2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

උදැල්ල අතටගත් දොස්තර මහත්තයා

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 244

දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

ඔබ මට තරුවකි ගණදුරු රැයකට.. පැල වටා ඉහිරුණු අඳුරු කැටි පැලේ කොණක දැල්වුණු ලන්තෑරුමෙන් නික්මෙන නිල් එළිය අමතා එලෙස ආමන්ත්‍රණය කරතැයි සිතේ. එදා දෑතේ කරගැට රටා මැවූ පෝරැව නඟුල අතීත ස්නේහයක බැතිබර වත්මන් මතකයන් ලෙස අදටත් ඒ පැලේ මුදුනතය. 

හාන්න, පෝරු ගාන්න කයියට ගිය ජීවිතය ආත්ම හයියට සරිකළ අතීතය!

හකුරු කෑල්ල, කහට කෝප්පය, බෙලි මල් වතුර පවස නිවූ අතීතය..

වියළි සහනාධාරයට ලැබුණු කිරි පැකැට්ටුව උදැල්ලට වාරු දෙන්නට ඉඩ හරිමින් ජීවිතය අලුත් පරිච්ඡේද කියවන්නට බල කළ අතීතය....

අඹ ඵලදාව සාරෙට වෑහෙන කාලෙට අඹ සප්පායමෙන් දවස් දෙක තුන හොඳහැටි බඩගින්න නිවාගන්නට...

බත් පිඟානෙන් නොපිරවුණු කුසේ හරි අඩ රොටියකින් පුරවාගෙන ගම් දොරින් දොර ඇසූ දුටු අත්දැකීම් අනුසාරයෙන් බඩගින්න සහ දුප්පත්කම ගැන ඉගෙන ගන්නට දෛවය ඉඩහළ අතීතය...

පොළොවටත් අලයටත් නොරිදෙන්නට නොකැඩෙන්නට ගැලවූ මයියොක්කා පඳුර නොරිදෙන්නට නොකැඩෙන්නට දත් ගලවන්නට අද දවසේ දොස්තර මහත්තයාට අපූරු පාඩම් මහ පොළොව ඇසුරේ කියාදුන් අතීතය....

මේ සියල්ල උදෙසා සදළුතල පිරි මැදුරක් ඇසුරේ හැදූ ඒ පැල් කොටය අසිරිමත් සාක්ෂියක්යැයි එහි ගිය එදවස මට සිතුණි.

සහසක් වැඩ රාජකාරි අතරේ දවසේ තත්ත්පර හිර වුණත් එක මොහොතක් එක ඇසිල්ලක් ‍ගෙයි පිටිපස දොර හැරගෙන ඒ පුංචි පැල් කොටයට ඔහු ගොඩවෙන්නේ හුදෙක් ඒ අතීතය හදවතින් ස්පර්ශ කරන්නටත්ම නොවේ.

අඹ, දෙළුම්, රඹුටන්, කෙසෙල්, නාරං, අන්නාසි, කාමරංගා සුවඳ සූරාගෙන එන හුළඟේ ආස්වාදය විඳින්නටය. ඒ ආස්වාදයෙන් පපු ගැඹුරේ හිරවුණ ජීවන සරතැස මොහොතකට දුරකින් තියන්නටය. කුරුලු කූජනයක, ටිං ටිං ලේන් හඬක හඬ අසමින් එදා නාගොල්ලාගම ගමේ ගෙදරදී තාත්තා සරම් ඔංචිල්ලාවේ හිඳුවාගෙන සොබාදහම ඇසුරේ කියා දුන් ජීවන පාඩම් යළිත් සිහිපත් කරගන්නටය.

