2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

ජන බලය කොළඹට..

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

ජනබලය කොළඹට ගෙනා ඒකාබද්ධයේ සැප්තැම්බර් පහ (5) දිවා-රාත්‍රී උද්ඝෝෂණයේ උණුසුම තවමත් මැකී නැත. ලංකා දේශපාලනයේ පළමු වතාවට සිදු වූ දිවා-රාත්‍රී විරෝධතාවයේ තතු විත්ති මේ කතාවෙන් අප ඔබට කියමු. මෙතැන් සිට දිගහැරෙන්නේ ඒ කතාවයි.

ජනබලය කොළඹට ආ සැප්තැම්බර් 05 බදාදා උදෑසන කොළඹ නගරය වෙනදාටත් වඩා ශාන්තව පැවතුණි. දුම්රියෙන් බස්රියෙන් වෙනදාට කොළඹ එන පිරිසේ සැලකියයුතු අඩුවක් තිබිණි. කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ශිෂ්‍යයන්ගේ හා ගුරුවරුන්ගේ පැමිණීමද අවම විය. රථවාහන තදබදයක් නොතිබූ ගාණය. මේ සියලු නිහැඬියාවන් පිටුපස පැවතියේ ජනබලය කොළඹ එන පුවත බව අමුතුවෙන් සිහිපත් කළයුතු නැත. එහෙත් මේ උද්ඝෝෂණය කුමන ආකාරයේ එකක් ද, එය පවත්වන්නේ කොතැනකද යන්න රටටත් මාධ්‍යයටත් මහජනතාවටත් රහසක්ව පැවතුණි. මේ අතර රටේ නන්දෙසින් කොළඹ එන්නට බස්වල නැගුණු ඒකාබද්ධයේ ආධාරකරුවන්ද දැන සිටියේ තමන් කොළඹ යන බව පමණි. එතනින් එහාට වන්නේ කුමක්ද කියා ඔවුන් කිසිවකුත් දැන සිටියේ නැත.

මේ අතර මද්දහන වනවිට ඒකාබද්ධයේ නායකයෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමයේ පිහිටි නිල නිවසට එකතුවන්නේ පැවැත්වෙන ස්ථානය පිළිබඳව අවසන් තීරණයට එළඹෙන්නටය. ලිප්ටන් වටරවුම, විහාරමහා දේවී උද්‍යානය වැනි නම් පෙරදී කියවුණද අවසානයේ ලේක්හවුස් වටරවුම සියල්ලන් එකතුවන ස්ථානය ලෙස තීරණය විය. දිවා කාලය වනවිට මාධ්‍ය පවා එය ස්ථීර කරගෙන තිබිණි.

කොළඹ වැටලීම පිළිබඳව වූ මේ උද්ඝෝෂණ හේතුවෙන් ආරක්ෂක අංශද විරෝධතාකරුවන්ගෙන් තර්ජනයක් එල්ල විය හැකි නගරයේ ස්ථානවලට දැඩි ආරක්ෂාවක් යොදා රැකවල්ලා සිටියේ සූදානමින්ය. ඒ අනුව පාර්ලිමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, කොටුව ජනාධිපති මන්දිරය, ශ්‍රී ලංකා මහා බැංකුව, අරලියගහ මන්දිරය, විශේෂ මහාධිකරණ ආදී ස්ථානවල පොලිස් කැරලි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදන ලදී. බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවකයන්ට වේලාසන රාජකාරී නිමාකර ගෙදර යාමට අවකාශ මද්දහන වනවිට ලැබිණ.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පිටත් වූ බස් රථද මේ වනවිට කොළඹට සේන්දු වෙමින් තිබුණි. ඒකාබද්ධය තවත් තීරණයකට එළඹී සිටි අතර ඒ අනුව කියැවුණේ සියලු පාසල් සිසුන් කොළඹ නගයෙන් පිටවනතුරු මාර්ග අවහිර නොකරන බවය. මේ අතර අප දේශය කණ්ඩායමක්ද මද්දහනේ විරෝධතාවයේ තතු විත්ති සොයා කොළඹ නගර සංචාරය අරඹා තිබුණි.

