2018 ජුලි 21 වන සෙනසුරාදා

කොළඹ කොටුවේ විරෝධතා පාර

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දැමේ පසුගිය කාලයේ නිතර නිතර පළවුණු සිරස්තලයක් වූයේ මෙයයි. මේ යුගය රටේ නිරන්තරයෙන් වැඩ වර්ජන, විරෝධතා, පෙළපාලි, උද්ඝෝෂණ ඇතිවන යුගයකි. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය පමණටත් වඩා ඇති නිසාවෙන් ඇතිවන්නක් ද පාලකයන්ගේ දුර්වලතාවයක්ද කියා අපි ප්‍රශ්න නොකරමු. නමුත් ලෝටස් පාර නිතර වැසෙන්නේ නම් විරෝධතා පෙළපාලි නිසාවෙනි. ලෝටස් පාර තාවකාලිකව වැසීමෙන් කොළඹ සහ ඒ අවට මාර්ගවල අධික තදබදයක් ඇති වෙයි. දෛනිකව කොළඹ රුකියාවට එන බොහෝ දෙනාද අවට ප්‍රදේශයේ ජීවිකාව සිදුකරගෙන යන බොහෝ දෙනා ද මෙම තත්ත්වය මත විශාල වශයෙන් අපහසුතාවයන්ට පත් වෙති.

ලෝටස් පාරේ පිහිටීම ගාලු මුවදොර පිටිය පසුකරමින් ඉදිරියට යනවිට පැරුණි පාර්ලිමේන්තුව හා ගලධාරී හෝටලය අසලිනි. මෙම මාවතේ කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරය, ප්‍රකට හිල්ටන් හෝටලය, ජනාධිපති ලෙකම් කාර්යාලය වැනි ඉතා වැදගත් ස්ථාන කිහිපයක් පිහිටා ඇත. ගාලු පාරේ සිට පැමිණෙන බොහෝ රථවාහන හා බස් රථ පිටකොටුව බලා ගමන් කරන්නේ මේ මාවත හරහාය. ජනාධිපති මහ ලේකම් කාර්යාලය, දුම්රිය ස්ථානය ද මේ ආසන්නයේ පිහිටි බැවින් දුම්රියෙන් යන එන මගීහු ද ලෝටස් පාර හරහා ගමන් කරති. මෙම කලාපයේ ප්‍රකට සංචාරක හෝටල් පවතින බැවින් සංචාරකයෝ ද නිතර ගමන් කරති.

ලෝටස් පාර හැරුණුකොට විරෝධතාකරුවන්ගේ ඉලක්ක බවට පත්වන කොළඹ නගරයේ සහ ආසන්න ප්‍රදේශවල ප්‍රමුඛතම ස්ථාන වන්නේ ලිප්ටන් වටරවුම, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට, පාර්ලිමේන්තු වටරවුම ආදී ස්ථානයි. ලෝටස් පාර මේ ගොන්නට එකතු වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය මෙහි පිහිටි නිසාවෙනි. සාමාන්‍ය කොළඹ කොටුවෙන් හෝ වෙනත් ස්ථානයකින් ආරම්භ වන විරෝධතා පෙළපාළි ලෝටස් පාරට පැමිණෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පිවිසීමේ බලාපොරොත්තුවෙනි. එහි අරමුණ සංදේශයක් භාරදීම, සාකච්ඡාවක් ලබා ගැනීම වේ. ඒ අවස්ථාවලදී හිල්ටන් හෝටලයේ දෙපස යා කෙරෙන කුඩා ගුවන් පාලම අසලින් මාර්ග බාධක යොදා විරෝධතාකරැවන්ගේ ගමන අවහිර කිරීමට පොලීසිය කටයුතු කරයි.

පොලීසිය මාර්ග බාධක යෙදූ පසුද විරෝධතාකරුවෝ සාකච්ඡාවන් ලබාගැනීමට බොහෝවිට උත්සාහ දරති. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට නොහැකි වූ අවස්ථාවල මෙම ස්ථානයේ ගැටුම් ඇතිවෙයි. එම ගැටුම් කෙළවර වන්නේ කඳුළු ගෑස් සහ බැටන් පොලු ප්‍රහාරවලිනි. මෙම ගැටුම් අද ඊයේ මෙම ප්‍රදේශයේ පටන් ගත්තක් නොවන අතර කොළඹ නගරයේ මර්මස්ථානයක් වන මෙහි ගැටුම් ඇතිවීම සම්බන්ධ දීර්ඝ ඉතිහාසයක් තිබේ.

