2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

කාවන්තිස්සගේ අත්සන බලන්න යායුතු තරුලෙන්ගල

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 396

මොරණාගල - පොතුවිල් මාර්ගයේ හුළංනුගේ හන්දියෙන් වම්පසට ඇති මාර්ගයේ. කී.මී. 1.5ක් ගමන් කළ විට අප පිවිසෙන්නේ තරුලෙන්ගල හෙවත් පුරාණ හබුතගල විහාරය වෙතටයි. වනගත තරුලෙන්ගල කඳුවැටිය කෙත්යායක් සහිත තැනිතලා බිමෙන් එසවී තිබෙන්නේ හරිත ප්‍රාකාරයක් පරිද්දෙනි. කරඳහොළ යන නමද මෙයට සමහරු ව්‍යවහාර කරති. පර්වතය මත මෑතකදී ඉදිකළ බුද්ධ ප්‍රතිමාව සහ කුඩා දාගැබ ඈතට සුදු පැහැයෙන් දිස්වන්නේ සිත් තුළ බැතිබර සිතුවිලි ජනිත කරවමිනි. මෙය අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පුදබිමකි.

“මෙයට වසර 29කට පෙර පැමිණි “කුඩුම්බිගල ධම්මසිරි හිමියන්ගේ නායකත්වයෙන් තමයි මෑත අතීතයේදී විහාරය දියුණුවට පත්වුණේ. පසුගිය කොටි කරදර කාලේ කුඩුම්බිගල හිටපු අරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා තරැලෙන්ගලට වැඩම කළා. අකුරැස්සේ දියලපේ ඉන්දානන්ද, තාඹුගල ආනන්දසිරි හිමිවරුත් මේ ස්ථානය නැවත පූජනීය ස්ථානයක් බවට පත්කිරීමට මුල් වුණා.

අක්කර 180ක් විශාල මෙම විහාර භූමියේ අනුරාධපුර යුගයට අයත් සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් වගේම ලංකාවේ දිගම කටාරම සහිත ලෙනත් තිබෙනවා. බුදු පිළිමය සහිත ලෙනට උදේ 9.00 පමණ වනතෙක් හිරු එළිය වැටෙනවා. ඊට පසු හිරු රැස් කෙළින්ම ලෙනට වැටෙන්නේ නැහැ.” අපට එලෙස විස්තර කළේ තරුලෙන්ගල විහාරාධිපති බැලුම්මහර ශාන්තසිරි හිමියෝ වෙති.

මුහුදු මට්ටමින් අඩි 633ක් උසැති තරැලෙන්ගල කන්දට දකුණු පසින් ඉඹිලන් ආරද නැගෙනහිරට බරව කරඳඔය ද ගලාබසී. පළලින් අඩු කඳුවැටිය දිගින් වැඩිය. කරදහෙළ වැව විහාරයට ආසන්නව පිහිටා ඇති අතර තවත් කුඩා වැව් රාශියක් එයට නුදුරින් දැකගත හැකියි. අප යනවිට නම් නියඟය නිසා මේ වැව් තණපිටි බවට පත්ව හරකුන්ගේ ගොදුරු බිම් වී තිබුණි. හේන් කොටා අත්හැර දැමීම නිසා කන්ද වටාවූ බිම්වල දැකගත හැක්කේ වන බූටෑවකි. කඳු මුදුන හා බෑවුම්වල වනය සරුවට වැවී තිබේ. විහාරය දක්වා කෙත්වතු අතරින් වැටුණු මාර්ගය අද කොන්ක්‍රීට් අතුරා තිබුණ ද කලකට පෙර එය පාගමනින් යායුතු දුෂ්කර ගමනාන්තයක් විය. ඒ ගැන සඳහන් කරන එල්ලාවල මේධානන්ද හිමියෝ: “හුළංනුගේ හන්දියේ සිට බක්මිටියාව, මීරහල දක්වා වැටී ඇති කරත්ත පාරේ සැතපුම් එකහමාරක් පමණ ගොස් අස්සැද්දෙන වෙල්යායේ කෙළවරින් බටහිරට හැරී ලඳුකැලය අතරින් සැතපුම් භාගයක් පමණ ගමන් කිරීමෙන් කරඳ‍හෙළ කන්ද පාමුලට පැමිණිය හැකිය. පෙර කී කරත්ත පාරේ වාහනයක ගමන් කළ හැක්කේ ටිකදුරක් වුවද එයද නියං සමයක පමණි. වර්ෂාවත් සමඟ මඩ ගොහොරුවක් බවට පත්වෙන බැවින් පයින් වුවද මෙහි යාම වැහි කාලයට අපහසුය. මෙම මාර්ගය ඇති වූයේ 1936න් පසුව බව කියති.” (නැගෙනහිර පළාත සහ උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය 143 පිට)

