2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා

දරු දෙදෙනාත් මරාගෙන මැරුණු බේබදු තාත්තා

 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

කොළඹ සිට මඩකලපුව බලා දිවෙන රාත්‍රී තැපැල් දුම්රිය ඉකුත් සඳුදා (10) රාත්‍රී 7.10ට පමණ වැලිකන්ද දුම්රිය ස්ථානය පසුකර මඳ දුරක් ගොස් එක්වරම විශාල ශබ්දයක් නංවමින් නතර විය. ඒ හඬ ඇසුණු වැලිකන්ද, බෝ අත්ත ප්‍රදේශයේ බොහෝ දෙනකු එදෙසට දිව ආවේ කෝච්චිය මැදිරි කිහිපයක් සමඟ පීලි පනින්නට ඇතිය යන සැකයක් ද සමඟිනි. එහෙත් එහි පැමිණි පිරිසට තමන් අත වූ විදුලි පන්දම් එළියෙන් දැකගත හැකි වූයේ දුම්රියේ ගැටී බරපතළ තුවාල සහිතව ඒ වනවිටත් මෙෙලාව හැර ගොස් සිටි දෙදෙනකු සහ දුම්රිය මාර්ගය අසල වැටී සිටි කුඩා දරුවෙකි. එකෙණෙහිම ගම්වැසියෝ දරුවා වැලිකන්ද රෝහලට රැගෙන යාමට පියවර ගත්හ. මියගිය දෙදෙනාගේ මළ සිරුරු දුම්රිය මඟින් මනම්පිටිය රෝහලට රැගෙන එනු ලැබීය. ඉන් මඳ වේලාවකට පසුව රෝහල් ගත කළ දරුවාගේ ද අවසන් හුස්ම පොද වාතලයට මුසුවී තිබිණි. මෙය අහඹු අනතුරක් නොව බේබදු පියකු තම ලෙයින් උපන් දරුවන් දෙදෙනකු ද සමඟ ධාවනය වෙමින් තිබූ දුම්රියට පැන සිදු කළ මරාගෙන මැරෙන අධම පාපතර ක්‍රියාවක් බව පසුව හෙළිදරව් විය.

සිද්ධියෙන් මද වේලාවකට පසුව වැලිකන්ද පොලීසියේ නිලධාරීන් එහි පැමිණ සිදු කළ විමර්ශනවලදී හෙළි වුණේ මිය ගොස් ඇත්තේ වැලිකන්ද, බෝඅත්ත සුන්දර දේවී මහා ගම්මානයේ පදිංචිව සිටි 38 හැවිරිදි තිදරු පියකු වූ කදිරවේලන් විජේසූරිය සහ ඔහුගේ දරුවන් දෙදෙනකු වූ විජේසූරියගේ විදත් සන්සිඳ (4 1/2) සහ විජේසූරියගේ සංජය සඳරුවන් (12) යන තිදෙනා බවයි.

අදින් වසර 30කට පමණ ඉහතදී මාඳුරු ඔය කඩිනම් මහවැලි ව්‍යාපාරය  යටතේ උපන් බෝ අත්ත මහවැලි ගම්මානය මඩකලපුව - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද නගරයට නුදුරින් පිහිටා තිබේ. බෝ අත්ත පමණක් නොව වැලිකන්දේ තවත් බොහෝ ගම්මාන ඇරඹි දා පටන් දිගු කාලයක් තිස්සේ එකල පැවැති රුදුරු කොටි ත්‍රස්තවාදයෙන් දැඩි ලෙස බැට කෑ ගම් ලෙස හැඳින්වීම ද නිවැරදිය.

මේ වනවිට පවුල් 230කට වැඩි පුද්ගලයෝ 750කට අධික පිරිසක් ජීවත් වන බෝ අත්ත ගම්මානයේ අනු පවුල් නැතහොත් දෙවැනි තුන්වැනි පරම්පරාවේ සාමාජික - සාමාජිකාවන් වෙනුවෙන් ජාතික නිවාස අධිකාරිය මඟින් ඉදිකරන ලද ගම්මානය හඳුන්වනුයේ සුන්දර දේවී මහා ගම්මානය යනුවෙනි. ඒ ගම්මානයේ ජීවත් වූ පවුල් 29ට කදිරවේලන් විජේසූරිය ද අයත්ය.

මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ වෙනත් එදිනෙදා සුළු රැකියාවල් කරන මෙහි බොහෝ දෙනකුට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැත.

කදිරවේලන් විජේසූරිය පවුලක ජීවන බර ගෙන යාම සඳහා වැඩි වශයෙන් ක‍ළේ ධීවර රැකියාවයි. ඔහුගේ බිරිඳ සැමියාගේ අත් උදව්කාරියක වූවාය. 33 හැවිරිදි කදිරවේලන් ඉන්ද්‍රා කුමාරි නම් ඕ කලක් පිරිසිදු කිරීම් ආයතනයක කම්කරු ලෙස පොළොන්නරුවේ මහා රෝහලේ ද කටයුතු කර තිබුණි. බේබද්දකු වූ තම සැමියාගේ ගුටි බැට ඉවසන්නනට බැරිව තමා දැනට මාස 05කට පමණ ඉහතදී කම්කරු රැකියාවක් සඳහා කොළඹට ගොස් සිටින බව පොළොන්නරුව මහ රෝහලේ පැවැති සිය සැමියාගේ සහ දරු දෙදෙනාගේ හදිසි මරණ සම්බන්ධයෙන් පැවැති මරණ පරීක්ෂණයේදී ඇය කියා සිටියාය.

වැලිකන්ද කොට්ඨාසය බාර හදිසි මරණ පරීක්ෂක, සාම විනිසුරු විමලරත්න යාපා බණ්ඩාර මහතා ඉදිරියේ පැවැති මේ මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ඇය මෙසේ ද කීවාය.

“මගේ සැමියා අරක්කු බීමට ඉතාමත් ළැදි අයෙක්. අපි විවාහ වෙලා අවුරුදු 18ක් වෙනවා. අපිට දරුවන් තුන් දෙනකු ඉන්නවා. වැඩිමහල් පිරිමි දරුවාට වයස අවුරුදු 17යි. එයා මාත් සමඟ කොළඹ කම්කරු රැකියාවක් කරනවා. අනෙක් බාල පිරිමි දරුවන් දෙදෙනායි සැමියා සමඟ මේ මියගොස් සිටින්නේ. මගේ සැමියා රැකියාව හැටියට කළේ ධීවර රැකියාව. හැමදාම බීලා ඇවිල්ලා මාත් එක්ක රණ්ඩු වෙනවා. මට ගහනවා. මම කුලී වැඩ කරලා ගන්න සල්ලිවලින් අරක්කු බොනවා.

අන්තිමේ ගුටි බැට හිරිහැර ඉවසන්න බැරුව මම ලොකු පුතත් එක්ක කොළඹ කම්කරු රස්සාවකට ගියා දැනට මාස 05කට කලින්. ඒ මාස 05 තුළම දරුවන්ගේ සහ සැමියාගේ වියදමට රුපියල් 35000ක් සල්ලි එව්වා. මම විවේකයක් ලැබෙන හැම වෙලාවෙම දරුවෝ දෙන්නගේත් සැමියාගේත් තොරතුරු විමසනවා දුරකථනයෙන්. සැමියා කතා කරන හැම වෙලාවෙම කියන්නේ රස්සාව දාලා ගෙදර වරෙන් කියලා. ගෙදර ඇවිත් මට ආයෙත් ගුටි කන්න බැරි නිසා ඒ ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. මට පසුව දැනගන්න ලැබුණා මේ සිද්ධිය වූ දවසේත් හොඳටම අරක්කු බීලා මේ දේ කරගෙන තිබෙන්නේ කියලා.”

බෝ අත්ත දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටු මුරකරු වන පතිරණ මුදියන්සේලාගේ ගුණරත්න බණ්ඩා (56) මහතා මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් තමන් එදින සියැසින් දුටු දේ මෙසේ කීය.