“ජනබලය කොළඹට” විරෝධයේ මූලික සටන්පාඨ කිහිපයක් විය. ඒ අනුව රට බෙදන ව්‍යවස්ථා ක්‍රියාවලිය, රාජ්‍ය සම්පත් විකිණීම, බැඳුම්කර මංකොල්ලකරුවන් ආරක්ෂා කිරීම, දේශපාලන පළිගැනීම්, රණවිරු දඩයම මෙන්ම මහා සංඝරත්නය සිරගත කිරීම හා අධික බදුබර ඇතුළු කාරණාවන් සඳහා විරෝධය පළකිරීම ඒකාබද්ධයේ අරමුණ විය.

මේ වනවිට කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල බස් රථවලින් පැමිණි ජනතාව නතර වී දිවා ආහාරය ගනිමින් සූදානම් වෙමින් සිටියේ විරෝධතාවය සඳහාය. එකේ කණිසම පසුවනවිට අපට නිරීක්ෂණය වූයේ කැම්බල් පිටිය, ටෙක්නිකල් හංදිය, මරදාන ආදී ස්ථාන අසල බස් රථ නතර කර ජනතාව සූදානම්වන ආකාරයයි. පිරිසක් ආහාර ගනිති. තවත් පිරිසක් පදික වේදිකාවේ විවිධ තැන්වල වාඩිවී සිටිති. කොටුව බෝධිය අසල ස්වයංරැකියා මධ්‍යස්ථානය ඉදිරිපිට පපරේ සංගීතයට නර්තනයේ යෙදෙන පිරිසකි. වයස්ගත කොළඹ කතක් පපරේ සංගීතයට නටන ගමන්ම වටේ සිටි අයටත් ඊට එක්වන්නට ඉඟිමරයි. මහින්ද කහඳගම ඇතුළු පිරිසක් එතන විරෝධතා පාඨ ජනබලයේ පළමු හඬ අවදි කළේ අප එහි සිටින විටදීය. හිස වටා “ජනබලය - කොළඹට” නමින් නළල් පටි පැළඳ සිටි ඔවුහු සටන්පාඨ කියන්නට  වූහ. කොළඹ කොටුව දුම්රියපොළ අවට විශාල වශයෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් රඳවා තිබුණි.

අප ලේක්හවුස් වටරවුමට ළඟා වනවිට දෙකේ කණිසම පසුවී තිබිණි. ලෙක්හවුසිය ඉදිරිපිට පොලීසියේ විශාල පිරිසක් රැඳී සිටිති. සාමාන්‍ය පරිදි රථවාහන ධාවනය වෙයි. විරෝධතාකරුවන්ගේ හාවක් හූවක් නොමැත. එහෙත් මේ වනවිට කොළඹ විවිධ ස්ථානයන්හී සිට විරෝධතා පා ගමන් ආරම්භ වී තිබුණි. පළමුව ලේක්හවුස් වටරවුමට ළඟාවූයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් සුසන්ත පුංචිනිළමේ මහතා ගෙන ආ විරෝධතාකරුවන් පිරිසකි. ඔවුන් වටරවුම පසුකරගෙන ලෝක වෙළඳ මධ්‍යස්ථානය ආසන්නයට ගොස් නතර විය. ක්ෂණිකව මාධ්‍ය අවධානයක් ඔවුන් දිනාගත්ත ද ඊට පසුව වූයේ විරාමයකි. ඊළඟට එහි ළඟාවූයේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ බේරුවල අපි කණ්ඩාමයි. තුනයි තිහ පමණ වනවිට බද්දේගම සමිත හිමියන් ප්‍රමුඛ කණ්ඩායමක්ද ලේක්හවුස් වටරවුම අසලට පැමිණ ලෝටස් පාරට හැරෙන තැන සම්බුද්ධාලෝක විහාරය ඉදිරිපිට නතර විය. එහෙත් තවමත් ලේක්හවුස් වටරවුම පිරී නැත.