ලෝටස් පාරේ විරෝධතා හේතුවෙන් දෛනිකව අපහසුතාවයට පත්වන මහජනතාවට අමතරව වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරයයි. කොළඹ නගරය මධ්‍යයේ පිහිටි මෙම විහාරයට බොහෝදෙනා නිතර පැමිණෙන්නේ වෙහෙසකර කොළඹ ජීවිතයේ ආතතිය මඟහරවා ගන්නටය. ලෝටස් පාරේ විරෝධතා හේතුවෙන් විහාරස්ථානයට සිදුවන බලපෑම සම්බුද්ධාලෝක විහාරාධිකාරී විතාරන්දෙණියේ මේධානන්ද හිමියෝ මෙසේ පවසති.

විහාරස්ථානය අවට පදිංචි නේවාසික අය නෑ. සියලු දෙනාම රාජකාරී ජීවිත ගතකරන අය තමයි පැමිණෙන්නේ. ඉතින් අපේ විහාරස්ථානය නඩත්තු වෙන්නේ එක පැත්තකින් වාහනවලින් ලැබෙන පුණ්‍යාධාරවලින්. මෑත කාලේ ඉඳලා විහාරස්ථානයේ කිසිම අලුත්වැඩියාවක් සිද්ධ වෙලා නෑ. ඒකට ප්‍රධාන හේතුව සතියකට වැඩිම දින සංඛ්‍යාවක් මේ පාර වහලා තිබීමයි. රජය විසින් විවිධ වෘත්තීය සමිති මර්ධනය කිරීමට යාමේ සහ වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමේ අරගල, ඒ වගේම සරසවි ශිෂ්‍ය අරගල නිරන්තරයෙන්ම මේ ස්ථානයට පැමිණෙනවා. ඒවා මර්දනය කිරීම සඳහා රජය මාර්ග බාධක දාලා මේ ස්ථානය වහලා තියෙන්නේ. ඒ වැහුවට පස්සේ බස් යන්නේ නෑ. විහාරස්ථානයට විශාල කරදරකාරී ස්වභාවයක් ඇතිවෙනවා.

තවදුරටත් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දක්වන හිමියෝ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් සිදුවන අපහසුතාවය පහදති. කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වීමෙන් පසු බොහෝ දෙනා කඩා වැදෙන්නේ සම්බුද්ධාලෝක විහාරයටයි. එවන් අවස්ථාවල තමන් පැමිණ සිටින්නේ පන්සලකට බව ඔවුන්ට කිසිදු අවබෝධයක් නැත. වතුර සොයා යාමේදී විහාරයේ ජල නළවලට හා දේපලවලට ද හානි සිදුවෙයි. මේ සියල්ලටම වඩා ඛේදනීය සිදුවීම නම් මෙවන් ප්‍රහාර සිදුවන දිනවලදී විහාරවාසී හිමිවරුන්ට ද දෑස්වල කඳුළු පුරවාගෙන පීඩාවෙන් සිටින්නට සිදුවීමයි. මෙවන් දිනවල භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවයන්ට පත්වීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇත.

විරෝධතා හේතුවෙන් පීඩාවට පත්වන තවත් පිරිසක් නම් ත්‍රිරෝද රථ රියදුරන්ය. අවට තිබෙන තරු පහේ හෝටල් කිහිපය ද මෙයින් අපහසුතාවයට පත්වෙයි. කොළඹ කොටුව ත්‍රිරෝද රථ සංගමයේ ත්‍රිරෝද රථ රියදුරෙක් මෙන්ම සංචාරක මඟ පෙන්වන්නකු ද වන සම්පත් බස්නායක මහතා ලෝටස් පාරේ විරෝධතාවල බලපෑම විස්තර කරයි.

ඒ අනුව පැය 18ක 20ක දීර්ඝ ගුවන් ගමනකින් පසු කටුනායකින් මෙරටට ගොඩබසින විදෙස් සංචාරකයන් හෝටලය බලා එන විට ඇතැම් දිනවල විරෝධතා හේතුවෙන් අධික මාර්ග තදබදයන් හටගනී. එවන් අවස්ථාවල වාහන මගින් නවතා ගමන් මලුත් රැගෙන හෝටලයට පයින්ම යාමට සංචාරකයන්ට සිදුවේ. ඔහුට අනුව මෙවන් විටකදී සංචාරකයන්ට ලංකාව පිළිබඳ මැවෙන්නේ අයහපත් ප්‍රතිරෑපයකි. මේ පිළිබඳව තවදුරටත් අදහස් දක්වන සම්පත් මහතා තමන් ඇතුළු පිරිස පත්වන අපහසුතාවය ද විස්තර කරයි.

අපි මේ එදාවේල හම්බකරන් කාලා ජීවත් වෙන මිනිස්සු. අපිට කොකෝවා වතු නෑ. මහා පරිමාණයෙන් හෝටල් නෑ. අපි අද හම්බකරන සල්ලිවලින් තමයි මාකට් එකට ගිහිල්ලා තුනපහ බඩු ටික, පොල් ගෙඩිය, හාල් කිලෝ එක අරන් ගිහිල්ලා තම්බලා කන්නේ දරුවොත් එක්ක. ලොකු මිනිස්සුන්ට ඕන තරම් තියෙනවා. මේක වැහුවත් ෆයිස්ටාර්වල කන්න තියෙයි. ඒ මිනිස්සුන්ට ආදායම් තියනවා. අපි වගේ අහිංසක මිනිස්සුන්ට ආදායමක් නෑ.

