2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මේ ලකුණු ක්‍රමයට විදුහල්පතිවරු වෙන්නේ අයි.ටී. - ඉංග්‍රීසි විශේෂඥයෝ පමණයි

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

ජාතික පාසල් 303කට විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කිරීම හරහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ගැටලුවක් නිර්මාණය වී තිබේ. අධ්‍යාපන සේවා කමිටුව විසින් මෙම බඳවාගැනීම් සඳහා අනුගමනය කරනු ලබන නව ලකුණු දීමේ පටිපාටිය හා ස්ථාන මාරුකිරීමේ ප්‍රතිපත්ති හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බව පැවසෙයි. ජාතික පාසල්වල දීර්ඝ කාලයක් කරනු ලබන ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරු මේ හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටිති.

අධ්‍යාපන අමාත්‍යංශය ජාතික පාසල් සඳහා අයදුම්පත් කැඳවීමේදී වසර අටක සේවා කාලයක් එකම පාසලක් තුළ සම්පූර්ණ කළ විදුහල්පතිවරුන් සිටින පාසල් ද පුරප්පාඩු වූවා සේ සලකා ඒවාට ද විදුහල්පතිවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබේ. එහෙත් මේ වනතෙක් එම පාසල්වල දීර්ඝ කාලයක් සේවය කළ විදුහල්පතිවරුන් ස්ථාන මාරු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට නැත. ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරු දැඩි අසාධාරණයකට ලක්ව සිටිති. මෙම විදුහල්පතිවරුන් තමන් අදාළ පාසලේ ධූරය දරමින් සිටියදීම පාසලේ අට වසරක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත්නම් එම පාසල් සඳහා ද අයැදුම්පත් කැඳවීමෙන් මහත් අපහසුතාවයකට පත්ව සිටිති. මෙම නව ලකුණු දීමේ පටිපාටියට අනුව ඉංග්‍රීසි භාෂා නිපුණතාව සඳහා ලැබෙන උපරිම ලකුණු 20කි. උපරිම ලකුණු ලැබීමට ඉංග්‍රීසි විෂය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා සිටිය යුතුය. දෙවැනි ලකුණු සංඛ්‍යාව වන ලකුණු 15 ලබා ගැනීමට ඉංග්‍රීසි මාධ්‍ය පශ්චාත් උපාධියක් හදාරා තිබිය යුතුය. විදුහල්පති සේවයේ සිටින බොහෝ දෙනා තබා ශ්‍රී ලාංකික උපාධිධාරීන්ගෙන් අතිමහත් බහුතරයක් මෙවන් සුදුසුකම් සපුරා නැත. විදුහල්පතිවරයකුට ඉංග්‍රීසි දැනුම වැදගත්ය. නමුත් ඉංග්‍රීසි භාෂා නිපුණතාව මැන බැලීම සඳහා ඉදිරිපත් කර ඇති පටිපාටිය නම් බොහෝ බරපතළය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුමට වෙනම ලකුණු 15ක් උපරිමය ගැනීමට නම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් තිබිය යුතුය. එවන් උපාධියක් තිබේ නම් අදාළ විෂයේ ප්‍රවීණයකු ලෙස රුකියා කරනු විනා විදුහල්පති සේවයට එන්නේ නැත. විදුහල්පතිවරයකුට තොරතුරු තාක්ෂණ දැනුම තිබීම වැදගත් වන නමුත් එවන් උපාධි තිබීම ප්‍රායෝගිකව අවශ්‍ය නැත. පාසල්වලට තොරතුරු තාක්ෂණය අවශ්‍ය නම් ඒ සඳහා අදාළ විෂයන් උගන්වන ගුරුවරු සිටිති. විදුහල්පතිවරයකුට අවශ්‍ය වන්නේ කළමනාකරණ ප්‍රවීණතාවයි. පාසල් කළමනාකරණය හා පන්ති කාමර කළමනාකරණය විදුහල්පතිවරැන්ට අත්‍යවශ්‍ය අංගයකි. ලකුණු දීමේ පටිපාටිය සැකැස්විය යුත්තේ දැනට විදුහල්පතිවරුන් තම පාසල් පරිපාලනය කරනු ලබන ආකාරය සහ ඔවුන් තුළ ඇති නව අදහස් හා සංකල්ප වෙනුවෙනි. නමුත් මෙම පටිපාටිය තුළ එවැනි කරුණුවලට ප්‍රමුඛතාවක් ලබා දී නැත. අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ තීරණ ගැනීමේදී බලධාරීන් අවධානය යොමු කළ යුතු දෙයට වඩා වෙනත් දෑ වෙනුවෙන් අවධානය යොමු කරන බව දිගින් දිගටම පෙනී යයි.

