2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

EPF එක කොටස් වෙළෙඳපොළේ වෙන්දේසියට?

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුනට ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් සේවක අර්ථසාධක අරමුදල පිහිටවූයේ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත මඟිනි. මෙම පනතෙහි සඳහන් වන පරිදි පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ගේ සමාජ ආරක්ෂණය සහතික කිරීම මේ අරමුදල පිහිටුවීමේ මූලික පරමාර්ථය වේ. මෙම අරමුදල කළමනාකරණය කිරීම, සමාජික ගිණුම් පවත්වාගෙන යෑම, අරමුදල සතු මුදල් භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත්වල මෙන්ම වෙනත් තැන්වල ආයෝජනය කළ යුතු ආකාරය පිළිබඳ තීන්දු තීරණ ගැනීම ආදී කාර්යයන් රැසක් ඉටු කිරීමට අදාළ බලතල පනත මඟින් මුදල් මණ්ඩලයට පවරා ඇත.

මෙම සේවක අර්ථසාධක අරමුදල මෙරට දැනට ඇති විශාලම අරමුදල වන අතර මේ වනවිට එහි ඇති මුදල් ප්‍රමාණය රැ. ට්‍රිලියන තුනක් පමණ වේ. දායකත්ව ගිණුම් ලක්ෂ 25ක් පමණ මෙයට ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර කොටස් වෙළඳපොළ යනාදියෙහි ආයෝජනය කෙරෙන අතර එලෙස ආයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභීන් අතර වාර්ෂික පොලී ආදායම හැටියට බෙදා දීම සිදුවේ.

සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් පසුගිය කාලයේදී දැඩි කතාබහක් මතුවූයේ ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී එම අරමුදලට සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය අලාභයක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟය. 2015 පෙබරවාරි 27 දින පැවති මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් නැමති ආයතනය බැඳුම්කර මිලදී ගැනීමට අදාළව අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා මේ පාඩුව සිදුව ඇති බව කියැවිණි. සේවක අර්ථසාධක අරමුදලෙහි මුදල් යොදවා බැඳුම්කර මිලදී ගැනීමට එම සමාගම කටයුතු කර තිබීම හේතුවෙන් අරමුදලට සිදු වූ පාඩුව සම්බන්ධයෙන් විවිධ සංඛ්‍යාත්මක අගයයන් ඉදිරිපත් වූ අතර එම අලාභය අඛණ්ඩව වැඩිවෙමින් තිබෙන බව කියැවේ.

අර්ථසාධක අරමුදල සම්බන්ධ මතු වූ මේ ප්‍රශ්නයට අමතරව දැන් අලුතින් කතාබහක් නිර්මාණය වී ඇත. ජනතා විමුක්ති පෙරමුණ ඒ ගැන අනාවරණය කළ අතර එයින් කියැවුණේ පෞද්ගලික අංශයේ සේවකයන්ට හිමි සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු සමාගමක් කර ඇති යෝජනාවකට අනුව සකස් කළ ධවල පත්‍රිකාවක් ශ්‍රී ලංකා රජය වෙත ලබාදී තිබෙන බවය. එමෙන්ම මෙම ධවල පත්‍රිකාවේ එකම අරමුණ වී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීම බව පසුගිය 2 වැනිදා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔවුහු හෙළි කළහ.

ජනතා විමුක්ති පෙරමුණු පළාත් සභා මන්ත්‍රී අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඒ සම්බන්ධව මෙසේ කියයි.

සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම ඉලක්ක කරගෙන ආණ්ඩුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය ආධාරයක් අරගන්න යනවා ඩොලර් බිලියන 250ක. එතකොට ආසියානු සංවර්ධන බැංකුව මේ ණය ආධාරය දෙන්න හදන්නේ බිලියන 2000කට වැඩි සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳ පොළේ ආයෝජනයට අවශ්‍ය කරන නීතිමය ප්‍රතිපාදන සහ මෙහෙයුම් ක්‍රියාවලිය සකස් කිරීම වෙනුවෙන්. එතකොට දැන් මේ හදන්නේ මේ රටේ වැඩකරන ජනතාව ලක්ෂ 26කට අයිති සේවක අර්ථසාධක අරමුදල පාවිච්චි කරලා ඇලෝසියස්ලා 10ක් 15ක් නිර්මාණය කරන්නයි.

ආසියානු සංවර්ධන බැංකුවත්, ඇමරිකාවේ එනිප කියන සමූහ ව්‍යාපාරය ඒකාබද්ධව තමයි මොවුන් මේ යෝජනා ගෙනැත් තියෙන්නේ. මේ යෝජනාවේ කරන්න හදන කාරණය තමයි එක පැත්තකින් සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කිරීම සඳහා කටයුතු කරන්න හදනවා. කොටස් වෙළඳපොළ ඒ වගේම තනි තනි සේවකයන් තමන්ගේ අරමුදලේ තිබෙන මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනයට අවශ්‍ය කරන මෙහෙයුම් ක්‍රියාවලිය සකස් කර දෙන්න හදනවා. එතකොට ඒකෙන් වෙන්නේ අද ඔක්සිජන් නැතුව වැටිලා තියෙන කොටස් වෙළෙඳපොළ ගොඩගන්න රාජපක්ෂ සමයේ වගේම මේ ගොල්ලොත් කොටස් වෙළෙඳපොළ ශක්තිමත් කරන්න හදන අරමුදල් කොල්ලයකට තමයි මේ අර අඳින්නේ. 2011 මේ විදියෙ එකක් තමයි ගිය ආණ්ඩුවෙන් ගෙනාවේ. දැන් මේ ආණ්ඩුව කරන්න හදන වැඩෙන් පේන්නේ මේ වැටිලා තියෙන කොටස් වෙළෙඳපොළට සල්ලි ටික යයි. තව ඇලෝසියස්ලා බිහිවෙයි. ඒ නිසා ඔන් ලයින් සූදුවලට සේවක අර්ථසාධක අරමුදල යොදවන්න තමයි මේ සැලැස්ම තියෙන්නේ. ඒ නිසා අපි කියන්නේ මේ යෝජනාව ආණ්ඩුව වහාම අකුලාගන්න ඕනෑ මේක ක්‍රියාත්මක කරන්න හැදුවොත් එහෙම මේ රටේ වැඩකරන ජනතාව බලගන්වන්න අපි කටයුතු කරනවා.

