2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

වැව්තෙර සිට විජය ගැන පොතක් ලියන ජේලර් උන්නැහේ...

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 102
මහවැව වැව් කොමලිය පිස ආ සිහින් සුළං රැල් අපේ ගතේ දැවටීම නිසා සිටියේ උහුලා ගැනීමට නොහැකි තරම් සීතලේය. හලාවත - කොළඹ ප‍්‍රධාන මාර්ගය සමීපයේ පිහිටි මහවැව වැව් කොමලිය මහවැව නගරයට ඇති කළේ අපුරු සුන්දරත්වයකි. මහවැව වැව් ඉවුරේ තනා ඇති සුව මංපෙත ඔස්සේ අපේ ඡායාරූප ශිල්පී ලක්‍ෂමන් ද සමඟ මා ඇවිද ගියේ මහවැව නගරය අඳුරේ ගිලී සීතලෙන් ගැහෙමින් තිබූ රාත්‍රියකය.
 
හාත්පස සිසාරා ඇසෙන්නේ රැහැයියන්ගේ තොර තෝංචියක් නැති හඬය. සුව මංපෙත මාර්ගයේ අයිනකට වෙන්නට ගිමං හැරීම සඳහා තනා ඇති ගල් බංකුවක් මත වාඩි වී සිටි වයෝවෘද්ධ අයෙක් කොළ කැබලි කිහිපයක් බංකුව මත තබාගෙන පෑනකින් යමක් ලියමින් සිටින අන්දම ඇස ගැටුණේ ඈත තියාමය.
 
අතේ බැඳ සිටි ඔරලෝසුව දෙස බැලුවෙමි. රාත්‍රි 9.00 කණිසම පසුවී ගතවී තිබුණේ විනාඩි 10 ක පමණ කාලයකි. බංකුව ආසන්නයේ ඇති කණුවේ සවිකර ඇති විදුලි බුබුල ඔහුගේ ලිවිමේ කාර්යයට අවැසි ආලෝකය සැපයුවේය. මොහොතකට ඔහු ළඟ නැවතී කතා බහ කිරීමට අපි සිතුවෙමු.
 
ඔබ කවුද? මේ යාමේ මේ වැව් බැම්මට වෙලා මොනවාද ලියන්නේ? කොහේද ඉන්නේ? අප ඔහුගෙන් ප‍්‍රශ්න වැලක්ම එක දිගට අසාගෙන ගියේ අපට තිබූ කතුහලය සංසිඳවා ගැනීමේ අපේක්‍ෂාවෙනි.
 
මම හිටපු බන්ධනාගාර ජේලර්වරයෙක්. විජය කුමාරණතුංග කියන මානව හිතවාදියා ගැන පොතක් ලියනවා. ගෙයක් දොරක් නැති නිසා ඉන්නේ මහ පාරේ. කුලී වැඩක් කරගෙන කවුරැන් හෝ දෙන දෙයක් කාලා කුසගින්න නිවා ගන්නවා. කඩ පිලට හරි බස් හෝල්ට් එකකට නිදාගන්න යන්න කලින් විජය මහත්තයා ගැන පොතක් ලියන්න පටන් ගත්තා.
 
අප ඇසූ ප‍්‍රශ්නවලට ඔහු පිළිතුරු දීගෙන ගියේ බංකුව පෙන්වා එහි වාඩිවෙන ලෙස අපට ඇරයුමක් ද කරමිනි.
 
විජය මහත්තයා නැක්සලයිට්වාදියෙක් කියා අත්අඩංගුවට අරගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ගෙනගිය කාලයේ ඔහුගේ ආරක්‍ෂාව බාරව සිටි ජේලර්වරයා මමයි* යැයිද ඔහු කීය. ඔහුගේ ජීවිත කතාව කියන්නට පටන් ගත්තේ අප කවුදැයි කියා හඳුන්වාදීමෙන් පසුවය.
 
අද කඩ පිලක එහෙත් නැත්නම් බස් හෝල්ට් එකක වැටිලා නිදාගත්තාට මමත් කාලයක් හොඳ ගෙදරක සුව පහසුවට නිදා ගත්ත කෙනෙක් කියා ඔහු පැවසුවේ සිනා සෙමිනි. ඒ අව්‍යාජ සිනාව තුළ කඳුළු, දුක් සුසුම් අපමණ බාධා ගැබ්ව තිබුණ බව මට හැඟී ගියේය.
 