මෙම නව ගැටලුව හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින්නේ දිවයිනේ ප්‍රකට බාලිකා පාසල් කිහිපයක ජ්‍යෙෂ්ඨ විදුහල්පතිනියන් බව කියවේ. නවක විදුහල්පතිනියන් කිහිපදෙනකුට හොඳින් ලකුණු ලැබෙන පරිදි නව බඳවාගැනීම් සඳහා වන ලකුණු දීමේ පටිපාටිය සකසා ඇති බවට චෝදනා ද නැගෙමින් පවතියි. ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැරීම හරහා අධ්‍යාපන සේවයේ විශාල ගැටලුවක් ඉදිරියේදී නිර්මාණය වීමේ අවදානමක් පවතින බව දැනට පවතින තත්ත්වය අනුව පෙනී යයි.

උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ජාතික පාසල් 353 ඇති අතර එයින් 303කට වැඩ බලන විදුහල්පතිවරුන් සිටින අතර මෙම බඳවාගැනීම සිදුකරනු ලබන්නේ එම පුරප්පාඩු සඳහා බවය.

“විදුහල්පතිවරුන් පාසල් පවත්වාගෙන යද්දී වඩාත් වැදගත් වන්නේ අත්දැකීම්. නමුත් මෙතනදී ඊට වඩා ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ පරිගණක කුසලතාවයටයි. ඉංග්‍රීසි භාෂා නිපුණතාවයටයි. සාමාන්‍යයෙන් රටේ තියෙන දේ තමයි විභාගවලින් වැඩි ලකුණු ගන්නේ සේවාවට වඩා විභාග මූලික කරගෙන වැඩ කරන මිනිස්සු වීම. මෙතනදී අවුරුදු දහයට වඩා විදුහල්පති සේවයේ යෙදුණු අත්දැකීම් තියන අයට පත්වීමේ ලබා ගැනීමේ හැකියාව අඩුවෙනවා. එහෙම වෙන්නේ අර කියන සුදුසුකම්වලට වැඩි ලකුණු ලැබීම හේතුවෙන්. මෙතනදී අපට පෙනී යන්නේ තමන්ට අවශ්‍ය අය පත්කර ගැනීම සඳහා ක්‍රමයක් සකස් කර ඇති බවයි.” යැයිද ඔහු කියයි.

ඒ මහතා පවසන පරිදි මෙම ක්‍රියා පටිපාටිය හේතුවෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල්වලට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නවකයන්ට පත්වීමේ අවස්ථාව හිමිවෙයි. ඒ හරහා තමන්ට ඉතා පහසුවෙන් හැසිරවිය හැකි පිරිසක් අධ්‍යාපන පද්ධතිය තුළ නිර්මාණය කරගැනීමට බලධාරීන්ට අවස්ථාව උදාවනු ඇත.

විදුහල්පති සේවයේ මතුවී ඇති මෙම ගැටලුව සම්බන්ධයෙන් විමසූ විට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ වැඩ බලන විදුහල්පතිවරුන් වෙනුවට ජාතික පාසල් සඳහා විධිමත් ලෙස විදුහල්පතිවරුන් පත්කරන ලෙස දිගින් දිගටම සිදුකරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවය. නමුත් ගැටලුව වී ඇත්තේ බඳවාගැනීම ගැසට් කිරීමේදී එහි ලකුණු දෙන පටිපාටියේ බරපතළ ගැටලු මතු වීමයි.. මෙම ලකුණු දීමේ පටිපාටිය වැරදි සහගත බවත් ඊට පෙර නිකුත් කරන ලද ගැසට් නිවේදනවලට පටහැනි බවත් ඒ මහතා සඳහන් කරයි.

