2018 ජුලි 21 වන සෙනසුරාදා

වසර 5කට පසුව කළකම් පලදී හිරේවැටුණු අමිල

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 92

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී එම්. කේ. අමිල මහතා බරපතළ වැඩ සහිතව තුන් මාසයක සිර දඬුවමක් නියම වූයේ පසුගිය 17 වැනිදාය. ඒ මීට වසර පහකට ඉහතදී 2013 වර්ෂයේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදීම හා සාපරාධී බලහත්කාරකම් පෑමේ චෝදනාවට වරදකරු වීමත් සමඟය. දඬුවමට අමතරව පහර කෑමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාට රුපියල් 30,000ක මුදල් වන්දියක් ලබා දෙන ලෙස ද නියෝග කෙරිණි.

තුන් මසක සිර දඬුවමට අමතරව විත්තිකරුට වසරකුත් මාස නවයක බරපතළ සිර දඬුවම් නියම කෙරුණු අතර සිර දඬුවම් වසර හත සහ පහ බැගින් වූ කාලයකට අත්හිටුවා තිබුණි. ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් නිරෝෂනී ඉරේෂා කුමාරි කාරංගල මහත්මිය විසින් එම නියෝගය නිකුත් කෙරිණි.

එමෙන්ම මෙම නඩුවේ දෙවැනි විත්තිකරු වූ මන්ත්‍රී එම්. කේ. අමිලගේ හිතවතකු වූ පනාමුර හීන්දලුක්හින්නේ කාංකානම් පතිරණගේ ප්‍රසන්න සන්නක ලක්මාල් යන අයද ඉහත චෝදනාවලට වරද පිළිගෙන ඇති බැවින් ඔහුට බරපතළ වැඩ සහිතව මාස හය බැගින් සිර දඬුවම් නියම කොට ඇති අතර එය වසර පහකට අත්හිටුවා තිබේ.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල සහ ඔහුගේ හිතවතාට දඬුවම් නියම කරන්නට වූ චෝදනාවේ අතීත කතාව වසර පහකට එහා එකකි.

සිදුවීමට ආසන්නතම දිනය 2013 වසරේ මැයි 26 හෝ ඒ අසල දිනයකි. එදින පනාමුර පොලීසියේ නිලධාරීන් පිරිසක් රාත්‍රී මුර සංචාරයේ යෙදීමට සූදානමින් සිට ඇත. ඔවුන්ගෙන් නිලධාරීන් දෙදෙනෙක් පනාමුර සිට මිද්දෙණිය පාරේ යමින් සිටියහ. වේලාව රාත්‍රී 10 පසුවෙමින් තිබියදී පොලිස් නිලධාරීන් දෙන්නා රැඳී සිට තිබුණේ එම මාර්ගයේ දඩහැතැප්ම ප්‍රදේශයේය. සිය රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල් නන්දසිරි 32636 සහ පොලිස් කොස්තාපල් චන්ද්‍රසිරි (41604) දෙන්නා එම ප්‍රදේශය හරහා ගමන්ගත් වාහන නතර කර පරික්ෂාවකට ලක්කරමින් සිට ඇත. ඒ අවස්ථාවේ රාත්‍රී 11ට ආසන්න වෙමින් තිබියදී ඔවුන් හසුකර යන්නට පැමිණි යතුරු පැදියකි. සුපුරුදු පරිදි නිලධාරීන් සතු විදුලි පන්දම දල්වා යතුරු පැදිය නතර කරන්නට අණ කළ නිලධාරීන් හමුවේ ඔවුන් අවනත වී තිබුණි. යතුරු පැදිකරුගෙන් ඊට අදාළ බලපත්‍ර පරික්ෂාව සඳහා ඉල්ලා තිබුණත් නිලධාරීන්ට ඒවා ලැබී නොතිබිණි. ඔවුන් සතුව නියමිත බලපත්‍රය නොමැති බව පොලීසියේ නිලධාරීන්ට වැටහී ඇතත් ඒ වනවිටත් යතුරු පැදිකරු ක්‍රියාකර තිබුණේ ඔවුන් සතු ජංගම දුරකථනයක් මගින් බාහිර පාර්ශවයකට දුරකථන ඇමතුමක් ලබා ගැනීමටය.

