2018 ජුලි 21 වන සෙනසුරාදා

රන්බඩු උගසට සෙට්වෙන කාක්කෝ

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 297

ඔබගේ රණ්භාණ්ඩ බේරා ගැනීමට නොහැකිද? බැංකුවට, වෙනත් ආයතනයකට හදිසි මුදල් අවශ්‍ය වූ විට ලබාගත් රන් ආභරණ සින්න වෙන්න යනවාද? ඔබගේ රන්භාණ්ඩ සින්න නොවී බේරා ගැනීමට අදම අමතන්න 077 ••••••• ගත් මුදල මෙන් දෙගුණයක් අදම කථාකර ඔබගේ රන්භාණ්ඩ සියල්ල සින්න වීමට නොදී බේරාගන්න. අතේ ඇති හැටියට ටික ටික ගෙවා ආපසු ඔබ එය රැගෙන යන්න. වසර 10ක පූර්ණ වගකීම සහිතයි....

දිනපතා පුවත්පතක් බලමින් සිටි මෙම දැන්වීම ලියුම්කරුගේ ඇස ගැටුණේ අහම්බයෙනි. ඉහත සඳහන් කර තිබූ දුරකථන අංකය සටහන් කරගත් ලියුම්කරු ඒ පිළිබඳව අටුවාටීකා සොයාබැලීමට තීරණය කළේ එම දැන්වීම දෙස දෙවරක් තුන්වරක් බැලීමන් පසුයෙ

ලියුම්කරු: හෙලෝ මේ අර රන්භාණ්ඩ බේරගන්න ආයතනයෙන්ද?

දුරකථන ක්‍රියාකරු: ඔව් මොකක්ද ඔබට අපගෙන් ලබාගත යුතු සේවාව?

ලියුම්කරු උගසට බැංකුවක තියලා තියන රත්‍රං බඩු වගයක් තියනවා බේරා ගන්න පුළුවන් වෙයිද?

ඔව් සඳුදා ඉඳන් සෙනසුරාදා වෙනකම් උදේ 9ත් හවස 5ත් අතර වෙලාවක් තුළ මේ නම්බර් එකට කථාකරලා ඔයාලගේ විස්තර කියන්න. එහෙම නැත්තම් ඔබ ජීවත්වන ප්‍රදේශයේ ආසන්නම නගරයට අපගේ නියෝජිතයකු මුණගැස්වීමේ හැකියාවක් අපේ ආයතනය සතුව පවතිනවා. ඔබට කොහොමද අපගේ සේවය ලබාගන්න ඕන කියලා කරුණාකරලා කියන්න පුළුවන්ද?

එම ආයතනයේ නියෝජිතයකුගේ සහය ලබාගන්නා බව පවසමින් ලියුම්කරු එම නියෝජිතයකුගේ දුරකථන අංකය ලබාගත් අතර ඔහුට ඇමතුමක් ගැනීමෙන් පසුව ඔහු හා විස්තර කථාබහ කිරීමට ලියුම්කරු ඔහුගෙන් දිනයක් හා වේලාවක් ගත්තේය.
ඔහු පැවසූ දින වෙලාවටත් මඳක් කලින් ගිය ලියුම්කරු ලහි ලහියේ බලා සිටියේ ඔහුගේ පැමිණීම ස්ථිර වනතුරුය. පැවසූ වේලාවටම එම ස්ථානයට පැමිණි ඔහුත් සමඟ ලියුම්කරැ කථාව ඇරඹීමට පෙරම ලියුම්කරුගේ අවශ්‍යතාව පැහැදිලි කර දුන් අතර ලියුම්කරුගේ බලවත් පෙරුත්තයකින් පසුව නම් ගම් හෙළි නොකිරීමේ පොරොන්දුව මත ඔහු අටුවාටීකා ගොන්නක් ලියුම්කරු වෙත පැවසීය.

මොකක්ද මේක ඔයාලගේ ආයතනයක්ද?

මෙහෙමයි මේක ලියාපදිංචි ආයතනයක් නෙවෙයි. අපි පත්තරේ ඇඩ් එකක් දානවා සින්න වෙන යන රත්‍රං බඩු බේරාගන්නවා කියලා ෆෝන් නම්බර් එකක් එක්ක. ඊටපස්සේ ඒ නම්බර් එකට කථාකරන අයගේ හැටියට තමයි වැඩේ සෙට් වෙන්නේ.
ඒ කියන්නේ ඔය අය ඒ බඩු බේරන්නේ නැද්ද?

බඩු බේරනවා. නැත්තම් අපිට වැඩේ පාඩුයිනේ. බඩු බේරලා තමයි අපි මුලින්ම ගේමට එන්ටර් වෙන්නේ....

ඒ කිව්වේ? 

මෙහෙමයි. ඔය නම්බර් එකක් දැම්මම ඕන තරම් අය අපිට කථාකරනවා. අපි ඩයල් එකක් කථා කළාම එයාගේ විස්තරේ අහලා ලියාගන්නවා මුලින් ෆෝන් නම්බර් එකත් එක්කම.