මේ වනවිට ගමන් අරඹා තිබූ විරෝධතාකරුවන් කණ්ඩායම් කිහිපයකි. ඒ අනුව පිරිසක් මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය අසල සිට මරදාන ටෙක්නිකල් හංදිය ඕල්කට් මාවත හරහා ලේක්හවුස් වටරවුම බලා ගමන් අරඹා තිබුණි. ගාලු පාර හා දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා පැමිණි පිරිස් විහාරමහා දේවී උද්‍යානය අසල රැස්වී ලිප්ටන් වටරවුම යූනියන් පෙදෙස ඔස්සේ කොම්පඤ්ඤවීදිය හරහා පැමිණෙමින් සිටියහ. තවත් පිරිසක් මරදාන ඩාලි පාර ඔස්සේ පැමිණි අතර ඩාලි පාරේ ශ්‍රිලනිප මූලස්ථානය ඉදිරියේදී හූ කීම සිදුකර ඇත්තේ ඔවුන්ය. සියල්ල මෙලෙසින් සිදුවන අතරතුර ලේක්හවුස් වටරවුමට ආ මුල්ම ඒකාබද්ධයේ නායකයා වූයේ ඩී.ආර්. විජේවර්ධන මාවත් ඔස්සේ පැමිණි මහින්දානන්ද අලුත්ගමගේ මහතාය. ඔහු එනවිටත් ලේක්හවුස් වටරවුමට පැමිණ සිටි ඇතැම් කණ්ඩායම්වලට ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි අවබෝධයක් නොවුණි. මහින්දානන්ද මන්ත්‍රීවරයා සක්‍රීයව සංවිධායක කටයුතු අරඹන්නේ මේ අවස්ථාවේදීය.

මේ සියල්ල ලිප්ටන් වටරවුමේ සිදුවනවිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරු තුන පසුවී මිනිත්තු විස්සකින් පමණ විජේරාමයේ නිල නිවසින් කොටුව බෝගහ හංදිය බලා එන්නට පිටත්වුණේ විරෝධතාවයට එකතුවන්නටය. ඒ අනුව කොටුවට ඒකාබද්ධ නායකයින්ගෙන් පිරිසක් එක්වනවිට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද එහි පැමිණ ඇත. මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙන අතරවාරයේදී නාමල් කීවේ දැන් රුපියල උඩ යන්නේ මැච් එකේ ටොස් එක දාන අවස්ථවලදී පමණක් බවය. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් ඒකාබද්ධ නායකයින්ද දැන් බෝධිය ළඟට පැමිණ බෝධිය වැඳ පුදාගෙන අවසානය. ආණ්ඩුවෙන් ඉවත් වූ දහසය දෙනාගේ කණ්ඩාමෙන් පිරිසක්ද මෙහි පැමිණ තිබේ. මහින්ද රාජපක්ෂ මහතා බෝධිය අසලින් විරෝධතාකරැවන්ට එකතුවන බවට වන ආරංචිය මේ වනවිටත් ලේක්හවුස් වටරවුමේ පැතිර තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා බෝධිය ළඟට පෑමිණෙන්නේ හවස හතරේ කණිසම පසුවී විනාඩි විස්සක් තිහක් පමණ යනවිටය. එහිදී උණුසුම් ප්‍රතිචාර ඔහුට ලැබෙයි. ගෝඨාභය රාජපක්ෂ ඇතුළු බොහෝදෙනා මෙතැනදී මාධ්‍යයට අදහස් දැක්වූහ. එහිදී ගෝඨාභය පවසන්නේ මහින්ද රාජපක්ෂ යටතේ ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් මේ ජන ගඟ එකතු වූ බවයි.