අනතුරුව එම දුරකථනය පොලිස් කොස්තාපල් චන්ද්‍රසිරි මහතා වෙත ලබා දෙන්නට ඔවුන් ක්‍රියා කර ඇතත් කොස්තාපල්වරයා ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දුරකථනයට කතා කිරීමෙන් වැළකී සිට ඇත.
සිදුවීම එසේ හෙයින් පොලිස් නිලධාරීන් හැර යන්නට යතුරු පැදිකරුට අවස්ථාවක් ලැබී නැත. මේ අතර ගත වී තිබුණේ තවත් මිනිත්තු කීපයකි. වේගයෙන් පැමිණි මෝටර් රථයක් පොලිස් නිලධාරීන් ඉදිරිපිට නවත්වා ඇත. ඉන් බැසගත් අයෙක් මහ හයියෙන් කියා තිබුණේ ඒයි රාළහාමි.. මෙහෙ වරෙන්... යනුවෙනි. එහෙත් පොලිස් නිලධාරියා ඔහුට යටත් නොවූ අතර පෙර කී පුද්ගලයා වේගයෙන් පොලිස් නිලධාරියා ඉදිරියට පැමිණ චන්ද්‍රසිරි මහතාට වැරෙන් පහර කීපයක් එල්ල කළේය. එසැණින් යතුරු පැදිකරුවන් තිදෙනා පැමිණි මෝටර් රථයත් පලා ගිය අතර පහර කෑමට ලක් වූ පොලිස් නිලධාරියා තුවාල ලැබූවෙන් ඔහු ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුළත් කරන්නනට හිතවත් නිලධාරියා පියවර ගෙන තිබුණි. අනතුරුව ඔහු රත්නපුර මහ රෝහලටත් එතැනින් කොළඹ ජාතික රෝහලට යවන්නට තරම් ඔහුගේ පහර කෑම දරුණු වී තිබුණ. මෙම සිදුවීම සමයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිට ඇත්තේ මන්ත්‍රී එම්. කේ. අමිල මහතාය. නිලධාරීන්ට පහර දීමට පැමිණි මෝටර් රථයත් පහර දුන් තැනැත්තාගේ ස්වරූපයත් අනුව සැකකරු එම්. කේ. අමිල සහ ඔහුගේ හිතවතා ප්‍රසන්න ලක්මාල් බව හඳුනාගන්නට අපහසු වී නැත.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ කලාපයේ සිදු වූ පහරදීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විත්තිකරුවන් දෙන්නාට එරෙහිව ඉදිරිපත් කොට තිබුණි. ඒ අනුව නඩු දිනයේදී සැකකරුවන් දෙදෙනාම පහර දුන් බවට වරද පිළිගෙන ඇත. ඉන්පසුව ඔවුන්ට එරෙහිව දඬුවම් නියම කිරීමේ උසාවි වාරය පසුගිය 17 දා පැවති අතර විත්තිකරුවන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමිත් පතිරණ මහතා ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙස ඉල්ලා සිට ඇත. එහිදී විවෘත අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය පවසා තිබුණේ තනතුරක බලය අයුතු ලෙස භාවිතා කරමින් රාජ්‍ය සේවකයන්ට දඬුවම් දීමට ක්‍රියා කිරීම පිළිබඳ අවධානය යොමු කළ බවය.

එහිදී පළමු වැනි විත්තිකරු වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ අමිල මහතාට පළමු චෝදනාවට එරෙහිව වසරක බරපතළ සිරදඬුවමක් නියම කළේය. එමෙන්ම අදාළ දඬුවම මාස නවයයි වසර පහකට අත්හිටුවනු ලැබීය. එසේම එම වරදට රු. 1500ක මුදල් දඩයක් සහ පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියාට රු. 30,000ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළාය.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිට නියම කළ දඩය ඒ මොහොතේම ගෙවීමට කටයුතු කළ අතර අනතුරුව සිරදඬුවම සඳහා බන්ධනාගාර ගත කරනු ලැබීය.
දකුණු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. කසුන් මහතා සිරදඬුවමට ලක්වූ එම්. කේ. අමිලගේ වැඩිමල් සහෝදරයාය. මාස කීපයකට ඉහතදී ගිනි අවියක් රැගෙන බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරකුට පහර දුන්නේ ඔහු හා බිරිය  විසිනි.

මොවුන් දෙදෙනාගේ පියා වූ දකුණු පළාත් සභා අමාත්‍යවරයකු වූ එම්. කේ. රංජිත් නොහොත් චණ්ඩි මල්ලි 2003 වර්ෂයේ මැයි 25 දින කොළඹ යෝක් වීදියේදී වෙඩි ප්‍රහාරයකට ලක් වී ඝාතනය විය. ඒ ඔහුට එරෙහිව පැවති අපරාධ චෝදනා කීපයක් හේතුවෙන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට පැමිණ යමින් සිටියදීය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00