2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා

මහ මුහුදේ කොරල් පරයකට පෙම් කරන අක්කා - නගෝ

 2018 සැප්තැම්බර් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

ධීවර ප්‍රජාවගේ ධන උල්පතවූ මහා සාගරය වරෙක නිසලවද වරෙක කැළඹෙන්නේ ද මිනිසාගේ ජීවිතයට ඇතිවන දුක සැප සතුට මෙනි. ගැඹුරු හඬකින් සවන් පුරවා නෙත් සිත් ඇද බැඳ ගන්නා දසුන් මවමින් අලංකාර වූ රළෙි නඟා වෙරළ සිපගෙන යළි යළි පසුබසිමින් ආපසු ඉදිරියට එන මුහුදු ර‍ෙළහි බියකරු බව හඳුනාගෙන මුහුදු රැල්ල පාගන්නට බියවූ අක්කා නගෝ දෙදෙනකු මුහුදට සමීපතම මිතුරියන් දෙදෙනකු සහ මුහුදු ජීවින්ගේ ආරක්ෂකයින් දෙදෙනකු ලෙසට පත්වී ඇත.

සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්වී ඇති විනාශයට පත්වෙමින් පවතින කල්පිටිය කොරල්පරය රැක ගැනීමට රාජ්‍ය ආයතන මෙන්ම පරිසර සංවිධාන විවිධ වූ ක්‍රියාකාරකම් කරමින් මැදිහත් වුවද එය ප්‍රමාණවත් නොවන බව වටහාගත් අක්කා නගෝ දෙදෙනාගේ කතාව වසර පහක් පමණ කාලයක් සැඟවුණු ක්‍රියාකාරකමක් ලෙස ක්‍රියාත්මක වී ඇත.

මෙම කාන්තාවන් දෙදෙනා පිළිබඳ කතා කිරීමේදී අමතක කිරීමට නොහැකි දෙදෙනෙකු පිළිබඳ සිහිපත් කළ යුතුමය. එහි ප්‍රථමයා වන්නේ කල්පිටියට කිමිදුම් රැකියාව ප්‍රථමවරට හඳුන්වා දුන් ශාන්ත පියුමසිරි ප්‍රනාන්දුය. ඔහු දක්ෂ කිමිදුම්කරුවකු පමණක් නොව මුහුදු කිමිදුම්කරුවන් කිමිදීමේදී නිවැරදි ක්‍රම අනුගමනය නොකිරීමෙන් ශරීරයේ නයිට්‍රජන් ප්‍රමාණය ඉහළ ගොස් ඇතිවන (බෙන්ස්) නැමති රෝගය විගසින් සුවකරන අයෙකි. බෙන්ස් නැමති රෝගය වැළඳුණු අයකු සුව කිරීමට අවශ්‍ය පීඩන කුටියක් පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සහ කොළඹ පෞද්ගලික ස්ථාන කිහිපයක පමණි. එවැනි කිසිම පීඩන කුටියක නොදමා රෝගියා යළි මුහුදට රැගෙන ගොස් සුවකරන කිමිදුම් ක්ෂේත්‍රයේ මෙතෙක් බිහිවූ එකම පිහිනුම් උපදේශකයා වී ඇත්තේ ශාන්ත පියුමසිරි මහතා වන අතර ඔහුගෙන් කිමිදුම් ශිල්පය ඉගෙනගත් බොහෝ දෙනා අතර විවිධ ජාති ආගම් නියෝජනය කරන අයවූ බව ඔහුගේ පුත් කල්පිටිය පදිංචි වර්තමානයේ සිටින දක්ෂතම කිමිදුම් පුහුණුකරුවකු සහා කිමිදුම් ශිල්පියෙකු වූ සමිත් තිළිණ ප්‍රනාන්දු පැවසීය. 

