2018 ජුලි 21 වන සෙනසුරාදා

හරක් මස් නැත්තම් ජීවිතය නැති පුංචි සිතුමි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 303

සිතුම් අරලියා මුතුපබළු පුංචි දියණිය මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් පසුවන්නීය. දෙහිඅත්තකණ්ඩිය පරගස්වැව ප්‍රාථමික විද්‍යාලයේ පහ වසර පන්තියේ ඉගෙනුම ලබන සිතුමි වසර ගණනාවක සිට ජීවිතය රැකගන්නේ හරක් මස් පමණක් ආහාරයට ගැනීමෙනි. ඇයට වෙනත් කිසිදු ආහාරයක් ගැනීමට නොහැකි අතර ඒවා ගත් විගසම ඇය තුළින් අසාමාන්‍ය රෝග තත්ත්වයක් පහළ වී ඉතා ඉක්මනින් රෝගාතුර වේ.

දෙහිඅත්තකණ්ඩිය පදිංචි විජේලතාට දාව දරුවන් සිව්දෙනකුට පසුව සිතුමි උපන්නාය. සිතුමි ඉපදෙද්දී කිලෝ තුනහමාරක බර ඉතා නිරෝගී දියණියක වූවාය. උපන් විගසම වෙනත් දරු උපතකදී මෙන්ම ඇය හොඳින් හැඬුවේය. නමුත් මව්කිරි බීමේදී පුංචි සිතුමි අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කළාය. ඇය මව්කිරි බීමේදී උදරයේ පිම්බීමක් ද පෙන්නුම් කළාය. ඒ විතරක්ව නොව ඇය එකදිගට වමනය කළාය. සාමාන්‍ය දරුවන් ළදරු අවදියේදී මළ පිට කළද සිතුමි මළ වෙනුවට පහ කළේ වතුරය. කුඩා සිතුමිගේ එකල ඊට වඩා වෙනසක් නොපෙනිණි. නමුත් ඉපදී දින හතළිස් පහක් පමණ ගතවූ විට දරුවාගේ අසාමාන්‍ය රෝග තත්ත්වයන් එන්න එන්නම වැඩි විය. වෙනත් දරුවන් වර්ධනයක් නොතිබිණි. පුංචි සිතුමි මළානික තත්ත්වයට පත්වූවාය. ඇගේ මුළු ඇඟම අධික ලෙස වේළුණාය.

පොළොන්නරුව රෝහලට දරුවා රැගෙන ගියවිට වෛද්‍ය කණ්ඩායමට ද පුංචි සිතුමි අසාමාන්‍ය දියණියක් වූවාය. එවකට ළමා වාට්ටුව භාරව සිට වෛද්‍ය ජයසිංහ මහතා යටතේ මාස හතරමාරක් පමණ සිතුමි ප්‍රතිකාර ගත්තාය. ඔවුන් මව්කිරි වෙනුවට වෙනත් පිටි කිරි වර්ග සහ සේලයින්ද දරුවාට ලබා දුන්නද ඒ කිසිම පිටි වර්ගයකින් දරුවාගේ රෝග තත්ත්වයන් පහ නොවුණි. මේ නිසාම පුංචි සිතුමි කොළඹ රිජ්වේ ළමා රෝහලට මාරු කරනු ලැබුවාය.

ඒ වනවිටත් සිතුමිට වයස මාස පහමාරකි. එතැන් සිට අවුරුදු හතරහමාරක් වනතුරු සිතුමි රිජ්වේ ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ගත්තාය. ඇයගේ තනි නොතනියට මව රැඳී සිටියාය. කොළඹ රෝහලෙන් කීපවතාවක්ම සිතුමිව ගෙදර එව්වද ඒ සෑම වතාවකදීම සිතුමිට අසනීප වී නැවත නැවතත් ළමා රෝහලටම යන්නට සිදුවිය. මේ නිසාම පුංචි සිතුමිගේ ළදරු කාලයෙන් වැඩි කාලයක්ම ගෙවුණේ රිජ්වේ ළමා රෝහලේ ළමා වාට්ටුවේය. එවකට ආවේ වාට්ටුවේ සිටි වෛද්‍ය චන්ද්‍රිකා සිතුමිට ආදරණීය මවක්ම වූවාය. ඇය සිතුමිව රැකබලා ගන්නට විශාල මහන්සියක් දැරුවාය. එවකට සිතුමිට විදෙස් රටකින් ගෙන්වන කිරිපිටි වර්ගයක් සහ සේලයින් නියම කර තිබුණි. එම කිරිපිටි වර්ගය ලංකාවට ගෙන එන්නේද සීමා සහිතවය. එය නිෂ්පාදනයෙන්ද අඩු විය. එයට ප්‍රධාන හේතුව වන්නේ සිතුමි වැනි දරුවන් ඒ වනවිටත් සොයාගෙන ඇත්තේ ඉතා අඩු සංඛ්‍යාවක් වීමය. ඉතා දුර්ලභ රෝග තත්ත්වයක් වූ ‍මෙය සඳහා ප්‍රතිකාරයක් සොයාගෙන නොතිබුණි. කිරිපිටි පැකට්ටුව කැඩූ පසුව එය දිග පහළොවකට පමණක් වලංගු විය. මේ නිසා දිනකට කිරි අවුන්සයක් පමණක් පුංචි සිතුමිට නිර්දේශ විය. ඇතැම් දිනවලදී එය සිතුමිට ප්‍රමාණවත් නොවුණි. කෙසේ වුවද මේ කාලයේදී සිතුමි ඉතා හොඳින් රෝහලේ සිටියාය. නමුත් ඒ වයසේ දරුවන්ට සාපේක්ෂව ඇය වර්ධනයෙන් අඩු විය.

