2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මොකද්ද මේ තිස්ස හදන අලුත් පක්ෂය?

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

මෙරට දේශපාලන වංශකතාවේ පක්ෂ මහ ලේකම්වරුන්ගේ භූමිකාව ආන්දෝලනාත්මකය. 2015 ජනාධිපතිවරණයේ ලාංකීය දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකේ මහ ලේකම්වරුන් දෙදෙනා පිල් මාරු කළ අතර එහි ප්‍රතිඵලය වූයේ අයෙක් රජ ගෙදරට යන අතරේ අනෙක් ලේකම්වරයාට දේශපාලනයට සමුදී ගෙදර යාමට සිදුවීමයි.

එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා මෙලෙස දේශපාලන රංගනයෙන් ඈත්වූ චරිතය විය. එහෙත් තරමක නිහැඬියාවකින් පසු තිස්ස අත්තනායක මහතා නව දේශපාලන ප්‍රවේශයකට සැරසෙන බවට පසුගියදා ආරංචි ලැබුණි. අප තිස්ස අත්තනායක මහතා හමුවූයේ ඔහුගේ අනාගත දේශපාලන ගමන පිළිබඳ දැන ගැනීමටය.

රටේ දේශපාලනයේ තරමක කලබලයක් නිර්මාණය වී ඇති බවත් එයට හේතුව තවත් වසර එකහමාරකින් එළඹීමට නියමිත ජනාධිපතිවරණය හා පළාත් සභා මැතිවරණ පිළිබඳව පැතිර යන නොයෙක් නොයෙක් කටකතා බව පවසමින් ඒ මහතා කතාවට මුලපිරීය. පසුගිය කාලයේ සිදුවූ දේශපාලන හැල හැප්පිලි එක්ක පසකට වී සිටි නමුත් නැවත වතාවක් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමේ සූදානමින් සිටින බවද ඔහු කියයි. ඒ අනුව අත්තනායක මහතා මේ දිනවල සිටින්නේ නව දේශපාලන පෙරළියකට සූදානම් වෙමිනි. බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ලබාගන්නා නව දේශපාලන ප්‍රවේශයට මැද මාවතක් තෝරා ගැනීමට සැරසෙන්නේ යැයි කියන ඔහු එය සැබෑ මැද මාවතක් වනු ඇතැයි අනාවැකි පළකරයි. දේශපාලනයේ නියුතු හැම පාර්ශ්වයකට ඇඟිල්ල දිගුවන පසුබිමක එය වඩාත් සුදුසුම ප්‍රවේශය ලෙස ඔහු දකී.

මේ නව දේශපාලන පක්ෂයක ඇරැඹුමකි. මෙය නිර්මාණය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ බිඳී ගිය කණ්ඩායම්, මධ්‍යස්ථ මතධාරීන් හා අලුත් ඡන්දදායකයන් වෙනුවෙනි. ගමේ එක්සත් ජාතික පාක්ෂිකයන් මහත් කලකිරීමකින් සිටින අයුරු පහදන අත්තනායක මහතා ගමේ දේශපාලනයට නායකත්වය ලබාදෙන පිරිස පක්ෂය අමතක කර දමා ඇති බව සිහිපත් කරයි. එම පිරිස එකතු කරගනිමින් රටේ දේශපාලනය පිළිබඳ කලකිරී සිටින නව දේශපාලන දර්ශනයක අවශ්‍යතාවය හඳුනාගෙන සිටින මධ්‍යස්ථ මතධාරීන් සමඟ මෙම නව මැද මාවත නිර්මාණය කරන්නට ඔහු සැරසේ.

බිහිවන නව පක්ෂය තුළින් සේනානායකලා හා ජයවර්ධනලා නිර්මාණය කරන්නට සූදානමින් සිටින අත්තනායක මහතා පවසන්නේ සේනානායකලා නිර්මාණය කළ එක්සත් ජාතික පක්ෂය දීප්තිමත් කර ඇත්තේ ජයවර්ධනලා බවයි. නව පක්ෂයට සහයෝගය දෙන්නේ කවුරුන්දැයි අප ඇසූ විට ඒ මහතා ප්‍රකාශ කර සිටියේ දැන්ම නම් සඳහන් කිරීමට නොහැකි වුවත් පක්ෂයේ බොහෝ පැරණි සාමාජිකයන් තමන් සමඟ එකතු වීමට සූදානමින් සිටින බවයි. එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ඒකකය භාරව සිටි අග්‍රාමාත්‍යවරයාගේ සමීපතමයකු වන සුදත් චන්ද්‍රසේකර හා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම් මෛත්‍රී ගුණරත්න මහත්වරුන් තිස්ස අත්තනායක මහතා සමග එකතුවන්නට සැරසෙන බවට පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව අපි විමසුවෙමු. සුදත් චන්ද්‍රසේකර මහතා සමඟ දේශපාලන වැඩපිළිවෙළකට එකතුවීමට සාකච්ඡා පැවැත්වූ බව කියන එජාප හිටපු මහ ලේකම්වරයා මෙවන් අදහසක් දක්වයි.

