2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

වාද්දූවේ මාරක DJ සාජ්ජේ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 82

“ගයිජේ” ලයිව් ඉන් ශ්‍රී ලංකා ඩී.ජේ. සංගීත ප්‍රසංගය වාද්දුවේදී පැවැත්වෙන බව ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය තුළින් හා පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ දින ගණනාවක් පුරා ප්‍රචාරය වෙමින් තිබුණි. ප්‍රසංගයේ ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙන් සහ www.444.lk වෙබ් අඩවියෙන් ද මිලදී ගතහැකි බවට ප්‍රචාරය කෙරිණි. අගෝස්තු මාසයේ පළමු සති අන්තයේදී වාද්දුව වෙරළ තීරයේ පිහිටි සංචාරක හෝටලයක පැවැත්වීමට නියමිත ප්‍රසංගයට පුළුල් ප්‍රචාරණයක් ලැබී තිබුණේ සංවිධායකයන් හෝ නොසිතූ ලෙසය.

ඩී.ජේ. ප්‍රසංගයට සහභාගී වීම සඳහා අලෙවි කෙරෙන ප්‍රවේශ පත්‍රවල මිල හේතුවෙන් ඊට සම්බන්ධ වීමට හැකිව තිබුණේ අතමිට සරු එක්තරා පිරිසකට පමණය. ප්‍රසංග භූමියේ දොරටුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අපේක්ෂාවෙන් පැමිණි පිරිස වේලාසනින් පැමිණෙමින් සිටි අතර තරමක් පසුව පැමිණ තිබුණේ අන්තර්ජාලයෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගත් පිරිසය. සංවිධායකයන් විසින් හෝටල් පරිශ්‍රයේ දෙවැනි මහලේ කොටසක් ප්‍රසංගය සඳහා වෙන් කරවාගෙන එහි ඇතුළත, පිටත පිවිසුම මෙන්ම රථ ගාල පරිශ්‍රයේ පටන් ආරක්ෂාව තහවුරු කරන්නට පියවර ගෙන තිබුණි.

හෝටලයේ රථ ගාල පිරී ගොස් තිබුණේ වැඩි වෙලාවක් නොයාමය. අනතුරුව හෝටල් පරිශ්‍රයේ අවට භූමියේ පමණක් නොව පිවිසුම් මාර්ගය අවටත් රථ වාහන ගාල් කරන්නට සිදුව තිබුණි.

එතරම් පිරිසක් සහභාගී වී තිබුණේ ලෝ ප්‍රකට ඩී.ජේ. සංගීත ශිල්පියකු වන මෝල්ටා රාජ්‍යයේ ගයිජේ හා ඉන්දියාවේ තේජාස්ගේ සහභාගීත්වය නිසාත් ඊට අවැසි ප්‍රචාරණයත් ලැබීම නිසාත්ය. පසුගිය 4 වැනි සෙනසුරාදා රාත්‍රිය පුරා පැවැත්වීමට නියමිත වූ ප්‍රසංගය ආරම්භයට පෙර ඇතුළු වන සියලුම දෙනා නිසි පරික්ෂාවකට ලක්කිරීම ආරක්ෂක කණ්ඩායම සතු වගකීමක් වී තිබිණි.

ඔවුන්ගේ පහසුව වෙනුවෙන් පිවිසුමට පිටින් ප්‍රදර්ශනය කළ පෝස්ටරයකි. “මත්පැන්, මත්ද්‍රව්‍ය, රසායන ද්‍රව්‍ය, ගිනි අවි හා ආයුධ රැගෙන ඒම සපුරා තහනම්ය” දැන්වීමට අනුව එවැන්නක් රැගෙන යාදෝ සැකයට පුද්ගලයන් පරික්ෂා කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්ත ද නොසිතූ සෙනගක් පැමිණීමෙන් අරමුණ අසාර්ථකව ගියේය. කෙසේ වෙතත් ශාලාවට නගින පඩි පෙළ හා ප්‍රසංග ශාලාව ඔවුන්ගේ අවධානයට ලක්වූ ප්‍රධානම ස්ථාන අතරය. ඊට ඇතුළු වීමට ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ගෙවූ සැණින් ඊට අදාළ අත් පළඳනාවක් ලැබී තිබුණි. එය අතට ගැට ගැසූ පසුව යළිත් ගැලවීම සිදු කළ නොහැකි එකකි. එහිදී අලෙවි කළ රතු හා සුදු මිශ්‍ර අත් පළඳනාව VIP ලෙස මිලදී ගත්තේ විශේෂ පිරිසක් විසිනි. එහි මිල රු.5000කි. කොළ පැහැති අත් පළඳනාවක් අලෙවි වූයේ සෙසු පිරිස වෙතය. එහි මිල රු.3000කි. මෙහිදී නිල් පැහැති අත් පළඳනාවක් පැළඳ සිටි පිරිසකි. ඔවුන් සංවිධායකයන් හා කාර්ය මණ්ඩලයට අයත් වූවෝය.