පසුගිය යුද සමයේදී පැහැර ගැනීමට ලක්වී ඇති ශාන්ත පියුමසිරි මහතා පිළිබඳ තොරතුරක් තවමත් බලාපොරොත්තුවෙන් පසුවන්නේ සමිත්ගේ පවුලේ උදවිය පමණක් නොව ඔහුගෙන් රෝග සුවකරගත් කිමිදුම්කරුවන්, ඉගෙනගත් කිමිදුම් ශිල්පීන් සහ හිතමිතුරන්ය. කිමිදුම් ශිල්පියකුවූ සමිත් රජයෙන් ලබාගත යුතු සියලු අවසර පත්‍ර ලබාගෙන තිබුණද තම පියාට අංගසම්පූර්ණ කිමිදුම් පුහුණුකරුවකුට අවශ්‍ය බලපත්‍ර නොතිබීම එවකට පැවති යුද සමයත් සමඟ අවාසියක් වන්නට ඇති බවත් කිමිදුම් ක්ෂේත්‍රයට තම පියා අහිමිවීම පිරවිය නොහැකි අඩුවක් බවත් පැවසුවේ තම පියා ගැන තොරතුරක් තවමත් බලාපොරොත්තුවෙන් පසුවන බව කියමිනි.

2010 වසරේදී කිමිදුම් ක්ෂේත්‍රයට පිවිසෙන එස්.ඒ. නිලූකා දමයන්ති සමිත්ගේ බිරිඳ වන අතර එස්.ඒ. මධුශිකා සුභාෂිණී නිලූකාගේ නැගණියයි. මහා සාගරයට ආදරයක්, කරුණාවක් ඇල්මක් දක්වන 32 හැවිරිදි නිලූකා දමයන්ති සහා 26 හැවිරිදි ඇයගේ නැගණිය අපේ කාලයේ දිය කිඳුරියන්යැයි කිව හැකිය. ඔවුන් පිළිබඳ සොයා ගිය ගමනේදී අසන්ට ලැබුණු වදන් වචනයට පෙරළා ලියන්නට සිතුණි.

තිදරු මවක් මෙන්ම දක්ෂ කිමිදුම් ශිල්පිනියක් වූ නිලූකා දමයන්තිගේ කතාව මෙසේ වීය.

“2010 වසරේදී තමයි මම මුලින්ම පිහිනන්න ඉගෙන ගත්තේ. කරන්න පාඨමාලා හයක් විතර තිබෙනවා. තවම කරලා තිබෙන්නේ එකයි. මගේ සැමියා තමයි මට පුහුණු කළේ. මට මුහුදේ පීනන්න කිසිම හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මගේ මහත්තයා සමිත් පිහිනුම් කරනකොට මට ඇතිවුණු ආශාව නිසා මම පිහිනුම් ශිල්පිනියක් වුණා කියලා හිතෙනවා. මේ කටයුත්ත එතරම් පහසු එකක් නොවයි. ආරක්ෂිත ජැකට් දාලා මුහුදේ පුහුණු වුණා.
කල්පිටියෙ ස්විමිං පුල්වලට ගිහින් පීනන්න පුරුදු වෙන්න තරම් සල්ලි තිබුණෙ නැහැ. පුත්තලමට ඇවිත් ස්විමිං පුල්වල පුරුදු වුණා. එහෙම කරලා තමයි අද බය නැතුව මුහුදේ බහින්නේ. මගේ මහත්තයා තමයි මාව මෙතනට ගෙනාවේ. මගේ මහත්තයා කොරල්පර ආරක්ෂා කරන ආයතන එක්ක එකතුවෙලා ඉන්නවා. දැන් වසර තුනක් විතර කාලයක ඉඳලා මමත් මගේ නංගිත් මේ සඳහා කැපවෙලා වැඩ කරනවා.”

මුහුදට බහිනකොට බය හිතෙන්නේ නැද්ද

“මුලින්ම බය හිතුණා. දැන්නම් මට මුහුදත් ගොඩබිම වගේ තමයි දැනෙන්නේ.”

කොරල්පර ආරක්ෂා කරන්න මොනවද කරන්නේ?