බුද්ධ ප්‍රතිමාව සංරක්ෂණයට

වනගත නටබුන් රාශියකින් යුක්ත මේ විහාරය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත්කළේ  2014.10.10 වැනිදාය. ඊට පසු එහි වැනසෙමින් පැවති ස්මාරක සංරක්ෂණය කිරීමටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ මෙම පුදබිම කටාරම් කොටු ගල්ලෙන් 36කින් සමන්විතය.

නිදන් හොරු විසින් සම්පූර්ණයෙන් විනාශ කර තිබූ ගඩොලින් කළ සැතපෙන පිළිමය පුරාණ ස්වරූපය මතුවන ලෙස සංරක්ෂණය කර අවසානය. මෙහි ඇති ප්‍රාග් ඓතිහාසික සිතුවම් සහ දැනට පස් ගොඩැල්ලක් වශයෙන් පවතින පැරණි දාගැබ සංරක්ෂණය කිරීමට අපේක්ෂිතය.

විහාර භූමියට පිවිසෙන අපට කඳු පාමුල තැනිතලාවේ පිහිටි පැරණි දාගැබ් ගොඩැල්ලත් එයට එපිටින් වනගතව පිහිටි කළුගල් කුලුණු සහිත ගොඩනැගිලිත් නෙත ගැටේ. ගල්කුලුණු අනුව ගොඩනැගිලි කිහිපයක්ම මෙහි තිබූ බව පෙනේ. දැනට තණකොළ වැවී තිබෙන දාගැබ දළ වශයෙන් මීටර් 75ක වට ප්‍රමාණයෙන් යුක්තය. එයට සලපතල මළුවක් හා ප්‍රාකාරයක් තිබූ බවට සලකුණු සහිතය. ස්තූපයට බටහිරින් වළක හාරන ලද ගල්වංගෙඩියක් දැකගත හැකිය. එහි ගැඹුර අඩියක් පමණ වේ.

අනුරාධපුර යුගයේ සිය ගණනක් භික්ෂූන් වැඩ විසූ රාජ්‍ය අනුග්‍රහය ලැබුණු මෙම විහාරය අද පාලුවට ගොසිනි. ශ්‍රී ලංකාවේ පිහිටි ඉතා වැදගත් පුරාවිද්‍යා ස්ථානයක් වුවත් මේ වනගත අරමට බොහෝ දෙනාගේ අවධානයක් නම් යොමු වී නැත. එහි වසන භික්ෂූන් වහන්සේගේද කටුක දිවිපෙවෙතක් ගත කරති. පසෙකින් පිහිටි සංඝාරාම ගොඩනැගිල්ල පසුකරමින් පියගැට පෙළ නැගි අප අවට තැනිතලාවේ සුන්දරත්වය දෙනෙතින් විඳගනිමින් ප්‍රතිමාව සහිත ලෙනට පිවිසියෙමු. පර්වත බෑවුමක කටාරම් කොටා සකසා ඇති ලෙනේ දිග අඩි 175කි. උඩ අඩි 35කි. සම්පූර්ණයෙන් කටාරම් කොටා ඇති ලෙනෙහි අඩියකට වඩා නූස් ආසනයක් මත අඩි 41ක් දිගැති සැතපෙන බුද්ධ ප්‍රතිමාව පැරණි ස්වරූපය ඉස්මතු වනසේ සංරක්ෂණය කර තිබේ. එය ඉදිකර තිබෙන්නේ මැටි හා ගඩොල් භාවිතයෙනි. අනුරාධපුර යුගයට නෑකම් කියන මේ ප්‍රතිමාවට සමාන බුදු පිළිම නැගෙනහිර පළාතේම බඹරගස්තලාව (යාල වනමැද) හා ශාස්ත්‍රවෙල ලෙන්වලද පිහිටා තිබේ. එම ප්‍රතිමා තවම සංරක්ෂණයට ලක්වී නැත. මෙම ලෙන පුරාණයේ කපරාරු කොට සිතුවම්වලින් අලංකාර කර තිබූ බවට සාධක වශයෙන් බදාම කොටස් තැනින් තැන ඉතිරිව පවතී.

