2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

කැනඩාවේ අල - ඇපල් දික් කර කොකා පෙන්නන සුද්දො

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 75

විදෙස්ගත වෙන්නට හීන දකින්නෝ බොහෝය. විදෙස්ගත වීමටත් වඩා පිටරට ගිහින් පදිංචි වෙන්නට ප්ලෑන් ගසන්නෝ එමටය. බොහෝදෙනා හීන මවන්නේ ඕස්ට්‍රේලියාවට යාමටය, නැත්‍නම් ඇමරිකාවට යාමටය, ඒකත් හරි නැත්නම් යුරෝපයේ රටකට පැන ගැනීමටය. මේ සඳහා නොකරන දෙයක් නැත.

කෙසේ වෙතත් මෙකී ආශාව මුදුන්පත් කරගැනීම සඳහා ගොස් ඇතැම් අය අනන්ත අප්‍රමාණ වංචාකරුවන්ට අසුවුණු අවස්ථා ඇත. අතේ වූ පිච්චිය පවා පූජාකොට පාරට වැටුණු අවස්ථා අනන්ත ඇත. මේ කියන්නට යන්නේ තවත් එවැනිම වංචාවක් ගැනය. මෙය ජාත්‍යන්තර ජාවාරමක් වන අතර දැනට විශාල වශයෙන් ලෝකය පුරා අසුවූ පුද්ගලයන් ඇත. ලියුම්කරුද එම පුද්ගලයන් සමඟ සිදුකළ ගනුදෙනුවකට අනුව මෙම වාර්තාව මෙසේ පළකෙරේ.

පසුගිය දිනෙක මුහුණු පොතේ එක්තරා පිටුවක ඉංග්‍රීසි භාෂාවෙන් දැන්වීමක් පළවී තිබුණි. එම දැන්වීමට අනුව කැනඩා රටේ රැකියා සඳහා සේවක සේවිකාවන් අවශ්‍ය බව සඳහන් කර තිබුණේය. එසේම එම රැකියා සඳහා එන අයට නොමිලේ වීසා ලබාදීමටත් කැමති බව එහි සඳහන් විය. ඒ අනුව එසේ විදෙස් ගතවීමට කැමති අය අදාළ පෝස්ටුවට යටින් yes ලෙස කොමෙන්ට් කරන ලෙසද දන්වා තිබිණි. ඒ අනුව ලියුම්කරුද එලෙස කොමෙන්ට් කළේය. පැයක් පහුවුණේ නැත. එක් සුදු ජාතිකයෙක් ලියුම්කරැට මුහුණු පොත හරහා මැසේජ් එකක් එවා තිබුණි.

ඔබේ ඉල්ලීම අනුමත කර ඇති බවත්, අදාළ තොරතුරු පසුව දැනුම් දෙන බවත් එම පණිවිඩයේ තිබුණේය. එම පණිවිඩය නිමවී වැඩිවෙලා ගියේ නැත. එම රැකියා ඇති ස්ථානයේ කළමනාකරුවකු යැයි කියාගන්නා තවත් සුදු ජාතිකයෙක් මැසේජ් එකක් දමා තිබුණේය. ඔහු දන්වා තිබුණේ මා හට එම ආයතනයේ ඇපල් ඇසුරුම් කරන ස්ථානයේ රැකියාවක් ඇති බවය. ඒ සඳහා කිහිප දෙනෙක් ඉල්ලුම් කර ඇති බවත් මගේ සුදුසුකම් දන්වා පෝරමයක් එවන ලෙස දන්වා අන්තර්ජාල ලින්ක් එකක් එව්වේය.

එය විවෘත කළ පසු ජීවත දත්ත තොරතුරු ඇතුළත් පෝරමයක් එහි විය. මා එහි විස්තර ඇතුළත් කළේය. ඇතැම් තොරතුරු ව්‍යාජ ඒවා විය. එම පෝරමය යටින් දන්වා තිබුණේ ඔවුන්ගේ සාමාජිකයන් නිතර අප සමඟ ගනුදෙනු කරන බවය. ඒ අනුව එදින සාකච්ඡාව නිම විය. ඊට පසුදා උදෑසන මුහුණු පොතට එනවිට ඔවුන් සුබපතා මට පණිවිඩයක් එවා තිබුණි. ඒ මම එරට රැකියාව සඳහා සුදුසුකම් ලබා ඇති බව දන්වාය. එසේම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ලිපිලේඛන අවශ්‍ය බවද දැන්වීය. එම ලිපි ලේඛනවල ඡායාරූප පිටපත් එවන ලෙස දැන්වීය. එහෙත් එය සිදුකිරීමට නොහැකි නිසා අත්හැර දැමුවේය.

එහෙත් ඔවුන් අත්හළේ නැත. ඔවුන් අන්තර්ජාලය හරහා මුහුණු පොතට ඇමැතුම් ගත්තේය. ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වූ නිසා ඔවුන් සිදුකරන ක්‍රියාව සත්‍ය මෙන්ම විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ඉන්දියානු ජාතිකයෙක් එරට රැකියාව කරන අයුරුත් ඔහුගේ වීඩියෝ පටයකුත් මා වෙත යොමු කළේය. අවසානයේ නැවතත් මා ඔවුන් සමඟ කතාවට පැටලුණේය. මා ඔවුන්ගෙන් ගමන සඳහා යන විය හියදම් කොපමණදැයි ඇසීය. එවිට ඔවුන් කතාව කියන්නට ගත්තේය.