“මම පදිංචි වී සිටින්නේත් බෝ අත්ත ගම්මානයේයි. මේ මියගොස් සිටින අය මා ඉතා හොඳින් හඳුනනවා. අපි ඔහුට කියන්නේ ජේන් මල්ලි කියලයි. ගමේ බොහොම දෙනෙක් දන්නෙත් එහෙමයි. බෝ අත්ත දුම්රිය හරස් පාරේ ගේට්ටු මුරකරු හැටියට අවුරුදු 04ක පමණ කාලයක් රැකියාව කරනවා. මේ සිද්ධිය වූ දිනයේ 10 වැනිදා හවස 2.00ට විතර මා සුපුරුදු ලෙස මුර කුටියට ආවා. එහි රුඳී සිටින විට රාත්‍රී 7.00ට විතර මඩකලපුවේ ඉඳලා කොළඹ යන රාත්‍රී තැපැල් දුම්රිය වැලිකන්ද පැත්තේ සිට පැමිණියා. කෝච්චියේ ප්‍රධාන විදුලි ලාම්පු එළියෙන් මම දැක්කා මා සිටි තැන ඉඳලා මීටර් 120ක් විතර දුරින් කෙනෙක් දුම්රිය මාර්ගය අසල සිටිනවා. මා හිතුවා ඒ පුද්ගලයා අසල තිබෙන කඩේට ගිහිල්ලා එන කෙනෙක් කියලා. එතැනින් කට්ටිය නිතරම කඩේට යනවා.

කෝච්චිය මීටර් 20ක් විතර ළඟාවෙනකොට ඒ පුද්ගලයා දුම්රිය මාර්ගය මැදට පනිනවා මම දැක්කා. එවිට පනින්න එපා පනින්න එපා කියලා මම කෑගැහුවා. ඒ සමඟම ඔහු කෝචිචියේ හැප්පුණා. එවේලේ මම දැනගෙන හිටියේ නෑ මේ අය කියලා. ඒ වෙලාවේ මේ මියගිය අයත් ඔහුගේ දරුවන් දෙදෙනාත් දුම්රයේ හැපී මියගොස් සිටියා. මේ පුද්ගලයා නිතරම මත්පැන් බොන අයෙක්. මේ සිද්ධිය වූ දිනයේ දහවල් කාලයේත් බීලා සිටි බව මට පසුව දැනගන්න ලැබුණා. බීමත්ව සිටියදී තමයි මේ අනතුර සිදුකර ගන්නට ඇත්තේ කියා මා විශ්වාස කරනවා.”

ඔහුගේ බේබදුකම එමඟින් ඇති කරගත් සිහි විකල්වීම තුළ ධාවනය වෙමින් තිබූ දුම්රියක පෙර මඟට පැන සියදිවි තොර කර ගැනීමට ආසන්න හේතුවක් විය හැක.
එහෙත් කිසිත් හරි හැටි නොදන්නා අහිංකල සා පැටවුන් බඳු දරු පැටවුන් දෙදෙනාත් මේ අන්දමට මරු කටට රුගෙන යාම අධම පාපතර ක්‍රියාවක් ලෙසට බොහෝ දෙනා හඳුන්වනු අසන්නට ලැබිණි. ඉකුත් බදාදා (12) පස්වරැවේ වැලිකන්ද බෝ අත්ත ගම්මානයේ පිහිටි පොදු සුසාන භූමියේදී ඒ පියාගේත් දරුවන් දෙදෙනාගේත් නිසල සිරුරු මිහිදන් කෙරුණේ එකම වළකය.

ජන සමාජය තුළ පිපී සුවඳවත් වන්නට තිබූ වනපස මල් කැකුළු දෙකක් බඳු වූ අකාලයේ මිලිනව ගිය ඒ දරුවන් දෙදෙනා වෙනුවෙන් බොහෝ දෙනා මළගමේදී දුක් සුසුම් හෙළනු දක්නට හැකි විය. 

කරුණාරත්න ගමගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00