ඊට පස්සේ?

පස්සේ අපි ඒ අයගෙන් අහනවා බේරලා ඒ බේරන ගානට අමතරව පොඩි ගාණක් දීලා ඒ බඩු අපිම තියාගන්නද? නැත්තම් අපි බේරැවට පස්සේ ඔයාල අපෙන් කොටස් වශයෙන් ගෙවලා අරගෙන යනවද කියලා. මේ දැනට යන සිස්ටම් එක එක්ක ගත්තම වැඩිහරියක් බඩු සින්න වෙනවට බයේ බේරගන්න කියනවා. ඒ අය කොටස් වශයෙන් ගෙවන්නම් කියලා. නමුත් මාස දෙක තුනක් යද්දි ඒ අයම කියනවා තව ගානක් දෙන්න කියලා.

ඒක ඔයාලට ලාබද?

ඒක සුද්ද ලාබයිනේ මල්ලි....

එහෙම වෙන්නේ නැති අයට?

මේක අපෙනුත් බේරගන්නවා කියලා ලයින් එකක් තිබ්බොත් ඔය පොඩි පොඩි ජිමිටික් එකක් දානවා අපි...

ඒ කිව්වේ ඒ බේරගත්ත බඩු ඔයාල ළඟ තියන බඩුවලට මාරැ කරනවද?

එහෙම කරන්නේ නැහැ. අපි කොහොම හරි පොලියක් හදලා ගාණ වෙනස් කරලා පොඩි පොඩි අයිටම් කරනවා. අපි මේක කරලම දන්නව දැන් යන සිස්ටම් එක මොකක්ද කියලා. අනික දැන් ලංකාවේම කී දෙනෙක් තමන්ගේ බඩු බැංකුවලට තියලා සල්ලි අරගෙන තියනවද? එහෙම වුණාම අපිට වාසියි. හැබැයි ඉතිං ලොකු වාසියක් අතට එන්නේ එහෙම බැංකුවෙන් බේරගෙන අපි ඒ බඩු අයිතිකරයන්ට ගාණක් දෙන වැඩෙන් තමයි ඉතින්. අපේ ඩයල් ඉන්නවා මල්ලි බැංකු ළඟ ඉඳල ඇතුළට ගිහිං පොඩ්ඩක් සර්ච් එකේ ඉඳලා ඒ බඩු බේරගන්න බැහැ කියලා දැනගත්තම එයාලට වචනේ දාලා ගාණ කපන සෙට්.

කොළඹ විතරයිද ඕක කරන්නේ?

නැහැ ලංකාවේ හැමතැනම ඕක කරනවා. අපි විතරක් නෙවෙයි බොසා දැන් මේ බජාර් එකට බැහැපු ලයින් එකක් දාලා ගාණ කපන්න පුළුවන් එකම සිස්ටම් එක තමයි ඕක. මිනිස්සු පව් තමයි. ඒ කියලා ඉතිං අපිට කරන්න දෙයක් නැහැනේ. අපිත් කාලා ඇඳලා ඉන්න එපැයි. මේක යන සිස්ටම් එකක් තියෙනවා බොසා. සමහරු අපිට මරිසියටම කථා කරනවා. අපෙන් ගාණ කඩාගන්න කරන්න. අපි ඔය පොත ඊට කලින් පෙරළලා තියෙන නිසා එහෙම කරන්න බැහැ ඉතිං. අනික දැන් මිනිස්සුන්ට පොලී බඳින්නවත් සල්ලි නැහැනේ මල්ලි. ලොකු ලොකු සෙට් නෙවෙයි අපි වැඩිය ටාගට් කරන්නේ. ගම්වල ඉන්න රජයේ රස්සා කරලා ගොඩයන්න බැරැව ඉන්න සෙට්. එහෙම සෙට්වලින් තමයි මේක කරගන්න ලේසිම.

පට් පට් ගාලා සල්ලි එන වැඩනේ මල්ලි. මේවා බිස්නස් රහස්. ඔයා ඇහුවා, බල කරලා අහපු නිසාත් නම ගම කියන්නේ නැහැ කියලා කියපු නිසත් තමයි ස්ටෝරිය කිව්වේ. ලොක්කා එහෙනම් අපි කැපුණා. මොනව හරි ලයින් එකක් ගහන්න.
එලෙස පැවසූ ඔහු ලියුම්කරුගෙන් සමුගෙන ගියේය.

පෙර අප සිතා සිටියේ කොළඹ කාක්කන් සිටින්නේ කොළඹ පමණක්ම යනුවෙනි. නමුත් මේ වනවිට කොළඹ කාක්කන්ට වඩා මෙවැනි කාක්කන්ගෙන් පරිස්සම් වීමට ජනතාව වගබලා ගත යුතුය.

 හසිත් අංජන