහන්නත් එක්ක වැඩිදෙනා කඩේට එකතු වෙච්ච හින්දා මුදලාලිගේ ආදායමත් සරු වුණා.

ඒ කාලේ කවි කොළේකට මාතෘකාවක් වෙච්චි හොඳම සිද්ධිය තමයි හාරලස්සේ මංකොල්ලෙ. ජෝන් සිල්වා කැළේට කුදලා ගෙන ගිහිල්ල මූණට ගෑස් තොප්පියක් දමලා මරපු සිද්ධිය හරි අගේට කවි කොළේ විස්තර කරලා තිබුණා. ඒ කවි කොළේ තරම් විකිණිච්ච කවි කොළයක් කවදාවත් තිබ්බේ නැහැ කියලයි කවුරුත් කිව්වේ.

වම් අත කණේ කවි කොළ ටික දකුණු     අත
හක්කේ බුලත් විට හපවී ඉවර               නැත
නෙත්සැර වරින් වර යවමින් සෙනඟ     වෙත
පාදා ගිරිය හඬගා කවි කියනු                 ඇත

 

මේ එදා කොළඹ යුගයේ කවියෙක් කවි කොළකාරයා දුටු හැටියි.

යසවර්ධන