පුතේ කිරල්ලු එක එක වෙලාවට කෑගහන්නේ එක එක විදිහට. මනුස්සයෙක් ළඟට එද්දි එක විදිහකට. බිත්තර කන්න සතුන් එද්දි උන් හඬා වැටෙනවා. කූඩුව ළඟින් කවුරුහරි යද්දි ඌ හඬා වැටෙන්නේ තවත් විදිහකට... රළ නගන වැව් ඉස්මත්තේ හිඳ අටේ පන්තියට අකුරු උගත්තත් ජීවිතය දැන හඳුනාගෙන සිටි තාත්තා එදා කියා දුන් පාඩම් අදටත් ඒ පැලේ මැටි බිත්ති අතරේ සිහින් වාකවුළු තුළ රැඳී ඇති සැටියකි.

කලාවේ නෙක උයන් වතු මැද ගිමන් හරින්නට නතර වෙන ඉසිඹු සොයමින් දොස්තරකම ජීවන වෘත්තිය බවට පත්කරගත් අපූරු දත් දොස්තර අපට මුණගැසුණේ ලන්තෑරුම් එළි පාළු මැකූ ඒ පැල් කොටේදීය.

කෑගල්ල ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය ලෙසත් කඩවත රෝස්වුඩ් පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙසත් රෝගී දනන්හට සුව සදන්නටත්, කෑගල්ල ප්‍රදේශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කටයුතු සහ පරිපාලන කටයුතු උදෙසා වගකීමෙන් උරදෙමින් රටේ ජනතාවගේ සල්ලිවලින් උගත් ශිල්පයේ ණය ගෙවන්නට හදවතින්ම ඇපකැප වූ මෙහෙවරක් ඉටු කරන්නටත් උරදෙන ඒ වෛද්‍යවරයා ගීත විචාරකයෙක් ලෙස විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ රසික පැසසුම ලද්දෙකි. දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර ඔහුය.

නාගොල්ලාගම ගමේ ගෙදර අම්මා, තාත්තා, අයියා, අක්කා, සහ නංගිලා දෙදෙනා සමඟ ගෙවූ ජීවිතයේ බොහෝ මතක නිවෙසේ ඉදිරි දෙසින් දිස් වූ යාපහුව ගල අදටත් නිහඬව දරා සිටියි. මීරිගම නැන්දාගේ ගෙදර  සිට, පොළොන්නරුවේ ලොකු තාත්තලාගේ ගෙදර සිට පාසල් ගිය අතීතය මෙන්ම නාගොල්ලාගම ගමේ ගෙදර ගෙවූ ජීවිතය ඔහුට ළමා වියේදීම ‍ලොකු අකුරුවලින් ජීවිතය කියවන්නටත්, දෑතේ ළමා ළපටි සියුමැලි බවට ගොරෝසුකම් කැටි කරගන්නටත් වරෙක පාර හදා දුන්නේය.

“මගේ තාත්තා වගේම මට මහ අවබෝධයකින් දැක්මකින් ජීවිතය කියා දුන්න කෙනෙක් තමා මගේ ලොකු තාත්තා. අදටත් ඔහුගේ හඬ මගේ හිත නිවන හඬක්” ඒ හඬ හැඟුම්බරය.

එදා මෙදාතුර ජීවිත යායෙන් නෙලාගත් සාර අසාර අස්වනු ඔස්සේ ඔහු ජීවිතය දකින්නේ පංචවිධ දැක්මකට අනුවය.

පුද්ගලයෙක් හදවතට එකඟ ආර්ථික ක්‍රමයක් ඔස්සේ ආර්ථිකයක් ගොඩනගාගෙන භෞතිකව ජීවිතය ගොඩනගාගන්න ඕනෑ... ජීවිතයේ වෙහෙස මහන්සිය නිවාගන්න ජීවිතය විඳින්න තියෙන මාර්ගය තමා මම විශ්වාස කරන විදිහට කලාව.. ඒ කලාව ඔස්සේ ජීවිතය විඳින්න මාර්ග හදාගන්න ඕනෑ... ඒ වගේම සොබාදහමට හිතවත්ව මිත්‍රශීලීව සොබාදහමත් එක්ක එකට කරට අත දාගෙන යන ගමනක් යන්න ඕනෑ.. ආගමික දර්ශනයක්, ප්‍රතිපත්තීන් මනුස්සයෙකුට තියෙන්න ඕනෑ... ජාතිය, ආගම ගැන කැක්කුමකින් ජාතියට ආගමට යුතුකම් වගකීම් ඉටුකරන්න ඕනෑ.. ඒ ඔහුගේ දැක්මයි.

දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දරගේ ඒ පස්වැදෑරුම් ජීවන ප්‍රතිපත්තීන් විග්‍රහය එපරිදිය. ගෙය පිහිටි භූමි භාගය හැරුණු කොට පර්චස් 12ක පමණ බිම පුරා කොළට කොළේ දිලිසෙන ඔහුගේ වගාව සොබාදහම සමඟ මිත්‍රශීලීව කරට අත දාගෙන ඔහු යන ගමන ගැන අපූරු ඉඟියක් සපයයි.

ඔහු අප හමුවූ කටු මැටියෙන් පිරියම් කළ පැල පසුබිම්ව ඵලදාවෙන් අනූන වූ ඒ සිරියාවන්ත ගෙවත්ත වෙරළු, ගස්ලබු, දොඩම්, දෙළුම්, පේර, කාමරංගා, අනෝදා, අඹ, රඹුටන්, නාරං, අන්නාසි, කෙසෙල් ආදී ඉදී සුවඳවත් වූ ඵලයන්ගෙන් ද හිඟුරල, රාජා අල, කතුරුමුරුංගා, තම්පලා, නිවිති, ගොටුකොළ ආදී අල - පලාවලින් ද, ලබු, මිරිස්, වැටකොළු, බණ්ඩක්කා, වට්ටක්කා, පිපිඤ්ඤා, බෝංචි ආදී එළවළුවලින් ද සාර සුබාවට පිරී ඇත.

“මමත් බෝංචි ගහක් හිටෙව්වා. තාම බෝංචි ආවේ නෑ”. සුරතල් බසින් වදන් හසුරුවමින් බෝංචි වැල බෝංචි ගසක් කළේ ඔසඳු සෙත්සර පුංචි පුතාය.

ඒ පුංචි පුතාටම වෙන්වූ වෙනම උදැල්ලකි. තරුෂ මෙත්සර, රනිර දම්සර පුතාලා වෙනුවෙන් තවත් උදලු දෙකකි. පැටි වියෙහි පුතුන් වෙනුවෙන් එවන් අපූරු දායාදයක් දෙන්න හිතුවේ ඇයි ඔබ...?

බෙහෙත් නොගහා, මගේ අත් දෙකෙන් මම හදන එළවළු, පලා අහුරක් කඩලා ගෙදර උයන දෙයක් කන්න මම හරි ආසයි... එසේ කී දොස්තර මහත්තයාගෙන් අපි එසේ විමසුවෙමු.

පුංචි කාලේ ඉඳන්ම දරුවන්ගේ අතපය මේ පොළොවට හුරු කරන්න ඕනෑ. ඇඟිලි තුඩුවලින් වැලි සෙල්ලම් කරද්දී, ඇඟිලි තුඩු මෙහෙයවද්දී එය දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයට හුඟාක් වැදගත්. කොච්චර සැප සම්පත් දීලා දරුවන්ව හැදුවත් වැඩක් නෑ මේ මහ පොළොවේ රසය, කලාව දන්නැති මේ මහ පොළොවේ කෙළින් පය ගහලා හිටගන්න හයියක් නැති, කුරුලු හඬක, සුළඟක, ගහක කොළක රසය දන්නැති දරුවෙක්නම් අපි ලෝකයට දෙන්නේ හදවත්වල මනුස්සකම් වගා කරන්න සොබාදහමට අපූරු හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

“තාත්තා... තාත්තා.. අර කුරුලු කූඩුව මට පෙන්නන්නකෝ... ඒකෙ කුරුල්ලෝ ඉන්නවා”. පැලේ වහලය කොණක කුරුලු කූඩුව පෙන්වමින් ඒ ඉල්ලීම ද පුංචි දඟමල්ල ඔසඳුගෙන්මය. තාත්තා වෙනුවට කුරුලු කූඩුව වෙත පුතු ඔසවා කුරුල්ලන් පෙන්වූයේ දරුවන්ගේ අම්මා මයන්තිය.

