2018 ජුනි 30 වන සෙනසුරාදා

ප්‍රශ්න හතර

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

1. රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට වසරකට රුපියල් බිලියන 450ක් වැයවන බවත් ආකාර්යක්ෂම රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් හඳුන්වා දීමේදී ඒවා කඩාකප්පල් නොකරන ලෙසත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසූවා. ඇත්තටම රාජ්‍ය ආයතනවලින් වැඩක් නොගැනීමට තරම් ආණ්ඩුව දුර්වලද?

2. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡන්ම දිනය නිමිත්තෙන් පැවැති ආගමික උළෙලේ දී අස්ගිරි අනුනායකහිමියන් හිට්ලර් වැනි නායකයෙකු අද රටට අවශ්‍යය යනුවෙන් කළ ප්‍රකාශය ගැන මේ වනවිට රටේ කතිකාවක් ඇතිවෙලා තියෙනවා. ඇත්තටම එවැනි පාලනයක් රටට අවශ්‍යයි ද?

3. යුද්ධය නිමාවීමෙන් පසුව උතුරෙන් හමුවුණු ලොකුම අවි ආයුධ තොගය පසුගියදා මුලතිව් ප්‍රදේශයේ දී සොයාගත්තා. මේක ප්‍රවාහනය කරලා තිබුණේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක්. අනාගත ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙය කොතරම්දුරට බලපාන සාධකයක් වෙයිද?

4. පසුගිය සතියේ රජය දේශීය ව්‍යවසායකයින්ට සහන පොලියක් යටතේ රාජ්‍ය බැංකු මගින් ණය ලබාදීමට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහ ගමේ සංවර්ධනය වෙනුවෙන් ගම් පෙරළිය නමින් ව්‍යාපෘති හඳුන්වා දුන්නා. මෙවැනි වැඩපිළිවෙළවල් හඳුන්වාදීමට ආණ්ඩුවට මෙච්චර කාලයක් ගතවුණේ ඇයි?

බෝඩිංකාරයන්ට නායකත්වයට එන්න බැහැ

එජාප මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ

1. ඉතා පැහැදිලිවම අපේ ආණ්ඩුවට රාජ්‍ය ආයතන ගැන ලොකු පැහැදීමක් තියනවා. ඒ වගේම ජනතාවගේ බදු මුදලින් හෝ ලෝකෙට ණයකරුවන් වෙලා ජනතාව ලබාගන්නා මුදලින් තමයි මේ රාජ්‍ය ආයතන නඩත්තු වෙන්නේ කියන විශ්වාසයේ අපි තරයේම ඉන්නවා. ඒ නිසා උපරිම ශක්ති ප්‍රමාණයෙන් රාජ්‍ය ආයතන හරහා ජනතාවට සුබසාධනය ලබාදීම තමයි රජයේ පිළිවෙත හා ප්‍රතිපත්තිය.

2. රටට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ජීව ගුණයෙන් පරිපූර්ණ රටේ බෝඩිංකාරයෙකු නොවී රට මගේය, සියලු ජනතාව මගේය යනුවෙන් සිතන මහජන මුදල් තඹ දොයිතුවක්වත් පිල්ලි නොගසන දූෂණයෙන් භීෂණයෙන් තොරව රටේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ උරුම කරදෙන ප්‍රජාත්‍රන්තවාදී නායකයෙක්.

3. මේ සිදුවීම පිළිබඳව අනිවාර්යයෙන් සොයා බැලිය යුතුයි. සමහර විට මොවුන් මේ ආයුධ ප්‍රවාහනය කළේ පාතාල කල්ලි සාමාජිකයන්ට අලෙවිකරන්න වෙන්න පුළුවන්. පිටරටවලට යවන්න වෙන්න පුළුවන්. නැවතත් සන්නද්ධ කණ්ඩායමකට නැගීමට පුහුණුව දීමට වෙන්න පුළුවන්. මේ සියලු කාරණා සොයලා බලන්න ඕන. ඒ හේතු ඉක්මනින් සොයාගත යුතුයි. එහෙම නැතුව එක කාරණයක් සම්බන්ධව තීන්දු කරන එක වැරදියි.

