2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

ඥානසාර හිමි හිරේ දැමූ අපහාස නඩුව

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් වී තිබුණේ 2010 ජනවාරි 24 වැනිදාය. අතුරදන් වූ ස්වාමිපුරුෂයාට යුක්තිය ඉටුකර ගැනීම සඳහා වෙහෙසුණු සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය. 2016 ජනවාරි 25 වැනිදා එම නඩුව හෝමාගම අධිකරණයේ විභාගයට ගෙන අවසන් වූ පසුව අධිකරණ භූමියට පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇයට බැණ වැදී තර්ජනය කළා යැයි කියමින් ප්‍රගීත් එක්නැලිගොඩගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් සිදුවීම මහේස්ත්‍රාත්වරයාට සැලකර තිබුණි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වෙද්දී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ වැදුණු බව කියන සිදුවීමට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබුණි. ඒ විවෘත අධිකරණයට අධිකරණ භූමියේදීම අපහාස කිරීමේ වරදට වරෙන්තු නිකුත් කිරීමත් සමඟය. මෙහිදී හෝමාගම පොලීසිය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව දණ්ඩනීති සංග්‍රහයේ අංක 386 හා අංක 486 යටතේ පිළිවෙලින් සාපරාධී අඩන්තේට්ටම් කිරීම හා සාපරාධී බියගැන්වීම යන චෝදනාවලට නඩු පවරනු ලැබ තිබුණි.

මේ අනුව උන්වහන්සේට එරෙහිව ඉහත චෝදනා මැද ප්‍රධාන කරුණු හතරක් මුල් කොටගෙන චෝදනා එල්ල කර තිබිණ. “අධිකරණයේ ආධිපත්‍යයට සහ ගරුත්වයට අභියෝග කිරීම, අගෞරව කිරීම හා අවමන් කිරීම, අධිකරණය තුළ අනර්ථකාරී ලෙස හැසිරීම, පරුෂ වචනයෙන් රජයේ නීතීඥවරයකුට අපහාස කිරීම සහ අධිකරණයේ බල අධිකාරියට අභියෝග කිරීම ඒ අතර වේ. මෙම නඩුව වසර එකහමාරකට ආසන්න කාලයක් විභාගයට ගැනුණු අතර චෝදනා හතරටම ඥානසාර හිමියන් වරදකරු බව සනාථ කරමින් අධිකරණය පසුගිය 8 වැනිදා තීන්දුව ප්‍රකාශ කළේය. ඒ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතළ වැඩ ඇතිව වසර 19ක සිරදඬුවමක් නියම කර එය වසර හයකින් ගෙවී යන පරිදිය.

තීන්දුව ප්‍රකාශයට පත් කළ දිනයේ ඥානසාර හිමියන් අධිකරණයට පැමිණ නොසිටිය ද අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළහ. ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුව පිටු 53කින් යුක්ත වන අතර පෙර සඳහන් කළ චෝදනාවන්හි අනු පිළිවෙලට පළමු චෝදනාවට බරපතළ වැඩ සහිතව වසර 4ක සිර දඬුවමක්, දෙවැනි චෝදනාවට එරෙහිව වසර 4ක සිරදඬුවමක් සහ තෙවැනි චෝදනාවට එරෙහිව වසර හයක සිරදඬුවමක් මෙන්ම සිව්වැනි චෝදනාවට එරෙහිව වසර 5ක සිරදඬුවමක් නියම කර තිබූ අතර සෑම දඬුවම් කාලයක්ම බරපතළ වැඩ සහිතව ගෙවීමට නියම කෙරිණි.

ඥානසාර හිමියන් ඒ අවස්ථාවේ අධිකරණයේ නොසිටීම නිසා විත්තිකාර පාර්ශවයට නඩු තීන්දුව පැය 48ක් ඇතුළත දන්වන ලෙස ද නියෝග කෙරිණ. නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට පෙරාතුව අසනීප තත්ත්වයෙන් පසුවූ ඥානසාර හිමියන් රෝහල්ගතව සිටි අතර ඒ බව උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව විභාග වෙමින් තිබියදී පැමිණිල්ල හා විත්තිය දෙපාර්ශවයෙන්ම සාක්ෂිකරුවන් ඉදිරිපත් කර තිබුණි. විත්තිය පාර්ශවයෙන් කිරම දේවින්ද සහ පිටිගල ධම්මදින්න හිමිවරු සාක්ෂි ලබාදෙමින් කියා සිටියේ සුද්දාගේ නීතිය පිළිගන්නේ නැති බව ඥානසාර හිමියන් විසින් කියා ඇතත් එය අධිකරණයට අපහාස කිරීමේ අදහසකින් සිදු නොකළ බවය. මෙහිදී අධිකරණයේ මතය වී ඇත්තේ උන්වහන්සේලා තොරතුරු වසන් කර ඇති බවය. ඊට පැහැදිලි හේතුව වූයේ විත්තිකාර හිමිනමගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී සිදුවීම තහවුරු වන තරමට කරුණු හෙළි කිරීමය.

2016 ජනවාරි 28 වැනිදා හෝමාගම අධිකරණයේ විභාගය වූ අංක බී 74/7/10 දරන නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දෙන්නැයි කිසිදු අවසරයකින් තොරව ඉල්ලීම ගෞරවයට අභියෝග කිරීම හේතුවෙන් පැවරූ නඩුවේ විත්තිය වෙනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාක්ෂි ලබාදී තිබුණි. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ මෙම සිදුවීම හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොවූ බවය. රට බේරාගත් යුද හමුදා රණවිරු බුද්ධි අංශ නිලධාරීන්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන මොහොතේ ඒ පිළිබඳව සංවේදීව එම තත්ත්වය උද්ගත වූ බව ඒ හිමියෝ ප්‍රකාශ කළ අතර ඉන් අධිකරණයට කිසිදු අපහාසයක් නොකළ බවද කියා සිටියහ.

ඥානසාර හිමියන්ට එරෙහි දඬුවම පිළිබඳව ලබන 29 වැනිදා අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

සමන්ත ප්‍රදීප් විල්තෙර