2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

අතින් වියදම් කරගෙන නොමිලේ පින්තූර අරන් දෙන පීටර්

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 211

ස්ථානය නෙළුම් පොකුණ රඟහලයි. පසුගිය ජුනි මාසයේ දිනෙක එහි රාජ්‍ය සංගීත උළෙල පැවැත්වෙමින් තිබුණි. ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සංගීතාභිමානී සම්මානය ආචාර්ය දයාරත්න රණතුංගට ලබාදීමට සූදානම්ව සිටියේය. මෙම අවස්ථාව ආවරණය කිරීමට එක්තරා ඡායාරූප ශිල්පියෙක් ඉදිරියට යාමට සැරසෙන විට ජනාධිපති ආරක්ෂක අංශය විසින් ඔහු වළවක්වනු ලැබිණි. මේ නිසා එම වැදගත් අවස්ථාව තම කැමරාවේ සටහන් කරගෙන රටට ලබාදීමේ අවස්ථාව ඔහුගෙන් ගිලිහිණි. මෙම ඡායාරූප ශිල්පියා පීටර් ජෙරොම් තිසරණ පෙරේරාය. ඔහු එලෙස උත්සව අවස්ථා ආවරණය කර ඡායාරූප ලබාදෙන්නේ නොමිලේමය.

“මම ජනාධිපති ආරක්ෂක ප්‍රධානියා හමුවෙලා ඒ විදිහට කිරීම සුදුසු නැති බව පැවසුවා. ඔවුන්ටත් ඉතින් ප්‍රශ්න ඇති. ලංකාවේ අයට පොඩ්ඩක් ඉඩක් දුන්නොත් ඒක කරදරයක් වන තරමට අවභාවිතා කරනවනේ.” ඔහු අපට පැවසුවේය.

කොළඹ, ගාල්ල, මාතර, මහනුවර ආදී ලංකාවේ ඕනෑම නගරයක පැවැත්වෙන කලා උත්සව, සාහිත්‍ය උත්සව, පොත් දොරට වැඩීම, සාහිත්‍ය සංවාද ආදී අවස්ථාවලදී නොවරදීම දක්නට ලැබෙන චරිතයක් වන්නේ පීටර් ජෙරොම්ය. ඔහු මගවියදම් හා ආහාර වියදම් තම අතින් වැය කරගෙන ගොස් මෙම අවස්ථා ආවරණය කර දෙයි.  අතින් මුදල් වැය කරගෙන සේවයක් ලෙස ඡායාරූප අරගෙන ඩිජිටල් ඇල්බමයක් ලබාදෙන වෙනත් අයෙක් ගැන නම් අපට අසන්නට ලැබී නැත.

පීටර්ගේ විනෝදාංශය බවට අද පත්ව ඇත්තේ කලා කටයුතුවල ඡායාරූප ගැනීමය. මේ නිසා ඔහු කලා ලෝකයේ කාගෙත් හිත හොඳ මිතුරෙක් වී සිටී. 

“මම ඉපදුණේ කටුනේරියේ. ඉගෙනගත්තේ වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයේ. පසුව කටුනායක තාක්ෂණ පුහුණු ආයතනයෙන් විදුලි සහ විදුලි සංදේශ ඉංජිනේරු පුහුණුව ලබාගත්තා. ඒ සම්බන්ධ ISL ලන්ඩන් විභාගය කළා. 1989 දී භීෂණය නිසා ලංකාවෙන් ඉතාලියට ගියා. එහේදී අපේ වෘත්තීය සුදුසුකම් පිළිගන්නේ නැති හින්දා සූපවේදය හදාරන්නට සිදුවුණා. ඒක ඉගෙනගෙන සූපවේදියෙක් විදිහට ඉතාලිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය හා එක්සත් රාජධානියේ වැඩ කළා.” කිරිබත්ගොඩ නිවසේදී ඔහු තම අතීතය සිහිපත් කළේය. ඒ වනවිටත් පීටර් සිටියේ පෙරදින මාතර පැවැති දයා නෙත්තසිංහගේ පොත් දොරට මැඩීමේ උළෙලකට ගොස් පැමිණ වෙහෙස වූ ගතිනි.

1989 දී විදේශගතවූ ඔහු ලංකාවට එන්නේ 2013 දීය. ඒ වනවිට ලංකාවේ පවතින්නේ වෙනස් දේශපාලන වාතාවරණයකි. ඔහු ද්විත්ව පුරවැසිභාවයද ලබාගත්තේ යළිත් අවස්ථාව ලැබුණොත් පිටරට යාම සඳහාය.

