2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

උසස්පෙළ සිසුවිය ගොඩදැමූ දොස්තර දෙවියෝ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 428

රෝගීන්ගේ අසරණකම තුට්ටුවකටත් මායිම් නොකර ඔවුන්ගේ රීරිමාංශය උරා බී හෝ තම මඩිය තරකර ගැනීමට වෙරදරන, රෝගීන් කෙරෙහි කිසිම දයානුකම්පාවක් නොදක්වන වෛද්‍යවරුන් ගැන අපට අසන්නට හෝ මාධ්‍ය මගින් කියවන්නට ලැබෙන අවස්ථාද නැත්තේම නොවේ. එවැනි නරැම වෛද්‍යවරුන්ද සිටින සමාජ වටපිටාවක් තුළ අසරණ රෝගීන්ගේ දුකේදී උණුවන සංවේදී හදවත් ඇති බෝසත් ගූණ ඇති දොස්තරලා ඕනෑ තරම් සිටිති. මේ කියන්න යන්නේ එවැනි බෝසත් ගුණ ඇති වෛද්‍යවරයකු ගැන කතා පුවතකි.

බෝසත් කුලයට අයත් මේ වෛද්‍යවරයා සාමාන්‍ය වෛද්‍යවරයකු නොව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. ඔහු නමින් තිලක් මාපා මහතාය. කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වන මොහු සේවය කරන්නේ කුලියාපිටිය මූලික රෝහලේය.

දැඩි රෝගී තත්ත්වයකින් පෙළීම නිසා පසුගිය 6 වැනිදා ආරම්භ වූ අ.පො.ස උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයට උත්තර ලිවීමට යාමට නොහැකි අසරණ තත්වයට පත්ව සිටි සිසුවියකගේ එම රෝගී තත්ත්වයට පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී කඩිනමින් ප‍්‍රතිකාර කළ ඇයට විභාගයට ලියන්නට මේ විශේෂඥ වෛද්‍යවරයා අවස්ථාව උදාකර දුන්නේ කිසිදු මුදලක් අය නොකරය. වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදී සිසුවිය වෛද්‍ය මධ්‍යස්ථානයේ සිට කිලෝ මීටර 2.5 ක පමණ දුරක් ගෙවා සිය කාර් එකෙන් විභාග මධ්‍යස්ථානය කරා ගොස් ඇරලවීමට තරම් විශේෂඥ වෛද්‍යවරයා උනන්දු වූයේ රෝගීන් කෙරෙහි දක්වන දයානුකම්පාව නිසාය.

මේ කතාවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ විශේෂඥ වෛද්‍යවරයාට සිසුවියගේ පියා දුරකථනයෙන් අමතන විට ඔහු සිටියේ හදිසි අවශ්‍යතාවක් සඳහා ගම්පහ ප‍්‍රදේශයේ වීමය. සිසුවිය ගේ රෝගී තත්වය ගැනත් ඒ නිසා විභාගයට ලිවීමට යාමට නොහැකිව සිත් තැවුලට පත්ව සිටින බවත් දැනගත් විශේෂඥ වෛද්‍යවරයා ඒ මොහොතේම සිය කාර් රථයෙන් කුලියාපිටිය බලා පැමිණි තිබුණේ ගම්පහ ප‍්‍රදේශයේ සිටය. කායික රෝග පිළිබද විශේෂඥ තිලක් මාපා මහතාගේ මේ උතුම් කැපවීම නිසා විභාගයට ලිවීමට වරම් ලැබුවේ උඩුබද්දාව පල්ලෙවල පදිංචි ජනනි ප‍්‍රබෝධා වීරසිංහ (19) සිසුවිය වන්නීය.

ඉරිදා දේශය සමග ප‍්‍රබෝධා සිසුවිය ඒ ගැන අදහස් දක්වමින් මෙසේ කීවාය.

මම උසස් පෙළ ජීව විද්‍යාව හදාරනවා. විභාගයට සතියක විතර කාලයක් තියෙද්දි මට උණ හා හිසරදය හැදුණා. තරමක උණක් ඒ වෙනකොට තිබුණේ. ඒත් හිසරදය බෙහොම තදේට තිබුණා. කුලියාපිටියේ වෛද්‍යවරයකු ළඟට අප්පච්චිත් එක්ක ගිහින් බෙහෙත් ගත්තා. අසනීප තත්ත්වය අඩුවුණේ නැහැ. විභාගය පටන් ගන්න කලින් දවසේ රූ හොඳටම අමාරු වුණා. උණ හොඳටම වැඩිවෙලා ඉවසන්න බැරි තරමේ හිසේ කැක්කුමක් වැඩි වුණා. මට කෙළින් හිටගෙන ඉන්න බැරි තරමට රෝගය උත්සන්න වුණා.