කිරි සුවඳ දැවටුණු ඉහිරුණු මොහොතක ජීවිතයේ සියලු විඩාපත් හැඟීම් නිවා සැනහෙන බවක් ඔසඳු පුතුගේ ආදරණීය ඇළුම් බැලුම්, කතාබහ හිතට කාන්දු කළ රහසයි. ඒ රහසේ සුව විඳිමින්ම සොබාදහම හා කරට අත දාගෙන පැමිණි ගමනේ ඈත දුරකට අපි දත් දොස්තරත් සමඟ ඇවිද ගියෙමු.

ගමේ ඉන්න කාලේ ඉඳන් මම වගා කළා.. ගහ කොළ කියන්නේත් ජීවීන්. ගහ කොළ කතා කරන බස අපට නොතේරුණාට ගහ කොළවලටත් කතා කරන්න පුළුවන්. මගේ තාත්තා කුඹුරු වැඩ කළා.. අපිත් තාත්තා එක්ක කුඹුරුවල හේන්වල ගොවිතැන් බත් කළා.. ඒක තමා අපේ ගමේ සංස්කෘතිය. ඒක වෙනම සුවඳක්, ජීවිතයක්. නාගොල්ලාගම අපේ ගමේ වතුර අඩුයි. පොළොව කාෂ්ඨකයි. අපි හැප්පුනේ ඒ පොළොවත් එක්ක. අපිට ඒ කාලේ නියං සහනාධාර ලැබුණා. මට මතකයි කිරිපිටි වගේ දේවල් ලැබුණා. ඒ ලැබෙන නියං සහනාධාර වෙනුවෙන් ගමේ මිනිස්සුන්ට උදැල්ල අතට අරන් වැඩ කරන්න වුණා. මම ඉස්සර හාන්න ගියා. පෝරු ගානවා. කයියට යනවා. එදා මම හාපු නගුල අදටත් මේ පැලේ තියෙනවා.

ඒ කාලෙ අපේ ගම්වල ගෙවල්වල අගහිඟකම් හුඟක් තිබුණා. හුඟක් වෙලාවට බත් මුට්ටියේ ඉදෙන බත් ටිකත් එක්ක රොටී කීපයකුත් වේලකට පිච්චුණා. අඹ, මඤ්ඤොක්කා සාරෙට අස්වනු දෙන කාලෙට ඒ වගෙන් අපේ ගමේ අය ඕනතරම් බඩ පුරවාගත්තා. ඒ ජීවිතයේ මහා සැප සම්පත් නොතිබුණාට සතුටක් තිබුණා. ඒ ගමේකම තුළ මගේකමක් තිබුණා. හැමෝටම අයියා, අක්කා, නංගි, මල්ලි, නැන්දා, මාමා කියලා කතා කරපු නෑදෑකම් අස්සේ ජීවිතයේ ඕනෑම දුකක් මහන්සියක් බෙදාගන්න ඉඩක් තිබුණා...

මුං, තල ආදී බෝග වපුරන්නට හේනේ, කුඹුරේ වැඩ කරද්දී දැනෙන කාන්සිය මකා ගන්නට පුංචි බැටරි රේඩියෝවක් අසේලත්, අසේලගේ අයියා වූ නිශාන්තත් සතුව තිබුණි.

අයියයි මායි බිම කොටද්දී මට මතකයි සමහර වෙලාවට සුනිල් එදිරිසිංහගේ බානෙන් බැඳ රජරට පෙදෙසින්නේ කියන සින්දුව යනවා. ඒ සින්දු ඇතුළේ අපි එදා ජීවත් වුණා. මම ඒ කාලේ අයියට කියනවා අයියේ මම කවදාහරි සුනිල් එදිරිසිංහව අපේ ගමට එක්ක එනවා කියලා. පසුකාලීනව මම වෛද්‍යවරයෙක් වුණාට පසු සුනිල් එදිරිසිංහ මගේ හුඟක් ළග මිතුරෙක් වුණා. මම සුනිල් එදිරිසිංහව ඇත්තටම අපේ ගමට එක්ක ගියා. අදටත් මගේ කොළඹ, කඩවත ගෙදර පැලට සුනිල් එදිරිසිංහ එනවා මධුවිතක් තොලගාලා සින්දුවක් කියලා යන්න.

ජීවිතය විඳින්නට කලාවත් ඕනෑ... එදා දන්ත වෛද්‍ය අසේල කලාව ජීවිතයේ සරතැසට කදිම එන්නතක් බවට පත්කරගත්තේ සරසවියේ උගනින කාලයේ සිටමය. පාඩම් කරලා කරලා මහන්සි වුණාම මම කළේ සින්දුවක් අහන එක. ඊට පසුව මම ගීත විචාරය කරන්න පුරුදු වුණා. ගීත කලාවට විතරක් නෙවෙයි කවියට නවකතාවට, කෙටි කතාවට, චිත්‍රපටයට මේ හැම කලා මාධ්‍යයකටම මම හුඟක් ප්‍රියයි. වාහනය පදවාගෙන යන අතරේ වාහන තදබදයට හසුවී නවතින මොහොතක මම වාහනයේ තියාගෙන ඉන්න පොතක් අරගෙන කවියක් කියවනවා. රසවිඳිනවා.

ඒ විදිහට හරි මම කලාවත් එක්ක ජීවත් වෙන්න වෙලාව හදාගන්නවා. මුද්‍රිත මාධ්‍යයට මම ගීත විචාර ලියනවා. සොඳුරු සිහිනයකි රෑ වගේ වින්දනාත්මක වැඩසටහන් ඔස්සේ මිනිසුන්ගේ කලා රසිකත්වය පුබුදු කරවන්න මම මගේ කලාකාමී මිතුරන් සමඟ සොඳුරු වෙහෙසක් දරනවා. පාසල්වල දේශනවලට යනවා. ජීවිතය භෞතිකව ගොඩනගාගන්න ගමන් අපි අධ්‍යාත්මික සැනසිල්ල හා සමබරතාව ඇතිකරගන්න ඕනෑ. කලාවෙන් හිත පෝෂණය වුණාම පරිපූර්ණත්වයට යම් පමණකට හෝ ළංවෙන්න උත්සාහ කළාම මට හිතෙනවා හදවත වැව් බැම්මක් වගේ ශක්තිමත්වන්ත බවට පත්කරගන්න පුළුවන් කියලා. මොනතරම් වේගයෙන් ඇවිත් රළක් වැදුණත් වැව් බැම්ම හරිම උපේක්ෂාවෙන් ඒ හැම වෙහෙසක්ම බරක්ම දරාගන්නවා. අටලෝදහම තේරුම්ගත්තම කලාව තුළින් උපේක්ෂාව සංයමය ඇතිකරගත්තම මට හිතෙනවා අපටත් පුළුවන් කියලා හිත වැව් බැම්මක් බවට පත්කර ගන්න. 

ජීවිතය අවබෝධාත්මක දැක්මකින් විඳින්න කලාවේ මං සොයාගිය දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර අපූරු ගී.යක් ලියමින් ගීත රචකයෙක් බවට ද පත්වූයේය. නොබෝ දවසකින් කසුන් කල්හාරගේ හඬින් සහ සංගීතයෙන් ඒ ගී පද ඔබ අසනු ඇත.