පළමු ලියකියවිලි කොටස යැවූ පසු මා එරට රැකියාව සඳහා ගෙන්වා ගැනීමට රජයේ අනුමැතිය ලබාගත යුතු බව ඔවුන් දැන්වීය. ඒ සඳහා වූ වියදම අදාළ ආයතනයෙන් ගෙවන බව කීය. එම අවසරය ලද පසු මා හට වීසා ලබාදීම සිදුකරන අතර ඒ සියලු වියදම් අදාළ ආයතනයෙන් දරන බවත් ඔවුන් කීය. එහෙත් රුකියාව ස්ථිර කිරීමෙන් පසුව වසර දෙකක කාලයක් සඳහා ගිවිසුම් කාලයක් අත්සන් කරන අතර එම ගිවිසුමට අනුව ඇපයකට පමණක් මුදල් ගන්නා බව ඔවුහු කීය. එය කීයදැයි ඇසූ පසු ඔවුන් කීවේ ඩොලර් 500ක් වැනි සුළු මුදලකි. එහෙත් එයද පැමිණි පසුව මුදාහරින බව ඔවුහු කීහ.

ලියුම්කරුට මෙහි වංචාව පැහැදිලිව හඳුනාගත හැකි විය. එනම් ඔවුන් ඩොලර් 500 ලබාගත් පසු කොකා පෙන්නන්නට සූදානම් වන බව පැහැදිලිවම තහවුරුය. මා ඔවුන්ගෙන් අසා සිටියේ කිසිදු වියදමක් ලබා නොගන්නා බවට සඳහන් කළත් මෙලෙස ඩොලර් 500 ක් ගන්නේ කුමක් සඳහාදැයි කියලාය. එවිට ඔවුන් පවසා සිටියේ ඇතැම් අය පැමිණෙන බව පවසා මගහරින බවත් එවිට තමන්ගේ මුදල් අපතේ යන නිසා මෙලෙස මුදලක් අය කරගන්නා බවයි. එසේම මාසික පඩියෙන් කිසිදු මුදලක් අය නොකරන බවත් ඔවුන් කීවේය.

තත්ත්වය මෙසේ තිබියදී තවත් අයෙක් වෙනත් ගිණුමකින් පණිවිඩයක් එවා තිබුණි. ඒ මා හට එහි නැවතීමට ඇති ස්ථානයේ තොරතුරු ඇතුළත්කරය. මා එය දුටු පුදුම විය. ඉතා ලස්සන පරිසරයක පිහිටි කුඩා කාමරයකි. ක්‍රමයෙන් ඔවුන් මා එම රැකියාවට සහ වංචාවට පොළඹවමින් සිටියෝය. පුදුමය නම් මා වෙනුවෙන් එක සමාගමක් මෙතරම් දුක්විඳින්නේ ඇයිද කියාය. අවසානයේ මා මෙම රැකියාවට අකමැති බව ඔවුන්ට කීවේය. හේතුව ලෙස ඩොලර් 500 ක් නොමැති බව කීය. එහෙත් ඔවුන් සඳහන් කළේ එය කොටස් දෙකකට ලබාදීමට අවස්ථාවක් දිය හැකි බවය. ලියුම්කරු එයද ප්‍රතික්ෂේප කළේය. අවසානයේ ලියුම්කරු මේ සිදුකරන්නේ ජාවාරමක් නේදැයි ඇසීය. එතැනින් පසු ඔවුන්ට සිදුවු දෙයක් නැත. අවසානයේ ඔවුන් මුහුණු පොතේද නැත.

කෙසේ වෙතත් ඔවුන්ගේ රැකියා ජාවාරම තවමත් යස අපූරුවට සිදුකරගෙන යති. ලෝකය වටා වු ජනතාව රැකියා ලබා ගැනීමේ අරමුණින් පෝස්ටු වලට ‘yes’ කොමෙන්ට් කරන් යන අයුරු තවමත් දැක ගැනීමට හැක. කෙසේ වෙතත් මේ ජාවාරමට දවසට එකෙක් දෙන්නෙක් හෝ කොටුවනු ඇත. එහෙත් මේ දේවල් පොලීසියට හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයකට පවසා නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැක. ඒ මෙය කවුරුන් කොහේ සිට ක්‍රියාත්මක කරනවාද යන්න දන්නේ නැති නිසාය. ඒ නිසා මේ ජාවාරමට කොටුවුණොත් පාඩුවේ කටපියාගෙන සිටිනවා ඇරෙන්න කරන්න දෙයක් නැත.

අනෙක කැනඩාව වැනි රටක ඇපල් කඩන්න, ලොරි එලවන්න, අල ගලවන්න ලෝකය වටේ සිටින උන් නොමිලේ වීසා ලබාදී කිසි දිනෙක ගෙන දෙන්නේ නැත. ඒ නිසා ඔබත් මොළය පාවිච්චි කර මෙවැනි වංචාකරැවන්ගෙන් ප්‍රවේසම් වන ලෙස දන්වමි.

 අසංක කළුබෝවිල