වසර 18 ක පමණ කාලයක් ජේලර්වරයෙක් ලෙස රැකියාව කර මහ පාරට ඇද වැටී ඇති ෂෙල්ටන් කුරේරා මහත්තයාගේ දැන් වයස අවුරුදු 70 කි. කාගේවත් හව්හරණක්, පිළිසරණක් නොමැතිකම නිසා කවුරුන් හෝ දෙන දෙයකින් හෝ කුලී වැඩක් කර උපයා ගන්නා මුදලින් කුසගින්න නිවාගෙන ඉන්න හිටින්න තැනක් නොමැති නිසා බස් නැවතුමේ හෝ කඩ කාමරයක් ඉදිරිපිට රැය පහන් කරන්නේ වසර 9 ක පමණ කාලයක සිටය.
 
කුලී වැඩකර හෝ අනුන් දෙන දෙයක් කා ජීවත් වීමට හිටපු ජේලර් කුරේරා මහතාට සිදු වී ඇත්තේ ඔහුගේ විශ‍්‍රාම වැටුප ඔහුට අහිමී වීම නිසාය.
 
ලේඛන කලාවට ද සුවිශේෂී දක්‍ෂතා දක්වන ෂෙල්ටන් කුරේරා මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම වකවානුවේ මුද්‍රණය කරන ලද සන්නිවේදන මාසික සඟරාවේ ප‍්‍රධාන සංස්කාරකවරයා ලෙසද කටයුතු කර ඇත. එම සඟරාවේ පිටපත් කිහිපයක් ද තවමත් ඔහු සතුව තිබී ඒවා ද අපට පෙන්නුවේය. ඔහුට තිබෙන එකම වස්තුව වන්නේ ද එය පමණකි. තමන්ගේ දරු දෙන්නා ගැන කිසිම දෙයක් අහන්න එපා යැයි කියා කොන්දේසි මත හිටපු ජේලර් මහත්තයා අප හා දොඩමළු වන්නට විය.
 
 
මම 1972 වසරේ නියාමකවරයෙක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳී පසුව ජේලර් නිලයට උසස් වීම් ලැබුවා. බන්ධනාගාර හා එළිමහන් සිර කඳවුරු කිහිපයකම මා රාජකාරි කර තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් ලෙස රාජකාරි කරන වකවානුවේ හදිසියේ මා රෝගාතුර වුණා. රෝගි වූ බවට වාර්තා කර මම වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීමට ගියා. මගේ රෝගි තත්ත්වයට ප‍්‍රතිකාර ලබා ගන්නා අතරතුර හදිසි අනතුරකින් මගේ බිරිඳ මිය ගියා. මගේ රෝගයට ප‍්‍රතිකාර ලබාගත් වෛද්‍ය වාර්තාව නිසි වේලාවට ඉදිරිපත් කිරිමට අමතක වීම නිසා 1986 වසරේ මගේ රුකියාව අහිමි වුණා.
 
නැක්ස්ලයිට් චෝදනා නගා විජය කුමාරණතුංග මහත්තයා අත්අඩංගුවට අරගෙන වැලිකඩ බන්ධනාගාරයට ගෙනාවට පස්සේ එතුමාගේ ආරක්‍ෂාව බාරව සිටියේ මමයි. විජය මහත්තයාට උදව් උපකාර කළා කියා මගේ වැඩත් ඒ කාලයේ තහනම් කළා. වැඩ තහනම් කරලා දවස් 12 කට පස්සේ ආයෙත් රුකියාව ලැබුණා. ඒ සිද්ධිය වුණේ 1983 වසරේ.
 
ඒ හිටපු ජේලර් කුරේරා මහතාගේ හඬයි. ඔහු මෙසේ ද කීය.
 
අම්මා 2009 වසරේ මිය ගියා. තාත්තා ඊට කලින් මිය ගොස් සිටියේ. අම්මා මිය ගියාට පස්සේ මම මේ ලෝකයේ තනිවුණා. ඉන්න හිටින්න තැන නැතිව ගියා. ඊට පස්සේ මම මහ පාරට බැස්සා. එදා ඉඳන් අදටත් මම ඉන්නේ මහ පාරේ. කුලී වැඩක් ලැබුණොත් කරනවා. හඳුනන කෙනෙක් කන්න බොන්න දුන්නොත් ඒක කාලා බඩගින්න නිවා ගන්නවා. කඩ පිලක හෝ බස් හෝල්ට් එකක රැය පහන් කරනවා. කුසට කිසිම දෙයක් නැතිව බඩගින්න නිවා ගන්න දවස් අනන්තයි අප‍්‍රමාණයි. වැස්ස දවස්වල නිදාගන්න බැහැ. ඔහොම තමා මම වසර 09 ක විතර කාලයක් ඉඳලා ජීවිතය ගත කරන්නේ. බඩගින්න, වැස්ස, සීතල මට හොඳට හුරුයි මහත්තයෝ. මොනවා කරන්නද? මම මේවා ගැන හිතලා පසුතැවෙන්නේ නැහැ. ආත්ම ශක්තියෙන් ජීවිතයට මුහුණ දෙනවා. මට කාත් කවුරුත් නැහැ.
 
