2018 ජුලි 21 වන සෙනසුරාදා

අතදරුවාට වතුර කියා බීර පෙවූ නරුම අප්පොච්චි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 177

මුහුණුපොත හරහා හුවමාරු වූ කුඩා අත දරුවකුට මත්පැන් පොවන බව දැක්වෙන වීඩියෝව පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්විය. පිළිකුලට ලක්වූ එම දර්ශනය රූපවාහිනී නාළිකාවක ප්‍රවෘත්ති විකාශය හරහා ප්‍රචාරය වීමත් සමඟ සමාජයේ දැඩි කතාබහකට හා විවේචනයකට බඳුන් විය. හිතවතුන් පිරිසක් සමඟ සාදයක් පවත්වන අතරතුරදී පියා විසින් සිය දරුවාට මත්පැන් පෙවීම පිළිබඳ කතාව මෙසේය.

බීර බෝතලයකින් යමක් පොවන වීඩියෝ දර්ශනයේ සිටින අතදරුවාගේ පියා ගාමිණීය. ඔහු වෘත්තියෙන් සුළු ව්‍යාපාරිකයෙකි. නිමි ඇඳුම්, පැදුරු සහ කාපට් හිස මත තබාගෙන පිට පළාත්වල ගෙයින් ගෙට ඇවිද වෙළෙඳාම් කිරීම සිරිතය. ඔහුගේ පියාත් එම රැකියාවේ නිරත වන්නෙකි. දෙදෙනා එක්ව නිවසින් පිටත්ව යන අතර සතියකට දින දෙකතුනක් එසේ වෙළෙඳාමේ නිරත වන අතර වෙළෙඳාම අහවර වූ පසුව නැවත නිවසට පැමිණෙති. මේ ආකාරයට රට පුරා ගොස් වෙළෙඳාමේ නිරතව ජීවිකාව ගෙනයන ගාමිණී සිය නිවස වෙත පැමිණ තිබුණේ පසුගිය 14 වැනිදාය.

සෙනසුරාදා හවස් වරුවේ නිදහසේ කල්ගෙවූ ඔහු මත්පැන් තොලගාන්නට සිතමින් සිටියේය. ඒ සුපුරුදු ලෙසින් වෙළෙඳාමේ ගොස් පැමිණි පසුව හවසට සිදුකරන පුරුද්දක් වශයෙනි. බොහෝ අවස්ථාවලදී මේ සඳහා ඔහුගේ හිතවතුන් කීපදෙනෙක් ද සහභාගී වෙති. මොහොමඩ් සකීර්, සුමේධ ප්‍රියරත්න සහ චන්ද්‍රසිරි ඒ අතර සිටිති. ඔවුන්ද ඉහත කී ගාමිණීගේ රැකියාවේම නිරත වන්නවුන්ය. මෙසේ පිරිස රැස්ව මත්පැන් සාදයේ යෙදී තිබුණේ ගාමිණීගේ නිවෙස ඉදිරිපිට මිදුලේය. ඔහුගේ බිරිය දියනෑමට පිටත්ව ගොස් තිබුණේ ඊට ටික වේලාවකට පෙරය. එබැවින් ඇය මාස දහතුනක් වයසැති බිළිඳා නිවසේ තබා ගොස් සිටියාය. ටික වේලාවක් නින්දේ පසුවූ දරුපැටියා පිබිදී තිබුණේ මේ අතරේදීය. නිදි යහනේ සිට අඬන්නට වූ දරුවා වඩාගත් ගාමිණී දරුපැටියා රැගෙන යළිත් මත්පැන් සාදය පැවැති මිදුල කෙළවරට ගියේය.

බිළිඳාගේ හැඬීම නතර කරන්නට උත්සාහ කරමින් සිටි ගාමිණී ඔහු අතවූ බීර බෝතලය දරුවාට පෙන්වමින් සිටියේය. ඒ මේ අතහැරෙමින් අඬන්නට උත්සාහ ගත් බිළිඳාගේ නෙත ඔහු ඉදිරියේ වූ බීර බෝතලයට යොමු වූයෙන් දරුවා ඒවෙතට අත දිගු කළේය. එම මත්පැන් බෝතලයේ පැහැදිලිවම මත්පැන් වර්ගයක නම සඳහන් ලේබලය පෙනෙන්නට තිබිණ. මොහොතකින් ගාමිණී සිය දරුපැටියාගේ මුවට පෙර කී මත්පැන් බෝතලය ළංකරයි. බිළිඳා එය රස කරන්නට ගන්නා උත්සාහයක් පෙනෙන්නට ද තිබේ. මේ අතරතුර ඔවුන් ඉදිරියේ සාදයට එක්වී සිටි ගාමිණීගේ මස්සිනා වූ මොහොමඩ් සකීර් මොහොමඩ් සියාම් නැමැත්තා ඔහු අත වූ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් සිය මස්සිනාත් දරුවාත් වීඩියෝ ගතකරමින් සිට ඇත. ඒ අවස්ථාව වනවිටත් ඔහු අන්තර්ජාලයේ මුහුණුපොතට පිවිස සිට ඇති අතර පටිගත වූ දර්ශනය වූ නොදැනුවත්වම මුහුණුපොතට එක්ව තිබේ. එම දර්ශනය නෙත ගැටුණු මුහුණුපොතේ සගයන් එය බැලීමේදී දරු පැටියෙක්ට මත්පැන් පොවන දසුනක් අතර පරුෂ වචන කතා කරන ආකාරය අසන්නට ලැබී ඇත. එම අසෝබන හා අශීලාචාර වීඩියෝව පිළිබඳව කතාබහක් ඇතිවී ඒ පිළිබඳව විවේචන ඉදිරිපත්වන්නට වැඩි වේලාවක් ගත නොවුණේ අදාළ වීඩියෝපටය අන්තර්ජාලය පුරා සංසරණය වූ නිසාය.