රු.5000 අත් පළඳනා ලබාගත් පිරිස වෙනුවෙන් ශාලාවේ වෙන් කළ වෙනම ස්ථානයකි. එය පොළවෙන් අඟල් කීපයක් ඉහළට ඔසවා සැකසූ වේදිකාවක් වන අතර හතර වටින් කොටු කළ වැටක් සහිත එකකි. එහි එතරම් තදබදයක් පෙනුණේ නැත. ශාලාව පරිශ්‍රයේ කෙළවරක වූ වේදිකාව ආරාධිත ඩී.ජේ. සංගීත ශිල්පී ගයිජේ වෙනුවෙන් වෙන්කර තිබුණි. අධික ශබ්දයෙන් නැගෙන සංගීත තාලයට වෙනස් වන විවිධ පැහැයෙන් දිලෙන ආලෝකය ප්‍රසංග ශාලාවට වෙනසක් එක් කරමින් තිබුණි. සුපිරි පැලැන්තියේ සංගීත ප්‍රසංගය අතරතුර එක් පසෙක බීර අලෙවි කුටියකි. තවත් තැනෙක ප්‍රසිද්ධ සන්නාමයක ශක්තිජනක පානයකි. එකී සමාගම ප්‍රසංගය වෙනුවෙන් අනුග්‍රාහකත්වය දක්වා තිබුණි. තවත් ස්ථානයක ලංකා දුම්කොළ සමාගමේ නිෂ්පාදන අලෙවි කුටියකි. ඒ අතර පළතුරු බීම සහ පළතුරු කැබලි හා ගෙඩි වශයෙන් ද අලෙවි කරමින් තිබුණි. ඒ සියල්ල මැද තැනෙක අයිස් කැට කුඩා ඇසුරැම් අලෙවි කිරීමක් ද සිදුවෙමින් තිබුණි.

ප්‍රසංග ශාලාවේ ඉඩකඩ සීමිතය. පැමිණි පිරිස ඒ හා කීප ගුණයකි. ප්‍රමාණය ඉක්මවා ප්‍රසංග ශාලාවේ පිරිස රැඳී සිටිය ද 1800ක් තරම් පිරිසක් සහභාගී වූ බවට සාධක තිබූ ප්‍රසංගයේ බහුතරයක් ශාලාවෙන් පිටත රැඳී සිටියේ ඉඩකඩ ගැටලුව නිසාය. එහෙත් සංවිධායකයන් සතුටින් පිනා ගොස් සිටියේ සිය උත්සාහය සාර්ථක වූ නිසාය.

පස්වරු 7.30ට ආරම්භ වූ ප්‍රසංගය සුළු හෝ ප්‍රමාදයකින් තොරව අඛණ්ඩව පැවැත්වෙමින් තිබියදී අලුයම කාලයේදී පුද්ගලයන් දෙදෙනකු ශාලාව තුළ ඇද වැටී තිබුණි. සිහි විසඥ තත්ත්වයේ සිටි දෙදෙනා රෝහල්ගත කිරීමට කටයුතු කර තිබුණේ සංවිධායකයන් විසින් පානදුර පෞද්ගලික රෝහලකට අයත් ගිලන් රථයක් මගිනි. එය කල්වේලා ඇතුව සංවිධායකයන් විසින් ගෙන්වා තැබූ එකකි.

ඉන් මොහොතකට පසුව යළිත් තරුණයන් දෙදෙනකු ද පෙර වූ ආකාරයටම බිම ඇද වැටීම නිසා ඔවුන් දෙදෙනාත් පානදුර රෝහලට ඇතුළත් කරන්නට පියවර ගෙන තිබුණි. දෙවතාවකදී රෝහල්ගත කරන්නට වූ පිරිසෙන් තිදෙනෙක් පාන්දර වෙද්දී මියගොස් තිබුණේ කිසිවකුටත් හේතුවක් අනාවරණය නොවන ලෙසය.