සියක් දහසක් ඇවිත් යන්නැති
සොඳුරියේ අප දෙස බලා
වැවේ දිය කඳ දන්නවා ඇති
දියවරේ හැංඟුණු කතා

ඉසුරු කුමටද සඳළු තලයක
සැපකි මට මේ පවුර පාමුල
නුඹම පමණයි එකම ගැහැනිය
කළු ගලක හද ගැස්ම හඳුනන

අනෝරා වැහි ඇද වැටෙන විට
පපුතුරේ උණුහුම රකින නුඹ
සෙල්රැවක් වී උන් නිසාමද
නොගියෙ මා මෙහි අතරමං කොට

ඒ ගී පද එලෙසින් ලියා තබනු මිස විචාරයට අපි ඉඩක් නොසොයමු. ඒ අයිතිය පාඨක ඔබට දෙන්නට අපි සිතුවෙමු.

ජීවිතයට දර්ශනයක් තියෙන්න ඕනෑ. ඒක සමහරවිට ආගමික දර්ශනයක්ම නොවෙන්න පුළුවන්. ඒත් ඒ දර්ශනය සාරවත් දර්ශනයක් විය යුතුයි.. එසේ කී ඔහුගේ ජීවිත දර්ශනය ගැඹුරින් පසිඳින්නට අපට සිත්විය.

“ජීවිතය අත්දැකීම්වලින් හයිය වෙන්න වෙන්න කෙනෙක් අපිව පල්ලහාට තල්ලු කළත් අපි වැටෙන්නේ හුරු පුරුදු තැන්වලට. එතකොට අපිට ආපහු නැගිටින්න හරි ලේසියි. වැටුණාට රිදෙන්නෙත් නෑ. රිදුණට රිදෙන බව දැනෙන්නෙත් නෑ. කටු රහයි මස්වලට වඩා.. ජීවිතයේ කටු කෑ කෙනකුට එහෙම හිතෙන්න පුළුවන්. මම අවුරුදු කිහිපයක් එංගලන්තයේ ජීවත් වුණා. පේරාදෙණිය සරසවි අධ්‍යාපනයෙන් පසුව මගේ Msc උපාධිය සම්පූර්ණ කළෙත් එංගලන්තයේදී. මට හිතෙනවා නාගොල්ලාගම ගමේ තණකොළ ගහක ඉඳන් එංගලන්තයේ ඇපල් ගහකට හරි කෙළින් රේඛාවක් ගැසුවොත් මගේ ජීවිතයේ මා දැන හඳුනාගත් සියල්ල ඒ රේඛාව තුළ තියෙනවා කියලා. මට එංගලන්තයේ පබ් එකක සුද්දෙක් එක්ක ඉඳගෙන බියර් එකක් බොන්නත් පුළුවන්. ගමේ ගෙදර පිලක ගමේ මාමා කෙනෙක් එක්ක ඉඳගෙන හකුරු කෑල්ලක් එක්ක බෙලි මල් වතුර එකක් කහට කෝප්පයක් බොන්නත් පුළුවන්. එංගලන්තයේ ඉන්න කාලයේ මම පෙට්‍රල් ෂෙඩ් එකක රස්සාව කළා. පාන්දර හතරට නැගිටලා මම සීතලේ ගැහි ගැහී වාහනයේ හිම කැඩුවා. ඒ සීතල දරාගන්න බෑ. ඒත් ඒ සීතලට ගුලි ගැහෙන්න උණුසුමක් හොයනවා වෙනුවට මම කළේ සීතලත් එක්ක ඔට්ටු වෙවී ජීවිතය හොයපු එක. වාහනය සුද්ද කරගෙන පැය එකහමාරක් ගෙවාගෙන මම යනවා පෙට්‍රල් ෂෙඩ් එක ඇරලා වැඩ පටන්ගන්න. ඒත් මම අදටත් කියන්නේ දුක මොකද්ද කියලා උගන්නපු, ඒ දුක මහා ශක්තියක් හදවතට කාන්දු කරපු, ජීවිතේ කියන බත් පිඟානේ මම කාපු හැම කටුවක්ම හරි රහයි.. ඒ තමා මගේ සාර්ථකත්වයේ මහා සෙවණැල්ල.” අසන්නට දෙයක් මිස කියන්නට කිසිත් නැත.