“මං පක්ෂයේ මහ ලේකම් හැටියට ඉන්නකොට පක්ෂයේ සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහට ඔහු සුවිශාල මෙහෙවරක් ඉටුකළා. ඔහු පක්ෂයෙන් සහ ක්‍රියාකාරී වැඩවලින් ඉවත්වුණේ ඔහු සමඟ වැඩකළ සාමාජිකයන්ට සාධාරණය ඉටු නොවුණු නිසා. එසේම සිදුවුණු නොයෙක් අකටයුතුකම් නිසා. ඔහු දක්ෂයෙක්. අපි ඔහු සමඟ දේශපාලන වැඩ පිළිවෙළකට එකට එක්වීමට සාකච්ඡා කර තිබෙනවා.”

මෛත්‍රී ගුණරත්න මහතා සමඟ නව වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා නොකළ බව සඳහන් කරන අත්තනායක මහතා 2015 ජනවාරි 08ට පෙර එජාපය තුළ දෙදෙනා නියෝජනය කළේ දෙපාර්ශ්වයක් බව පවසයි. මාතර කුරුඳු පොලු නඩුවේදී අවාසනාවකට ඔහු මුණගැසුණු නමුත් එකම ඉලක්කයකට ඒකාබද්ධව ගමනක් යාමට ඔහු සූදානම් නම් එහි තමාට ගැටලුවක් නොමැති යැයිද ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ලැබුණු නිල නොවන ආරාධනා පිළිබඳවද අත්තනායක මහතා මෙහිදී සඳහන් කළේය. එජාපයේ හිටපු මහ ලේකම් කබීර් හෂීම් මහතා කිහිපවතාවකදීම මාධ්‍යයෙන් ප්‍රසිද්ධ ආරාධනා සිදුකළ බවත් පෞද්ගලිකව ද තමන් සමඟ කතා කළ බවත් අත්තනායක මහතා ප්‍රකාශ කරයි. පක්ෂ නායකතුමන් එක් අවස්ථාවකදී මුණගැසීමට කතාබහ කළ බවද අත්තනායක මහතා හෙළිකරයි. වත්මන් පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාද මාධ්‍ය ඔස්සේ තිස්ස අත්තනායක මහතාට නැවත පක්ෂයට පැමිණීමට ඉඩකඩ ඇති බව ප්‍රකාශ කර ඇත. ඒ හැමදෙනාටම ස්තූතිවන්ත වන නමුත් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන කාගේ හෝ ගේට්ටුවක් අසල බලා සිටීම පක්ෂය වෙනුවෙන් දැවන්ත සේවාවක් සිදුකළ එසේම සජිත්, රනිල් එකට එක්කර එක වේදිකාවක් තැනීමට කටයුතු කළ තමන්ට සුදුසු නොවන බව අත්තනායක මහතා පෙන්වා දෙයි. විධිමත් නොවන ආරාධනා කිරීමෙන් පලක් නොවන බවත් එවන් එකතුවීමක් තමන්ට අවශ්‍ය නොවන බවත් ඔහු කියයි.

ඒකාබද්ධ විපක්ෂයේ වත්මන් කාර්යභාරය පිළිබඳවද තිස්ස අත්තනායක මහතා සිය මතය හෙළිකරයි.

“ඒකාබද්ධ විපක්ෂයේ සමහර කාරණා සම්බන්ධයෙන් ඇඟිල්ල දිගුවීම් ගැටුම් මම දකිනවා. නමුත් විපක්ෂයේ කාර්යභාරය කවුරුන් හෝ ඉටුකරන්න අවශ්‍යයි. අද ආණ්ඩුව ඉන්නෙත් විපක්ෂය දුර්වල කිරීමේ ව්‍යාපාරයක. ඒ නිසා ඔවුන් නගන හඬ සාධාරණයි. ප්‍රමාණය පිළිබඳව ගැටලු තිබුණත් ඔවුන්ගේ ක්‍රියාදාමය පිළිබඳ ප්‍රසාදයක් තියෙනවා. සමහරු එහෙම කියනකොට හිතන්න පුළුවන් අපි ඒකාබද්දේ එල්ලෙන්න හදනවා කියලා. එහෙම නෙවෙයි. විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට ඔවුන් ගන්න උත්සාහයන් හරහා ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ රුඳෙනවා.”