4. දැන් සංවර්ධන වැඩ කටයුතු කරගෙන යද්දී අලුත් අලුත් සංකල්ප ඉදිරිපත් වෙනවා. ඒ වගේම අපේ රජය සෑම ග්‍රාමසේවා වසමක්ම සංවර්ධනය කිරීම සඳහා මුදල් ලබාදී තිබෙනවා. මේ වගේ නිර්මාණශීලී වැඩපිළිවෙළවල් නිසා තමයි සඵලදායි දේවල් සමාජගත වෙන්නේ. ඉතින් මෙම වැඩපිළිවෙළවල් අසුබදායි විදියට බලන්නේ නැතුව සුභදායි විදියට බලන්න කියලා තමයි කියන්නේ.

 

හාමුදුරුවන්ගේ ප්‍රකාශය අල්ලාගෙන ආණ්ඩුව රටට විහිළු සපයනවා

ඒකාබද්ධ විපක්ෂ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල

1. අවුරුදු තුනහමාරකට පස්සේ මේ නැවත වරක් ප්‍රකාශ කරන්නේ මොවුන්ගේ නොහැකියාව. මොකද ආණ්ඩුව පත්වෙලා තියෙන්නේ මේ රටේ ප්‍රධානම දේශපාලන පක්ෂ දෙක එකතුවෙලා. එහෙම වුණාම විපක්ෂයෙන් එල්ල වෙන්න තියන බලපෑම අඩුයි. ඒ වුණාට මේ රජය දැන් ජනතාවට තිත්ත වෙලා තියෙන්නේ. ඔය මොන දේ කරත් තවදුරටත් රටේ ජනතාව රවට්ටන්න බැහැ කියන එක තමයි ඕකට දෙන්න තියන කෙටි උත්තරේ. රාජ්‍ය ආයතන වැඩ කරන හැටි කවුරැත් දන්නවානේ.

2. මුලින්ම කියන්න ඕන මේකේ ප්‍රශ්නේ තියෙන්නේ තේරුම් ගැනීමේ හැකියාවක්. රටේ තියන ප්‍රශ්නවලට ගන්න ඕන උදාහරණයක් තමයි එහිදී උන්වහන්සේ පැවසුවේ. හැබැයි ඒ උදාහරණේ හරිද වැරදිද, ඒ ප්‍රකාශය මොකද්ද කියලා බුද්ධියෙන් තීරණය කළ යුතුයි. ඒ වගේම මේ රජයෙන් සිදුකළ ලොකුම හොරකම ඔප්පුවෙලා තියන මොහොතක ස්වාමීන් වහන්සේ කරපු එම ප්‍රකාශය අල්ලාගෙන මොවුන් දැන් රටට විහිලු සපයන තැනකට පත්වෙලා ඉන්නවා.

3. බොහොම පැහැදිලියිනේ, ලෝකයේ ත්‍රස්තවාදය මර්දනය කළාට පසුව ඒ පාලන කාලය තුළ කිසිදු සිදුවීමක් සිදුනොවුණු එකම කාලය තමයි 2009 ඉඳන් 2015 ජනවාරි 08 වැනිදා දක්වා වූ කාලය. අපේ රජය යටතේ තිබුණු සැලසුම් එක්ක අපි ඒ කටයුතු සිදුකළේ. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ ඒක වෙනස් වුණා. බටහිර රටවලට විවිධ පොරොන්දු දුන්නා. ඒ පොරොන්දුවල ප්‍රතිඵල අපි දකිනවා. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි දේ සිදුවීම දකින්නට පුළුවන්. ඉදිරියේදී  ඔයිට වඩා බලපාන ප්‍රතිඵල එන්න පුළුවන්. ජනතාව ඉක්මනින්ම තීන්දුවක් අරගෙන කටයුතු නොකළොත්.