සෑම වසරකම ඔහු නාගොල්ලාගම ගමේ මිනිසුන් වෙනුවෙන් සෞඛ්‍ය කඳවුරක් පවත්වයි. ඇතැම් රෝගීන් කොළඹට රැගෙනවිත් කෑම බීම ඉඳුම් හිටුම් ප්‍රතිකාර ලබා දෙයි. දන්සැලක් පවත්වමින් තමා හිතවත්ව ඇසුරු කරන බොහෝ කලාකරුවන් ඒ දුප්පත් ගමට ගෙන ගොස් ඔවුන්ට මානසික අස්වැසිල්ලක් ලබා දෙන්නට වේදිකාවක් තනයි.

ගම්පහ සහෘද සංසදය හරහා මහලු මඩමක් ඉදිකරන ව්‍යාපෘතියකට අත ගසමින් සිංහ සමාජය හරහා පොදු සමාජ සේවා සිදු කරමින්, ගං වතුර කාලවලදී ගං වතුර ආධාර ලබාදෙමින් ඔහු ඉටු කරන්නට යත්න දරන්නේ රට ජාතිය වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් සමුදායෙන් කොටසක් යැයි අපට සිතේ. එමෙන්ම තම ඥාති පරපුර වෙනුවෙන් හිතවතුන් ආදරණීයයන් වෙනුවෙන් මුදා හරින මිනිස්කම ඒ යුතුකමේම තවත් මානයකැයි සිතේ.

“අද රෝගී මගේ වෛද්‍යවරයා නුඹය. අද නුඹ නිසාවෙන් නොව නුඹ සිත තුළ ඇති පිය සෙනෙහසේ තරම නිසාවෙන් මම ජීවත් වෙමි. නුඹ මා වෙනුවෙන් කරන කැපවීම මා හට ඉවසිය නොහැකි තරම්..”

පිළිකා රෝගයකින් මියගිය තම පියා 2011 වසරේ පොසොන් පොහොය දින නාගොල්ලාගම විහාර භූමියේදී ඔහුට දුන් සමරු තිළිණයක පද කිහිපයක් මම කියවූ‍වෙමි.

“මඤ්ඤොක්කා ගලවද්දී අලය කැඩෙන්නැතුව වටේට පස් බුරුල් කරලා ගලවන්න ඕනෑ. අලේ කැඩෙන්නෙත් නෑ. අලේට රිදෙන්නෙත් නෑ. මම මඤ්ඤොක්කා ගලවපු තියරි එකටම තමා අද නොරිදෙන්න රෝගින්ගේ දත් ගලවන්නේ. වේදනාවක් නිවන එක මට මහා සතුටක්...”

ඔහු අඳින ජීවන සිත්තමේ එක් පසෙක බිරිඳ මයන්තිත්, තරුෂ මෙත්සර, රනිර දම්සර, ඔසඳු සෙත්සර පුතණුවරුත් වෙති. තවත් පසෙකින් අම්මා, සහෝදරයෝ, නෑයින් හා ඔහු ජීවිතයේ සියලු ආදරණීයයෝ වෙති. ඒ සිත්තමේම දිගු පරාසයක කලාවේ රන් රේඛා ඇඳෙමින් පවතී. ඒ සියල්ල පරදා මනුෂ්‍යත්වයේ උණුසුම් වර්ණ දහරා ඒ සිත්තම පුරා වැගිරෙතියි දුරක හිඳ ඔහු විචාරණ අපට සිතේ.

♦ සංජු
    සේයා රූ - චන්න කස්සප කොරලේ ආරච්චි 

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30