ආරම්භ කරන්නට සූදානම් වන ගමන 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ගමනක්ද? කියා. අප නැගූ පැනයට තිස්ස අත්තනායක මහතාගේ පිළිතුර වන්නේ “පැහැදිලිවම ඔව්” යන්නයි. එසේ නම් ඊළඟට නැගෙන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවශ්‍යතාවක් පරිදි නව පක්ෂයක් නිර්මාණය කරන බවට නැගෙන චෝදනායි. එම චෝදනාව අත්තනායක මහතා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළේය. 2014 වර්ෂයෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා මංගල උත්සව අවස්ථාවකදී මිසක දේශපාලන කථිකාවක් සඳහා තමන් හමුනොවූ බව ඔහු පවසයි. නව දේශපාලන ව්‍යාපාරයකට ජනාධිපතිවරයා හෝ වෙනත් පක්ෂයක උපදෙස් අවශ්‍ය නොවන බව දක්වන අත්තනායක මහතා මෙය මුළුමනින්ම ස්වාධීන කටයුත්තක් බව ප්‍රකාශ කරයි.

එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ පිරිසක් මෙම නව පක්ෂය සමඟ එකතු වෙයිද යන්න පිළිබඳ අප නැගූ පැනයට තිස්ස අත්තනායක මහතා ලබා දෙන්නේ තරමක් ආන්දෝලනාත්මක පිළිතුරකි.

“අනාගතයේදී ඔවුන් එකතු වෙයි. මට කතාකරපු දෙතුන් දෙනෙක් ඉන්නවා. ඔවුන්ට ඍජුව තනිව පෙනී සිටින්න අපහසුයි. ඔවුන් තීරණාත්මක මොහොතක එකතු වෙයි. මට රාජ්‍ය අමාත්‍යවරුන් දෙන්නෙක් විතර කතා කරලා තියෙනවා. ඔවුන්ටත් ඍජු ලෙස පෙනී සිටින්න අමාරුයි. ඉතින් ඒ නිසා ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ආ විට ඔවුන් අප සමඟ එකතු වේවි.”

එක්සත් ජාතික පක්ෂය තුළ සිටින කණ්ඩායම් තමන් සමඟ එකතුවීම පිළිබඳවද වගකිව යුත්තේ එම පක්ෂයේ නායකයින් යැයි තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙයි.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව අදහස් දක්වන තිස්ස අත්තනායක මහතාගේ අදහස කොතරම් අපේක්ෂකයන්ගේ නම් සඳහන් වුවද අවසානයේ ඉතිරිවන්නේ ප්‍රබල අපේක්ෂකයන් දෙදෙනකු පමණක් බවයි. තවද කල් ඇතිව නම් කොතරම් සඳහන් වුවද ඒ කිසිවෙක් නොවන දෙදෙනෙකු අවසානයේ ඉදිරිපත් වීමට ඉඩ ඇති බවද ඔහු කියයි. ඒ හේතුවෙන් තමන් කිසිදු අපේක්ෂකයකුගේ පාර්ශ්වයට එකතු නොවන බව පවසන අත්තනායක මහතා ඉදිරියේ දී ලංකාවට අවශ්‍ය වන්නේ කවර ස්වරූපයක නායකයින්ද යන්න මෙසේ පවසයි.

“අද රටට ඕනේ කෙළින් වැඩකරන නායකයෙක්. නායකයෙක් දියාරු ප්‍රතිපත්තිවල ඉන්න විට, මම දන්නේ නෑ කියන කොට, තීන්දු ගන්නෙ නැති තත්ත්වයක ඉන්නකොට ඒ නායකයාගෙන් රටට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ. ඒ නිසා රටට ඕනෑ ඍජු, ඉදිරි දැක්මක් ඇති, රට රටට ආදරය කරන නායකත්වයක්. ඒ කවුද කියලා අපිට තීරණ කරන්න වෙන්නේ ජනාධිපතිවරණය කැඳෙව්වට පස්සේ. එතකන් කියන්න බෑ.”

නව පක්ෂයේ කටයුතු සැප්තැම්බර් මාසය තුළදී අවසන් කර ඔක්තෝබර් මුල් කාලයේදී ආරම්භ කිරීමට සූදානම් බව තිස්ස අත්තනායක මහතා දේශයට පවසයි. “එක්සත් පුරවැසි පෙරමුණ” යන නාමය සාකච්ඡා මට්ටමේ පැවතුණද ඊට සමාන නමක් පක්ෂයට ලැබිය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ සියල්ල විමසීමේදී නුදුරු අනාගතයේ නව දේශපාලන මාතෘකා රට තුළ නිර්මාණය වීමට ඉඩ ඇති බව පෙනෙන්නට තිබේ. මහ ලේකම්වරැන් දේශපාලනයේ විවිධ පෙරළි කර ඇති නිසා මෙම නව දේශපාලන ගමන පිළිබඳව හා තිස්ස අත්තනායක මහතා පිළිබඳවත් හෙට අනිද්දාට විශාල කතාබහක් ඇතිවීම නිසැකය.

►චමිඳු නිසල් ද සිල්වා