2018 ජුලි 07 වන සෙනසුරාදා

ලෙඩ්ඩුන්ට කලින් ආයුර්වේදයට බෙහෙත් ඕනෑ

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 261

ආයුෂ පවත්වාගෙන යාමේ විද්‍යාව යනු ආයුර්වේදය යන්නෙහි අදහසයි. මෙම වෛද්‍ය ක්‍රමය සැකසෙන්නේ නිරාවරණය යන්න පදනම් කරගෙන වන අතර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ප්‍රතිකාර ක්‍රම මෙන්ම ඇවැතුම් පැවැතුම් ක්‍රම හා වත්පිළිවෙත්ද පවතී. හුදෙක් රෝගයකට ප්‍රතිකාර කිරීමට වඩා රෝගයන්ට ගොදුරු නොවන ආකාරයෙන් කායික හා මානසික යන අංශ දෙකෙන්ම සුවදායී සෞඛ්‍යමත් ජීවිතයක් පවත්වාගෙන යාම ආයුර්වේදය මගින් අදහස් කෙරේ. කරුණු කාරණා එබඳු වුවත් මෙරට ආයුර්වේදයේ නියැලෙන්නන්ට සිදුව ඇත්තේ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළියම් සොයා යෑමටය.

අද ආණ්ඩුව ආයුර්වේදය යන වදනේ සැබෑ අරුතින් වැඩ ගන්නේ නම් එහි නියැලෙන්නන්ට සිය ඉල්ලීම් ඉල්ලා යෑමට සිදු නොවේ. වත්මනෙහි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් ජනතාවට සෙතක් නොවන්නා සේම ආයුර්වේද වෛද්‍යවරුන්ටද කිසිදු සෙතක් නොවනා තත්ත්වයක් උදා වී ඇත.

රාජකාරි බාධක දීමනා, කැඳවීමේ දීමනා, පරිපාලන දීමනා සහ ප්‍රවාහන දීමනා යන කිසිවක් වසර ගණනක් මුළුල්ලේ සිට මොවුනට ලබාදී නැත. රජය මීට අදාළව මෙතෙක් මූලික වැඩකටයුතු හෝ කර නැති අතර මේ නිසාවෙන් ප්‍රජා සෞඛ්‍ය සේවාවල නිරත වෛද්‍යවරු දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.

මීට අමතරව ආයුර්වේද රෝහල් තුළ පැය 24ක කාලයක් තමන් සේවය කළද ආයුර්වේද වෛද්‍යවරයකුට වැටුප ලෙස හිමිවන්නේ පැය 08කට නියමිත වැටුපක් බවද ඔවුහු පෙන්වා දෙති. රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන්ට මේ සියලු දීමනා ලැබේ. නමුත් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන්ට තවමත් ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය.

මේ වනවිට රටපුරා ආයුර්වේද වෛද්‍යවරු 2500කට වැඩි පිරිසක් වෙති. වත්මන වනවිට ආසන්න වශයෙන් වසරකට උපාධිය ලබාගන්නා ආයුර්වේද වෛද්‍යවරු 250-300ක් පමණ සිටිති. එහෙත් වසරින් වසර ආයුර්වේද වෛද්‍යවරුන් සේවයට බඳවා ගැනීමේ ක්‍රියා පටිපාටියක් රජය සතුව නොමැතිකම ඔවුන්ට බලපාන තවත් මූලික ගැටලුවකි. 2016 වසරේ සීමිත ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසක් රාජ්‍යය සේවයට එක්කරගෙන ඇති අතර නැවත වරක් 600ක පමණ ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසකට පත්වීම් ලබාදී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදීය.

සමස්තයක් ලෙස රටේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන 604ක් පමණ ඇත. මෙම ප්‍රමාණයෙන් රෝහල් හයක් මධ්‍යම රජය යටතේ පාලනය වේ. පළාත් සභා මගින් පාලනය වෙන රෝහල් සංඛ්‍යාව 48කි. මීට අමතරව පළාත් සභා මගින් පාලනය වන මධ්‍යම බෙහෙත් ශාලාද 250ක් පවතී. තවද පළාත් පාලන ආයතන මගින් පාලනය කරන නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාද 350කි. එකිනෙක ආයතන මේවා බෙදාගත්තද එහි නිසි ප්‍රමිතියක් නොමැතිකමින් මේ තත්ත්වය උදාවී ඇති බවට පවසන්නේද ආයුර්වේද වෛද්‍යවරුන්මය.

ආයුර්වේද වෛද්‍යවරුන්ට බලපා තිබෙන ගැටලු සම්බන්ධව දැනගැනීමට රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් පී. හේවාගමගේ මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“රාජ්‍ය සේවය තුළ දැනට ආයුර්වේද සෞඛ්‍යමය සේවාව විශාල කාර්යභාරයක් සිදුකරනවා. ඒ වගේම රටපුරා ආයුර්වේද වෛද්‍යවරුන් 2500ක් විතර සේවයේ යෙදිලා ඉන්නවා. අපි ඉතාම අඩු පහසුකම් යටතේ තමයි සේවය කරන්නේ. ඒ වගේම තමයි ඒකේ තියෙන ප්‍රශ්න කිහිපයක් අපිට මේ වෙනකොට දැනෙමින් පවතිනවා. එකක් තමයි 6/2006 චක්‍රලේඛයට අනුව රජය විසින් නියෝග කරලා තිබුණු දීප ව්‍යාප්ත ලෙස මේ නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඕන කියලා වසර ගණනක් කිව්වත් අවසාන ප්‍රතිඵලයක් තාමත් අපිට ලැබිලා නැහැ. ඒ වගේම තමයි අපිට කිසිදු විශේෂ දීමනාවක් හමුවෙන්නේ නැහැ. ප්‍රවාහන දීමනාවක් නැහැ. රාජකාරි කැඳවීමේ දීමනාවක් නැහැ. අනෙකුත් නිලධාරීන්ට මේ පහසුකම් සියල්ල ලැබුණත් අපිට තවමත් ලැබිලා නැහැ. මේ නිසා රටපුරාම ඉන්න ආයුර්වේද වෛද්‍යවරුන් බොහොම කනස්සල්ලෙන් ඉන්නේ. මේ වගේ අපේ ක්ෂේත්‍රයේ දිගින් දිගටම පැන නගින ප්‍රශ්න නිසා ආයුර්වේද වෛද්‍ය සේවාව ඉදිරියට ගෙනඒමේ ගැටලු මතු වී තිබෙනවා. ඒ නිසා අපි මේ පිළිබඳව විෂයභාර ඇමැතිතුමාට දන්වා තිබෙනවා අපේ සංවිධාන ව්‍යුහය වෙනස් කරන්න කියලා දැනට මාස 3කට විතර කලින්. ඒත් ඒකට තවමත් විසඳුමක් නැහැ. ඒ නිසා මේකට කඩිනමින් විසඳුමක් ලැබෙනවා නම් හොඳයි.

♦ හසිත් අංජන