මේ සියල්ල අතරේ නාමල් විරෝධතාව සංවිධානය කිරීම සඳහා වටරවුමට පැමිණෙයි. ඒ වනවිටත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලෝටස් පාර ඉදිරිපිට වටරවුමේ කණුවක් මතට නැගී යායුතු මඟක් නොදැන සිටි ජනී ජනයාට එම ස්ථානයේ නතරවන ලෙසට කෑගසමින් වෙහෙසට පත්ව සිටී. ඔහුගේ සහායට දෙවනුව එහි පැමිණි එකතු වූ පියල් නිශාන්ත මන්ත්‍රීවරයා ද ලේක්හවුස් වටරවුමේ සංවිධාන කටයුතුවල නිරත වෙමින් සිටී. එහෙත් ජනතාව හසුරවා ගැනීම පහසු නැත. නාමල් රාජපක්ෂ එහි පැමිණෙන විට වටරවුම පිරෙන්නට ජන ගංඟාවක් එකතු වී සිටියේය. හවස හතර වනවිට ලේක්හවුස් වටරවුම ජනතාවගෙන් පිරීගියේ ඉතා ක්ෂණිකව බව කිව යුතුය. නාමල් එහි ආවේ හතරයි විස්සට පමණය. මේ වනවිට වටරවුමේ ක්‍රමයෙන් එකතුවෙමින් සිටි ඒකාබද්ධ නායකයන්ගේ වුවමනාව වූයේ කෙසේ හෝ ජනතාව මර්ගයේ වාඩි කරවීමය. ඒ සඳහා මහින්දාන්ද, නාමල්, පියල් ඇතුළු පිරිස විශාල උත්සාහයක් දැරුවත් එය සාර්ථක නොවන්නේ හතරවටින් එහි එන මහා ජනගඟ හමුවේය. නාමල් කතාකරන හෝන් එකක් අතට ගෙන ජනතව අමතා සටන් පාඨ කියන්නට පටන් ගනීයි. දැන් මෙහි උණුසුම දැනෙන්නට පටන්ගෙන ඇත.

“යහපාලනේ කියා ඇවිත්
මහජනයා මුලා කළා
හොරා පොලිස් ගේම් ගහලා
අධිකරණ වල් වැදිලා
බැංකු හොරුන් රට පැනලා
රට වැනසුවා ගේම් ගහලා”

මාධ්‍ය හිතවත්තු අවදානම නොතකා ඉදිවෙමින් පවතින හෝටලයක් අසල ඇති තාවකාලික බෝඩ්ලෑලි මතට ගොඩවූහ. මේ වනවිට සංදර්ශනය ඇරඹී තිබිණි. කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු ඒකාබද්ධ නායකයින් විටින්විට ලේක්හවුස් වටරවුමට පැමිණීමට පටන්ගත්තේ මේ අවස්ථාවේදීය. විවිධ කණ්ඩායම් සමඟ පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් මාධ්‍යවේදීහු අතරමගදී අදහස් විමසූහ. දහසය දෙනාගේ කණ්ඩායමින් එකතු වූ එස්.බී. දිසානායක හා ඩිලාන් පෙ‍රේරා කීවේ මේ ජනබලය දුටු පසු මෛත්‍රී ජනපති, මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකමදී රට භාරදිය යුතු බවයි. පවිත්‍රා වන්නිආරච්චි, මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන ඇතුළු පිරිසක් මෙලෙස අදහස් දැක්වූ පිරිස අතර වූහ.

මේ වනවිට කොළඹ නගරයේ මාර්ග තදබදය උපරිමයට පැමිණි තිබුණි. නිරීක්ෂණය වූ තවත් කරුණු කිහිපයක් මෙසේ දක්වමු. විරෝධතාකරුවන්ගේ ක්‍රියාවන්ට පොලිසියෙන් කිසිදු ප්‍රතිරෝධයක් නොවීය. කිසිදු උපදෙසක් හෝ යමක් නොකරන ලෙස ඉල්ලීමක්ද පොලීසිය පාර්ශවයෙන් නොවීය. ඇතැම් විරෝධතාකරුවන්ගෙන් පොලිස්පති අරභයා නොසරුප් වදන්වලින් සටන්පාඨ කියවුණ ද පොලීසිය නිහඬය. එවන් විටකදී මාධ්‍යවේදීන්  ළඟ සිටි පොලිස් නිලධාරියකු සිනහා වී අපෙන් ඇසුවේ “උඹලා ඕවා නම් දාන්නේ නෑ නේද?” කියාය. ඒකාබද්ධ පාර්ශ්වයෙන්ද පොලීසියට හෝ පොදු දේපලක් අරභයා ආපදාවක් උසිගැන්වීමක් නොවිණි. ආණ්ඩුව හා ඒකාබද්ධය කිසිවිටෙක ඉස්සර නොවීමට වගබලාගෙන තිබුණි. මෙවන් අත්දැකීමක් ජනතාවට තබා සංවිධායකයන්ටත් නොවූ නිසා වෙන්නේ කුමක්ද යන්න පිළිබඳව කිසිවකුට අදහසක් නොවුණි. එමෙන්ම බොහෝ දෙනා මදුවිතින් සප්පායම් වී සිටි බව කිව යුතුය. ඒ නිසා මදන රැඟුම්ද එහි විය.