නිදහස් වෙළෙඳ කලාප පොදු සේවා සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස්

ආසියානු සංවර්ධන බැංකුව ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙනවා සේවක අර්ථසාධක අරමුදල මීට වඩා ඵලදායී විදියට ආයෝජනය කිරීම සඳහා යෝජනා මාලාවක් ධවල පත්‍රිකාවක්. මේ ධවල පත්‍රිකාව ජාතික කම්කරැ උපදේශක සභාවේ පරීක්ෂාවට ගත්තා. ඒකට ආසියානු සංවර්ධන නියෝජිතයනුත් සහභාගී වුණා. ඒ සාකච්ඡාවේදී අපි නොයෙක් දේ පිළිබඳ ප්‍රශ්න මතුකළා. මේ ධවල පත්‍රිකාව  වර්තමානයේ තියෙන දේශපාලන තත්ත්වයත් සේවක අර්ථසාධක අරමුදලේ සුරක්ෂිතභාවයට ඇතිවෙලා තියෙන තර්ජනය පිළිබඳවත් නිසි අවබෝධයකින් තොරව තමයි අත්සන් කරලා තියෙන්නේ. ඉතින් ඒ සාකච්ඡාවෙන් පස්සේ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති 13ක නියෝජිතයන් වෙනම සාකච්ඡා කරලා තීරණයක් ගත්තා අපි මේකට සම්පූර්ණයෙන් විරුද්ධයි කියලා. ඒ වගේම ඉදිරිපත් කරලා තියෙන යෝජනාව තවදුරටත් සාකච්ඡා කරන්න ඕන නැහැ කියලා අපි කම්කරැ කොමසාරිස්වරයාට කිව්වා. ඉතින් අපි නිදහස් සේවක සංගමය හැටියට යෝජනා කරලා තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කරලා සියලු බලතල දෙන්න කියලා. සේවක අර්ථසාධක අරමුදලේ සුරක්ෂිතව කළ යුතුයි කියලා.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර

අපිටත් දැනගන්නා ලැබිලා තියෙනවා මේ ගැන උත්සාහයක් තියෙනවා කියලා. අපි ඒ ගැන අවදියෙන් හිටියේ. අපි කම්කරැ ඇමතිතුමාගෙන් මේ ගැන ඇහුවම එතුමා කිව්වා මෙහෙම යෝජනාවක් ඇවිල්ලා තියෙනවා එය ජාතික කම්කරු උපදේශන සභාවේදී සාකච්ඡා කරනවා කියලා. ඊට පස්සේ එම සභාවට ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෙක් ඇවිල්ලා ඒ අයගේ යෝජනාව ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී අපේ වෘත්තීය සමිති සියල්ලේම නායකයන් ඒ යෝජනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළා. 

විශේෂයෙන්ම මෑතකදී ඇතිවන බැඳුම්කර ගනුදෙනුවේදී සිද්ධ වුණු දේවල් ගැන බැලුවහම ඒ වගේ වෙලාවක අපි තවදුරටත් අර්ථසාධක අරමුදල් ආරක්ෂා කර ගැනීමට පියවර ගත යුතුයි. ඒ වගේම තමයි ආණ්ඩුවට මේ සල්ලිවල අයිතියක් නෑ. කවදහරි ඒ සේවකයන් විශ්‍රාම යනකොට මේ සල්ලි දෙන්න ඕන පොලියත් එක්ක. දැන් ආණ්ඩුවට තියෙන්නේ මේක තාවකාලික බාරගැනීමක් විතරයි අපි හැමදාම කියන දේවල් තමයි මේ කම්කරුවන්ගේ මුදල් නිසා ඒවා අයෝජනය කිරීමේදී තීන්දු ගන්න මණ්ඩලවලට කම්කරු නියෝජිතයන් ඉන්නත් ඕන. එතකොට අවදානම් ආයෝජනයක් ආවොත් ඒකට විරුද්ධ වෙන්න අපිට පුළුවන්. අපිට කිසිම හඬක් නෑ මේ වෙනුවෙන්. ඒක නිසා මේ කාරණයට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වෙනවා. නමුත් එය දැනට තාවකාලිකව නැවතිලා තියෙනවා අපිට පේන විදියට බැරිවෙලාවත් මේක කරන්න උත්සාහ කළොත් මුළු රටක් වෙනුවෙන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින්න අපිට සිද්ධ වෙනවා.

 හසිත් අංජන

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00