“මම ලංකාවේ ඉගෙන ගත්තාට රටට යමක් දෙන්න බැරි වුණා. වෘත්තීය අධ්‍යාපනයට අමතරව ඡායාරුප ශිල්පයත් ඉගෙන ගත්තා. රු. ලක්ෂ දෙකකට ආසන්න වියදමක් දරලා කැමරාවකුත් අරන් නොමිලේ කලා කටයුතු අවස්ථා ඡායාරූප ගතකර දීම විනෝදාංශය කරගත්තා. ලංකාවට පැමිණි පසු රැකියාවක් නැවත නොකළ නිසා ඒකට පූර්ණ වශයෙන් යෙදීමේ නිදහස මට ලැබුණා.”

කැමරාවත් කරේ එල්ලාගෙන සිනහ මුහුණින් හැසිරෙන මේ නිහතමානී මනුස්සයාට කවුරුත් කියන්නේ “පීටර් අය්යා” කියලාය. ඔහුට වඩා වැඩිමහල් අයත් ඒ නමින්ම ඇමතීම පුරුද්දක් කරගෙනය. අද අප රටේ සාහිත්‍ය, සංගීත, නාට්‍ය ක්ෂේත්‍රයේ මතුනොව මුහුණු පොතේ පවා පීටර් අය්යා ගැන නොදන්නා කෙනෙක් නැත. මේ වනවිට ඔහු උත්සව අවස්ථා 500කට අධිකව නොමිලේ ඡායාරූපගත කරදී ඇත.

“මගේ නමෙත් තිසරණ කියලා තියනවානේ. මම ක්‍රිස්තියානි. අපේ ආගමෙත් ශුද්ධ වූ ත්‍රිත්වය කියලා අංගයක් තිබෙනවා. ට්‍රිනිටි තියන්නේ එයයි. ඒ කියන්නේ දෙවිපියාණන්, ඔහුගේ පුත්‍රයා වන ජේසුස් සහ ශුද්ධ වූ ආත්මයයි. ඒක ගැන හිතලා තමයි මගේ අම්මගේ ආච්චි අම්මා 1964 දී මට ඒ නම ලබාදීලා තියෙන්නේ.”

පීටර් ජෙරොම් තිසරණ පැය 24 පුරාම ඔන්ලයින් හෙවත් අන්තර්ජාලයේ සිටින ෆේස්බුක් සාමාජිකයෙකි. ඔහුට උත්සව අවස්ථාවලට සම්බන්ධවීමට වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ මුහුණු පොත හරහාය. ඔහු විවිධ අවස්ථාව දී ගත් ඡායාරූප ඇල්බම් විශාල ගණනකින් ඔහුගේ මුහුණු පොත සමන්විතය. ඕනෑම අයෙකුට එම ඡායාරූප භාවිත කිරීමට ඔහු නිදහස ලබාදී තිබේ.

“ෆේස්බුක් කියන්නේ ඉතා ප්‍රයෝජනවත් සමාජ මාධ්‍යයක්. නමුත් හුඟදෙනෙක් ඒක වැරදියට පාවිච්චි කරන්නේ. මම කවදාවත් අයහපත් දේකට ෆේස්බුක් පාවිච්චි කරන්නේ නෑ. අද හුඟ දෙනෙක් විවිධ නම්වලින් Fake Account (ව්‍යාජ ෆේස්බුක් ගිණුම්) හදාගෙන විවිධ හොරවැඩවලට පාවිච්චි කරනවා. මම Fake නෑ.” ඔහු සිනහවෙමින් පැවසුවේය.

පීටර්ගේ කාමරය ඔහුගේ පරිගණක මෙවලම්වලින් පිරී ඇත. එහි ඔහු ගත් දහස් ගණනක් ඡායාරූප ගබඩා කර ඇති පරිගණක මෙවලම් තිබේ. විවිධ පුද්ගලයන් ඔවුන්ට අවශ්‍ය කලා හා සාහිත්‍ය ආශ්‍රිත ඡායාරුප ඔහුට දුරකතන ඇමතුමක් දී ඉල්ලා ගනිති. එය ඡායාරූප පුස්තකාලයක් යයි පැවසුවහොත් නිවැරදිය. මෙලෙස සහභාගී වූ සිය ගණනක් උත්සව අතරින් වැදගත්ම උත්සවය ලෙස ඔහු සලකන්නේ ආචාර්ය අමරදේව අවසන් වරට සහභාගි වූ උත්සවයේ ඡායාරූප ගැනීමය.

“බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ උපහාර උළෙලට තමයි අමරදේව මහත්තයා අවසන්වරට එක්වුණේ. ඉන් කිහිප දිනකට පසු ඔහු මියගියා. ඔහුගේ අවමංගල උත්සවයත් මම දවස් දෙකත් උදේ ඉඳන් රෑ වෙනකම් කවර් කළා. මම වැඩිම පැය ගණනක් හිටපු අවස්ථාව එයයි.”

“ඔබගේ ඡායාරූප ගැනීමේ අවස්ථාවල මතක හිටින රසවත් සිද්ධි තිබෙනවාද?”  අපි ඔහුගෙන් ඇසුවෙමු.

“මම පොත් දොරට වැඩීමේ සිය ගාණකට ගිහින් පින්තූර අරන් දී තිබෙනවා. නමුත් හුඟාක් අය පොතක් ලබාදීමටත් කාරුණික වන්නේ නැහැ. මම සල්ලි දීලා ඒ පොත අරගන්නවා. මේ වනවිට පොත් 10කට වඩා මට නොමිලේ ලැබිලා නැහැ. ඒක අපේ මිනිස්සු සැලකිල්ලට ගන්නේ නැහැ. මම පින්තූර අරන් ගෙදර ආවට පස්සේ විනාඩි දහයෙන් දහයට පින්තූර ඉල්ලන්න නම් කෝල් දෙනවා. ඔන්න පින්තූර දුන්නට පස්සේ කිසිම තැනක හුඟදෙනෙක් මගෙ නම සඳහන් කරන්නේ නැහැ. මම සතපහක්වත් අය නොකර පින්තූර අරන් දුන්නම ඇගැයීමක් කරන්න එපැයැ. මේ රටේ ඒක කරන්නවත් හුඟදෙනෙක් උනන්දු වන්නේ නැහැ. මේ හින්දා මම ජල සලකුණක් දාන්න පටන් ගත්තා. ඊට පස්සේ සමහර පත්තරවලින් වෙබ් අඩවිවලින් ඒ පින්තූර අරන් වෝටර් මාක් එක කපලා පළකරනවා. හුඟදෙනෙකුට ජනමාධ්‍ය ආචාරධර්ම නෑ.

ලංකාවේ උත්සව අවස්ථා ගාස්තුවක් අයකර ඡායාරූප ගතකිරීමේ වෘත්තීය ඡායාරූප ශිල්පීහු ද මෙරට සිටිති. එහෙත් ඔවුන්ගෙන් තමන්ට මේ වනතෙක් කිසිම ගැහැටක් නොවූ බව පීටර් අපට කීවේය. ඔහුගේ සාහිත්‍ය කලා ඡායාරූප ගැනීමේ කලාවට ගෙදර බිරිඳගෙන්ද ලැබෙන්නේ නොමඳ සහයෝගයකි. ඡායාරූප ගැනීමට අමතරව ලේඛකයන්, කවීන්, ගායකයන්, නළු නිළියන් සමඟ එකට හිද සිහිවටන ඡායාරූප ගැනීම ද පීටර්ගේ විනෝදාංශයකි.

ප්‍රංශය වැනි යුරෝපීය රටක නම් යම්කිසි උදව්වක් කළ පසු විශාල කෘතඥතාවයක් පිරිනැමේ. “නමුත් අපේ රටේ නම් එහෙම දෙයක් කලාතුරකින් හම්බවෙන්නේ. අපේ අය ඒ අතින් නම් හුඟාක් පිටිපස්සෙන් ඉන්නේ. පින්තූර 200ක් 300ක් අරන් දුන්නමත් සමහරු “ස්තූතියි” කියලා කියන්නෙත් නෑ. ඒක හින්දා සමහර වෙලාවට බලකිරීමකුත් ඇති වෙනවා.” පීටර් කීවේ සිනහ වෙමිනි.

ඉතින් ඔබටත් සාහිත්‍ය උත්සවයකදී නාට්‍ය හෝ කලා උළෙලකදී මේ අව්‍යාජ මිනිසා හමුවීමට පුළුවන. ඔහුගෙන් ඉගෙන ගැනීමට අපටත් බොහෝ දේ ඇති බව ඔහු හා කළ කතාබහෙන් පසු පැහැදිලි විය.

(සේයාරූ අනුග්‍රහය පීටර් ජෙරොම් තිසරණ පෙරේරා)
♦ කුසුම්සිරි විජයවර්ධන