2018 ජුලි 21 වන සෙනසුරාදා

කොම්පැණි හිමිකරුවන්ගෙන් සල්ලි කඩාගන්න බොරු පී.එච්.අයි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

වංචාව, දූෂණය, හොරකම රටේ ඉහළ සිට පහළ දක්වා විහිදී ගොස් ඇත. කිසිම රැකියාවක් නොකරන එකාද කුමක් හෝ ගේමක් ගසා කීයක් හෝ කොටා ගැනීමට හීන දකිති. මේ නිසා වර්තමාන සමාජයේ හැම තැනම හොරකම දූෂණය මුල් බැස ඇත. මේ කියන්නට යන්නේද එවැනිම සූක්ෂම වංචාවක් ගැනය. මේ වංචාව එසේ මෙසේ වංචාවක් නොව වංචාවට අසුවන්නන්ටද හිතා ගැනීමට අවස්ථාවක් උදා නොවන වංචාවකි.

මේ කියන්නට යන කතාව අප හිතවත් ආයතනයකට සිදුවූ සිදුවීමකි. එහෙත් ඔවුන් ඊට හසුනොවූ අතර මේ වනවිට ව්‍යාපාරිකයෝ රැසක් මේ වංචාවට හසුවී සිටිති. මුදල්ද අහිමි වී ඇත. මේ කියන්නට යන්නේ එකී වංචාව ගැනය.

මේ ආයතනය මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටා ඇත. පසුගිය 6 වැනිදා එකී ආයතනයේ කළමනාකරැට ඇමතුමක් ලැබෙන්නේ නාඳුනන අංකයකිනි.

හලෝ.. මම මට්ටක්කුලියේ පී.එච්.අයි. මහත්තයා. හෙට අපි ඔයාලා ඉන්න පැත්තේ විශේෂ පරීක්ෂණයක් කරනවා. මේකට ආයතන හය හතක් එකතු වෙනවා. ඔය කම්කරු කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය, මට්ටක්කුලිය නගර සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වගේ ටිකක් එකතු වෙනවා යැයි එකී පුද්ගලයා කීය.

ඉතිං සර් අපෙන් මොකක්ද වෙන්න ඕනේ* කළමනාකරු ඇසීය.

අපි ආයතනයේ සේවකයෝ, ආයතන සහතික, වතුර බහින කාණු, මදුරැවෝ බෝවෙන තැන් එහෙමත් බලනවා. ටිකක් බරපතළ වැඩක්

හරි සර්

ඔව්. හැබැයි ඔය එන උන් රටේ නැති බොරු පැමිණිලි දාලා නඩු දානවා. හරියට ට්‍රැෆික් පොලිස්කාරයෝ වගේ. නඩුමයි හොයන්නේ යැයි නාඳුනන පී.එච්.අයි. කීය.

එහෙමද සර්. ඉතිං අපි මොකද කරන්නේ කළමනාකරු ඇසීය.

මට පොඩ්ඩක් ඔයාලගේ අයිතිකාරයට කතා කරන්න කියන්න. මම එයා එක්ක සම්බන්ධ වෙලා මොකද කරන්නේ කියලා කතා කරගන්නම්. මම මේ කතාකරපු නොම්බරයට ගන්න කියන්නකෝ ලොක්කට. එහෙනම් මම තියන්නම්. නොවැරදීම ගන්න කියන්න හරිද?

හරි සර්

කතාව අවසන් විය. කළමනාකරැ පී.එච්.අයි. මහත්තයාගේ දැනුම්දීම අනුව ප්‍රධානියාව දැනුවත් කළේය. ඒ සැනෙකින් ප්‍රධානියා දුරකථන ඇමතුමක් එකී අංකයට ලබාගත්තේය. කාන්තාවක් වූ ඇය ඇමතුම ලබාගනිමින් ආයතනයේ විස්තර පැවසීය. එසේම තමන්ට කතා කරන්නට කීවේ ඇයිද යන්නත් විමසීය.

මෙහෙමයි හෙට අපි විශේෂ පරීක්ෂණයක් කරනවා. පැය තුන හතරක වැඩක්. මාර කරදර වැඩක් ඔයාලට. එපා වෙනවා. නඩු දානවා. රටේ නැති දේවල් පටලවනවා

ඉතිං පී.එච්.අයි. මහත්තයා කතාකළේ හිමිකාරිය ඇසීය.

මෙහෙමයි මැඩම් අපි ඔය අඳුරන අයට කතා කරලා වැඩේ ගොඩදාලා දෙනවා. නැත්තන් මහ කරදර වැඩනේ. ඕනේ නම් මැඩම්ට අපි මැඩම්ගේ ආයතනය පරීක්ෂා කළා කියලා සහතික දෙකක් දෙන්නම් යැයි ඔහු කීය.

