2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ගේම්ස් ඉන්ටර්නෙට් බ්ලූ ස්මාර්ට් ෆෝන් වළෙන් ගොඩඑන අත්වැල

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 299

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැතැයි කියමන ජනවහරේ පවතී. තමුන්ට හෝ සමාජයට යහපතක් හෝ අභිවෘද්ධියක් උදෙසා යමක් දීර්ඝ ලෙස සිදු කළද පෞද්ගලිකව හෝ පොදුවේ සමාජයට පිළිලයක් වන අයුරෙන් සිදු කෙරෙන අසම්මත හෝ සමාජ විරෝධී කටයුතු දිගින් දිගටම සිදු කිරීම ඇබ්බැහිවීමක ප්‍රතිඵලයකි. දුම්වැටි, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට යම් පිරිසක් ඇබ්බැහි වී ඇත්තේ එසේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා අමෙරිකාවේ මනෝ වෛද්‍ය සංගමයේ (DSM-5) නවතම වාර්තා පෙන්වා දෙන්නේ සූදුවට, අසභ්‍ය ප්‍රකාශන හා දර්ශන නැරඹීමට මෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන ඇතුළු නවීන ඩිජිටල් හා ඉලෙක්ට්‍රොනික මෙවලම්වලට ජනතාව ඇබ්බැහිවීමේ ප්‍රවණතාවයක් දක්වන බවය.

මෙලෙස ඇබ්බැහිවූවන් යහමගට ගැනීමේ උපදේශන සේවා සිදු කරන ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - මැල් මැඳුර අවධාරණය කරන්නේ මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින බවය. මෙය ස්ත්‍රී පුරුෂ හෝ වයස් බේදයකින් තොරව ස්මාර්ට් ෆෝන් හෝ එවැනි තිරයක් සහිත ඩිජිටල් හා ඉලෙක්ට්‍රොනික උපකරණ වෙත යොමු වෙමින් අනාගත පරම්පරාව ඊට ඇබ්බැහි වෙමින් සිටින බවට සුමිත්‍රයෝ - මැල් මැඳුර අවධාරණය කරයි.

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - මැල් මැඳුර ජ්‍යෂ්ඨ වැඩසටහන් නිලධාරී ප්‍රසාද් ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ ගතවූ වසර කිහිපයේදී ජංගම දුරකථනය අකුරැ හුවමාරුවේ සිට ලිපි, ඡායාරෑප, හඬ පට සහ වීඩියෝ දර්ශන බෙදාහැරීම දක්වා දියුණු වූ බවය. විවිධ ඉලෙක්ට්‍රොනික ක්‍රීඩාවලට අමතරව ගූගල්, විකිපීඩියා, වට්ස්ඇප්, වයිබර්, ෆේස්බුක් වැනි සමාජ ජලා ද එහි ප්‍රබල ව්‍යාප්තියකි. මේ වෙද්දී ලෝ පතළ ෆේස්බුක් සමාජ ජාලය අභිබවමින් ඉන්ස්ටග්‍රෑම් භාවිතයට වැඩි නැඹුරුවක් ඇත්තේ එය සෙසු මාධ්‍ය අභිබවා තාක්ෂණික ගුණයෙන් සන්නද්ධව ඇති නිසාය. මෙසේ ඩිජිටල් භාවිතයේ පවතින සමාජ මාධ්‍ය හා උපකරණවල වහලුන් බවට මිනිසුන් පත්කරගෙන තිබෙන බවක් දකින්නට හැකිය.

ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයත් සමඟ දැන් ප්‍රවණතාවය තියෙන්නේ ඉන්ස්ටග්‍රෑම්, ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වගේ දේට. ඊට අමතරව පිරිසක් මොබයිල් ගේම්වලට එක්කාසු වෙලා ඉන්නවා. සමහර අය නිතරම ෆේස්බුක් භාවිතා කරනවා. මේ වගේ අය පාරේ ගියත් බස් එකක ගියත් ඉන්නේ එයාගෙම ලෝකයක. ඇතැමුන් පදික මාරුවේ යන්නෙත් ඉයර් ෆෝන් හෝ හෑන්ඩ් ෆ්‍රී ගහගෙන. සමහරු සෙල්ෆි ඡායාරූප ගන්නවා. දුරකථනය නිසා දුම්රිය අනතුරු, මාර්ග අනතුරු ඇති වෙලා තියෙනවා. ඇතැමුන් යතුරුපැදිය හෝ වාහනය පදවන්නේ හෑන්ඩ් ෆ්‍රී ගහගෙන. මේකෙන් වටපිටාවේ කිසිම දෙයක් ගැන අවධානය නැතිවෙලා අනතුරුවලට ලක්වෙනවා. ඇතැමුන්ට මෙය කාර්යබහුලත්වය නිසා වෙන්නත් පුළුවන්. නමුත් අවබෝධය, අවධානය ගිලිහීම ගැටලුවක් වෙනවා යැයි ප්‍රසාද් ගුණවර්ධන මහතා පවසයි.