කෙමෙන් අඳුර ගලා එන්නට වූ අතර තවදුරටත් විරෝධය පැවතිණි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස වාහනවල නැඟී ජනතාවට අත වනමින් විරෝධතාවය හරහා ගමන් කරන්නට වූහ. ඒ අවස්ථාවේදී ජනතාවගේ විශාල ප්‍රතිචාරයක් ලැබුණි. අපද තවත් තතු විත්ති සොයා ජනතාව පීරමින් මහලේකම් කාර්යාල දුම්රිය පොළ ඇති පෙදෙසට යන විට රීගල් සිනමාහල අසල ජල බවුසරයකින් ජනතාවට පානීය ජලය බෙදයි. බඩඉරිඟු, අන්නාසි, සීත කළ දොඩම් හා පානීය ජලය විකිණූ වෙළෙඳුන්ගේ නම් අත මිට සරු විය.

මහලේකම් කාර්යාලය ඉදිරිපිටදී අපට මුණුගැසුණේ ගිමන් නිවන්නට නිදහස් තැනක් සොයා ආ වාසුදේව මන්ත්‍රීතුමාය. ජනබලයට හම්බන්තොටින් පැමිණි පිරිසක් සමඟ ඔහු කතාබහක පැටලුණු අතර “අපේ අයිතිය තමයි අපි පාවිච්චි කරන්නේ. අපි අපේ අයිතිය පාවිච්චි කරනකොට පාලකයෝ ආ ගිය අතක් නෑ” කියා ඔවුන් සමඟ දවස ගෙවුණු හැටි ඔහු විස්තර කරන්නට විය. මරදාන බොරැල්ල හරහා තමන් මෙතනට පැමිණි බවත් මහා ජනගඟක් කොළඹට පැමිණ ඇති බවත් කී ඔහු කීවේය. දවල් නිල නිවසෙන් පිටවූ පසු තවම මහින්ද හමුනොවූ බව ඔවුනට කීය. විරෝධතාකරැවෙකු “මෛත්‍රී ජනාධිපති සිටියදීම මහින්ද මහත්තයාට අගමැතිකම ගන්න ඕනා” කියූ විට, සිනාසුණු වාසු “ඔව්. ඒක තමා ඉක්මන්ම වැඩේ” යැයි කීය. පසුව වාහනය ගෙන්වාගෙන විවේකයක් ගෙන නැවතත් වැඩේට එකතුවෙමු යැයි සිය ආරක්ෂකයාට යෝජනා කළ ඔහු එතනින් පිටව ගියේය.