අප්පච්චි මාව කුලියාපිටිය නගරයේ තියෙන චැනල් සෙන්ටර් එකකට මාව 6 වැනිදා උදේම එක්කගෙන ගියා.  විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වන්න. ඒ මහත්තයා එදා චැනල් සෙන්ටර් එකට එන්නේ නැහැ කියා අපට දැන ගැනීමට ලැබුණා. විභාගයට ලියන්න තියන බලාපොරොත්තුව ඒ වෙනකොටත් මම අත්හැරලයි තිබුණේ. ඒ ගැන මට ලොකු හිත් වේදනාවක් ඇතිවුණා. අප්පච්චි කිව්වා දුවේ ඔයා මේ විදිහට ඉද්දි කොහොමවත් විභාගයට ලියන්න බැහැනේ අපි මෙඩිකල් දාමු මේක කරන්න දෙයක් නැහැ කියා. අප්පච්චි එහෙම කීවත් ඒ දොස්තර මහත්තයාගේ හෑන්ඩ්ෆෝන් අංකය චැනල් සෙන්ටර් එකෙන් ඉල්ලා ගෙන ඔහුට කතා කළා.

අප්පච්චි දොස්තර මහත්තයාට කතා කරද්දි ඔහු ඉඳලා තියෙන්නේ ගම්පහ. මගේ අසනීප තත්ත්වය ගැන කිව්වාම මම දැන්ම එනවා කියා තිබෙනවා. මාපා දොස්තර මහත්තයා චැනල් සෙන්ටර් එකට ඇවිත් මට ප‍්‍රතිකාර කඩිනමින් කළා. ඔළුව උස්සන්න ඇවිදගන්න බැරි තත්ත්වයකයි මම ඒ වෙනකොට සිටියේ. දහවල් 1.00 වෙනකොට ප‍්‍රතිකාර කර අවසන් කළා. ඒ ප‍්‍රතිකාර වලට පස්සේ මට හොඳ සුවයක් ලැබුණා. දොස්තර මහත්තයා මාව ඔහුගේ කාර් එකේ නංවාගෙන අප්පච්චිත් එක්කම විභාගය පැවැත්වෙන කුලියාපිටිය ජාතික පාසලට කැඳවාගෙන ගියා.

දුවේ ඔයා කිසිම දේකට බයවෙන්න එපා. ඔයාට විභාගය ලියන්න පුළුවනි. දැන් ඔයාට හොඳයි. කියා චැනල් සෙන්ටර්  එකේ ඉඳලා විභාග මධ්‍යස්ථානය ළඟට යනතුරැම කරැණාවෙන් කතා කරමින් මාව ධෛර්යමත් කළා. ඉස්කෝලේ මුරකරුට විස්තරේ කියා අවසර අරගෙන විභාග මධ්‍යස්ථානය ළඟටම කාර් එක පදවාගෙන ගියා. දොස්තර මහත්තයා විභාග මධ්‍යස්ථානයේ ඉන්න සර් කෙනෙක් ළඟට එක්කරගෙන ගිහින් විස්තරේ පවසා මාව ඔහුට බාර දුන්නා. මම යද්දි විභාගය පටන් අරගෙන ඒ වෙනකොට පැය කාලක් විතර ගතවෙලා තිබුණේ මම පේපර් එකට ලියනකම් මගේ ළඟට වෙලා ටීචර් කෙනෙක් හිටියා. ඒ මට ආයෙත් හදිසියේ අසනීප වෙයි කියලා. නමුත් මට ආයෙත් අසනීප වුණේ නැහැ. පේපර් එකට උත්තර ලිව්වා.
විභාගය ඉවරවෙලා ආපසු ගෙදර යන්න කලින් දොස්තර මහත්තයාව හම්බවෙන්න කියා තිබුණා. ඒ නිසා අප්පච්චිත් එක්ක හවස ආයෙත් චැනල් සෙන්ටර් එකට ගියා. ආයෙත් මට ප‍්‍රතිකාර කර බෙහෙත් දුන්නා. දුම් අල්ලන්න කියා උපකරණයකුත් මට දුන්නා. කිසිම මුදලක් ඒ ප‍්‍රතිකාරවලටවත් අය කළේ නැහැ. හොඳට විභාගය ලියන්න කියා කිව්වා. දොස්තර මහත්තයා නොසිටින්න මට විභාගය ලියන්න ලැබෙන්නේ නැහැ. එතුමාට ගොඩක් පිං මට පිහිට වුණාට ජනනි ප‍්‍රබෝධා සිසුවිය කීවාය.
පාලිත වීරසිංහ මහතා රැකියාව වශයෙන් කරන්නේ රක්‍ෂණ සමාගමක මූල්‍ය උපදේශකවරයෙක් වශයෙනි. වීරසිංහ මහතා සමගද අප මේ සම්බන්ධයෙන් කතා බහ කළෙමු. මේ ඔහු කී කතාවයි.

