2018 අගෝස්තු 04 වන සෙනසුරාදා

නඩුවක් අහන්න ගෙදරටම ගිය උසාවිය

 2018 අගෝස්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 245

නඩුවලට සාක්කි ලබාදීමට සාක්කිකරුවන් අධිකරණය වෙත යායුතුමය. එය සාමාන්‍ය කරුණකි. එහි ඇති කිසිම විශේෂත්වයක් නොමැත.

කිසියම් කෙනෙක් නඩුවකට සාක්කි ලබාදීමට යාමෙන් වැළකී සිට අධිකරණය දිගින් දිගටම මග හැර සිටින්නේ නම් සාක්කිකරුට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට පවා අධිකරණය කිසිසේත් පසුබට නොවේ.

එහෙත් මෙයට හාත්පසින්ම වෙනස් වූ සුවිශේෂි සංසිද්ධියක් පසුගිය 1 වැනිදා හෙට්ටිපොල අධිකරණ කලාපය තුළ සිදුවිය.

එහිදී සිදුවූයේ සාක්කිකරු අධිකරණයට කැඳවා සාක්කි ලබා ගන්නවා වෙනුවට මහේස්ත‍්‍රාත්වරියක් සාක්කිකරුගේ නිවසටම ගොස් නඩු විභාගයක් පවත්වා සාක්කි ලබා ගැනීමයි. මෙය ඉතාමත් සුවිශේෂී අවස්ථාවකි.

නඩුවේ චූදිතයා ද සාක්කිකරුගේ නිවසට පැමිණ තිබුණේ ඔහුට අධිකරණයෙන් කල්තියා ලැබුණු නියෝගයක් අනුවය.

නඩුව විභාග කිරීම සඳහා නඩු පොත් හා නඩු භාණ්ඩ ද රැගෙන අධිකරණ නිලධාරීන් ද සාක්කි මෙහෙයවන පොලිස් නිලධාරියෙක් ද සාක්කිකරුගේ නිවසට පැමිණ සිටියහ.

සාක්කිකරුවකුගේ නිවසටම පැමිණ මෙසේ නඩු විභාගයක් පැවැත්වීම සිදු වී ඇත්තේ මෙරට අධිකරණ ඉතිහාසයේ පළමු වරට බව නීති ක්ෂේත‍්‍රයට සම්බන්ධ අය පෙන්වා දෙති.

මේ විශේෂ නඩු කටයුත්ත අකුරු කර ලියන්නේ අන්න ඒ නිසාය. මේ සුවිශේෂි නඩු විභාගය ගැන ඉරිදා දේශයට කතා කර කිව්වේ අපේ පාඨකයෙක් වන මාදම්පේ නව නගරයේ පදිංචි විශ‍්‍රාමික උප පොලිස් පරීක්‍ෂක පියසිරි උදටියාවල මහතාය.

විශ‍්‍රාමික උප පොලිස් පරීක්‍ෂක පියසිරි මහතාට අපේ ස්තූතිය පුද කර සිටින්නේ අපට කතා කර මේ කතාව දැන්වූ නිසාය.

පියසිරි මහතා සාක්කිරුගේ පාර්ශවයේ සමීපතම ඥාතියෙකි. 

අපි මෙතැන් සිට ඒ කතාව කියවමු.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ. බී. සුනිල් මහතාට ලැබුණු තොරතුරක් මත ඔහුගේ ප‍්‍රධානත්වයෙන් හලාවත - තොඩුවාව මුහුදු වෙරළේදී හෙරොයින් කිලෝ 12 ක පමණ තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේ 2002 වසරේ මැයි මාසයේ 28 වැනිදා අලූයම 1.00 ට පමණය.

බ‍්‍රවුන් ෂුගර් වර්ගයේ මෙම හෙරොයින් තොගය සහිත පාර්සලය පිටේ බැදගෙන තරුණයා මුහුදේ සිට පිහිනා වෙරළ තීරයට පැමිණි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.

මෙම හොරොයින් තොගයේ මෙරට වෙළඳපොළ වටිනාකම කෝටි පහකට වැඩිය.

මේ සමඟ තවත් අයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.ඒ වනවිට ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා රාජකාරි කළේ වෙන්නප්පුව මූලස්ථාන පොලීසියේය.

එවකට නියෝජ්‍ය පොලිස්පති තනතුර දැරූ සෙනවිරත්න බණ්ඩා නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි ලියනගේ, හලාවත කොට්ඨාසය බාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපාලි රණසිංහ සහ නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි එස්. ඩබ්ලිව්. සෙනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත සිදුකෙරී ඇති මෙම වැටලීම එවකට වෙන්නප්පුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නිමල් ප‍්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් සිදු කෙරී තිබේ.

