2018 ජුලි 21 වන සෙනසුරාදා

හිර ගෙදරේ සුපිරි මැඳුරේ දොර කුඩු කප්පිත්තාට ඇරුණු හැටි

 2018 ජුලි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 359

වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්ත සිරදඬුවම් විඳිමින් රිසිසේ මත්කුඩු ජාවාරමේ යෙදී ඇති බවට පොලිසිය මගින් හෙළිකළ ධර්මරාජා සුසේන්ද්‍රන් හෙවත් සුසෙයිගේ ආන්දෝලනාත්මක කුඩු කතාව කරළියට පැමිණ වැඩි දිනක් නැත. සුසෙයි පිළිබඳ කතා පුවතට යළි පණ ලැබෙන්නේ, රුපියල් කෝටි 125ක් වටිනා කුඩු කිලෝ 103ක් සමඟ කළුබෝවිලදී පොලිස් අත්අඩංගුවට පත් සුසෙයිගේ ගෝලයකු වන මොහොමඩ් මාහිර් නැමැත්තා ඇතුළු පවුලේ අය සුපිරි නිවාඩුවක් ගත කරන්නට පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ පිහිටි “ඉසිඹුව” නිවාඩු නිකේතනය වෙන් කිරීමේ සිද්ධියත් සමඟය. මේ සඳහා සුසෙයිගෙන් දුරකතන පණිවුඩය ලැබෙන්නේ එහි නිලධාරියකුටය. ඒ අනුව පසුගිය දෙසැම්බර් 31දාත් ජනවාරි 1දාත් දින දෙක මොහොමඩ් මාහිර් ඇතුළු පවුලේ අයට නිවාඩු නිකේතනය වෙන් කෙරෙන්නේය.

මේ පිළිබඳ සිද්ධිය පොලිසියට අනාවරණය කර ඇත්තේ මොහොමඩ් මාහිර් විසිනි. ඒ ඉකුත්දා රුපියල් කෝටි 125 කුඩු තොගය අල්ලාගත් අවස්ථාවේදීය. සුසෙයි - මාහිර් දෙදෙනා මීට පෙර 2013 වසරේදී මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගැනුණු අතර මාහිර් අධිකරණයේදී නිදහස් විය.

සුසෙයිගේ කුඩු ජාවාරමට සම්බන්ධ ගල්කිස්සේ ජාවාරමකු හා හිතවත්කම් පවත්වා ඇති මෙහි බන්ධනාගාර නිලධාරියා සුසෙයිගේ පණිවුඩයට අනුව යුහුසුළුව කටයුතු කළේ එබැවිනි. මේ පිළිබඳ සිද්ධිය හෙළිකර ගැනීමෙන් පසු බන්ධනාගාර අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කිරීමත් සමඟම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවද හෙල්ලී ගියේය. මහවැලි ගඟ අසබඩ මීදුමින් වැසීගිය කඳුගැටය මත ඉදිවූ මෙම සුන්දර නිවහනට කාගේත් ඇල්ම බැල්ම වැටෙන්නට වූයේ කලක සිටය. සිරකඳවුරක් තුළ පිහිටීම නිසාම මෙම නිවහන නීති විරෝධී ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ හිතවතුන්ට මෙන්ම දූෂිත බන්ධනාගාර නිලධාරීන්ටත්, රැකවරණය හා ආරක්ෂාව ඇති තරම් සලසා තිබීම ඔවුන්ට විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇති බව දන්නේ ටික දෙනෙකි.

ඒ නිසාම ජාවාරම්කරුවෝද හිරගෙදරක් තුළ සිටම තම ජාවාරම් කරගෙන යන්නට අතහිත දෙන දූෂිත නිලධාරීන්ට අත දිගහැර වියදම් කිරීමටද අමතක නොකරති. මොහොමඩ් මාහිර් මෙහි පැමිණිදා දූෂිත නිලධාරීන් සිව් දෙනකුට පහන් වනතෙක්ම “සුපිරි සාදයක්” සංවිධානය කර තිබිණැයිද සඳහන්ය. ඒ නිසාම මෙම නිවහන දූෂිත නිලධාරීන්ට “සුරබිදෙනක්” වූවාට සැක නැත. පල්ලේකැලේ එළිමහන් සිරකඳවුරේ නිලධාරී සංගමයේ ආධාරයෙන් “ඉසිඹුව නිවහන” සිරකරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිවූයේ 2016 වසරේදීය. මහනුවරට පැමිණෙන බන්ධනාගාර නිලධාරීන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට නිදහසේ නිවාඩුවක් ගත කරන්නට පහසු ස්ථානයක් සකස් කරදීමේ අරමුණින් ඉදිවූ මෙම නිවහන අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේත්, විවිධ අපරාධකරුවන්ගේත් තෝතැන්නක් වී ඇති බවට එහි නිලධාරීන්ම චෝදනා කරන්නේ නිකමට නොවේ.