“කොරල්පරයට බැහැලා අපවිත්‍ර ද්‍රව්‍ය ඉවත් කරනවා. දරුවනුත් එක්ක ටිකක් අමාරුයි. නමුත් හැකි හැම වෙලාවේම ඒක කරනවා. ලොකු පුතාලා දෙන්නට වයස 12-09 යි. ඒ දෙන්නත් දැන් පිහිනුම් ඉගෙන ගන්නවා. තව අවුරුදු කිහිපයක් යනකොට මුහුදට බහී. දුවට වයස 04 යි තවම පෙර පාසල් යනවා. අපට තව ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා. පාඨමාලා කිහිපයක් කරන්න තිබෙනවා. ඒකට සල්ලි නැති නිසා නිකම් ඉන්නවා. පිහිනුම් ඇඳුමක් මිලදී ගන්නෙත් අමාරුවෙන්. ගෙදර වියදම් දරුවන්ගේ වියදම්වලට මහත්තයා හම්බ කරන එ්කත් මදි තරම්. කොරල්පරය රකින්න ඕනි කියන මතයේ අපි ඉන්නෙ. කවුරු හරි උදවු කරන්න ඉන්නවා නම් ලොකු දෙයක් කරන්න අපට පුළුවන්.”

26 හැවිරිදි එස්.ඒ. මධුෂිකා සුභාෂිනී කැලණිය විශ්ව විද්‍යාලයේ කලා අංශයෙන් බාහිර උපාධිය සඳහා ඉගෙන ගන්නා ශිෂ්‍යාවකි. කිමිඳුම් කාරියක වූ ඇයගේ කතාව සටහන් කර ගත්තේ මේ ආකාරයටය.

“මමත්  කිමිදුම් ක්ෂේත්‍රයට ආවේ කොරල්පරය නිසාමයි. 2010-2011 වසරවල කොරල්පරයේ තිබුණ අලංකාරය අද නැහැ. විනාශයට පත්වෙලා. මිනිස් ක්‍රියාකාරකම් වගේම ස්වභාවික ව්‍යසනයන් නිසාත් කොරල්පරය විනාශ වෙනවා. කොරල්පරයේ සුන්දරත්වය බොහෝ අය දකින්නෙ මතුපිටින් කිමිදිලා බැලුවම සුරපුරයක් වගේ. ඉතින් මේ සම්පත අහිමි වෙනවා කියන්නෙ අපේ අනාගතය විනාශ වෙනවා කියන එකයි. මේවා රකින්න මීට වඩා වැඩපිළි‍ෙවලක් අවශ්‍යයි. කොරල්පරයට වෙලා තිබෙන දේ දැක්කම හරිම දුකයි. රටේ පුරවැසියෙක් විදිහට අපට කරන්න පුළුවන් දේ කරනවා මගේ අක්කාගේ මහත්තයා මට මේ ඉදිරි ගමනට ශක්තියක් මම මේ වෙනකොට පාඨමාලා දෙකක් කරලා තිබෙනවා තව කරන්න තිබෙනවා. ඒවට ඉතින් වියදම් කරන්න සල්ලි ඕනෑ.”

විවාහ වුණාම මහත්තයා කැමති වෙයිද කොරල්පර සුද්ද කරන්න මුහුදට බහිනවට?

“විවාහ වෙන්න ඉන්න කෙනා ධීවරයෙක්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ එයා කැමතියි.”

බිහිසුණු අත්දැකීම් එහෙම තිබෙනවාද?

“ඔව් අපි කට්ටිය එක්ක කොරල්පරය බලන්න ගිහින් බෝට්ටුව ඇංජිම ක්‍රියා විරහිත වුණා. පාවී පාවී පැය ගාණක් මුහුදේ හිටියා. නාවික හමුදාවට දැනුම්වත් කළාට පස්සෙ තමයි අපිව බේර ගත්තේ. එදානම් ගොඩක් බය හිතුණා. ඒ මුල් කාලයේ. දැන්නම් මුහුද අපිට ගොඩබිම වගේ. අපි යහපත් චේතනාවෙන් මුහුදට බහිනවා දෙවියො අපිව රකිනවා.”

රෝවන් පෙරේරා - පුත්තලම

 

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30