මෙම පුද්ගල මරණ වාර්තා වීමත් සමඟ පානදුර රෝහලේ රෝහල් පොලීසිය සිදුවීම පිළිබඳව වාද්දුව පොලීසියට දන්වා තිබුණේ රෝගීන් රැගෙන ආවේ එම ප්‍රදේශයේ හෝටලයක සිට බවට වාර්තා වූ නිසාය. ඒ පසුගිය 5 වැනිදා පෙරවරු 7.20ට පමණය. එසැණින් ක්‍රියාත්මක වූ පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ හෝටලය වෙත ගොස් සිද්ධිය වූ ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවනු ලැබීය. අනතුරුව පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කැඳවා පශ්චාත් මරණ පරීක්ෂණවලට පෙරාතුව රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද එහි කැඳවා තිබුණි. මේ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලට දක්ෂ හොරණ මූලස්ථාන පොලීසියේ නිල සුනඛයා ලවා පරික්ෂාවට ලක්කළ ද එවැනි යමක් පිළිබඳව අනාවරණය වී තිබුණේ නැත. එබැවින් වැඩිදුර විමර්ශන සඳහා අවශ්‍ය කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමට පියවර ගෙන තිබුණි.

ප්‍රසංගය පැවැත්වී තිබුණේ ලෝ ප්‍රකට ඩී.ජේ. ශිල්පීන් යුගළක් වන ඉන්දියාවේ තේජාස් සහ මෝල්ටාවේ ගයිජේගේ සහභාගීත්වයෙනි. ප්‍රසංගය අතරතුර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සඳහා නියමිත බලපත්‍රයක්, මත්පැන් අලෙවිය සඳහා පානදුර ප්‍රාදේශීය සුරාබදු කොමසාරිස් වෙතින් බලපත්‍රයක් ද ලබාගෙන නීතිමය වපසරිය සකසාගෙන තිබුණි. මෙහි ආරක්ෂක කටයුතු සඳහා සුප්‍රකට ආරක්ෂක සමාගමකින් නිලධාරීන් 34 දෙනකු ද නිලධාරීනියන් දෙදෙනකුද යොදවාගෙන තිබුණේ ප්‍රසංගයට කාන්තාවන් ද සහභාගී වන නිසාය. හෙවන්ස් ගේට් ප්‍රසන්ටර් නැමැති ආයතනයක් විසින් සංවිධානය කළ සංගීත ප්‍රසංගයේදී හදිසියේ මියගොස් සිටියේ මිනුවන්ගොඩ - බල්ලපාන ප්‍රදේශයේ මෙලාන් චාමික (21), කැස්බෑව ප්‍රදේශයේ එරන්ත රුවින් පෙරේරා (37), මොරොන්තුඩුව ප්‍රදේශයේ විදුරංග දිල්ශාන් (31) සහ කුරුණෑගල - පොතුහැර සාලින්ද මනෝජ් (28) යන පිරිසය. 

පොලිස් විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ ප්‍රසංග භූමියේ තැනින් තැන වමනය දමා ඇති බවත් එහි පළතුරු කැබලි දකින්නට ලැබී ඇති බවත්ය. ශාලාවේ ප්‍රමාණය අනුව අධික ශබ්දය නිසා ඇති වූ පීඩනයත්, වායු සමනය කිරීම හේතුවෙන් සිගරට් දුම පිටවීමට අවස්ථාවක් නැති වීමත්, විශාල පිරිසකගේ දහඩිය සහ කාබන්ඩයොක්සයිඩ් වායුව පිරී පැවතීම මෙන්ම මත් ගතිය මත ඇතිවන කම්පනයත් යම් ලෙසකින් මරණවලට හේතු වූවාදැයි සැකයකි.

මෙම ප්‍රසංගය සංවිධානය කළ ආයතනය මීට ඉහතදී අහුන්ගල්ල හා බියගම ප්‍රදේශවල මෙවැනිම ප්‍රසංග සංවිධානය කර අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කර පවත්වා ඇති බවට වාර්තා වී තිබේ. එහිදී මෙන්ම මෙදා වාද්දුවේ ප්‍රසංගයේදී ද සිගරට් හා මත්පැන් අධික මිලකට අලෙවි කළ බවට තොරතුරු වාර්තා වේ. අදාළ ආයතනයේ හිමිකරු කඩුවෙල කොරතොට තුංහේන ප්‍රදේශයේ බවටත් ඔවුන්ට අයත් ආයතනය කෝට්ටේ නාවල පාරේ පිහිටා ඇති බවත් සඳහන්ය. සිද්ධිය පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව AR 889/2018 යටතේ එය සටහන් තබා තිබේ. වැඩිදුරටත් අනාවරණය වූයේ ප්‍රසංගය සංවිධානය කළ ආයතනය කාන්තාවකට අයත් වන බවය. මේ සම්බන්ධයෙන් ඇයගේ සැමියා සහ සමාගමේ ප්‍රචාරක නිලධාරීවරයා පසුගිය 8 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. ආර්. කේ. සේනානායක, පොලිස් අධිකාරී ක්ලෙමන්ට් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත වාද්දූව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලාලිත වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තුසිත සිල්වා සමඟ පොලිස් සැරයන් 3426 එම්.එන්. ද සිල්වා යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර