2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරි කරුමය

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 590

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය රැඳවියන් ආරක්ෂා කොට අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමත් ඔවුන් පුනරුත්ථාපනය කොට නැවත සමාජගත කිරීමත් වේ. භාරකාරීත්වය, රැකබලාගැනීම හා පුනරුත්ථාපනය යන මූලික අරමුණු ඉටුකරගැනීම උදෙසා මෙහිදී සිරකරුවන් හා බන්ධනාගාර නිලධාරීන් අතර මනා සබඳතාවයක් තිබීම අත්‍යවශ්‍ය කරුණක් වුවද එය එලෙසින්ම සිදුවන්නේද යන්න බරපතළ ගැටලුවකි.

බන්ධනාගාරගත කරන ලද හෝ රිමාන්ඩ් භාරයට පත් කරන ලද සෑම තරාතිරකම සිරකරුවන් පිළිගැනීම හා බන්ධනාගාර ආඥා පනත්වලට අනුව ඔවුන්ගේ ආරක්ෂාව, පෝෂණය හා නඩත්තුව සැලසීමට වඩා අද සිදුවන්නේ කුමක්ද යන්න රටටම අනාවරණය වී අවසන්ය. 

බන්ධනාගාර මූලස්ථානය යටතේ රට පුරා පවත්වාගෙන යන බන්ධනාගාර ආයතන 61 ක් පමණ වේ යැයි ගිණිය හැකිය. වැලිකඩ, බෝගම්බර (දුම්බර) මහර, ප්‍රධාන බන්ධනාගාර 3 ඇතුළුව රිමාන්ඩ් බන්ධනාගාර 18 ක් හා සිරමැදිරි 25ක්ද ඒ අතර වේ. වැඩ කඳවුරු 8 ක්, එළිමහන් සිරකඳවුරු 2 ක්, දරුණු වරදකරුවන් සඳහා වූ පුහුණු පාසලක් මෙන්ම පුහුණු මධ්‍යස්ථානයක්ද ඊට ඇතුළත්ය.

2017 බන්ධනාගාර වාර්ෂික වාර්තාවට අනුව මෙම බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් සංඛ්‍යාව 24000කට ආසන්නය. එහෙත්, 2018-08-08 වැනි දින එහි මූලස්ථාන වාර්තා හෙළිකරන සංඛ්‍යාව 20000 ක් බවට ගණන් බලා ඇත. මේ සියලුම සිරකරුවන්ට ආරක්ෂාව, රැකවරණය හා පුනරුත්ථාපනය සැලසීමට යොදවා සිටිනුයේ විවිධ වෘත්තීන්වලට අයත් බන්ධනාගාර නිලධාරීන් 5746 ක් පමණක් බවට 2017 එම බන්ධනාගාර අනාවරණය කරයි.

මෙම දෙපාර්තමේන්තුවේ පහළම නිලධාරීන් කොටස නියාමකවරුන්ය. සමස්ත සේවක සංඛ්‍යාවෙන් 4120ක්ම නියාමක නිලධාරීන් බවද සඳහන්ය. එහෙත්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩල වාර්තාවට අනුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සිටිය යුතු නිලධාරීන් සංඛ්‍යාව 5041 කි. අදටත් මෙහි පුරප්පාඩු සංඛ්‍යාව 1000කට අධිකය.

1844 දී පමණ ආරම්භ වූ ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වර්තමානය වන විට ‘ඒ ශ්‍රේණියේ’ දෙපාර්තමේන්තුවක් වශයෙන් අනෙකුත් රාජ්‍ය අංශයන්හි සේවයට වඩා වෙනස් වූ රාජ්‍ය ව්‍යුහයක් හා පාලන ස්වභාවයක පවතින ආයතනයක් බවට වැඩි දෙනකු දන්නේ නැත. ඉකුත් දා බන්ධනාගාර නිලධාරීන්ගේ රාජකාරි ස්වභාවය සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පවසා ඇත්තේ “අනෙක් රැකියාවන් වගේ නෙවෙයි, මේ නිලධාරීන් අතරේ මානසික ආතතිය වැඩි තත්ත්වයක් තිබෙන්නට පුළුවන්. මේ හා සම්බන්ධ අනෙක් සේවාවන් බැලුවාම මේ තරම් ආතතියක් තියාගෙන වැඩ කරන්නට අවශ්‍ය නැහැ. උසාවියට සැකකාරයන් ඉදිරිපත් කරන වෙලාවට කල්පනාවෙන් හිටියේ නැත්නම්, අපි හිතන්නේ නැති තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්. අපට වඩා මානසික තත්ත්වය දෙගුණ තෙගුණ වෙලා සිටින පිරිසක් එක්ක කටයුතු කරද්දි, ඒ අයගේ ක්‍රියාකාරකම් නිසා මොනවාගේ තත්ත්වයක් ඇතිවෙයිද කියලා කල්පනාවෙන් ඉන්න ඕනෑ.”

දිනකට සිරකරුවන් හා සැකකරුවන් 20000 ක් පමණ මෙහෙයවන මෙම නිලධාරීන්ගේ සේවය තුළ පවතින දැඩි අවදානම් තත්ත්වය පිළිබඳව ඇමැතිනියගේ අවධානය යොමුවීම වෙසෙසින් පැසසිය යුත්තක් වුවද, ඒ සඳහා වන පිළිගත හැකි වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක නොවීමද කනගාටුවට කරුණකි. බන්ධනාගාර නිලධාරීන්ට කටයුතු කිරීමට සිදුවී ඇත්තේ, සමාජයේ වැරදි කළ පිරිසක් සමඟය. කාකි නිලඇඳුමකින් ආවරණය වුවද ඔවුන්ද මිනිසුන්ය.

හතරවටින් තාප්පවලින් වටකරන ලද සිරගෙයක් තුළ රාජකාරි කිරීමේදී ඔවුන්ට ආශ්වාස ප්‍රශ්වාස කිරීමට සිදුවී ඇත්තේ, අපිරිසුදු වාතය බව වැඩිදෙනකු දන්නේ නැත. දිනපතා දකින්නට ලැබෙන්නේ එකම මුහුණුය. අසන්නට ලැබෙන්නේද දුක් අඳෝනාය. පරිසරය ඉතා අපිරිසුදුය. රාජකාරිය ඒකාකාරීය. විවිධ ලෙඩරෝගවලට ගොදුරුවීමේ අවදානමද වැඩිය. බන්ධනාගාරයක සිරමැදිරියකට සිරකරුවන් දමා සවස වසා තබා නැවත පසුදින උදෑසන එම සිරකුටිය විවෘත කිරීමේදී පිටවන වායු ඝනත්වය කෙතරම්ද යන්න සොයා බැලීමෙන් සිරමැදිරියක පවතින තත්ත්වය සිතාගත හැකිය.

බන්ධනාගාර නිලධාරියා යනු සිරකරු - මුරකරු වශයෙන් සලකන කොට්ඨාසයකි. පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන දිවයිනේ නමගිය දරුණු පුද්ගලයන් මෙන්ම, පාතාල අපරාධකරුවන් සමඟ රාජකාරි කරන්නට සිදුවී ඇත්තේද එම සිරකරු - මුරකරුවන්ටය. බන්ධනාගාරගත වන මෙම අපරාධකරුවන්ට දැඩි ආරක්ෂාවක්ද අවශ්‍යය. එහෙත් මෙවැනි පුද්ගලයන් නිරායුධ බන්ධනාගාර නිලධාරීන්ට බාරදීම සිදුවන්නේද නිලධාරී හිඟයක් පවතිද්දීය.

බන්ධනාගාරය තුළ පවතින නිලධාරී හිඟය කොතරම්ද යනු, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 3000 ක් බලාගන්නට යොදවා ඇත්තේ නිලධාරීන් 20 ක් බවටද, රාත්‍රී 12 ක් බවටද තොරතුරු හෙළිවී ඇතත්, ඒවා එළියට දෙන්නේ නැත. නිලධාරීන් 600 ක් පමණ වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්ත කර ඇතත්, දිනපතා පවතින අසීමිත ක්ෂේත්‍ර රාජකාරී තත්ත්වය අනුව, ප්‍රමාණවත් නිලධාරීන් සංඛ්‍යාවක් බන්ධනාගාරය තුළ රැඳෙන්නේ නැත. බන්ධනාගාර තුළ පවතින මෙම උග්‍ර නිලධාරී හිඟයද, සිරකරු තදබදයද, විසඳන තාක් කල් බන්ධනාගාර තුළ සිදුවන නීති විරෝධී ජංගම දුරකතන භාවිතය, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දූෂිත ක්‍රියාවන් තුරන් කළ නොහැකිය.

සෑම නිලධාරීන් 10 දෙනකුගෙන් එක් අයකුටම වාර්ෂිකව විනය චෝදනාවකට ලක්වන්නට සිදුවී ඇත්තේද මේ නිසාය. නිලධාරී හිඟයට මෙම තත්ත්වයද බලපා ඇතිබව නොරහසකි. මේ වන විටත් විවිධ විනය චෝදනාවන් මත වැඩ තහනමට ලක්වූ නිලධාරීන් 300 ක් පමණ ගෙදරට වී සිටින බවටද තොරතුරු සඳහන්ය. බන්ධනාගාරය තුළ වර්තමානයේ පවතින නිලධාරී හිඟයට පිළියමක් වශයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා විසින් වාර්ෂික බඳවාගැනීම් යටතේ නියාමකයන් 1200 ක් තෝරාගෙන මාස ගණනාවකි. පත්වීම් ලිපි ටික යවන්නට ඔන්න මෙන්න කියා තිබියදී, අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) කේ.ඩී.බී. ජයසිංහ මහතා එවා ඇති ලිපියකට අනුව, ලකුණු මට්ටම 40 හෝ 40ට වඩා වැඩිපුර ලබාගත් අයැදුම්කරුවන් පමණක් බඳවාගැනීමට දුන් උපදෙසින් සියල්ල කණපිට පෙරළී ඇත. මෙම සම්මුඛ පරීක්ෂණ කටයුතු සඳහා දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 40 ක් පමණ වැයවී ඇතැයිද සඳහන්ය. පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මෙන් 1:2 අනුපාතය යටතේ අපේක්ෂකයන් ලිඛිත විභාගයේදී හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී ලබාගත් මුළු ලකුණු එකතුව මත පිළිවෙළින් ඉහළම ලකුණු ලබාගත් අයැදුම්කරුවන් බඳවාගෙන තිබුණේ ඊට පෙරය.

ලකුණු මට්ටම ඉහළ දමන්නට අමාත්‍යාංශය ලබාදුන් නියෝගය පිළිබඳව බන්ධනාගාර ලොක්කෝ රාජ්‍ය සේවා කොමිසමෙන් තවමත් පිළිතුරු බලා සිටිති. මීට පෙරද ආධුනික නියාමකයන් 350 දෙනකු බඳවාගන්නට සියලු කටයුතු සූදානම් කර තිබියදී, එවකට හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසින් එම පත්වීම් ලබාදීම දූෂිත බවට චෝදනා කරමින්, ඒවා අත්හිටුවනු ලැබීම නිසා අපේක්ෂකයන්ට මානව හිමිකම් කොමිසමට පවා යාමට සිදුවූ බවද නොරහසකි. පසුව, නැවත සිදුකළ සම්මුඛ පරීක්ෂණයකින් පසු එම 350 දෙනා බඳවාගැනීමට සිදුවූයේ, කිසිදු දූෂණයක් සිදුනොවූ බවට සපථ කරමිනි.

රාජකාරීන් සඳහා දිනපතා නම් කරනු ලබන නිලධාරීන් අතරින් දූෂණ චෝදනා මත කිහිපදෙනකුට වැඩ තහනම්ව තිබෙද්දී, අසීමිත රාජකාරි බර දරන්නට බැරිව තවත් විශාල පිරිසක් සේවයට වාර්තා නොකරන බවද නොරහසකි. සේවයට යොදවන නිලධාරීන් කිහිපදෙනා අතරින් තවත් පිරිසක් උසස් නිලධාරීන්ගේ පෞද්ගලික රාජකාරීන් සඳහා යැවෙන බවටද චෝදනා ඇත. සිරකරුවන් බලාගැනීම පිළිබඳ සියලුම රාජකාරීන් පැවරී ඇත්තේ, නියාමකයන්ටය. එනිසාම නීති විරෝධී වැඩවල වැඩියෙන්ම යෙදෙන්නේද ඔවුන් බවටද මතයක් නැත්තේම නැත. එනිසාම, වැඩ තහනම් වන සංඛ්‍යාව ඉහළ යාම ගැන පුදුම විය යුතුද නැත.

නිලධාරී හිඟය බන්ධනාගාර තුළ පරිපාලනයට තදින්ම බලපා තිබියදී, 2009 වසරේදී බුද්ධි හා ආරක්ෂණ අංශයක් ස්ථාපිත කරනු ලැබුවේ නීති විරෝධී ක්‍රියාවන් මැඩලන්නටය. අද වන විට ඒ බුද්ධි අංශය නීති විරෝධී ක්‍රියා නිසාම විසුරුවා හැර අවසන්ය. එහි සේවය කළ 170 ක් දෙනා අදටත් (8) සේවක පුරප්පාඩු සහිත බන්ධනාගාරවලට අනුයුක්ත කර නැත. ස්ථාන මාරු කළ යුතු බුද්ධි අංශ නිලධාරී ලැයිස්තුව බන්ධනාගාර අමාත්‍යාංශයේ අනුමැතියට යවා ඇත. සති දෙකක් තිස්සේ එම 170 දෙනා කිසිදු රාජකාරියක් නැතිව පොත අත්සන් කර අතිකාලද ලබාගන්නා බවට චෝදනා නැගෙන්නේය.

බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ අංශය ස්ථාපිත කළේ අනෙකුත් නිලධාරීන්ට නොමැති වරප්‍රසාද රැසක් යටතේය. සාමාන්‍ය නිලධාරීන්ට සෑම මසකටම වරක් අතිකාල පැය 96 ක් ලැබෙද්දී, බුද්ධි අංශ නිලධාරියකුට එය පැය 144 ක් බවද සඳහන්ය.

බන්ධනාගාර නිලධාරින්ගෙන් 1/3කට ආසන්න සංඛ්‍යාවක් මානසික ආතතියෙන් පෙළෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය නිමාලි විජේවර්ධන මහත්මිය සිදුකළ විද්‍යාත්මක සමීක්ෂණ වාර්තාවක් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනිය වෙත බාරදුන්නේ, මෙබඳු අවස්ථාවකය. එම නිලධාරීන්ගෙන් සියයට 38.8ක්ම පෞද්ගලික නිපුණතාවය අඩුවීම පිළිබඳ හැඟීමකින් පෙළෙන බවද, සියයට 98.6ක්ම මානසික වෙහෙස ගතිය පෙන්නුම් කර ඇතැයිද, එහි සඳහන්ය. වැලිකඩ, මහර, බෝගම්බර (දුම්බර), ආරක්ෂිත බන්ධනාගාර ඇතුළු බන්ධනාගාර 17කට අයත් නියාමක නිලධාරීන් 1803 ක් මෙම සමීක්ෂණයට යොදාගැනීමද විශේෂත්වයකි. බන්ධනාගාර නිලධාරීන්ගේ මානසික ආතතිය අනිත් අයට වඩා වැඩි බවට මෙම වාර්තාව පිළිගනිමින් ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ, නිකමට නොවේ.

බන්ධනාගාර තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පසුගිය කාලය පුරාම ක්‍රියාත්මකව ඇති ආකාරය ගැන සිතනවිට ඊට දූෂිත නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවද නොරහසකි. ඒ පිළිබඳ තොරතුරු ගණනාවක්ම මේ වන විට හෙළිවී අවසන්ය. බන්ධනාගාර තුළ පවතින සේවක හිඟය ඊට ප්‍රබල අවියක් වී ඇත්තේද කලක සිටය.

මෙවැනි සිද්ධියකදී හසුවන බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව හා වැඩ තහනමට ලක්වූ සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා වැඩිවීමද අරුමයක් නොවන්නේ, ඒ සඳහා ගත යුතු එකම පියවර පවා නොගැනීම නිසාය. එහෙත්, මෑතකදී අසන්නට ලැබුණේ වෙනත් කතාවකි. බන්ධනාගාර මූලස්ථානයෙන් ඇසුණු එම කතාවට අනුව, වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී සිරකරුවන් 27 දෙනකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් මහතා රිමාන්ඩ් භාරයේ පසුවන්නේ, මාස 6 ක් තිස්සේය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ද ඒ අතරය.

මෙම සිද්ධියේදී බන්ධනාගාර අතිරේක කොමසාරිස් ජනරාල් වෙනුර ගුණවර්ධන මහතා විනය පරීක්ෂණ බාර නිලධාරියා වශයෙන් එමිල් රංජන් මහතාගේ වැඩ තහනම් කිරීමට නිර්දේශ කළේ ආයතන සංග්‍රහයේ 27-10 වගන්තියට අනුවය. අන්තිමේදී ඒ මහතා යටතේ තිබූ විනය පරීක්ෂණ, ස්ථාන මාරු කටයුතු වහාම ඉවත් කර වෙනත් කොමසාරිස්වරයකු යටතට පත්කෙරෙන අතර, ඒ පිළිබඳව විමසූ විට එවකට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, වෙනුර ගුණවර්ධන මහතාට වැඩ වැඩි නිසා එම රාජකාරි කටයුතු ඉවත් කළ බවය. පසුව බන්ධනාගාර මූලස්ථානය රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය මත එමිල් රංජන් මහතා අනිවාර්ය නිවාඩු යවමින්, ඉකුත් අප්‍රේල් සිට ජූනි මාසය දක්වාම වැටුප්ද ගෙවා ඇති බව කියති. මේ වන විට එමිල් රංජන් මහතාට වැටුප් ගෙවීම නතර කර ඇතැයි දැනගන්නට ඇතත්, තවමත් වැඩ තහනමට ලක්කර ඇද්ද යන්න කිසිවකුත් නොදනිති.

සුළු නිලධාරීන් ඒ මොහොතේම වැඩ තහනමට ලක්කිරීමට ඉක්මන් වන බන්ධනාගාර පරිපාලනය අපරාධ චෝදනාවකට ලක්ව සිටින නිලධාරියකුගේ වැඩ තහනම් කිරීමට නීති අණපනත් සොයමින් කල්ගත කරන්නේ, ඔවුන් ආරක්ෂා කිරීමටදැයි නිලධාරීහු ප්‍රශ්න කරති.

බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ සුබසාධක සංගමයේ හිටපු ලේකම් ආර්. සුසන්ත වල්පිට මහතා විසින් බන්ධනාගාර නිලධාරීන්ට අත්විඳින්නට සිදුවී ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත කලකට පෙර යවා ඇති ලිපියක මෙසේ දැක්වේ. “බන්ධනාගාරයේ බහුලව පවතින ස්කූබිස්, පැපොල, සරම්ප වැනි රෝගද හෙපටයිටිස්, ඒඩ්ස්, ක්ෂය රෝගය හා ශ්වසන වැනි රෝග ආසාදන තත්ත්වයන්ටද, බන්ධනාගාර නිලධාරීන්ට මුහුණපෑමට සිදුවන අවස්ථා එමටය. මානසික හා කායික පීඩාවන්ට ලක්වෙමින් මහත් අවදානම් තත්ත්වයක් යටතේ පැය 24 පුරාම නිලධාරීන් රාජකාරිවල යෙදිය යුතුය. රාත්‍රී සේවය අවසන් කරන නිලධාරියකු නිලධාරී හිඟය මත පසු දින ආරක්ෂණ රාජකාරීවලද යොදවනු ලබයි. ඉන් අනතුරුව ඔහු නැවතත් රාත්‍රී රාජකාරිය සඳහා වාර්තා කිරීම අනිවාර්ය වේ. කෙසේ වෙතත් මෙම නිලධාරීහු දිනකට සිරකරුවන් 30000 ක් පමණ සංඛ්‍යාවක් කළමනාකරණය කරමින් අධීක්ෂණ කටයුතු සිදුකරති. මෙහිදී සිරකරුවන් රඳවා සිටින සිරමැදිරි තුළම නිලධාරීන්ට රාජකාරි කිරීමටද සිදුවෙයි. එකී සිරමැදිරිවල යොදවා පැය 9යි, විනාඩි 30ක කාලයක් වසා තබන අතර මෙහිදී නිලධාරීන් මුහුණපාන මානසික පීඩාව විස්තර කළ නොහැකි තරම්ය.”

