2018 ජුලි 07 වන සෙනසුරාදා

තලාවේ “ද ග්‍රේට් බෑන්ක් රොබරි”

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 395

තලාව අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ තලාව බස්නැවතුම ඉදිරිපිට පිහිටි රාජ්‍ය බැංකුවකි. එකකට එකක් යාබදව දෙපසට වන්නට තවත් වෙළඳ ව්‍යාපාර කීපයක් පිහිටි ගොඩනැගිල්ලේ ඉදිරිපස මාර්ගයට යාබදව පොලිස් මුරපොළකි. බැංකුව ඉදිරිපිට තත්ත්වය එසේ නමුත් පසුපස භූමිය මායිම් වී තිබුණේ තලාව වැවේ වාන් ඇළ මාර්ගයටය. ඊට ඔබ්බෙන් දුම්රිය මාර්ගය පමණක් පිහිටා ඇත්තේ සෙසු පරිසරයට පාළු හුදකලා බවක් එක්කරමිනි.

ගිය මාසයේ අවසන් සතියේ 29 වැනි සිකුරාදා පස්වරුව වෙද්දී අදාළ මාසයට අයත් සියලු බැංකු ගනුදෙනු සහ ගිණුම් තැබීම් අවසන්ව තිබුණි. සුපුරුදු ලෙසින් බැංකුවෙන් පිටත් වූ කළමනාකාරවරයා බැංකුව සතු සියලු සේප්පු සහ දොර අගුළු දමා එහි යතුරු සියල්ල තලාව පොලීසිය බාරයට පත්කර පිටව ගියේය. සෑම සති අන්තයකදීම වසා දැමෙන බැංකු පරිශ්‍රයට සඳුදා පෙරවරුව වනතෙක් යළිත් කිසිකෙනෙක් පැමිණෙන්නේ නැත.

ගනුදෙනු සඳහා බැංකුව යළි විවෘත කිරීමට පොලීසිය බාරයේ ඇති ඉබියතුරු රැගෙන ඒම කළමනාකාරවරයාගේ වගකීමය. ඔහු ඉකුත් සඳුදා උදෑසන පොලීසියෙන් යතුරු රැගෙන ගොස් බැංකුව විවෘත  කළේය. සාමාන්‍ය දිනකදී නොපෙනෙන වෙනස්කමක් හා අපිළිවෙළක් බැංකු පරිශ්‍රය වෙලාගෙනය. මොහොතක නිරීක්ෂණයෙන් පෙනී ගොස් තිබුණේ පසුපස දොරෙන් ඇතුළු වූ කෙනෙක් හෝ පිරිසක් විසින් බැංකුව කොල්ල කා පළාගොස් ඇති බවකි. ඒ මොහොත වනවිට බැංකු කාර්ය මණ්ඩලයේ කීප දෙනකුද බැංකුව වෙත පැමිණ සිට ඇත. ඔවුන් හා එක්වූ කළමනාකාරවරයා වහාම සිදුවීම පිළිබඳව තලාව පොලීසිය වෙත දැන්නුවේය. බැංකු පරිශ්‍රයට මීටර් කීපයක් එපිටින් පොලිස් මුරපොළක් පිහිටා තිබියදී බැංකුව කොල්ලකෑම කාටත් පුදුමයකි. එහෙත් කොල්ලය පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදුකරන්නට තලාව පොලීසිය පියවර ගනිමින් සිටියේය.

බැංකු කළමනාකාරවරයාගේ තොරතුරු මත විමර්ශන ඇරඹූ පොලීසිය අනාවරණය කරගත්තේ තලාව ලංකා බැංකුව කඩා රුපියල් නවකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා මුදල් හා ස්වර්ණාභරණ සොරාගෙන ඇති බවය. මෙය ඉතිහාසයේ වාර්තා වූ විශාලතම බැංකු මංකොල්ලය වශයෙන් හඳුනා ගද්දී පොලීසිය පැහැදිලි නිගමනයකට පැමිණ තිබුණේ රුපියල් 7,80,00,000ක් වටිනා ස්වර්ණාභරණ කිලෝග්‍රෑම් 22 ග්‍රෑම් 806ක් සමඟ මුදලින් රුපියල් 1,70,00000ක් සොරාගෙන ඇති බවය. අවසන් වරට බැංකුව වසා දැමුණු 29 වැනිදායින් පසුව 30 හා 01 දින දෙක සෙනසුරාදා සහ ඉරිදා බැවින් 29 වැනිදා පස්වරු 6.40ත් 02 දින පෙරවරු 7ත් අතර කාලයේ කොල්ලය සිදුව ඇති බව පැහැදිලිය. පළමුව එතැනට ගිය පොලිස් නිලධාරීහු කොල්ලකරුවන්ගේ යම්කිසි සාක්ෂියක් පිළිබඳව විමසිලිමත් වූහ. එහිදී තරමක රෙදි කැබැල්ලක් සමඟ ස්කුරුප්පු නියනක් පමණක් හමුවී තිබුණි.