වැදි චිත්‍ර

ප්‍රතිමාවට නුදුරින් ලෙන් බිත්තියේ පැරණි වැදි චිත්‍ර රාශියක් ද මතුවී තිබේ. සුදු සහ ගුරු පැහැයෙන් යුක්ත එම රූපවලින් අලින්ගේ රූප, සතුන් දඩයම් කරන ආකාරය, අලින්ගේ පිටමත යන මිනිසුන් ආදිය දැකගත හැකිය. නොසැලකිල්ල නිසා එම චිත්‍ර විනාශ වී යමින් පවතී. ප්‍රාග් ඓතිහාසික ලක්ෂණ මතුකරන එම පර්වත චිත්‍ර ආරක්ෂා කර ගැනීමට ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වහාම කටයුතු කළ යුතු බව අපගේ හැඟීමයි. ලෙන ඉදිරිපිට නෙළුම්පෙති රටාව පමණක් නිරූපණය කරන සඳකඩ පහණකි. පැරණි උළු කැබලි, වළං කැබලි ආදී නෂ්ටාවශේෂ ද අවට දැකගත හැකිය.

මෙම ලෙන පිහිටි ස්ථානයේ සිට කඳු මුදුනට පිවිසීමට දුර්ගම වූ පර්වත බෑවුම හරහා කැපූ පියගැට පන්තියකි. ඉතා දුෂ්කර නැග්ම පහසු කරවීමට මෑතකදී යකඩ කම්බි ආධාරක සවිකර තිබේ. මෙහි පියගැටයක් අඩියකට වඩා පළල නැත. පර්වතය මතට පිවිසි විට දිගාමඩුල්ල තැනිතලාවේ වැව්, කෙත්වතු, වනාන්තර හා කඳුගැට රමණීය සිත්තමක් පරිද්දෙන් දිස්වේ.

පර්වතය හරහා කටුසු පිටක් දිගේ නගින්නාක් වැනි ගමනක යාමෙන් බෑවුමේ පිහිටි විස්මිත ලෙන් කර්මාන්තය දැකගත හැකිය. කඳු මුදුනේ කටාරම් කෙටූ ලෙන් මෙන්ම කටාරම් රහිත ලෙන්ද හමුවේ. එක් ලෙනක් නාගයකුගේ පෙනයක ස්වරූපයෙන් යුක්ත නිසා නාගලෙන නමින් හැඳින්වේ. කන්ද හරහා වනය ඔස්සේ පියමං කිරීමෙන් පසු අප පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ දිගම කටාරම පිහිටි ලෙන වෙතටය. “ඊසාන දිශාවට මුහුණ ලා එක දිගට පිහිටි පර්වතයක මෙය පිහිටියේය. ලෙන දිගින් අඩි 512කි. පළල අඩි 30කි. කටාරමේ උසම තැන අඩි 82කි. දිගට පමණ පළල නැතත් මෙහි විස්මයාවන තත්ත්වයේ නම් අඩුවක් නැත. ලෙන මිදුල සමතලය. ලෙන බිම තට්ටු අටකට පිහිටියේය. වහල ගලේ තැවරූ පුරාතන බදාම තට්ටුව අද ද තැන තැන රැකී තිබේ. බැඳ තිබූ බිත්තිවල අත්තිවාරම් හා ගඩොලු තැන තැන විසිරී විනාශ වී ගිය ශේෂ දැකගත හැකිය. මුළු ලෙනෙහිම කටාරම් කොටා ඇතත් ලිපියක් පිහිටුවා නොමැත.” (එල්ලාවල මේධානන්ද හිමි, නැගෙනහිර පළාත හා උතුරු පළාතේ සිංහල උරැමය, 147 පිට)