මේ වන විට ක්ෂය රෝගය වැළඳීම නිසා කායික පීඩාවන්ට ගොදුරු වූ නිලධාරීන් සංඛ්‍යාවද සුළු පටු නැත. මෙම තත්ත්වය යටතේ විනයගරුක නිලධාරීන්ද, විවිධ අපහසුතාවන්ට ලක්ව අක්‍රීය වී සිටිනු දැකිය හැකිය. නීතිගරුක නිලධාරීන්ට එරෙහිව බන්ධනාගාර තුළ අද අවනීතිය ක්‍රියාත්මක වීමද, ඔවුන්ගේ මානසික ආතතිය වර්ධනයට හේතුවක් වී ඇත. නීතිය නිසිලෙස ක්‍රියාත්මක කරන නිලධාරීන් ඇතැම් බලධාරීන් හමුවේ නිවටයන් බවට පත්වී ඇති සෙයක්ද දක්නට ලැබේ. එනිසාම ඔවුහු නීතිගරුක රාජකාරිය අතහැර අහක බලාසිටින තත්ත්වයට පත්ව සිටිති.

චක්‍රලේඛ හා වෙනත් ප්‍රතිපත්තීන් මගින් නිලධාරීන්ට ලැබෙන සහනද නිසි කලට නොලැබෙන තත්ත්වයක් තුළ වැටුප මත ජීවත්වන බහුතරයක් නිලධාරීන් දෙපාර්තමේන්තුව කෙරෙහි දැඩි කනස්සල්ලෙන් පසුවන බවටද තොරතුරු ඇත. පාලන ක්‍රමයේ පවතින විවිධ දුර්වලකම් හේතුවෙන්, අහිංසක නිලධාරීන් මෙන්ම, අහිංසක සිරකරුවෝද අසරණ වී සිටිති. මෙම තත්ත්වය බහුතරයක් නිලධාරීන්ටත්, සිරකරුවන්ටත් ඍජුව බලපා ඇති දැඩි මානසික පීඩනයක් බවට පත්ව ඇතැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියකු වන ආර්.ඒ.එස්. ජයලත් මහතා හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා වෙත රජය සමයේ යවා ඇති ලිපියක දැක්වේ. උග්‍ර නිලධාරී හිඟය හමුවේ, මෙරට බන්ධනාගාර පද්ධතිය දැඩි සෝදාපාළුවකට ලක්වෙද්දී, පුරප්පාඩු සඳහා බඳවාගැනීමට නියමිත නියාමකවරැන් 1200 දෙනාගේ පත්වීම් ලිපි තවමත් හමස් පෙට්ටියේය. දැඩි අවිවේකී බව සමඟ මුහුණදෙන රාජකාරි නියෝග හමුවේ නිලධාරීන් තුළ අසහනයක් ඇතිවීම මානසික ආතතිය වර්ධනයට ප්‍රමුඛ හේතුවක් නොවන්නේද?

වැලිකඩ කාන්තා අංශයට වනාතමුල්ල පැත්තෙන් කුඩු පාර්සල් වැටෙන්නේ ද ඒ බව දන්නා නිසාය. එල්ලය බලා තාප්පයට එහා පැත්තෙන් ජංගම දුරකතන, දුම්කොළ, ගංජා, තොග පිටින් වැටෙන්නේද “නෝනලා” අඩු නිසාය. වැලිකඩ, සී.ආර්.පී, ගාල්ල, බෝගම්බර (දුම්බර) බන්ධනාගාරවලට ජංගම දුරකතන ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය හොර රහසේ ඉගිල්ලෙන්නේද නිලධාරීන් නැතිකම නිසාය. වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙක් තනිකඩ භට නිවාසයේ සිට ඉකුත් 7 වැනිදා ගංජා කිලෝ 10 ක් රුගෙන එමින් සිටියදී, පොලිස් විශේෂ කාර්ය බලකායට කොටුවෙන්නේද බන්ධනාගාර නිලධාරීන් හිඟකම නිසාය.

ගාල්ල බන්ධනාගාරයේ පවතින නිලධාරී හිඟය හේතුවෙන් මත්කුඩු, ජංගම දුරකතන රහසින් ගෙන ඒම පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, 270 දෙනකුට පහසුකම් ඇති මෙම බන්ධනාගාරයේ 1200 ක් රඳවා ඇති බවත්, එහි අධිකාරී ජගත් වීරසිංහ මහතා පවසා තිබුණේ මේ නොබෝදාය.
 
►ජයන්ත සමරකෝන්