2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

බැතිමතාගේ ඔළුව පැලූ දෙවිනුවර දේවාලේ කපුවා

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

වසරකට වරක් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයට ගොස් පූජාවක් තැබීම කාලයක් මුළුල්ලේ ඔහු කරගෙන ආ සිරිතකි. සුපුරුදු ලෙස ඔහු මෙම වසරෙත් සිය බිරිඳ සහ දරුවන් සමඟ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත ගියේ  පුදපූජා කටයුතු පැවැත්වීමටය. නමුත් මෙවර දෙවියන්ට කන්නලව් කිරීමට පෙරම ඔහුට සිදුවූයේ වඳින්න ගිය දේවාලය හිස මත කඩාවැටීමකි.

වේලාව රාත්‍රී 7ට පමණය. දිනය පසුගිය 3 වැනිදාය. හොරළුවිට බමුණුගම පදිංචි බුද්ධික චන්ද්‍රකුමාර දෙවිනුවර දේවාලය වෙත පැමි‍ණෙන විටද බැතිමතුන් බොහෝ පිරිසක් එම භූමිය තුළ රැඳී සිටියේ පූජාවන් තැබීමට සහ එදින රාත්‍රියේ එම දේවාලයේ පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික ඇසළ උත්සවයේ කෝල්මුර යාගය හෙවත් දේව තොවිලයට සහභාගි වීම සඳහාය.

දේවාලයට කිලෝමීටර දෙකක් පමණ ඈතින් සිය ත්‍රිරෝද රථය නවතා තැබූ ඔහු පා ගමනින්ම සිය බිරිඳ සහ දරුවන් තිදෙනා සමඟ පූජා භූමියට ඇතුළු විය. අනතුරුව ආගමික වතාවත්වල යෙදුණු බුද්ධික ඇතුළු පිරිස විෂ්ණු දේවාලය ඉදිරිපිට ඇති වෙළෙඳසලකින් ලබාගත් පූජා වට්ටියක් අතැතිව ඓතිහාසික දෙවිනුවර විෂ්ණු දේවාලය වෙත ගියහ.

දේවාලය තුළ තිබෙන තදබදය නිසාවෙන්ම අතරින් පතර රිංගා පූජාවත් සමඟ දේවාලයට ගොඩවීමට හැකිවූයේ බුද්ධික චන්ද්‍රකුමාරට සහ ඔහුගේ වැඩිමහල් දරුවාට පමණි. ඔහුගේ බිරිඳටත් අනෙකුත් දරුවන් තිදෙනාටත් සිය ස්වාමියා පූජාව නිමවා එනතුරු දේවාලයේ දොරකඩ අසල රැඳී සිටීමට සිදුවිය.

කෙමෙන් කෙමෙන් කාලය ගෙවීගොස් තමන්ගේ වාරය පැමිණෙන විට බුද්ධික දේවාලයේ ප්‍රධාන කපු මහතාට රුපියල් සියයක් සහ තම ත්‍රිරෝද රථයේ පඬුරක් ගැටගැසීම සඳහා රුපියල් පහේ කාසි දෙකක් ලබාදුන්නේය. අනතුරුව පූජාවට්ටියේ තිබූ මුදල් පමණක් ලබාගත් කපු මහතා පූජාවෙන් අනතුරුව නැවතත් බුද්ධික වෙත පූජාවට්ටිය ලබාදුන්නේය.

එවිට බුද්ධික පූජාවට්ටියේ පඬුරු ලෙස තබා තිබූ රුපියල් පහේ කාසි දෙක පඬුරු ලෙස ගැටගැසීම සඳහා ප්‍රධාන කපු මහතාගෙන් රෙදිපටියක් ඉල්ලා සිටියේය. එයට පිළිතුරු ලෙස බුද්ධිකට ලැබුණේ ප්‍රධාන කපු මහතාගෙන් ගෝරණාඩුවකි.

ඉන්පසු බුද්ධිකද නැවත වරක් දේවාලයේ ප්‍රධාන කපු මහතාගෙන් විමසා ඇත්තේ පඬුරු ගැටගැසීම සඳහා රෙදිපටි කෑල්ලක් ලබාදීමට නොහැකිද යන්න පමණි. එවිට ඔහුටවත් සිතාගත නොහැකි සැණින් දේවාලයේ ප්‍රධාන කපු මහතා පූජාවන් ගෙන එන යකඩ බන්දේසියකින් බුද්ධිකගේ හිසට පහරදුන්නේ ඔහු දේවාලයට පැමිණි හොරකු ලෙස සියලු දෙනා ඉදිරියේ ගෝරණාඩු කරමිනි.

මෙහිදී සිය පියාට එල්ලකරන ලද පහර වැළැක්වීමට ගිය බුද්ධිකගේ වැඩිමහල් දරුවාටද විෂ්ණු දේවාලයේ දෙවැනි කපු මහතා විසින් පහරදී තිබිණි. දේවාලයේ සිටි සෙනග අතුරින් බුද්ධික සිය වැඩිමහල් දරුවා සමඟින් එළියට පැමිණ ඇත්තේ තමන්ට සිදුවූ අකරතැබ්බය ගැනත් නොසිතාය.

එයින් අනතුරුව තම පියාගේ හිසෙන් ලේ ගලනු දුටු බුද්ධිකගේ වැඩිමහල් දරුවා 1990 ගිලන් රථයකට කතාකොට සිය පියා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.

මෙම සිදුවීම වූ අවස්ථාවේදීම ඔහු දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ ඇති ජංගම පොලිස් මුරපොළ වෙත ගොස් දේවාලයේ ප්‍රධාන කපු මහතා තමාට පහරදුන් බවට පැමිණිලි කර සිටියද දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවයේ අවසන් දේව තොවිලය හා දේවදානය ඇතිබව කියමින් ඔවුන් විසින් සිදුකරන ලද එම පැමිණිල්ල බාරගැනීම පොලිස් මුරපොළෙහි නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.

අකුරුස්ස ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයකු ලෙස කටයුතු කරන බුද්ධික චන්ද්‍රකුමාරට මේ වන විට සිය රාජකාරියට පවා යාමට නොහැකි වී ඇත්තේ ඔහුගේ හිසෙහි තිබෙන තුවාලය හේතුවෙනි. ඔහු රෝහල්ගත වී හිසේ තුවාලයට බෙහෙත් දමාගෙන නිවෙසට පැමිණ තිබේ.

මෙම සිදුවීමට පසු දින බුද්ධිකගේ බිරිඳ මාතර පොලිස් අධිකාරී කාර්යාලය වෙත ගොස් මෙම සිද්ධිය ගැන පැමිණිලි කර ඇති අතර ඉන් අනතුරුව සැකකාර කපුවා පසුගිය 6 වැනිදා අත්අඩංගුවට ගෙන දින තුනකට පසුව ඇප මත මුදාහරිනු ලැබීය. වැඩිදුර පරීක්ෂණ ගන්දර පොලීසිය මගින් සිදුකෙරේ.

♦ හසිත් අංජන