රාත්‍රී හත පමණ වනවිට සත්‍යක්‍රියාව ආරම්භ වූයේ ජනතාව ඉටිපන්දම් හා පන්දම් දල්වා ගනිමිණි. කොටුව සම්බුද්ධාලෝක විහාර ඉදිරිපිට සිට සංඝයා වහන්සේලා විසින් එය මෙහෙයවූහ. එහි අරමුණ වූයේ ආණ්ඩුව පෙරළීමට තිබෙන සියලු බාධක ඉවත්වෙන ලෙස ප්‍රාර්ථනා කිරීම විය. පසුව සෙත් පිරිත් ද සජ්ඣායනා කෙරුණි. පසුව පන්දම් නිවා දැමුවේ යම් අනතුරක් වේවි යැයි ඇතිවූ බිය නිසා විය යුතුය. මහින්දානන්ද මහතා තාවකාලික වේදිකාවේ සිට එහි පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් අතර රැස්ව සිටි පිරිස අමතන්ට ඇරැයුම් කළේය. මෙහිදී ජනතාව ඇමතූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ විපක්ෂයේ කාර්යභාරය සිදුකිරීමට පාර්ලිමේන්තුවේ ඉඩක් නොමැති බැවින් ජනතාව සමඟ මෙසේ හඬ අවදි කරන බවයි. ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අවසරදී නොතිබූ නිසා ජනතාව ඇමතීමට සිදුවූයේ මෙගෆෝන් ආධාරයෙනි.  සියල්ලන්ගෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට හුරුපුරුදු ලෙස ප්‍රතිචාර ලැබුණි. විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ නායකයෝ ද මෙහිදී ජනතාව ඇමතූහ.

ඉන් අනතුරුව ලෝටස් වටරවුම ගත්තේ සැණකෙළි සිරියකි. මද්දහනේ සිටි ජනගඟම නොවුණත් විශාල පිරිසක් නොනිදා රැය පහන් කිරීමට සූදානමින් සිටියහ. ලෝටස් වටරවුමේ මැද තාවකාලික වේදිකාව ඉදිරිපිට මන්ත්‍රීවරුන් හා ජනතාව එක පොදියට එක්වී සිටියහ. විවිධ විචිත්‍රාංග උදෙසා මේ රාත්‍රියේ කොළඹ මහපාර රංගභූමිය විය. අංගම්පොර සටන්කරුවෝ ශිල්ප දැක්වූහ. වීදිනාට්‍ය කණ්ඩායම් රැඟූහ, ශාන්තිකර්ම තොවිල් ආදිය රඟදැක්වූහ. තව තැනක පිරිසක් මදුවිතෙන් සප්පායම් වූහ. විවිධ තැන්වල කල්ලි ගැසුණු පිරිස් එක්ව ගීත ගැයූහ. ඒ බොහෝ ඒවා ජාතිකාභිමානී ගීතය. තවත් සමහරෙක් නොසරුප් වදනින් ආණ්ඩුවට ජනපතිට අගමැතිට බැන්නහ. මතින් මත්වූ සමහරෙක්ට කොළඹ තාර පාර මත සුවයහන් තැනුණි. රෝහිත රාජපක්ෂ ද සිය පෙම්වතිය සමඟ මෙහි පැමිණ සිටියහ.

රාත්‍රී ආහාරය ලොරි රථවලින් බෙදනු අපි දුටුවෙමු. සවස් කාලයේ කොළඹින් පිටවූ පිරිස් සඳහා පාන් බෙදාදෙනු ලැබීය. රාත්‍රී දහයේ කණිසම වනවිට මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ සාමකාමීව රැස් වූ ජනබලය සාමකාමීව විසිර යන බවයි. එහෙත් උසාවි නියෝග හා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් ආණ්ඩුව මෙය වළක්වන්ට උත්සාහ කළ බවයි. මේ සියල්ල සිදුවන අතර පිරිසක් ඉදල් ආදිය රැගෙන වීදී පිරිසිදු කිරීමේ උත්සාහයකද නිරත වී සිටිනු අපි දුටුවෙමු. ලංකා ඉතිහාසයේ ප්‍රථම දිවා-රාත්‍රි උද්ඝෝෂණය මධ්‍යම රාත්‍රිය එළඹෙන විට අවසන්වන ලකුණු පහළ විය. හයවැනිදා අලුයම වනවිට බොහෝ දෙනා පිටව යන්නට වූ අතර පසුදින උදෑසන කොළඹ නගරයේ සාමාන්‍ය ජනජීවිතය නැවත හුරුපුරුදු ලෙස ක්‍රියාත්මක විය.