මෙහිදී අනුරාධපුර පොලීසියට අනුයුක්තව සේවයේ යොදවා සිටින නිල සුනඛ “හීරෝ” රැගෙන විත් පෙර කී භාණ්ඩ දෙකේ ඉව ලබාදීමෙන් අනතුරුව හීරෝ ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ ඉඩමක ඇති පාළු නිවසක් වෙතට ගමන් කළ අතර යළිත් අනුරාධපුර - තලාව මාර්ගයට පැමිණි නැවතී තිබුණි. මේ අනුව පොලීසිය විශ්වාස කළේ බැංකු කොල්ලයට පැමිණි පිරිසක් මුදල් හා ස්වර්ණාභරණ රැගෙන පණ යද්දී එම පාළු නිවසේ රැඳී සිට යන්නට ඇති බවය. ඒ හැර කොල්ලකරුවන් පිළිබඳ තොරතුරක් හෙළි නොවුණු විට බැංකු කාර්ය මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සහ අසල්වැසි ව්‍යාපාර හිමිකරුවන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගන්නට පොලිසිය පියවර ගෙන තිබුණි.

කොල්ලය සිදුවූ ස්ථානය අනුව කොල්ලකරුවන් පැමිණ ඇත්තේ බැංකුවේ පසුපස දොර කොටසක් කපා දමා ඇතුළතින් වූ යකඩ දොර බිඳ බැංකු පරිශ්‍රයට ඇතුළුවීමෙනි. එහි ඇතුළු වූ වහාම පිරිස සිදුකර තිබුණේ බැංකුවේ ආරක්ෂිත නළා පද්ධතිය පොලීසියට සම්බන්ධ කර ඇති සබඳතාවය අවහිර කිරීමය. ඒත් සමඟ ආරක්ෂිත සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ගලවා එහි දත්ත ගබඩා පද්ධතිය ගැනීමටද බැංකුව සතු වයිෆයි සිග්නල් පද්ධතිය ඉවත් කිරීමටද පියවර ගෙන තිබුණි. අනතුරුව කොල්ලකරුවන් සිදුකර ඇත්තේ ඔවුන් රැගෙන ගිය ගෑස් කටර් භාවිතයෙන් මුදල් හා රන් ආභරණ අසුරා තිබූ ආරක්ෂිත සේප්පු කැපීමය. ඒ හැර අසල වූ කාමරයක බැංකුවේ ආරක්ෂක නිලධාරීන් සතු ගිනි අවි ගබඩාකර තිබුණද ඒ වෙත කිසිදු හානියක් කර නොතිබුණි. ඒවා පැහැර ගැනීමට උත්සාහ කළ වගක්ද පෙනෙන්නට නොවීය. බැංකුවට නිවාඩු දින දෙකක් එකට යෙදී තිබූ බැවින් කොල්ලකරුවන් අදාළ දින දෙකම හෝ දින දෙකේම රාත්‍රිය සහ අළුයම් කාලය කොල්ලය සඳහා යොදාගන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

ඒ වනවිටත් සොරුන් පිළිබඳ හෝඩුවාවක් නොමැති වීමෙන් ලද එකම සාක්ෂිය වූ රෙදිකඩ හා ස්කුරුප්පු නියන නිල සුනඛ හීරෝට ඉව කිරීමට සලස්වා හීරෝගේ මෙහෙය අපේක්ෂා කළද එය එතරම් සාර්ථක නොවීය. කෙසේ වෙතත් පොලීසියට පැහැදිලි වී තිබුණේ මීට වසර එකහමාරකට පමණ ඉහතදී අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයක් මේ අයුරින්ම ආරක්ෂිත සේප්පු කපා විවෘත කර කොල්ලකෑම මේ සිද්ධිය සමාන බවය.

මේ කොල්ල කල්ලිය මුදල් හා රන් ආභරණ සොරාගත් පසුව බැංකුවේ විවිධ ලේඛන අසුරා තිබූ ගෝනි හිස්කර මුදල් හා ස්වර්ණාභරණ ඒ තුළ අසුරාගෙන පලාගිය බව පෙනෙන්නට විය. කොල්ල කල්ලිය ඔවුන් හඳුනා නොගැනීමට වන සියලු උපක්‍රමයන් භාවිතාකර ඇති බවක් පෙනෙන්නට තිබීම විශේෂිතය. 29 වැනිදා පස්වරුවේ බැංකුව වසා දැමුණු පසුව නිවාඩු දින දෙකේදී බැංකුවේ ආරක්ෂක නිලධාරීන් රැඳී සිට නැත. ඒ අනුව පැහැදිලි කරුණ වන්නේ එම දින දෙකේදී බැංකුව අනාරක්ෂිතව පැවති බවය. එවැනි දිනයක කොල්ලය සිදුවීම සැකසහිතය. කොල්ලකරුවන් මේ තත්ත්වය පිළිබඳ දැනගත්තේ කාගෙන්ද? ඔවුනට වෙනත් පාර්ශ්වයක් මගින් තොරතුරු සන්නිවේදනය කළේද යන්න ගැටලුවකි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදුවූ විශාලතම මුදල් කොල්ලය පිළිබඳව විමර්ශනයට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායම් අටක් යොදවා ඇති අතර ඊට බුද්ධි අංශ නිලධාරින් කණ්ඩායමක්ද ඇතුළත්ය. පොලිස්පති නියමයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරති.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන සහ උතුරුමැද පළාත බාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත මහත්වරුන්ගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස බාර පොලිස් අධිකාරි තිලින හේවාපතිරණ, තඹුත්තේගම සහකාර පොලිස් අධිකාරි අනුර ද සිල්වා තලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව බංඩාර ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශනය පවත්වති.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00