2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

අලකලංචි මැද විභාගය ලියූ ශිෂ්‍යත්ව දරුවෝ

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 116

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 5 වැනිදා දින දිවයින පුරා පැවැත්වුණු බව අපි දනිමු. දරුවන්ගේ පළමුවන කඩඉම් විභාගය ලෙස හැඳින්වෙන මෙම විභාගයට බොහෝ දරුවන් නිදහසේ තම දෙමාපියන් සමඟ පාසැල් භූමියට ඇතුළු වුවද ඉන් දරුවන් කිහිපදෙනකුට විභාගයට මුහුණදීමට සිදු වුණේ අනපේක්ෂිත සිදුවීම් කිහිපයක බාධක මැදිනි.

අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ ශාන්ත දරු දෙදෙනකුගේ පියෙකි. ශිෂ්‍යත්වයට ලියූ විහංගි ඔහුගේ බාල දියණියයි. වයස අවුරුදු දාහතක් වයසැති අරුණ ශාන්තගේ වැඩිමහල් පුතනුවන් පන්නල්ගම මහ විදුහලෙන් සාමාන්‍ය පෙළ සමත් වුවද උසස් පෙළ හැදෑරීමට තරම් ඔවුන්ට වත්කමක් නොතිබුණි. එදා ‍වේල සොයා ගැනීමට පවුලේ හතරදෙනකුගේ කුසගිනි නිවන්නට අරුණ ශාන්ත අනුන්ගේ කුඹුරුවල කුලියට වැඩ කළේය. ඇතැම් දිනවල වෙනත් කුලී වැඩ කර තම පවුල රැක්කේය. මේ සියල්ලම ඔහුගේ වැඩිමහල් පුතණුවන් හොඳ හැටි දැක්කේය. මේ නිසාම පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කී විහංගිගේ සොහොයුරා රැකියාවක් සොයා කොළඹ පැමිණියේය.

ඒ අතර විහංගි ශිෂ්‍යත්ව විභාගයට පාඩම් කළාය. විභාගය සමත් වී තම ආදරණීය පියාට සතුටක් ගෙන එන්නට විහංගිට අවශ්‍ය වන්නට ඇත. නමුත් හරියටම විභාගයට දිනකට පෙර අරුණ ශාන්ත තම දරු පවුල අතහැර සදහටම දෙනෙත් පියා ගත්තේය. ඒ වන අලි ප්‍රහාරයකට ලක්වීමෙනි.

පුංචි විහංගි තාත්තාගේ නිසල සිරුර අසල හඬා වැටුණාය. “අනේ මගෙ තාත්තේ” කියමින් විලාප දුන්නාය. මුළු ගම්මානයේම වැසියන්ගේ ඇස්වලට කඳුළු පිරුණි. ඇය ශිෂ්‍යත්ව විභාගය අතහැර දැම්මාය. නමුත් ගමවාසීහු පුංචි විහංගි තනි නොකළහ. ඔවුහු විහංගි අස්වැසුවෝය.

අගෝස්තු පස්වැනිදා උදාවිය. ශිෂ්‍යත්ව විභාගය දිනයයි. අගහිඟකම් කොතෙක් තිබුණ ද පුංචි විහංගිට හිතේ ශක්තිය තිබුණි. හැමෝගෙම ආශිර්වාදයෙන් ඇය විභාගයට යාමට සූදානම් විය. දෙපයේ පළඳින්නට හරිහමන් මිරිවැඩි සඟලක් නොතිබුණ ද ඒ පුංචි හිතේ ඕනෑකමක් හයියක් තිබුණි. ඇය සුදු ගවොම ඇඳ තම පියාණන්ගේ දේහය අසල දණ ගසා වැන්දාය. එය ඉතා සංවේදී දසුනක්ම විය.

මේ අතර විහංගිට තවත් ලොකු හව්හරණක් ලැබුණි. ඒ විදුහලේ විදුහල්පතිනිය නන්දනී මහත්මියයි. ඇය තම මෝටර් රථයෙන් විහංගිව පාසලට රුගෙන ගියාය. 

“පුතේ දුක්වෙන්න එපා. ඔයා හොඳට ලියන්න.” යනුවෙන් විහංගිට ආශිර්වාද කළ ඇය විහංගිව විභාග ශාලාවේ ගුරුවරියකට ද බාර කළාය. අවසානයේදී බොහෝ බලාපොරොත්තු හිත් කොනේ තියාගෙන නොසිතූ පරිදි ජීවිතයෙන් සමුගත් අරුණ ශාන්තගේ නිසල දේහය ඒ කුඩා නිවහනේ නිසලව තියෙද්දී පුංචි විහංගි ආකර්ෂා හැඬූ කඳුලින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියාය.

මේ අතර මහියංගණය හත්දත්තාව ද්විතීයික පාසලේ ඉගෙනුම ලබමින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට සිටි මහියංගනය අක්කර අසූව ප්‍රදේශයේ ජීවත් වූ සයුරි සත්සරණි පුංචි දියණියගේ විභාග ගමන නතර කර දමන්නට තවත් වල් අලියෙක් උත්සාහ දැරීය.