ප්‍රසිද්ධ රූපවාහිනී නාළිකාවක ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක් අතරතුරදී අදාළ වීඩියෝපටය ප්‍රදර්ශනය කරමින් ඒ පිළිබඳව විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කරන්නට පියවර ගනු ලැබුවේය. එම ප්‍රවෘත්තිය හරහා අදාළ සිදුවීම වඩාත් ජනතාව අතර සමීප වී තිබූ අතර දැඩිලෙස සමාජයේ දෝෂදර්ෂණයට ලක්වූ කාරණයක් විය. එම ප්‍රවෘත්ති විකාශය අවසන් වී වැඩි වේලාවක් ගතවූයේ නැත. මීගලෑව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී.බී. විජේසූරිය මහතාගේ නිල ජංගම දුරකථනයට පැමිණි ඇමතුමක්.

“ඕ.අයි.සී. මහත්තයා... ටී.වී. එකේ ගියපු නිව්ස්එක බැලුවද? තාත්තා කෙනෙක් අතදරුවෙක්ට බියර් බෝතලයකින් බියර් පොවනවා ෆෝස් බුක්එකට දාලා තියෙනවා. ඒක ප්‍රවෘත්තිවලට පෙන්නුවා. ඒකේ හිටපු කට්ටිය මීගලෑවේ ගණන්ගමුව ගමේ ඉන්නේ.”

මෙසේ දුරකතන ඇමතුමකින් ස්ථානාධිපතිවරයාට තොරතුරු ලබාදී තිබුණේ විශ්වාසවන්ත තොරතුරු සැපයුම්කරුවෙකි. වැඩිදුරටත් තොරතුරු අසා දැනගත් ස්ථානාධිපතිවරයා ඔත්තුකරුගෙන් සැකකාර පුද්ගලයන්ගේ ලිපිනය ලබාගෙන තිබුණි. ඒ අනුව අංක 313/3/6 ගණන්ගමුව, මීගලෑව ලිපිනය සොයා පිටත්ව ගිය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිස සැකකරුගේ නිවෙස වෙත ගියෝය. වීඩියෝ දර්ශනයට සමාන පසුබිමක් පෙනෙන්නට වූ එම භූමියේ ඉදිකර තිබුණේ සාමාන්‍ය පැල්පතකට සමාන නිවසකි. එහි වීඩියෝ පටයේ පෙනෙන්නට සිටි දරුවාද විය. අමතරව ඒ දරුවාට වැඩිමල් දැරියක් හා පුතෙකුද ඔවුන්ගේ මව වන කාන්තාවද සිටියාය. ඇගේ ස්වාමියා පෙර කී වීඩියෝ පටයේ දරුවාට බීර පොවන ගාමිණී නැමැත්තාය. මෙසේ පොලීසිය සැකකරුවන් සොයාගන්නට ගතවී තිබුණේ අදාළ ප්‍රවෘත්තිය විකාශය වූ මොහොතේ සිට විනාඩි 30ක් පමණ වේලාවකි. පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගාමිණී නැමැති දරුවාගේ පියා පවසා තිබුණේ බීර බෝතලයෙන් දරුවාට වතුර පෙවූ බවය. එහෙත් වීඩියෝ දර්ශනයේ සිටි පිරිස අතර රෝහණ සරත්චන්ද්‍ර නොහොත් ගාමිණී (39), මොහොමඩ් සකීර් මොහොමඩ් සියාම් (38), සුමේධ ප්‍රියරත්න නොහොත් ධනුෂ්ක (23) සහ චන්ද්‍රසිරි නොහොත් බණ්ඩයියා (50) යන පිරිස අත්අඩංගුවට ගැනුණි.

ඒ සමඟම දරුවා මීගලෑව රජයේ රෝහලට ඇතුළත් කරන්නට පියවර ගත් අතර දරුවාට පෙවූවේ වතුර ද නැතිනම් බීර ද යන්න පරීක්ෂා කිරීම සඳහා අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන්නට පියවර ගැණින. ඒ අනුව සැකකරුවන් 1995 අංක 22 දරන පනතින් සංශෝධිත දණ්ඩ නීති සංග්‍රහයේ 308 අ වගන්තිය යටතේ වූ ළමයින් කෘරත්වයට භාජනය කිරීමේ වරද යටතේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී නියෝග කරනු ලැබුවේ දරුවාගේ පියා ඇතුළු සිව්දෙනා අගෝස්තු පළමු වැනිදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.

කොට්ඨාස බාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර, ගල්ගමුව මහව දිස්ත්‍රික් බාර සහකාර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.පී.බී. විජේසූරිය, පොලිස් සැරයන් 33557 ඒකනායක, කාන්තා පොලිස් සැරයන් කාන්ති (1704), පොලිස් කොස්තාපල්වරුන් වන 35393 සමන්, 55058 වික්‍රමසිංහ, 75164 ප්‍රියදර්ශන යන නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදුකරති.

►සමන්ත ප්‍රදීප් විල්තෙර