2018 ජුලි 21 වන සෙනසුරාදා

රස්සාවයි - ගෙයයි දෙකම ත්‍රිරෝද රථයයි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

පෙරදා රාත්‍රියේ වැස්සට තෙමුණු සරම්, කමිස, කලිසම් කීපයක් පැති කන්නාඩි දෙක මත හා රියැදුරු අසුන උඩ එලා ඒවායෙන් වෑහෙන පුස්ගඳ මැද පසුපස අසුනේ අමාරුවෙන් දිග ඇදී උන් ත්‍රිරෝද රථ රියදුරෙක් එසේ කීවේ මහා වේදනාවක් හිතේ දරාගෙනය.

දවල්ට තොරතෝංචියක් නොමැති ජනාකීර්ණ මාර්ග පාළුවට ගොස්ය. කොළොම්තොට අන්ධකාරයෙන් පිරෙද්දී එළිමහන් නිදහස් බිම්කඩක් සොයාගෙන පැමිණ ගාල්කෙරෙන ත්‍රිරෝද රථය. මේ පිරිස් කොළඹට පිට ඈත පළාත්වලින් පැමිණ ත්‍රිරෝද රථ රස්සාවේ නිරත රියදුරෝ වෙති. ඔවුන් සොයා රැයක් පීරමින් ගිය අපට කෙනකුගෙන් ඇසුණේ මේ අඳෝනාවය.

කොළඹින් එපිට දුර ගම්පළාත්වලින් කොළඹ නගරයට පැමිණ ස්වයං රැකියාවක් වශයෙන් තම ත්‍රිරෝද රථය කුලී රථ සේවයේ යොදවමින් රාත්‍රිය මහමග පසෙක ත්‍රිරෝද රථයේම ගතකරමින් නිදන කාමරය, යහන, ගෙදර සියල්ලට එයම භාවිතා කරමින් සිට මාසයකට වතාවක් ගමට යන මොවුන් ගත කරන්නේ කටුක දිවියකි. කටට රස අහරක් සුව නින්දක් හෝ නිදහසේ හුස්මක් ගෙන සතුටින් ඉන්නට මොහොතක් ඔවුන්ට නැති තරම්ය.

“තෙල් මිලත් වැඩියිනේ. රුපියල් පනහ හැට කරලා. මිනිස්සුන්ට අතේ සල්ලි නෑ... ඉතින් අපිට හයර් නෑ... මිනිස්සුන්ට ප්‍රශ්නනේ. අපිටත් එහෙමයි. රටටත් එහෙමයි. ලොකු ලොකු ඈයන්ට නම් මේවා ප්‍රශ්න නෙමේ. අපි වගේ එදාවේල හොයාගෙන කන්න බලන මිනිස්සුන්ට තමයි වැලේ වැල් නැත්තේ. මොනවා කරන්නද? අපිට දරුවෝ ඉන්නවානේ. ඒකයි මෙහෙම වැටිලා මේ විදිහට හරි කරගෙන ඉන්නේ... දරුවොත් අපි වගේ මේ තත්ත්වෙන් තියන්න බෑනේ. ළමයි ඉස්කෝලෙ යවන්න පංති යවන්න තියෙනවා. ඒකමයි මේ තරම් කට්ටක් කාගෙන මදුරුවෝ තල තලා ඉන්නේ....”

දකුණු පළාතේ මාතරට කිලෝමීටර් කීපයකට පමණ ඈත ගමකින් කොළඹට පැමිණ ත්‍රිරෝද රථය නිවහන කොටගෙන රස්සාවේ නිරත වන විජේසිරි කීවේ එසේය.

මේ අයුරින් ත්‍රිරෝද රථ රියදුරු රස්සාවේ නිරතව සිට කොළඹ නගරයේදීම එකට හමුවී හඳුනාගත් ප්‍රදේශ ගණනාවක පුද්ගලයන් රැසක් කොළඹ මහනගර සභාවක් විහාරමහා දේවි උද්‍යානයත් අතර මාර්ගයේ නවාතැන් ගනිති. විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිට පිහිටුවා ඇති බුදු පිළිමයට දකුණු පස සිට එෆ්.ආර්. සේනානායක මාවත අවසානය දක්වාම එකකට එකක් ළංවන්නට නතර කළ ත්‍රිරෝද රථ ගණනාවකි. ඇතැම් ඒවායේ පසුපස අසුණේ කෙනෙක් නිදාගෙන ඉන්නේ හරිහැටි සිරුර වාරුකර ගන්නට බැරි විලසින්ය. තවත් ත්‍රිරෝද රථ දෙකක් තුළ සිටිනා පුද්ගලයන් දෙදෙනකු බර කතාවකය. එහෙත් පිටතින් ඇති ටෙන්ට් රෙදි වසා දමා ඇති බැවින් ඔවුන් දෙන්නාට දෙන්නා පෙනෙන්නේ නැත. ඒ කතාබහ දෙදෙනාට නින්ද යන තෙක්ය.

ඔවුන් පසුකර යමින් සිටි අපට ත්‍රිරෝද රථයට හේත්තු වී අප එන මග බලා උන් අයෙකි. ඔහු හා කුලුපග වූ අපට ඔහුගේ නම අනාවරණය කළේ කුමාර ලෙසය. ඔහු රත්නපුර නගරයට කිට්ටු ගමක පදිංචිකරුවෙකි.

“අපි උදේ හතර පහ වෙද්දි මෙතනින් පිටත් වෙනවා. නැත්නම් උදේ හය වෙද්දි වාහන නවත්තලා තියෙනවාට ටිකට් කඩන්න එනවා. විහාරමහා දේවි උද්‍යානයේ වැසිකිළි පහසුකම් තියෙනවා. ඒ වුවමනා දේ එතැනින් කරගෙන පිටත් වෙනවා. තුන්වේලම කඩෙන් කනවා. නාන්න වුණාම කොම්පඤ්ඤ වීදියට යනවා. එතන පොදු ළිඳක් තියෙනවා. නාලා රෙදි හෝදාගෙන ඇවිත් ත්‍රීවීල් දෙකක් අතර ලණුවක් ගැට ගහලා රෙදි වේලා ගන්නවා. කොම්පඤ්ඤවීදියේ ලොන්ඩරියකට දීලා රෙදි මැද ගන්නවා.”

ඔහු පවසන්නේ තමන් සියලුදෙනා මීටර් සහිතව ත්‍රිරෝද රස්සාවේ නිරත වන අය බවය. එබැවින් රථයේ ගමනාන්තය හෝ ගමන් මාර්ගය ස්ථීර නැති බව පවසයි. විටෙක ඔහු සවස් යාමයේ පැමිණෙන විට නාරාහේන්පිට පිහිටි පොදු ළිඳකින් ස්නානය කර පැමිණෙන බවද කියයි. කොහේ ගියත් සවසට ගෙදර යනවා යැයි සිතමින් විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිටට පැමිණ නවාතැන් ගැනීම සිරිතය.

►කතාව/සේයාරූ: සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00