දවසක් මහ රෑක මාරවිල කඩ පිලක නිදාගෙන ඉද්දී මාව ජීප් එකේ දාගෙන පොලිසියට අරගෙන ගියා. ඒ විදිහට නගරයේ රැය ගත කරන තවත් කට්ටියක් ද මාත් එක්ක අරගෙන ආවා. මම කවුද කියා හඳුනාගත් පොලිසියේ මහත්තයෙක් කූඩුවට දැම්මේ නැහැ. පහුවදා මාව උසාවියට ඉදිරිපත් නොකර යැව්වා.
 
මගේ විශ‍්‍රාම වැටුප හදාගන්න අවුරුදු ගණනාවක ඉඳලා මහන්සි වෙනවා. ඒත් ඒ වැඩේ තවම කරගන්න බැරිව ගියා. මට විශ‍්‍රාම වැටුප් ලබාදෙන්න කියා අදාළ බලධාරින් නිර්දේශ විශ‍්‍රාම වැටුප ලැබෙන්නේ නැහැ. නිර්දේශ කරලා විශ‍්‍රාම වැටුප දුන්නානම් මට මෙච්චර දුක් විඳින්න ඕනෑ නැහැ. මගේ විශ‍්‍රාම වැටුප් ලබා දුන්නොත් ඒක ලොකු පිනක්. විශ‍්‍රාම වැටුප් අංකයක් පවා මට ලබාදී තිබෙනවා.
 
 
විජය කුමාරණතුංග මහත්තයා බන්ධනාගාරයේ ගත කළ හැටි, ඔහු කළ කී දේවල් ගැන ඔහුගේ ගැන ඔහුගේ ආරක්‍ෂාව බාරව සිටින නිලධාරි වශයෙන් මම හොඳින් දන්නවා. විජය මහත්තයා ගැන පොතක් ලියන්න මේ ළඟදි මම ආරම්භ කළා. ඉඩක් ලැබෙන හැම අවස්ථාවකම මම ඒ පොත ලියනවා. පොත මුද්‍රණය කර දෙන්න යහළුවෙක් පොරොන්දු වුණා. ඒ නිසයි මම විජය මහත්තයා ගැන පොතක් ලියන්න තීරණය කළේ. ඔහු හිරගෙදර ගත කළ කාලයේ සිද්ධ වෙච්ච මෙතෙක් කාලයක් ප‍්‍රසිද්ධ නොවූ කරැණු කාරණා මේ පොතට මම ඇතුළත් කරනවා. කුලී වැඩ කරලා මහන්සි වැඩි දවස්වලට පොත ලියන්න බැහැ. අරක්කු ටිකක් බොනවා.
 
පොතේ කොළ කිහිපයක් ලියා අවසන් වී ඔහු නිදාගැනීමට යන්නේ කඩපිලකට හෝ බස්නැවතුම්පොළකටය. 
 
මට දැන් අවුරුදු 70 ක් වෙනවා. බස් හෝල්ට් එකක හරි කඩ පිලක හරි මම කොයි මොහොතක හෝ මැරෙයි. රජයේ වියදමින් මගේ සිරුර භූමිදානය කරලා දමාවි. මගේ හිතේ දුකක් නැහැ. මම කතෝලික භක්තිකයෙක්. ජීවිතය ගැන තේරුම් අරගෙන ඉන්නේ යැයි ෂෙල්ටන් ජේලර් මහත්තයා අප සමඟ පැවසීය.
 
ෂෙල්ටන් කුරේරා හිටපු ජේලර් මහත්තයාගේ මතකය ඇසුරෙන් විජය කුමාරණතුංග මහත්තයා හිර ගෙදර ගතකළ කාලයේ වෙච්ච කෙරිච්ච දේවල් ගැන අපි ඊළඟ කලාපයෙන් කියවමු.
 
ඉතිරි කොටස ලබන සතියට....
 
කතාව - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
සේයාරූ  - මාදම්පේ ලක්‍ෂමන් හෙට්ටිතන්ත්‍රී
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00
 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00