හිමිකාරියට මේ පිළිබඳ සැක සිතුණි. ඒ ඈ මට්ටක්කුලිය පී.එච්.අයි. මහතා පෞද්ගලික හඳුනන නිසාය. මොහු ජාවාරම්කරැවකු බව ඈ හඳුනාගත් නිසා ඈ එම පුද්ගලයා සමඟ හිතවත්කමෙන් කතා කළාය.

ඉතිං ඉතිං අපෙන් මොකක්ද ඔබතුමාට වෙන්න ඕනේ? ඒක ලොකු දෙයක්නේ

හරි මැඩම් මෙහෙමයි. මමත් එක්ක එනවා තව නිලධාරිනියන් දෙන්නෙක්. අන්න ඒ අයටයි මටයි රු. 2500 ගාණේ 7500ක් දෙන්න. අර සහතිකේට රු. 4126 දෙන්න. තව සහතිකයක් තියෙනවා ඒකට රුපියල් 3500ක් දෙන්න වෙනවා. ඔය ටික තමයි මැඩම්

හා හරි. අපි කොහොමද මේ සල්ලි දෙන්නේ? දුන්නා කියලා වැඩේ විශ්වාස කරන්නේ කොහොමද?

මෙහෙමයි මැඩම්.. ඔයාලා එයාලා  ආපුවම කියන්න ආයතනය පරීක්ෂා කළා කියලා. 29525/ 2018 කියන අංකයට රිසිට් එකකුත් දුන්නා කියන්න. ඊට පස්සේ බලන්නේ නෑ. මේ සහතික අවුරුදු හතරක් වලංගුයි මැඩම්

අවසානයේ ඔහු පෞද්ගලික බැංකුවක ගිණුම් අංකයක් ද ලබා දෙන්නේය. පුෂ්පසිරි නමින් පවතින එම ගිණුමට මුදල් තැන්පත් කරන ලෙසත් එසේ තැන්පත් කර තමන්ට ඇමතුමක් ලබාදෙන ලෙසත් පවසා ඇත.

එහෙත් එම ආයතනයේ හිමිකාරිණිය එම මුදල බැරකර නැත. ඇය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු පවසා ඇත්තේ එවැනි පරීක්ෂණයක් නොමැති බවය. එහෙත් බොහෝ දෙනෙක් මේ පිළිබඳව විමසා ඇමතුම් ලබා දුන් බවත් එම නිලධාරියා ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් අවසානයේ හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම ව්‍යාපාරිකයන්ට ඇමතුම් ලබා දී ඇති බවය. එසේ ඇමතුම් ලබා දී ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් 25000, 5000, 75000 වශයෙන් මුදල් ලබාගෙන ඇති බවය. ඇතැම් අය පොලීසියට පවා පැමිණිලි සිදුකර ඇත. එහෙත් මේ වනතෙක් මෙකී ජාවාරමේ සුලමුල හෙළිවී නැත.

කෙසේ වෙතත් මෙහි යථාර්ථය නම් මෙකී වංචාවට හසුවී ඇති අය සාධාරණ පිරිස් ද යන්නය. ඔවුන් නීතිගරැක වූවා නම් මෙවැනි ජාවාරම්වලට හසුවන්නේ නැත. එහෙත් ඔවුන් නීතියට පිටින් හොර සහතික ගැනීමට ගොස් සිදුවූයේ අවසානයේ මුදල් අහිමි වීම පමණි. මේ නිසා අපේ භාෂාවෙන් කියතොත් කලිසමක් ඇඳගෙන පොලීසියට ගොස් පැමිණිලි කරන්නට හැකියාවක් නැත. ඒ මෙලෙස සිදුකළේ නීති විරෝධී ක්‍රියාවක් වීම නිසාය.

මේ නිසා බොහෝ පුද්ගලයන් වංචාකරුවන්ට අසුවන්නේ නීතියට අනුව වැඩකටයුතු සිදුකරන්නට ගොස් නොව නීතියෙන් පිටට ගොස් වැඩකයුතු සිදුකරන්නට ගොස්ය. මේ නිසා ඔබ වගකීම් සහගත පුරවැසියෙක් නම් ඉහත කී ආයතන හිමිකාරිය මෙන් වංචාකරුවන්ට හසුවන්නේ නැත. එපමණක් නොව එවැනි වංචාකරැවන් සමාජයටද නිරාවරණය කරනු ඇත.

 ගයාන් ගාල්ලගේ