“විදුහල්පති පුරප්පාඩු තියෙන පාසල් වගේම විදුහල්පතිවරු ඉන්න පාසලුත් මෙතැනදී ගැසට් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි කළ සොයාබැලීමේදී ඔවුන් පවසන්නේ ඒ විදුහල්පතිවරු අවුරුදු අටට වඩා වැඩි නිසා ඒ පාසල් ද ගැසට් කරලා තියෙන්නේ කියලා. නමුත් එහෙම ගැසට් කරන්න බෑ ඇත්තටම. අවුරුදු අටට වැඩි අයට මාරුවීම් ලබා දීමට පූර්ව සැලසුම් වශයෙන් මේක කරලා තියෙනවා කියලා ඔවුන් කියන්නේ. නමුත් ඉතින් ඒක පිළිගත හැකි උත්තරයක් නෙවෙයි” යැයි ද ඔහු කියයි.

මෙම ලකුණු දීමේ පටිපාටිය කඩිනමින් නිවැරදි කළ යුතු බව ස්ටාලින් මහතා කියයි. ජාතික පාසල් 303ක් සඳහා විදුහල්පතිවරුන් නිසි පරිදි ඉක්මණින් පත් කළ යුතු බවද ඒ මහතා සඳහන් කරයි.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට අධ්‍යාපන අමාත්‍යංශ ඇමතූ නමුත් දිගින් දිගටම දුරකථන මාර්ග කාර්යබහුලව පැවතුණි.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පසුගිය කාලය තුළ ගැටලු ගණනාවක්ම ඇතිවිය. අධ්‍යාපන පරිපාලන සේවයේ දේශපාලන පළිගැනීම් සඳහා පත්වීම් ලබාදීමේ ක්‍රමවේදය, විභාග රාජකාරි සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් පත්කිරීමේ තීරණය, නිල ඇඳුම් සම්බන්ධ ගැටලු ආදිය ඉන් කිහිපයකි. ජාතික පාසල් සඳහා යෝජිත විදුහල්පතිවරුන් පත්කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් සිදු නොවුණ ද ඉදිරියේදී එම කතිකාව ඇතිවිය හැකිය. විදුහල්පති සේවය හා අධ්‍යාපන පරිපාලන සේවය සම තත්ත්වයේ ලා ලකුණු දීමේ පටිපාටිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් හරහා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට අසාධාරණයක් වන බවට ද මෙහිදී චෝදනා එල්ල වෙයි. මේ සියල්ල අධ්‍යාපන බලධාරීන්ගේ අවධානයට ලක්විය යුතු කරුණු වෙයි.

අධ්‍යාපන සේවා කමිටුවේ මෙම ලකුණු දීමේ පටිපාටියට අනුව සේවා කාලය සඳහා ලකුණු ලබාදීමේ උපරිමය වසර දහයකට සීමා කර ඇති බව කියවේ. ඒ අනුව ජාතික පාසල්වල දීර්ඝ කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරු අපහසුතාවයට පත්ව සිටිති. පළපුරුද්ද සඳහා ලැබෙන ලකුණු සංඛ්‍යාව ලකුණු 20ක් වන අතර වසරකට ලකුණු 2 බැගින් වසර 10ක් සඳහා මෙම ලකුණු සංඛ්‍යාව ලබාදෙයි. වසර විස්සකට අධික සේවා කාලයක් සහිත විදුහල්පතිවරු ද මේ අතර සිටින බැවින් ඒ අයගේ සේවා පළපුරුද්දට නිසි වටිනාකමක් මෙම ලකුණු ක්‍රමය යටතේ හිමි නොවේ.

ගුරැවරුන්, විදුහල්පතිවරුන් සහිත අධ්‍යාපන සේවාව ඕනෑම රටක හදවත බඳුය. එහි ඇතිවන ගැටලු රටක අනාගතයට විශාල බලපෑමක් සිදු කරනු ලබයි. මේ හේතුවෙන් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතිවන ගැටලුවලදී රජය ඉතාමත් සංවේදී ලෙස කටයුතු කිරීම අවශ්‍යය.

චමිඳු