පොලිසිය පවසන ආකාරයට මෙම හෙරොයින් තොගය ගෙනවිත් තිබෙන්නේ ඉන්දියාවේ තූත්තුකුඩියේ සිටිය.

බෝට්ටුවකින් හෙරොයින් තොගය මුහුදේදී බාරගත් තරැණයා එම පාර්සලය පිටේ බැඳගෙන පිහිනා වෙරළ තීරයට පැමිණ ඇත.

මෙකී වැටලීමට උප පොලිස් පරීක්‍ෂණ වසන්ත කුමාර සහ උප පොලිස් පරීක්‍ෂක කරැණාතිස්ස යන මහත්වරුන් ද සහභාගි වී තිබේ.

වැටලීමට එක්වූ වසන්ත කුමාර මහතා පොලිස් පරීක්‍ෂක නිලයට උසස්වීම ලබා වර්තමානයේ කඩවත පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කරන්නේය.

හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීමට අදාළ නඩුව හලාවත මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වීමෙන් පසු හලාවත මහාධිකරණය හමුවේ විභාග විය.මෙම නඩුවේ වග උත්තරකරුවන් වූයේ කාක්කපල්ලිය පම්බල පදිංචි වර්ණකුලසූරිය අඹගහගේ ග්‍රේෂන් නිමල් ප‍්‍රනාන්දු සහ මහවැව තොඩුවාව පල්ලිය ඉදිරිපිට පදිංචි වර්ණකුලසූරිය ජෝශප් ඇලෝසියස් ප‍්‍රනාන්දු යන දෙදෙනාය.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයලත් සුනිල් මහතා අධිකරණයේ මේ නඩුවට අදාළව සාක්කි දීමට වරින් වර ගොස් ඇත්තේ පැමිණිල්ලේ හතරවැනි සාක්කිරු වශයෙනි.

වසර 39 ක පමණ පොලිස් රාජකාරි කරමින් සිටි ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයලත් මහතා විශ‍්‍රාම ලබා ඇත්තේ 2017 ජූනි මාසයේය.

විශ‍්‍රාම සුවයෙන් සිටි ජයලත් මහතා හදිසියේ රෝගාතුර වූයේ නහරයක් පිපිරීම නිසාය. ඒ ඔක්තෝබර් මාසයේ දිනකය.

කොළඹ පෞද්ගලික රෝහලක දී සැත්කමකට ද භාජනය වූ ජයලත් මහතාට මේ වන විට එතරම් පැහැදිලිව කතා බහ කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

හලාවත මහාධිකරණය හමුවේ විභාග වන මේ කුඩු නඩුවේ සාක්කි දීමට තව දුරටත් ජයලත් මහතාට නොහැකි වූයේ ඔහු පසුවන රෝගී තත්ත්වය හේතුවෙනි.

විශ‍්‍රාමික ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයලත් මහතා පත්ව සිටින මේ රෝගී තත්ත්වය සම්බන්ධව හලාවත මහාධිකරණයට තොරතුරැ වාර්තා කිරීමෙන් පසු නඩුවට අදාළ සාක්කි විභාගය බිංගිරියේ පිහිටි ඔහුගේ ගෙදරටම ගොස් සිදුකිරීමට තීරණය වී ඇත.
මෙය සුවිශේෂි නඩු විභාගයක් බවට පත්වූයේ එම තීරණයත් සමඟය.

බිංගිරියේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එච්. එම්. ජේ. හේරත් මහතා මගින් කි‍්‍රයාත්මක කිරීම සඳහා හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් අධිකරණය මඟින් නොතීසියක් නිකුත් කළේය.

එම නොතීසිය නිකුත් කර තිබුණේ හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර් ඒ. එම් ධර්මාවතී මහත්මිය විසිනි. මෙම නඩුව විභාග වනුයේ හලාවත මහාධිකරණ නඩු අංක එච්.සී. 28/05 යටතේය.

ඉහත අංක දරන නඩුවට අදාළව පැමිණිල්ලේ 4 වැනි සාක්කිකරු වන පොලිස් පරීක්‍ෂක ජයලත්, පොලිස් ස්ථානය වෙන්නප්පුව යන සාක්කිකරුගෙන් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 409 වගන්තිය ප‍්‍රකාරව අධිකාරි පත‍්‍රයක් යටතේ සාක්කි ලබා ගැනීමට හෙට්ටිපොල මහේස්ත‍්‍රාත්තුමිය වෙත හලාවත මහාධිකරණ විනිසුරුතුමිය විසින් බලය පවරා ඇත.

