2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

අයි.එස්. ත්‍රස්තයන්ට උඩගෙඩි දුන් ලංකාවේ නීසාම්ඩීන්

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 74

අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ බවට සැක කෙරෙන ශ‍්‍රී ලාංකික තරුණයකු ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවට ද ගාඩියන් වෙබ් අඩවිය වාර්තා කළ පුවත මෙරට මාධ්‍ය මඟින්ද ප‍්‍රසිද්ධ කළේය. ඕස්ට්‍රේලියාවේ ත‍්‍රස්ත විරෝධී පොලිස් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් ඉකුත් 30 වෙනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ මොහමඩ් තමේර් නිලාර් නිසාම්ඩීන් නමැති 23 හැවිරිදි තරුණයෙකි. ඔහුට එල්ලවූ චෝදනාව ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්ගේ ජීවිතවලට තර්ජනයක් කළ බවට වූ චෝදනාවය.

අපේ ආරක්ෂක බුද්ධි අංශද මේ තරුණයාගේ වතගොත සොයන්නට සමත්වන්නේ ඔහු ශ්‍රී ලාංකිකයෙකු නිසාය. මේ තරැණයා ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප‍්‍රබල දේශපාලඥයකුගේ බිරිඳගේ සහෝදරියකගේ පුතෙක් බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූයේ එම සොයාබැලීම් වල ප‍්‍රතිඵලයක් වශයෙනි.

මේ සිද්ධිය කෙරෙහි අපේ රටේද ලොකු කතාබහක් ඇතිවන්නට පටන් ගත්තේ ඔහු දේශපාලනඥයකුගේ ඥාති පුතෙක් බවට ප‍්‍රසිද්ධ වීමෙන් පසුවය. මෙම දේශපාලනඥයාගේ පවුලේ ඥාතීන් වන නීතීඥයින් දෙදෙනකු පසුගිය සතියේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබුණේද එම තරුණයාට නීති ආධාර ලබාදීම සඳහාය.

අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික තරුණයාගේ පියා කෝටිපතියෙකි. නිලාර් නිසාම්ඩීන් ඕස්ට්‍රේලියාවට ගියේ ශිෂ්‍ය වීසා මතය. ඒ 2013 වසරේදීය. ඔහු ඊට පසු කෙටි නිවාඩු ගත කිරීමට අවස්ථා කිහිපයකදීම මෙරටට පැමිණ ගොස් ඇත. පරිගණක තාක්ෂණය, ව්‍යාපාරික විෂයන් පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු වන නිසාම්ඩීන් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර විශ්ලේෂකයකු ලෙස සේවය කර ඇත්තේ කොන්ත‍්‍රාත් පදනම යටතේය.

වීසා කාලය අවසන් වීම නිසා ඔහු මෙරටට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ මෙම මාසයේය. කෙන්සිංටන් නිව් සවුත්වේල්ස් විශ්ව විද්‍යාලයේ සේවය කරන අයෙක් එරට පොලීසියට ලබා දී තිබූ ඔත්තුවක් අනුව නිසාම්ඩීන් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. වැටලීම සිදුකළ පොලිස් නිලධාරින් නිසාම්ඩීන්ගේ පරිගණකය ද වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔවුන්ගේ බාරයට ගෙන ඇත. සිඩ්නි නගරයේ වැදගත් ස්ථාන ගණනාවක් පිළිබඳ තොරතුරු හා දත්ත නිසාම්ඩීන්ගේ පරිගණකයේ තිබී සොයාගැනීමට විමර්ශකයින්ට හැකි වී ඇත. නිසාම්ඩීන්ගේ පරිගණකයේ තිබී සොයාගත් ඒ වැදගත් ස්ථාන බොහොමයක් කාලයක සිට අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත‍්‍රවාදීන්ගේ ප‍්‍රහාරක ඉලක්ක බවට පත්වූ ස්ථාන විය.

ඕස්ට්‍රේලියාවෙ ෆෙඩරල් පොලීසියේ රහස් පොලීසියේ අධ්‍යක්ෂ මයිකල් මැක්ටියර්නන් එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ නිසාම්ඩීන් ළඟ තිබී සොයාගත් එම අතිශය වැදගත් තොරතුරු සාමාන්‍ය තොරතුරු එක්රැස්කර ගැනීමක් යැයි බැහැර කිරීමට කිසිසේත් නොහැකි බවය. නිසාම්ඩීන්, අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදී සංවිධානයේ සාමාජිකයෙකු බවට තවම තහවුරු වී නොමැති වුවත් ඔහු එම සංවිධානයට සහාය වෙමින් මාස 8 ක පමණ කාලයක් කටයුතු කළ අයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති බවද රහස් පොලීසියේ අධ්‍යක්ෂකවරයා අනාවරණය කළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලීසියේ රහස් පොලීසියේ අධ්‍යක්ෂකවරයා මෙහිදී පවසා තිබුණේ නිසාම්ඩීන් සතුව තිබූ සොයාගත් තොරතුරුවලින් පෙනී යන්නේ අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත ප‍්‍රහාරයක පෙර සැලසුමක් තිබී ඇති බවය.