මෙම තත්ත්වය යටතේ මෙම සිරකඳවුර අද වනවිට අනාරක්ෂිතව පවතින බවටත්, ඕනෑම අයකුට සිය අනන්‍යතාවයෙන් තොරව මෙහි ලැගුම් ගැනීමට ඇති ඉඩකඩත් අනුව උද්ගත වී ඇති අවදානම් තත්ත්වය ඉහළ නිලධාරීන්ගේ අවධානයට යොමු නොවීම පුදුමයට කරුණකි.

සුසෙයිලාගේ ගෝලයින්ට මෙහි දොරවල් ඇරෙන්නේද ඒ නිසාය. සියලු ගනුදෙනු ඊෂිකෑෂ් මගින් සිදුකරමින් දූෂිත නිලධාරීන්ගේ අතමිට සරුකරන මෙම නිවහනට දේශපාලන බලවතුන්ගේ ඉහළ නිලධාරීන් යයි කියන පුද්ගලයන් දෙදෙනකුම පැමිණ ඇති බවද දැනගන්නට ඇත.

යහමින් සප්පායම් වී යාමට ඉඩකඩ ඇති මෙම නිවහන වෙන් කෙරෙන්නේද විශේෂයෙන්ම ඉහළ නිලධාරීන්ට බවද බන්ධනාගාර පොඩ්ඩෝ පවසති. ඒ සඳහා බන්ධනාගාරයෙන් කෑමබීම නොමිලයේ සැපයීමද නිරන්තරව සිදුවන බවට චෝදනා නැගෙයි. මෙම නිවහනට නුදුරින් පිහිටා ඇත්තේ දුම්බර බන්ධනාගාරයයි.

එහි සිටි උසස් නිලධාරියකු වැඩ තහනමට ලක්ව සිටියදී එවකට බන්ධනාගාර අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකු සමඟ ඔහු මෙහිදී “සුපිරි සාදයක්” පවත්වා ඇති බවටද චෝදනා ඇත. එම වැඩ තහනම් නිලධාරියා මීට වසරකට පමණ පෙර මෙහි පැමිණ ඇත්තේ කිසිදු බන්ධනාගාර පරිශ්‍රයකට ඇතුළුවීම පවා තහනම් කර ඇති අවස්ථාවකය.

කෙසේ වෙතත් මේ වනවිට “ඉසිඹුව” නිවහන අයාලයේ යමින් පවතින බවට හතරවටින්ම චෝදනා ඇත. ඒ සුසෙයිලාගේ ගෝල බාලයන්ට මෙහි දොරටු ඕනෑම මොහොතක විවර වී ආකාරය දකින විටය. ඕනෑම ජාවාරම්කරුවකුට නිමේෂයකින් එහි කාමර හෝ මුලු නිවහනම වෙන්කර දීමට හැකියාව දූෂිත නිලධාරීන් සතුව ඇත්තේ මුදලේ බලය නිසාද?

සුසෙයි වැලිකඩ බන්ධනාගාරය තුළ පවා දූෂිත නිලධාරීන්ට ඇති තරම් සලකන බවටද චෝදනා ඇත. මුදලට ලොල් වූ දූෂිත නිලධාරීන් මෙම සිරකඳවුරට දැඩි තර්ජනයක් බව මෙම සිද්ධියෙන් හෙළිවුණත් ඒ පිළිබඳව සොයා බලන්නට හෝ කිසිදු සටහනක් නොමැති බවද දැනගන්නට ඇත. මේ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීම බන්ධනාගාර බුද්ධි අංශයට භාරදී කඩිනමින් ඒ පිළිබඳව වාර්තාවක් කැඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා කීවේ දින කිහිපයකට පෙරය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ශාන් ධනසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම නිවහන ඕනෑම පිටස්තර පුද්ගලයකුට වෙන්කරවා ගැනීමේ කිසිදු බාධාවක් නැති බවය. එහෙත්, සුසෙයිගේ පණිවුඩයකට අනුව ඔහුගේ ගෝලයකුට මෙම නිවහනේ පහසුකම් ලබාදෙන්නට හා එය වෙන්කර දෙන්නට නිලධාරියෙක් කටයුතු කර ඇද්ද යන්න සොයාබලන බවද ඔහු කීවේය. මේ වනවිට අදාළ පරීක්ෂණය සඳහා නිවාඩු නිකේතනයේ අමුත්තන් වෙන්කෙරෙන පොත්පත්, බිල්පත් ආදිය අධිකරණ අමාත්‍යංශය භාරයට ගෙන පොලිසිය ලබාදුන් තොරතුරු මත අදාළ පරීක්ෂණය අඛණ්ඩව සිදුකරගෙන යන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ සැකකටයුතු නිලධාරියකු පිළිබඳව අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය. ඔහු පසුගිය කාලය පුරාම ඇසුරු කළ ජාවාරම්කරුවන් පිළිබඳවත් ඔහුගේ වත්කම් පිළිබඳවත්, පොලිස් ඇස යොමුවී ඇති බවද සඳහන්ය.

►ජයන්ත සමරකෝන්