පැමිණිල්ලේ 4 වැනි සාක්කිකරු අංශභාග රෝගී තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහු දැනට පදිංචිව සිටි නිවස පිහිටි ලිපිනයට ගොස් සාක්කි ලබා ගැනීමට මහේස්ත‍්‍රාත්තුමිය තීරණය කර ඇත. එබැවින් 2018.08.01 දින ප.ව 2.00ට මහේස්ත‍්‍රාත්තුමිය අදාළ සාක්කිකරුගේ සාක්කි ලබා ගැනීමට අදාළ නිවසට පැමිණෙන බැවින් එදින එකී වේලාවට අදාළ ලිපිනයට පැමිණ සිටින ලෙස ඔබට මෙයින් දැනුම් දෙමි යනුවෙන් එම සිතාසියේ සඳහන් කර තිබේ.

හෙට්ටිපොල මහේස්ත‍්‍රාත් ෆාතිමා සහනා මහතීන් මහත්මියට මෙම බලය පවරා තිබුණේ හලාවත මහාධිකරණ විනිසුරු ඉවෝන් ප‍්‍රනාන්දු මහත්මිය විසිනි.

මේ ඓතිහාසික කුඩු නඩුවේ සාක්කි විභාගය සිදුවූයේ බිංගිරිය රෝහල ඉදිරිපිට පිහිටි ජයලත් මහතාගේ නිවසේ සාලයේය.මේ සුවිශේෂි නඩු විභාගය ගැන වැඩිදුර තොරතුරැ දැනගැනීමට අප ජයලත් මහතාගේ නිවසට ඉකුත් 02 වැනිදා රාති‍්‍රයේ ගිය අවස්ථාවේ ඒ මහතාගේ බිරිඳ වන බී. එල්. මාලනී මහත්මිය මෙසේ කීවාය.

මාලනී මහත්මිය කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යක්‍ෂවරියක් ලෙස රාජකාරි කරන්නීය.

‍මහේස්ත‍්‍රාත්තුමිය මේ නඩුව අපේ ගෙදර විභාග කරන්න එන්න සතියකට විතර කළින් අපේ ගෙදරට නිලධාරීන් ඇවිත් තොරතුරු විමසා ගියා. ඊට පස්සේ පසුගිය 1 වැනිදා සවස මහේස්ත‍්‍රාත්තුමිය අධිකරණ නිලධාරීන් හා පොලිසියේ  නිලධාරීන් සමඟ අපේ ගෙදරට ආවා. කුඩු නඩුවේ විත්තිකරු වන ජෝශප් නැමැත්තා ද ඔහුගේ පුතෙක් සමඟ පැමිණ සිටියා. පුතා ගේ ඉදිරිපිට පාරට වෙලා සිටියේ. සාලයේ තමා මහේස්ත‍්‍රාත්තුමිය මේ නඩුවේ සාක්කි විභාගය කළේ. මගේ මහත්තයාගේ රෝගී තත්ත්වය නිසා හරි හැටි කතා කරන්න අපහසුයි. නමුත් මේ නඩු කටයුත්ත පැය දෙකක විතර කාලයක් අපේ ගෙදර සාලය මැද්දේ සිද්ධ වුනා. මෙවැනි දෙයක් අපේ අධිකරණ ඉතිහාසයේ සිදුවුණේ පළමු වරට කියා දැන ගැනීමට ලැබුණා. නීතීඥ මහත්වරුන් දෙදෙනෙක් ද පැමිණ සිටියා.

මගේ මහත්තයා තොඩුවාව මුහුදු වෙරලේදී අල්ලා ගත්ත හෙරොයින් මත් ද්‍රව්‍යය ද පෙට්ටියක බහා අපේ ගෙදරට ගෙනාවා. මේ නඩුවට අදාළ නඩු බඩු වගයක් ද ගෙනවිත් තිබුණා. පාර්සල් 9 ක කුඩු අසුරා සීල් කර තිබුණා. මහේස්ත‍්‍රාත්තුමිය ඉදිරිපිට අධිකරණ නිලධාරියෙක් විසින් ඒවායේ සීල් කඩා ඉවත් කළා. ඒවා මහත්තයාට පෙන්නූ අවස්ථාවේ තමා එදා අල්ලා ගත්තේ මේ හොරොයින් බවට හදුනා ගත්තා. මහේස්ත‍්‍රාත්තුමියට අමතරව පැමිණිල්ලේ අධි නීතීඥ මහත්තයා සහ විත්තියේ නීතීඥ මහත්තයාගෙන් වැටලීම ගැන තොරතුරු විමසා සිටියා. ඔහුට පුළුවන් විදිහට පිළිතුරු දුන්නා. විත්තියේ නීතීඥ මහත්තයා සානුකම්පිතව කල්පනා කර දිගින් දිගටම මහත්තයා වෙහෙසට පත්කරමින් හරස් ප‍්‍රශ්න ඇසුවේ නැහැ* යැයි මාලනී මහත්මිය කීවාය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ ධම්මික උඩවත්ත සහ විත්තිකරු වෙනුවෙන් හලාවත මහාධිකරණයේ නීතීඥ සමන්ත ප‍්‍රනාන්දු යන මහත්වරු මෙහිදී පෙනී සිටියහ.

වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් සැරයන් කේ. පී. බන්දුල (18556) මහතා පැමිණිල්ල මෙහෙයවීමට සහාය විය.

හලාවත මහාධිකරණයේ හෙට්ටිආරච්චි ආරියදාස යන නිලධාරී මහත්වරුන් සහ පොලිස් සැරයන් පුෂ්පකුමාර මහතා ද හෙට්ටිපොළ මහේස්ත‍්‍රාත් අධිකරණයේ භාෂා පරිවර්තක මංජුල බන්නැහක මහතා, උසාවියේ ආරච්චි රේණුකා බාලසූරිය, බෝගහවත්ත සහ ලඝු ලේඛිකා අමරසූරිය යන මහත්මීන් ද මෙම නඩු විභාගයට සහභාගි වී තිබේ.

මෙම නඩුවේ පළමු විත්තිකාර ග්‍රේෂන් නිමල් ප‍්‍රනාන්දු මහතා පිලිකා රෝගයක් වැලඳී ප‍්‍රතිකාර ලබමින් සිටියදී 2011 වසරේ පෙබරවාරි මාසයේ මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

සහකාර අධ්‍යාපන අධක්‍ෂිකා මාලනී මහත්මිය සිය සැමියා හා පවුලේ විස්තර හෙළි කරමින් මෙසේ පැවසුවාය.

අපිට දියණියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙදෙනා රස්සාවල් කරනවා. විශ‍්‍රාම යන්න කළින් මහත්තයා සහකාර පොලිස් අධිකාරි සම්මුඛ පරීක්‍ෂණයකට ද ඉදිරිපත් වෙලා සිටියේ. මහත්තයා කොළඹ ත‍්‍රස්ත‍්‍රවාදී විමර්ශන කොට්ඨාසය ඇතුළු පොලිස් ස්ථාන ගණනාවක රාජකාරි කර තිබෙනවා. මහත්තයා එයාගේ මුළු ජීවිතයම කැපකර තිබුණේ පොලීසියටයි. මහත්තයාට ලැබුණු ඔත්තු අනුව හෙරොයින් මත් ද්‍රව්‍ය, කේරළ ගංජා තොග පිටින් සැකකරුවා ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහත්තයා විශ‍්‍රාම යන්න මාසයකට විතර කළින් හෙරොයින් කිලෝ 200ක පමණ තොගයක් සැකකරුවන් ද සමඟ අල්ලා ගත්තා. මහත්තයා රට වෙනුවෙන් ලොකු සේවයක් කර තිබෙනවා.

ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයලත් මහතා පොලිස් දෙපාර්තමේන්තුව වෙනුවෙන් අපමණ කැප කිරීම් කර පොලිසියට කීර්තියක් ලබාදුන් දක්ෂ අපරාධ විමර්ශකයෙකි. 1998 වසරේ පැවති පොලිස් මළල ක තරගාවලියේදී හලාවත පොලිස් කොට්ඨාසයට පළමු ස්ථානය හිමිවුණා. හලාවත කොට්ඨාස මළල ක්‍රීඩා කණ්ඩායමේ නායකයා වූයේද ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයලත්ය. ඒ කාලයේ මම හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස රාජකාරි කළා.w ජයලත් බොහොම දක්ෂ පොලිස් නිලධාරියෙක්.

ඒ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී ද සිල්වා මහතා ජයලත් මහතා ගැන කී කතාවකි.

දේශයේ අපිද ජයලත් මහතාට නිදුක් නිරෝගි සුවය ප‍්‍රාර්ථනා කරමු.

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය
ඡායාරූප - මාදම්පේ එස්. හේරත්

 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30
 2018 ඔක්තෝබර් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30