මේ අතර අසල සිටි තවත් ත්‍රිරෝද රථ රියදුරකු පැවසුවේ තවත් අදහසකි.

දැන් ඇවිල්ලා උද්ඝෝෂණ දේශපාලන ව්‍යාපාරයක් කරගෙන තියෙන්නේ. පිකටින් කරන උන්ට අනිවාර්යයෙන් ගහන්න ඕනෑ. ඇයි එයාලට නිවාඩු දවස්වලට ඕක කරන්න බැරි? ඉස්කෝල ඇරිලා යන වෙලාව අල්ලනවා. මිනිස්සු වැඩ ඇරිලා යන වෙලාව අල්ලනවා.

ලෝටස් මාවතේ පොලිස් මුර පොළක් පිහිටා තිබේ. එහි නිලධාරීන් කිහිපදෙනෙක් රාජකාරිවල නිරතව සිටිති. මේ ගැටලුව පිළිබඳ ඔවුන්ගෙන් විමසූ විටදී ඔවුන් පවසා සිටියේ දින පහෙන් සිය රාජකාරි මාරුවෙන බවයි. තවද මාර්ගය වසා දමන්නේ විරෝධතා පෙළපාළි එම ස්ථානයට ළංවන විටදී බවත් විරෝධතාවයන් පවතින්නේ පැයක් දෙකක් පමණක් බවත් ඔවුහු කියති.

ලෝටස් පාරේ විරෝධතා පවත්වන්නේ එක් පාර්ශවයකට හෝ එක් පක්ෂයකට අයත් පිරිසක් නොවේ. වෘත්තීය සමිති ඉල්ලීම් දිනා ගැනීමටත්, සරසවි සිසුන් ශිෂ්‍ය අරගල වෙනුවෙනුත් නිතර මෙහි එති. බොහෝ විට කිසියම් පාර්ශවයක් විරෝධතාවයක නිරතවන්නේ පාලකයන් දිගින් දිගටම සිය ඉල්ලීම්වලට කන් නොදෙන විටය. ඒ අනුව විරෝධතාකරුවන් ද අසාධාරණයට ලක්වූවන්ය. ඔවුන් දෙස ද්වේශසහගතව බැලීම කොතරම් දුරට සාධාරණ දැයි ප්‍රශ්නයක් නැගේ.

ලාංකික බලපෑම් කණ්ඩායම් අතර සරසවි ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමුඛස්ථානයක් ගනී. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ද ලෝටස් පාරේ විරෝධතා පිළිබඳව අදහස එකතු කරයි.

අපිට ලෝටස් පාර තෝරාගන්න විශේෂ හේතුවක් නෑ. ගාලු මෝදර පැත්තෙන් ගියෝතින් අරලියගහ මන්දිරය තියන නිසා මගින් නතර කරනවා. ජනාධිපති කාර්යාලය ළඟට යන්න තියෙන එකම විදිහ ලෝටස් පාර. ඒ නිසයි අපි ඒ මාර්ගය භාවිතා කරන්නේ.

කිසිවිටෙකත් විරෝධතාකරැවන් ගැටුම් ඇතිකර ගැනීමේ අදහසින් මෙහි නොපැමිණෙන බවත් පොලීසිය මාර්ග බාධක යොදා විරෝධතා මර්දනයට කටයුතු කරන විට ගැටුම් ඇතිවෙන බවත් ඔහු පවසයි. තවද පාලකයන්ට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගැනීමට අවස්ථාවක් තිබුණ ද ඔවුන් එලෙස නොකරන බව ද ලහිරු වීරසේකර පෙන්වා දෙයි.

ලෝටස් මාවතේ පමණක් නොව මෙරට තවත් බොහෝ තැන්වලත් ලෝකයේ අනෙකුත් රටවලත් විරෝධතා ඇතිවේ. එම විරෝධතා තීව්‍ර වන්නේ ගැටුම් ඇතිවන්නේ පාලකයන් අඳ, ගොලු, බිහිරි න්‍යාය අනුගමනය කරන විටදීය. ඉතිහාසය පුරාවට සිදුව ඇත්තේ එයයි. එක් ඇමතිවරයෙක් පසුගිය කාලයේ විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමට කොළඹ නගරයේ වෙනම ස්ථානයක් ස්ථාපිත කළ යුතු බවද පවසා තිබුණි. නමුත් සිදුවිය යුත්තේ ජනතා ප්‍රශ්නවලට කන්දීමයි. එවිට විරෝධතා අවම වනු ඇත.

 චමිඳු නිසල් ද සිල්වා

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00