2018 ජුලි 07 වන සෙනසුරාදා

ආච්චි මරාගත් කටුගස්තොට කෙල්ලයි කොල්ලයි

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 354

තිදරු මවක වූ කාන්ති කුමාරි සෙනෙවිරත්න මහත්මියගේ දියණියන් තිදෙනා විවාහපත් වීමෙන් පසුව පදිංචි වී සිටියේ දුරබැහැර ප්‍රදේශවලය. මේ නිසා කටුගස්තොට, කහල්ල. හුංගන්තොට මහගෙදර තනිවම උන් කාන්ති මහත්මියගේ තනියට පොළොන්නරුවේ සිටින සිය වැඩිමහල් දියණියගේ දියණියක් ගෙන්වා ගත්තාය. ඇය ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කර ඉගැන්වීම් කටයුතු කරන්නට පියවර ගත් අතර එසේ කාලයක් ගෙවී ගියේය. පාසලක උසස් පෙළ පන්තියේ අධ්‍යාපනය ලබමින් සිටි කාන්ති මහත්මියගේ එම මිණිපිරිය දිනක් තම මිත්තණිය නිවසේ නැතැයි කියමින් හඬා වැළපෙන්නට වූවාය. ඒ ඉකුත් 26 වැනිදා පෙරවරු කාලයේදීය. දැරියගේ හැඬීම අසා එහි පැමිණි අසල්වැසියෝ රැසකි. දියණියගේ හඬා වැටීම අස්වසන්නට වූ ඔවුහු ඇගේ මිත්තණිය පිළිබඳ සොයන්නට උත්සාහ දැරූහ. ආගිය අතක් නොවූ කාන්ති මහත්මිය පිළිබඳව ඇගේ මිණිපිරියගෙන් ලබාගත් දුරකතන අංක ඔස්සේ ඥාතීන්ට දැනුම් දුන්නේ අසල්වැසි පිරිසය. එහිදී තොරතුරු ආරංචි වී ප්‍රථමයෙන් නිවසට පැමිණ තිබුණේ කාන්ති මහත්මියගේ නැගණියකගේ දියණිය වූ තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය පැමිණි පසුවත් කාන්ති මහත්මිය පිළිබඳ ආරංචියක් නොවූයෙන් ඇය ඒ පිළිබඳ පැමිණිලි කරන්නට කටුගස්තොට පොලීසිය වෙත ගියාය.

පැමිණිල්ල සටහන් තැබූ ඇය ඥාතීන් හා ගම්වාසීන් එක්ව අතුරුදන් වූ ඥාතිවරිය පිළිබඳ සොයමින් සිටින අතරතුර පොලීසියද ඇය සෙවීමේ විමර්ශනයක් අරඹා තිබුණි. ඒ අතර ආගිය අතක් නොවූ පුද්ගලයන් සොයාගැනීම සඳහා වන පොලිස් නිවේදන සමඟ ඡායාරූපයක්ද ප්‍රසිද්ධ කිරීමට පොලීසිය පියවර ගත්තේය. ඒ අතර යම්කිසි තොරතුරක් සොයාගැනීමේ අපේක්ෂාවෙන් කාන්ති මහත්මිය පදිංචි වී සිටි නිවෙසට යන එන මාර්ගය අසළ පිහිටි සී.සී.ටී.වී. කැමරා දර්ශන ද පොලීසියේ පිරික්සුමට ලක් විය.

පසුගිය 26 රාත්‍රී කාලයේදී අදාළ මාර්ගය ඔස්සේ පැමිණ යළිත් ගිය මෝටර් රථයක් සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ දැකගැනීමට හැකිව තිබුණි. ඒ හැර වෙනත් යමක් නොවූයෙන් අතුරුදන්ව සිටි කාන්තාව සමඟ කල් ගෙවූ මිණිපිරියගෙන් ප්‍රශ්න කර හෝඩුවාවක් සොයන්නට පොලීසිය ක්‍රියා කළේය. එසේ ඇගෙන් ප්‍රශ්න කළේ එක්වරක් පමණක් නොවේ. එය ප්‍රමාණයෙන් වාර හතරක් පමණය. මෙහිදී ඇයට පෙම්වතකු සිටින බවට අනාවරණය වූ නමුත් ඔහු පිළිබඳ වැඩි යමක් හාරා අවුස්සන්නට පොලීසිය තැත් කළේ නැත. ඒ කාරණය පසුවට තැබූ පොලීසිය අතුරුදන් කාන්තාවගේ මිණිපිරියගේ ෆේස්බුක් ගිණුමද රහසිගතව පරීක්ෂාවට ලක් කළේය. එහිදී ඇය හා පෙම්වතා අතර කිට්ටු ඇසුරක් පැවති බව හඳුනා ගැනීමෙන් අනතුරුව තරුණයා සොයා යන්නට පොලීසිය තීරණය කළේය. පෙම්වතා බව කී තරැණයාගේ ස්වරූපය සී.සී.ටී.වී. කැමරා දර්ශනවල ඇති රූපයට සමානය. මෝටර් රථයෙන් පැමිණෙන තරැණයා එක් තැනකදී ඉන් බිමට බසින අයුරැ දැක්වෙන අතර එහිදී තරුණයාගේ අතක පච්චයක් කොටා ඇති බව පෙනෙන්නට තිබිණ.