මගේ දියණිය දවස් කිහිපයක් තිස්සේ සිට උණ රෝගයෙන් හා හිසරදයෙන් පෙළුණා. වෙනත් වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබාගත්තා. එහෙත් 6 වැනිදා උදේ වනවිට රෝගී තත්ත්වය උත්සන්න වුණා. ඇයට නැගිට ගැනීමටවත් නොහැකි තත්වයකට ඒ නිසා පත්ව සිටියා. මම දුව කුලියාපිටියේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට එක්ක ගියා. චැනල් සේවයට එන කායික රෝග විශේෂඥ වෛද්‍ය තිලක් මාපා මහතා මුණගැසීමට. ඔහු කිසියම් අවශ්‍යතාවයකට ගම්පහ ප‍්‍රදේශයට ගොස් ඇති බව වෛද්‍ය මධ්‍යස්ථානයෙන් දැන ගැනීමට ලැබුණා.

මා මීට පෙර එම වෛද්‍යවරයා හඳුනන්නේ නැහැ. ඒත් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඔහුගේ ජංගම දුරකථන අංකය ඉල්ලාගෙන එයට ඇමතුමක් ලබාදී දියණියගේ රෝගි තත්ත්වය ගැන පැවසුවා. ඇය අද දිනයේ බයෝ සයන්ස් ප‍්‍රශ්න පත්තරයට පිළිතුරු ලියන්න ඉන්නවා. විභාගය දහවල් 1.00 ට ආරම්භ වන බවත් කියා සිටියා. තමා දියණියට ප‍්‍රතිකාර ලබාදීමට කුලියාපිටියට පැමිණෙන බවත් එතෙක් වෛද්‍ය මධ්‍යස්ථානයේ  සිටින ලෙසත් මට දැනුම් දුන්නා. අප පත්ව සිටින තත්ත්වයට දොස්තර මහත්තයා අවබෝධ කර ගත්තා. දොස්තර මහත්තයා යොදාගෙන තිබු සියලු වැඩ කටයුතු නවතා දමා දුවට ප‍්‍රතිකාර කරන්න ආවා. මේ ගැන මට හිතාගන්න බැහැ. උදේ 11.30 විතර වෙනකොට විශේෂඥ වෛද්‍යවරයා පැමිණ දුවට ප‍්‍රතිකාර ලබාදීම ආරම්භ කළා. එම ප‍්‍රතිකාර වලින් දුව සුවය ලැබුවා. ඊට පස්සේ වෛද්‍යවරයා ඔහුගේම කාර් රථයේ නංවාගෙන දුවව කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයට දහවල් 1.15 විතර වෙනකොට කැඳවාගෙන ගියා. විශේෂඥ වෛද්‍යවරයා එහි සිටි ගුරු මහත්මයකුට මගේ දියණිය බාරදී ඇයගේ රෝගී තත්ත්වය ගැන පවසා ආපසු පැමිණියා. දුව විභාග මධ්‍යස්ථානයට යනවිට පැයකාලක් විතර පරක්කු වෙලා තිබුණා.

මෙය මා කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. මෙය මට අදහාගන්න බැහැ. විශේෂඥ වෛද්‍ය තිලක් මාපා මහත්තයා මෙසේ කඩිනමින් ප‍්‍රතිකාර ලබානොදෙන්නට දුවට විභාගය ලියන්න ලැබෙන්නේ නැහැ. මේ පාර මෙඩිකල් එකක් ඉදිරිපත් කරලා ඊළඟ වසරේ විභාගයට ලියන්නයි මමයි නෝනයි තීරණය කර තිබුණේ. මේ පාර විභාගයට ලියන්න බැරිවෙයි කියා කල්පනා කරමින් දුව ලොකු සිත් වේදනාවකින් සිටියේ. අප වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරයා කළේ කිව නොහැකි තරමේ ලොකු උපකාරයක්. අපේ ගෞරව ප‍්‍රණාමය විශේෂඥ වෛද්‍ය තිලක් මාපා මහතාට පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා යැයි වීරසිංහ මහතා පවසයි.

කුලියාපිටිය දීඝායු චැනල් සෙන්ටර් එකේ සේවය කරන සියලු දෙනාත් දුව එතැනට ගෙනාපු අවස්ථාවේ ඉඳලා ගොඩක් උදව් කළා. ඔවුන් සෑම දෙනාටත් තම ස්තූතිය පුද කරන බවද ඔහු කීය. කුලියාපිටිය මූලික රෝහලේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය තිලක් මාපා මහතා සමස්ත වෛද්‍ය සේවය ලබාදුන්නේ ඉමහත් ගෞරවයකි.

 ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00