වයස අවුරුදු හතරහමාරකට පසුව පුංචි සිතුමි රිජ්වේ ළමා රෝහලෙන් ගෙදර එවනු ලැබුවාය. ඒ වනවිටත් දරුවා සම්පූර්ණයෙන්ම සුව වී නොතිබුණි. නමුත් වෛද්‍යවරැන්ට ද සාර්ථක ප්‍රතිකාරයක් නොතිබුණි. මේ නිසාම වෛද්‍යවරයන්ගේ තීරණයට අවනතව විජේලතා දරුවා රැගෙන දෙහිඅත්තකණ්ඩියට පැමිණියාය. ඒ වනවිටත් සිතුමිට කෑමට බීමට සුදුසු ආහාරයක් නොතිබුණි. කන බොන සෑම ආහාදරයක්ම සිතුමි වතුර ලෙසින් පිට කළාය. ඇතැම්විට කෑ විගසම ඇය වමනය කළාය. එසේත් නැත්නම් මළපහ වතුර ලෙසින් පිට කළාය.

විජේලතාගේ පවුලට එකම හව්හරණය වූයේ සිතුමිගේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනාය. ඔවුහු ඒ වනවිටත් රැකියා කළහ. ඒ පුංචි නැගණියගේ ජීවිතය වෙනුවෙනි. තම දියණියගේ ජීවිතය රුකගැනීමට වීරසිංහ අනන්තවත් කුලී වැඩ කළේය. ඒ වනවිටතු තම සන්තකයේම තිබූ කුඹුරු කැබැල්ල ද ලක්ෂ හයකට උගස් කෙරී තිබිණි. 
දිනක් විජේලතා දෙහිඅත්තකණ්ඩිය ටවුමෙන් ගෙන ආ හරක් මස් කැබැල්ලක් උයා පුංචි සිතුමිට කන්නට දුන්නාය. නමුත් පෙර අසනීප තත්ත්වයන් පහළ නොවුණි. මේ නිසාම විජේලතා දිගින් දිගටම සිතුමිට හරක් මස් උයා කන්නට දුන්නාය. ඒවායින් ඇයට නව පණක් ලැබිණි. පුංචි සිතුමිගේ අසනීප තත්ත්වය පහව ගියේය.

ඇතැම්හු විජේලතාලාට දොස් නැගූහ අම්මෝ හරක් මස් කන පව්කාරයෝ. යැයි චෝදනා කළෝය. නමුත් විජේලතාවත්, පුංචි සිතුමිවත් පව්කාරයෝ නොවෙති. තම දරුවාගේ ජීවිතය බේරාගන්නට විජේලතා හරක් මස් කන්න දුන්නට ඒ දරු සෙනෙසහස ආදරය ගැන කියන්නට අද ඒ ඇස්වල කඳුළු මදිය. අවුරුදු දහයක් තිස්සේ අම්මාගේ හිතේ ඇතිවූ ගින්දර මෙතෙකැයි කියන්නට නොහැක. උපන් ළදරුවන් මහමග දමා යන, නොදරුවන්ට වස පොවන මව් වෙසෙන් රකුසන් ජීවත්වෙන සමාජයක තම දරැවා වෙනුවෙන් හරක් මස් වෑංජනයක් පිසින විජේලතා සැබැවින්ම පව්කාරියක්ද? 
පුංචි සිතුමි අදටත් පන්සල් යන්නට දක්වන්නේ අසීමිත කැමැත්තකි. ජීවත් වන්නට වෙර දරන පුංචි මල් කැකුල අද පව්කාරයෙක්ද? ඉඳහිට සිතුමිට පිසූ කුකුළු මස් කැබැල්ලක් දුන්නද එය එතරම් ඇයට සුදුසු වන්නේද නැත. ඒ දිනවලදී සිතුමිට ක්ලාන්තය සෑදී ඇඟ සුදුමැලි වී වේ. 