සැකකරුවකු හඳුනාගන්නට ප්‍රමාණවත් ප්‍රබල සාක්ෂියක් වන පච්චය පොලීසිය සොයාගිය තරුණයාගේ අතක ඒ අයුරින්ම සටහන්ව තිබුණි. මෙහිදී එම තරුණයාගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරද්දී ගැලවෙන්නට බැරි බව වටහා ගත් ඔහු “මමයි ආච්චි මැරැවේ.... මෝල් ගහෙන් ගහලා....” යැයි ප්‍රකාශ කළේය.

සැකකාර පෙම්වතාගේ පාපොච්චාරණය අනුව තරුණිය හා පෙම් සබඳතාවය ඇති කරගෙන මාස කීපයකි. මුහුණු පොත හරහා හුවමාරු කරගන්නා අදහස් අතුරින් දෙදෙනා එකඟතාවයට පැමිණ තිබුණේ තරුණිය රැඳී සිටින මිත්තණියගේ නිවෙසේ ඇයට අයත් කාමරයේ දෙදෙනා එක්ව රාත්‍රියක් ගත කිරීමටය. ගිවිසගත් පරිදි තරුණයා පෙම්වතියගේ නිවසට පැමිණ තිබුණේ පසුගිය 24 ඉරිදා සවස් යාමයේදීය. එදින රාත්‍රිය පුරාම එකට ගතකර තිබුණු දෙන්නා පසුදා අලුයම පිබිදී තිබුණේ ආච්චිට හොරෙන් තරුණයා ගෙදරින් පැනගන්නා සැලසුමක් ගැන සිතමිනි.

තරුණ පෙම්වතාගේ සැලසුම මුළුමනින්ම වෙනස් වන්නට ගතවූයේ නිමේෂයක් පමණි. කාමරයෙන් පිටත් වන්නට සූදානමින් සිටි තරුණයා හදිසියේ ආච්චිගේ නෙත ගැටීමත් සමඟ තිගැස්සී ගිය තරුණයා බියට පත්වන්නට ඇත. ඒ සමඟ ආච්චිගේ ප්‍රශ්න කිරීමත් දෝෂාරෝපණය කිරීමත් හමුවේ ප්‍රකෝප වූ තරුණයා ගෙයි මුල්ලේ තිබූ මෝල් ගසක් රැගෙන ආච්චිට වැරෙන් පහරක් එල්ල කර තිබිණි. අධි වේගයෙන් වැදුණු මෝල් ගස් පහරින් ඇද වැටුණු ඇයගේ ප්‍රාණය නිරුද්ධ වන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත.

මෝල් ගස් පහරින් තුවාල ලැබූ ආච්චිගේ සිරුරෙන් ලේ ගලා ගෙබිම තෙත් වෙද්දී පෙම්යුවළ කල්පනා කරමින් සිටියේ මළසිරුර හංගා අපරාධය වසන්කර දමන ක්‍රමයක් ගැනය.

ටික වේලාවක් කල්පනා කළ යුවළ ප්‍රථමයෙන් ආච්චිගේ මළසිරුර ඇඳක් යටට දමා සඟවා ගෙබිම වූ ලේ පැල්ලම් සෝදා දැමූහ. දෙදෙනාම අත මුදලක් නොවූයෙන් තවත් සැලසුමක් දියත් කෙරිණි. ආච්චි සතු කනකර ආභරණ සියල්ල ගලවා ගත් දෙන්නා ඒවා රැගෙන නගරයේ උකස් මධ්‍යස්ථානයක් වෙත ගොස් මුදල් ලබාගත්හ. අනතුරුව තරුණයා තම මිත්‍රයකු හමුවීමට ගොස් මිතුරා ඇපයට තබා කුලියට වාහන සපයන ආයතනයකින් මෝටර් රථයක් ලබාගෙන තිබුණේ දඹුල්ල ප්‍රදේශයට සංචාරය කිරීමට අවශ්‍ය බව දන්වමිනි.