ආදරණීය මව වූ ඩී. එම්. සේපාලිකා කුමාරි සමඟ පාපැදියේ නැගී විභාගය සඳහා පාසලට යමින් සිටියදී වල් අලි ප්‍රහාරයට ඔවුහු මුහුණ දුන්හ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ මව සහ දියණිය ප්‍රදේශවාසීන් විසින් වහාම මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලේ වෛද්‍ය හා කාර්ය මණ්ඩලය මොවුන්ට ප්‍රතිකාර කර ඇති අතර පොලීසිය හා අධ්‍යාපන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සයුරිට මහියංගනය ජාතික පාසලේදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට ඉඩකඩ සැලසුණි. මූලික ප්‍රතිකාරවලින් අනතුරුව ශිෂ්‍යත්ව විභාගය ලියූ සයුරි නැවතත් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වූවාය.

ශිෂ්‍යත්ව විභාගය වූ කලී දරුවන්ගේ පළමු කඩඉම් විභාගය පමණක්ම නොව මව්පියන්ගේ ද විශාල බලාපොරොත්තුවකි. එයට ප්‍රධාන හේතුව මෙයින් සමත් වූවන්ට ලැබෙන ශිෂ්‍යාධාර මෙන්ම රටේ ජනප්‍රිය සහ ප්‍රධාන පාසල්වලට යාමේ ඇති අවස්ථාවන්ය. මේ නිසා ඇතැම්විට දරුවන්ටත් වඩා මව්පියෝ තරගකාරී විභාගයට ළංවත්ම ගමේ පන්සලේ, පල්ලියේ, කෝවිලේ තම දරුවන් වෙනුවෙන් ආගමික වතාවත්වල නිරත වනු දැකීම සුලබය.

පදවිය පොලිස් වසමේ ඒ යාය ඇළ පාරේ පිහිටි ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට ද පසුගිය සෙනසුරාදා ගම්වාසීන් එක්වන්නේ පසුදිනට යෙදී තිබුණු ශිෂ්‍යත්වය වෙනුවෙන් දරුවන්ට ආශිර්වාදය ලබාදීමේ පරමාර්ථයෙනි. පදවිය මහසෙන් විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරැවන් හා ඔවුන්ගේ මව්පියන් විශාල පිරිසක් මෙම පිංකමට සහභාගී වූහ.

සිදුවූයේ කවුරුත්ම නොසිතූ දෙයකි. පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් බෝ අත්තක තිබූ විශාල බඹර කූඩුව බිමට වැටුණි. ඒ වනවිට මෙම කූඩුවේ බඹරුන් තුන්සීයකටත් අධික ප්‍රමාණයක් සිට ඇත. සිදු වූ අනපේක්ෂිත දෙයින් කලබල වූ බඹරු විහාර භූමියේ සිටි පිරිසට දෂ්ඨ කළහ. ශිෂ්‍යත්වයට පෙනී සිටීමට සිටි දරුවන් අසූ පස් දෙනකු ඇතුළු එකසිය තිස් පස් දෙනකු පමණ පදවිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි. කෙසේ වුවත් ඉතා ඉක්මනින් කරනු ලැබූ ප්‍රතිකාර හේතුවෙන් පසුදා පැවැති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට පදවිය මහසෙන් විදුහලේ දරුවන්ට අවස්ථාව ලැබුණි.

අමන්දි දිල්ශාරා දියණිය ද විශාල බාධා ඔස්සේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් තවත් දියණියකි. මාවරල, පුවක්ගහහේන කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අමන්දි ඉතා දක්ෂ, ඉගෙනීමට ඉතා කැමැති දියණියකි.

මව් සෙනෙහස අහිමිව, තම පියාගේත්, ආච්චි අම්මාගේත් ආදරය, රැකවරණය යටතේ හැදී වැඩුණු අමන්දි හදිසි අනතුරකට ලක්වීමෙන් මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියාය.

දින, සති ගෙවී යද්දී ඇය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමේ දිනය ළං විය. නමුත් ඒ වනවිටත් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලබා නොතිබිණි. නමුත් ඇයගේ ලොකුම ආසාව මෙන්ම බලාපොරොත්තුව වූයේද ශිෂ්‍යත්ව විභාගයයි.

“අනේ මට විභාගයට යන්න දෙන්න..” ඇය නිතරම ඇවිටිලි කළාය. ඇගේ ඉල්ලීමට හොඳ ප්‍රතිචාරයක් ලැබුණි. විභාග කොමසාරිස්වරයාගේ අවසරය ඇතුව ඇයව ගිලන් රථයකින් විභාග ශාලාව වෙත රැගෙන පැමිණි අතර අවසානයේදී අමන්දි දියණියගේ බලාපොරොත්තුව ඉටු විය.

දිශානි ජයමාලි කරුණාරත්න