ජනබලය අතර තුර ඊට සහභාගී වූ පුද්ගලයකු මියගිය පුවතක් පසුව වාර්තා විය. ඔහු නුවරඑළිය හැටන්  සිට පැමිණි 39 හැවිරිදි අයෙකි. හෘදයාබාධයක් හේතුවෙන් මේ මරණය සිදුව තිබේ. එමෙන්ම විවිධ අසනීප තත්වයන් හේතුවෙන් සුවිසැරිය ගිලන්‍ රථ සේවයෙන් අසූ එක් දෙනකු රෝහල් ගත කළ බව රජය පාර්ශයෙන් එදිනම රාත්‍රියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කෙරුණි. එහි දී අදහස් දැක්වූ  එජාප ආමත්‍යවරු කිහිප දෙනෙකු අදහස් දැක්වූහ. අජිත් පී පෙරේරා අමාත්‍ය වරයා ප්‍රකාශ කළේ  ජනබලය අසාර්ථක වූ බවයි . නලින් බණ්ඩාර අමාත්‍යවරයාට අනුව නාමල් කුමාරයාගේ පළමු උත්සහ අසාර්ථක බව කියවුණි. ඒකාබද්ධ පාර්ශවයෙන් ජනබලයට එල්ල වූ බාධා පිළිබඳව චෝදනා නැගිණ. හාලිඇල සිට ජන බලයට පැමිණිට සිටි බස් රථකට ප්‍රහාරයක් එල්ල වීම, කටුබැද්ද මාර්ග බාධකයේ දී බස් පරික්ෂා කිරීම, කඩවත දී පුද්ගලයකුට පරහරදීම ආදිය විය. “ජනබලය කොළඹට” විරෝධය අති සාර්ථක බව පසුව ඔවුන් අවධාරණය කරතිබිණි.

මේ අතර විදෙස් මාධ්‍ය ද ශ්‍රී ලංකාවේ පැවති මෙම විරෝධතාව පිළිබඳව වාර්තා ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව රොයිටර්, බිබිසී, අල් ජසීරා ආදී මාධ්‍ය වාර්තාකර තිබුණේ ආණ්ඩු විරෝධි උද්ඝෝෂණයට කොළොඹ නගරයට දස දහස් සංඛ්‍යාත ජනතාවක් එකතු වූ බවයි. ඒ සඳහා නායකත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සැපයූ බව ද සඳහන් විය.

මේ විරෝධතාවය පිළිබඳව අවසාන වශයෙන් මෙම මෙසේ ලියා තබමු. තායිලන්තයේ කහ කමිස ව්‍යාපාරයේදී හා ටියුනීසියාවේ ඇරඹුණු අරාබි වසන්තයේ අප මෙවන් ජන අරගල දැක ඇත. ඒවා දින ගණනාවක් සති ගණනාවක් ක්‍රියාත්මක වූ බව කිවයුතුය. ලාංකික දේශපාලන සංස්කෘතිය හෝ මහජනයා ද දේශපාලකයෝ ද එවන් සටනකට පරිණත වී නොමැත. කෙසේ නමුත් “ජනබලය කොළඹට සැප්තැම්බර් 05” ලාංකික ඉතිහාසයේ පළමු දිවා-රාත්‍රී විරෝධතාවය ලෙස ඉතිහාස ගත වී අවසන්ය. එය පිරිසකට සාර්ථක වූ බව කිව හැකිය. තවත් පිරිසකට සාර්ථක නොවූ බව කිව හැක. අපි ඒ පිළිබඳව කිසිත් නොකියමු. ඒ පිළිබඳව විනිශ්චය අනාගතයේ දවසක ලාංකික දේශපාලන ඉතිහාසය නැවත කියවන්නෙකුට බාර කරමු.

(ජනබලය කොළඹට සජීවී අත්දැකීම් හා මාධ්‍ය වාර්තා ඇසුරෙන්)

චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ: සුමුදු හේවාපතිරණ
සමන්ත ප්‍රදීප් විල්තෙර
ළහිරු හර්ෂණ