මොබයිල් ගේම් හෝ අන්තර්ජාලය භාවිතයෙන් සිදු කෙරෙන කවර ක්‍රියාවක් උදෙසා හෝ තමන් සතු මුදල් වියදම් වේ. මේ සඳහා යොදවන කාලය නිසා දරුදැරියන්ට නම් අධ්‍යාපනය සඳහා වැය කළ යුතු හෝ ක්‍රීඩාව සඳහා වැය කළ යුතු කාලය නිකරුණේ නාස්ති වී යයි. එය පවුලේ මව - පියා සහෝදර සහෝදරියන් අතර බැඳීම පවා දුරස් වීමට හේතුවකි. තමාගේ සෙසු අවශ්‍යතා ඉටුකර ගැනීමට තිබෙන කාලය වැයවීම පමණක් නොව සමාජයේ දැනුම තොරතුරු ගිලිහෙන්නටත් මෙය ප්‍රබල හේතුවකි. ස්මාර්ට් ජංගම දුරකථනවලට ඇබ්බැහිවීම හරහා ඉහත කී කරුණු මගින් සිදුවන හානිය පිරිමැසිය නොහැකි එකකි.

අන්තර්ජාලය ප්‍රයෝජනවත් මාධ්‍යයක්. අධ්‍යාපන කටයුතුවලට, ව්‍යාපාරවලට, පණිවුඩ හුවමාරු කර ගැනීමට අවස්ථාව තියෙනවා. මේ ආකාරයට සමාජ ජාල භාවිතයේදී විවිධාකාර ක්ෂේත්‍රවලට යොමු වෙන්න පුළුවන්. ඒක ප්‍රමාණය ඉක්මවා යාම තමයි ගැටලුවක් වෙන්නේ. අන්තර්ජාලයේ සැරිසැරීම නිසා ප්‍රධාන වශයෙන් කාලයත් මුදලුත් දෙකම විනාශ වෙනවා. ඇතැම් අය කරන්නේ අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන හා ඡායාරූප නැරඹීම. මේ ආකාරයට අසීමාන්තික ලෙස අන්තර්ජාලයේ සැරිසැරීම රෝගයක් නොවෙයි. පුරුද්දක්. දිගින් දිගටම මේක සිදුකිරීම නිසා රෝගී තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. පුද්ගල චර්යාව වෙනස් කරගන්න හැකිනම් මේකෙන් මිදෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය උපදේශන සේවාව ලබාදීම ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - මැල් මැඳුර හරහා සිදුකෙරෙනවා.

අසභ්‍ය චිත්‍රපට නැරඹීම හේතුවෙන් මානසික විකෘතිතාවයන් ඇතිවිය හැකිය. ඒවායේ දර්ශනවලට අනුගත වෙමින් සමාජයේ මිනිසුන් දෙස බැලීමට යාම එසේ සිදුවන අවකල් ක්‍රියාවකි. එය පිටස්තර සමාජයට ජුගුප්සාජනක පිළිකුළක් උපදවනසුළුය. එවැනි වීඩියෝ දර්ශනවල සිදුවීම් අනුව පෙම්වතිය, බිරිය හෝ ස්වාමියා සමඟ ගනුදෙනු කිරීමට උත්සාහ කිරීම බරපතළ ගැටලුවකි.

මේ හේතූන් නිසා ඊට ඇබ්බැහි වූවන්ට සිදු කරන උපදේශන ක්‍රියාවලියේදී ඔවුන්ට අන්තර්ජාලය හා ඩිජිටල් උපකරණ මාධ්‍යවලින් ලැබෙන වාසි හා අවාසි පිළිබඳව දැනුම්වත් කිරීම සිදු කරයි. එහිදී වාසිවලට වඩා අවාසි තත්ත්වය වැඩිය. ප්‍රධාන වශයෙන් කාලය වැයවීම, මුදල් නාස්තිය මෙන්ම පුද්ගලයාගේ රසවින්දන පරාසය මොට වීම ප්‍රබල හානි බව පෙන්වා දෙයි.

මෙසේ වාසි අවාසි පෙන්වා දුන් පසුව අන්තර්ජාලය, ඩිජිටල් උපකරණ භාවිත කිරීම තවදුරටත් නිවැරදිද? එමඟින් සිය ජීවිතයට උකහාගත යුතු යමක් වේද නොවේද? එවැනි යහපත් යමක් ඇත්නම් එය තමාටත් සමාජයටත් හානියක් නොවන ලෙස ලබාගෙන කටයුතු කිරීම සිදු කළ යුතුය. යමෙක් මෙයට හුරු වූයේ කෙසේද ඒ අයුරෙන්ම උත්සාහ කොට ඉන් මිදීමද තමා සතු වගකීමකි. මේ සඳහා ඖෂධ නොමැති බැවින් තමාගේ උත්සාහය මත පමණක් එවැනි ඇබ්බැහිකම්වලින් මිදිය හැකිය.

යමකුට මේ තත්ත්වය සාමාන්‍ය මට්ටමෙන් ඇත්නම් ඒ පිළිබඳ අවබෝධයක් ඇත්නම් උපදේශනය හරහා ඉන් මිදීමට හැකිය. දීර්ඝකාලීනව මෙහි නියැලීම මගින් ඇති වූ අසහන තත්ත්වයක්නම් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවය ලැබිය හැකිය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00