මේ අතර විජේලතාගේත් වීරසිංහගේත් ආර්ථිකය එන්න එන්නම නරක අතට හැරුණි. අද වනවිට දෙහිඅත්තකණ්ඩියේ හරක් මස් කිලෝ එකක මිල රුපියල් එක්දාස් දෙසීයක් පමණ වේ. දිනකට සිතුමිට හරක් මස් කිලෝ එකක් පමණ අවශ්‍යය. නමුත් ඇතැම් දිනවලදී එයද ප්‍රමාණවත් නොවීය. කුලී වැඩ කරමින් එදාවේල හම්බ කරගන්නා වීරසිංහට මෙය දරාගන්නට නොහැක. නමුත් සියලු දුක ඔවුහු දරුවා වෙනුවෙන් ඉවසති.

මෙය Glucose Galactose Malabsorption නමින් හඳුන්වන ඉතා දුර්ලභ රෝග තත්ත්වයක් බව වෛද්‍යවරැ කියති. මේ වනවිට කොළඹ රිජ්වේ ළමා රෝහලෙන් ඇය ප්‍රතිකාර ලබා ගන්නා අතර දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේත් මාසයක් පාසා ඇයව පරීක්ෂා කරනු ලැබේ. සාමාන්‍යයෙන් අපි ආහාරයට ගනු ලබන ආහරවල සංඝටක කිහිපයක් අඩංගු වේ. එයින් කාබෝහයිඩ්‍රේට් හෙවත් පිෂ්ඨය, ප්‍රෝටීන්, මේදය අඩංගු වේ. මෙම දරුවාගේ ඇති වූ ජානගත රෝගී තත්ත්වයක් හේතුවෙන් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වී ගනු ලබන අවසන් ඵලය වන ග්ලූකෝස්, කිරි ආහාර ජීර්ණය වී ඇතිවන ගැලැක්ටෝස් යන සංයෝග දෙකම ජීර්ණය කර අවශෝෂණය කරගැනීමට නොහැක. එවැනි සංයෝග සහිත ආහාරයක් ගත්විට දරුවා තුළ පාචන තත්ත්වයක් ඇති වේ. බඩඑළිය යාමත් සිදුවේ. ඒ තුළින් ආහාරයට ගත් ආහාර පමණක් නොව ඇඟේ ඇති යම්කිසි ජල මට්ටමක්ද ආහාර සමඟ එක්ව පිටවී යයි. අවශෝෂණයට අවශ්‍ය එන්සයිමයක් ඇගේ ශරීරයේ නිපදවී නොමැත. අඟේ ඇති ජලයත් සමඟ පාචනය වීමෙන් ඇය විජලනයට පත් වේ. එමඟින් ඇගේ ජීවිතයට අනතුරු වීමටද පුළුවන. ඕනෑම කෑමක් කෑවද ඒ සැණින් ඇය තුළ රෝග තත්ත්වයක් මතුවී ඇය ඉතා ඉක්මනින් දුර්වල වේ. 

හරක් මස් වෙනුවට ඇයට සුදුසු වෙනත් ආහාරයක් පිළිබඳව ඇගේ වෛද්‍යවරු විවිධ පරීක්ෂණ කළහ. ඒ සඳහා ප්‍රෝටීන් බහුල කිරිපිටි වර්ගයක් නිර්දේශ විය. බොහෝවිට මෙම කිරිපිටි වර්ගය ගනු ලබන්නේ කාය වර්ධන වැනි පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් පමණි. එය ප්‍රෝටීන් කිරිවලින් වෙන්කර ගත් කිරිපිටි වර්ගයකි. නමුත් එය ඉතා මිලෙන් අධිකය. කිරිපිටි පැකට්ටුව රුපියල් පහළොස්දහසක් පමණ වේ. කුලී වැඩක් කරමින් තම දරුවාට හරක් මස් කැබැල්ලක් ගෙන එන්නටවත් වත්කමක් නැති අසරණ දෙමව්පියන් මේ කිරිපිටි මුදල කෙසේ නම් දරාගන්නද?
අද වෙනවිට සිතුමි ඉතා නිරෝගී දියණියකි. ඇය පාසලේ වැඩ කටයුතු හරි අපූරුවට කරනා ඉතා සාමාන්‍ය දරුවෙකි. ඇයගේ ජීවිතය පෝෂණය කරන්නනට නම් ඇයට මෙම ශුද්ධ ප්‍රෝටීන් ඇති ආහාරයක් දිය යුතුමය. අද වනවිට ඇගේ මව්පියන්ට ලබාදිය හැක්කේ හරක් මස් කැබැල්ලක් පමණි. 

සිතුමි අරලිය මුතුපබළු පුංචි දියණියට යම් උපකාරයක් කරන්නට හැකිවන්නේ නම් එය ඇගේ ජීවිතයට විශාල හයියක්ද වේ.

ඇගේ ගිණුම් අංකය - 82936554
සිතුමි අරලියා මුතුපබළු වීරසිංහ
ලංකා බැංකුව - දෙහිඅත්තකණ්නඩිය.

විශේෂ ස්තූතිය 
දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ
ළමා රෝග ඒකකයේ
වෛද්‍ය චනිත් පේදරුආරච්චි

► දිශානි ජයමාලි කරුණාරත්න 
මූලාශ්‍ර සැපයුම - අම්පාර වසන්ත චන්ද්‍රපාල