මේ ශ්‍රී ලාංකික තරුණයා ඕස්ට්‍රේලියාවේ වෙචර්ලි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාසයේ 24 වෙනිදා දක්වා බන්ධනාගාර ගතකර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත. අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ වී සිටියදී ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය නොවේ. මෙරටින් ගොස් අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයට බැඳී සිටි අයෙක් පළමුවරට සිරියාවේදී අත්අඩංගුවට ගත් අතර ඔහු ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචි නීලම් මුශීන් නමැති කරාටේ මාස්ටර්වරයෙකි. මුල්කාලයේ ගලේවෙල ප‍්‍රදේශයේ පදිංචිව සිටි නීලම් මුශීත් නමැති කරාටේ මාස්ටර්වරයා පසුකාලයක පදිංචිව සිට ඇත්තේ කිරුළපන ප‍්‍රදේශයේය.

තුර්කියට ගොස් නීලම් පසුව අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තවාදී සංවිධානයට බැඳී ඇති බව මෙරට බුද්ධි අංශ එම වකවානුවේම පුළුල් විමර්ශනයක්ද කරනු ලැබීය. අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයට බැඳී සිටි නීලම්ගේ පවුලේ උදවිය සිරියාවට ගොස් තිබුණේ ඔහු එරටේදී අත්අඩංගුවට පත්වීමත් සමඟය.

නීලම්ගේ බෑණාද අයි.එස්.අයි.එස්. ත‍්‍රස්තයන්ට සම්බන්ධ වී සිටියදී සිරියාවේදී වෙඩි කා මියගියේ එම ත‍්‍රස්තයන්ට එරෙහිව ක්‍රියාත්මක කර තිබූ හමුදා මෙහෙයුමකදීය. ඉන්පසු ඔහුගේ පවුලේ උදවියද තුර්කිය හරහා සිරියාවට ගොස් තිබූ අතර නීලම්ගේ බෑණාගේ පියා රෙජිස්ටාර්වරයෙකු ලෙස සේවය කර ඇත. හොර ඔප්පු සෑදීමක් සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත් වූ මේ රෙජිස්ටාර්වරයාගේ එම තනතුර පසුව අහිමි කළ බව ඉරිදා දේශයට පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකි.

ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන් 100 දෙනෙක් පමණ තුර්කිය හරහා සිරියාවට එම ත‍්‍රස්ත සංවිධානයට සහාය ලබාදෙන බවට ආරක්ෂක බුද්ධි අංශය තොරතුරු අනාවරණය කර තිබුණේ ද එම කාලයේදීමය. ලෝකයේ මහා බලවත් රටවල නායකයන් පවා භීතියට හා සංත‍්‍රාසයට පත්ව සිටින මේ ත‍්‍රස්ත සංවිධානය දැනට ලෝකයේ ක්‍රියාත්මක බිහිසුණුම ත‍්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකේ. ලෝකයේ සිටින සෑම රටක්ම පාහේ ඉස්ලාමීය අණසකට ගත යුතු යැයි යන ආකල්පයෙන් ත‍්‍රස්ත ක්‍රියා සිදුකරන ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් ඇන්ඩ් සිරියා හෙවත් අයි.එස්.අයි.එස්. සංවිධානයේ ලැයිස්තුව අනුව ශ්‍රී ලංකාවටද අනතුරක් ඇත.

පුද්ගලයන් පෙළට සිටුවා ඔවුන්ගේ ගෙල සිඳීම, පණපිටින් පිළිස්සීම හා සංස්කෘතික වටිනාකමක් ඇති පෞරාණික ස්ථාන විනාශ කිරීම වැනි අතිශය බිහිසුණු හා කෲර ක්‍රියා ප‍්‍රසිද්ධ කිරීම අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත ක්‍රියාකාරීහු විසින් සිදුකර ගෙන යති.

ලෝක මුස්ලිම් නායකයෝ මෙවැනි අතිශය අමානුෂික ක්‍රියා නිරන්තරයෙන් හෙළා දකිති. මෙම ත‍්‍රස්ත සංවිධානයට එරෙහිව සටන් වදින ආරක්ෂක අංශ විසින් හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව වර්තමානයේ එම සංවිධානයේ සාමාජික සංඛ්‍යාව 60,000 ද ඉක්මවා ඇති බවත් පවුම් බිලියන 4 ක පමණ මුදල් වෙනත් වත්කම් ඇති බවත් පැවසේ.

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00