මෙසේ දිනය නිමා වී රාත්‍රිය එළැඹෙද්දී තරුණයා මෝටර් රථය රැගෙන පෙම්වතියගේ මිත්තණියට අයත් නිවෙසට එමින් සිටියේය. කටුගස්තොට වත්තේගම මාර්ගයෙන් කහල්ලට හැරෙන අතුරු මාර්ගය පටුය. රථය එහි ගමන් කරමින් තිබියදී එක් රෝදයක් මාර්ගයෙන් පිටතට වැටීම නිසා රථය යළි ගොඩ ගැනීමට තරුණයා බිමට බැස තිබුණි. ඒ අවස්ථාවේ අසල්වැසි තරුණයන් දෙදෙනෙක් ඔහුගේ සහායට එක්ව තිබූ අතර එම අවස්ථාව අසල්වැසි නිවසක සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණි. පසුව නිවෙස කිට්ටුවදී රථයේ අංක තහඩුව ගලවා දැමූ තරුණයා ඝාතනය කළ ආච්චිගේ සිරුර රෙදිකඩකින් ඔතා දමා මෝටර් රථයට පටවාගෙන පෙම්වතියත් මෝටර් රථයට නංවාගෙන යන අතරමගදී යළිත් වරක් වාහනය නවතා අංක තහඩුව සවිකර ගැනීමට කටයුතු කර තිබිණි.

26 වැනිදා මධ්‍යම රාත්‍රියේ බියක් සැකයක් නොමැතිව තමුන් විසින් ඝාතනය කළ ආච්චිගේ සිරුර රැගෙන මහනුවර නගරය හරහා හන්තාන ප්‍රදේශයට ඔහු රිය ධාවනය කළේය. හන්තාන පාරේ කිලෝමීටර් 20කට වැඩිදුරක් ගිය මෝටර් රිය උඩුවෙල කැළේ කිතුල්මුල්ල ප්‍රදේශයට ළඟා වී තිබුණි. එහි මිනිස් වාසයක් නොවුණු ස්ථානයකදී මාර්ගයෙන් පහළ ප්‍රපාතයකට අතහැරිය මළසිරුර මඟ රැඳෙනවා දුටු තරුණයා යළිත් වරක් එතැනට බැස මළසිරුර ප්‍රපාතයට වැටීමට සලස්වා තිබුණි.

දවස පුරා හිතේ වූ බරපතළ කරදරය සහමුලින්ම අවසන් වූ බව සිතමින් පෙම් යුවළ යළි මහනුවර නගරය දෙසට පැමිණියේ කිසිවක් නොවූ පරිදිය. එන මග අතරතුරදී මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම අසලින් ගලන ඇළ මාර්ගයකට ලේ වැකුණු ඇඳුම් විසිකර දැමූ අතර ආච්චි ඝාතනය කළ අවස්ථාවේ තරුණයාගේ හා තරුණියගේ ඇඳුම්වල ගෑවුණු ලේ පැල්ලම් සහිත ඇඳුම් එසේ විසි කර තිබිණි.

තරුණ පෙම්යුවළ ආච්චිගේ ඝාතන සිදුවීම එතැනින් අමතක කොට දමා රාත්‍රිය පහන් කර තිබුණේද මෝටර් රථය තුළමය. කාන්තාවක අතුරුදන්ව ඇතැයි කටුගස්තොට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් අනුව සැකපිට ඉහත කී තරුණ පෙම්වතුන් දෙපළගෙන් වෙන වෙනම ප්‍රශ්නකර අවසානයේ හෙළිකරගත් තොරතුරු මත කාන්ති කුමාරි සෙනෙවිරත්න (67) මාතාවගේ ඝාතනය පිළිබඳ එම තොරතුරු අනාවරණය කර ගැණින. ඒ අනුව ඝාතනය කරන ලද මිත්තණියගේ 17 හැවිරිදි මිනිපිරිය හා ඇගේ 18 හැවිරිදි පෙම්වතා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

අපරාධ සිදුකළ තරුණ යුවළ ප්‍රදේශයේ පාසල් දෙකක අධ්‍යාපනය ලබන දෙදෙනෙකි. සිද්ධිය පිළිබඳව මධ්‍යම පළාත් බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායක මහතාගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර, සහකාර පොලිස් අධිකාරී (2) කීර්ති රණවීර කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත සමරකෝන්, අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.ජී.එස්. බණ්ඩාර ඇතුළු පිරිසක් වැඩිදුර විමර්ශන සිදුකරති.

►විල්තෙර