කාවන්තිස්ස රජුගේ අත්සන

මෙම ලෙනට නැගෙනහිරින් අඩි 200ක් දිග තවත් ලෙනක් ද පිහිටා තිබේ. මෙම ලෙන්වල කටාරමට යටින් කෙටූ බ්‍රාහ්මී අක්ෂර නොවන සංකේත කිහිපයකි. මෙම සංකේත සොයාගන්නා ලද්දේ එල්ලාවල මේධානන්ද හිමි විසිනි. උන්වහන්සේගේ අදහස මෙම සංකේතවලින් නිරූපණය වන්නේ ගාමිණී උප පදය දැරූ රජවරුන්ගේ අත්සන බවයි. කාවන්තිස්ස රජු හබුතගල විහාරය කරවූ බවට මෙහි ඇති මත්තා උපාසිකාවගේ සෙල්ලිපියක සඳහන්ය. ඒ අනුව මෙහි සඳහන් සංකේතය කාවන්තිස්ස රජුගේ අත්සන වියහැකි බවට මේධානන්ද හිමියෝ මතයක් පළකරති.

දාගැබ්

කඳු පාමුල පිහිටි දාගැබට අමතරව පර්වතය මත දාගැබ් දෙකක් තිබූ බවට සාධක ලැබේ. දැන් පර්වතය මත ඇත්තේ දාගැබ්වල පදනම් පමණි. ගඩොල් සියල්ල ගැලවී විනාශ වී ගොසිනි.

සෙල්ලිපි

ලෙන්වල කටාරමට යටත් කොටු ලිපි තුනක්ද පර්වත ලිපි තුනක්ද පිහිටා තිබේ. පර්වත ලිපි පිහිටා ඇත්තේ විහාර ලෙන ඉදිරිපිට හා එයට නුදුරින් පියගැට අසල පර්වතයකය. පළමු ලිපියෙන් කියැවෙන්නේ හබුතගල විහාරයට වැවක් හා දියබද්ද ලබාදීමකි. දෙවන ලිපියෙන් විහාරයට වැවක් පූජා කළ බවද තෙවැනි ලිපියෙන් කකවණ තිස (කාවන්තිස්ස) මහරජ කරවූ හබුතගල විහාරයට වැවක් පූජා කළ බවද කියැවේ. ඒ අනුව මේ විහාරය ක්‍රි.පු. 2 සියවසේ රැහුණේ රජ කළ දුටුගැමුණු රජුගේ පියා වූ කාවන්තිස්ස රජු කරවූ බව සනාථ වේ.

ගල්කෙම්

විශාල ප්‍රදේශයක පැතිර තිබෙන පර්වතය මත විශාල ගල්කෙම් දෙකක් ද කුඩා ගල්කෙම් හතරක් ද පිහිටා තිබේ. එදා මේ පර්වතය ආශ්‍රිතව බවුන් වැඩූ සිය ගණනක් භික්ෂූන් වහන්සේගේ පිපාසය සංසිඳුවා ගැනීමට මෙම දිය කෙම්වල ජලය උපකාරී වන්නට ඇත.

ඉතා සුන්දර ඓතිහාසික උරුමයන් සඟවාගත් තරුලෙන්ගල අම්පාර ප්‍රදේශයේ සංචාරය කරන ඔබත් යායුතුම ස්ථානයකි.

විශේෂ ස්තූතිය - සම්බන්ධීකරණය කළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන නිලධාරී සුනිල් බණ්ඩාර කොරළගේ මහතාට

සටහන හා සේයාරූ - කුසුම්සිරි විජයවර්ධන