4. නැහැ, මීට කලිනුත් ඔය වගේ දේවල් හඳුන්වා දුන්නනේ. දින සීයේ වැඩසටහනම බලන්නකෝ. එතන ඉඳන් මේ රජය කරන ව්‍යාපෘතිවල ලස්සන නම් විතරයිනේ තිබුණේ. නමුත් වැඩසටහන් ක්‍රියාත්මක වුණේ නැහැ. අපි හිතන්නේ නෑ තවදුරටත් මේ මොන දේ නම් එක්කළත් ජනතාව පිළිගනියි කියලා.

 

ඒකාධිපතියන්ට අපේ රට භාරදෙන්න පුළුවන්ද?

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී - බිමල් රත්නායක

1. අපේ රටේ රාජ්‍යය පාලනයේ තියන ලොකු ප්‍රශ්නයක් තමයි මේ රාජ්‍යය ආයතනවල අතිවිශාල උගතුන් ප්‍රමාණයක් සිටියදී අකාර්යක්ෂම වෙලා තියන එක, දූෂිතවෙලා කියන එක සහ ජනතාවට අවශ්‍යය සේවය නොදෙන එක. ඉතින් මේ ආයතන මේ වගේ තත්ත්වයකට වැටිලා තියෙන්නේ වැඩ බැරි දූෂණ චෝදනා තියන දේශපාලකයන් නිසා. දැන් අවුරුදු 40ක් තිස්සේම තියෙන්නේ ඔය තත්ත්වය තමයි.

2. කිසිසේත්ම එවැනි පාලනයක් රටට අවශ්‍යය නැහැ. ඒ වගේම ඒකාධිපතියන්ටත් අපේ රටේ ඉන්න බැහැ. දැන් උදාහරණ විදිහට අවුරුදු දොළහක් ඉන්න ආපු ජේ.ආර්. අවුරුදු 11න් ගියා. චන්ද්‍රිකා අවුරුදු 12ක් ඉන්න ඇවිත් 10න් ගියා. යුද්දෙකුත් ඉවරකරගෙන රාජපක්ෂ ආවා අවුරුදු හතළිහක් විතර ඉන්න බලන් නමුත් අවුරුදු 09න් ගියා. මේ වගේ දූෂිත පාලකයෝ අපේ රට පිළිගන්නේ නැහැ. ඒනිසා අපිට කියන්න තියෙන්නේ රජ්ජුරුවෝ අවුරුදු 09න් යවපු රටකට රජ්ජුරුවන්ගේ දොරටු පාලකයා යවන එක එච්චර අමාරු නැහැ.

3. අපි දන්න දේ තමයි උතුරු පළාත තුළ LTTE සංවිධානයට නැවත නැගී සිටින්නට තිබෙන දේශපාලන ඉඩකඩ බෙහෙවින්ම අඩුයි කියන එක. ඒ වගේම තමයි දැන් ඔය මුලතිව්වල අහුවුණාට වඩා ආයුධ අහුවෙනවනේ දකුණේ. ඒ නිසා මේ ආයුධ ප්‍රවාහනය කළේ දකුණ පාතාලයට දෙන්න ද වෙනත් දේකට ද කියලා සොයාබැලිය යුතුයි. නැවත උතුරේ සන්නද්ධ කල්ලියකට හිස එසවීමට අමාරුයි. ඒ වගේම මේ ආයුධ අත්අඩංගුවට ගන්න ලැබීම බොහෝම හොඳ ක්‍රියාවක්. සමහර දකුණේ ඉන්න දේශපාලකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ උතුරු ප්‍රදේශයේ බෝම්බයක් දෙකක් පිපිරෙනවට. ඒක ඔවුන්ට දේශපාලනයට වාසියට ගන්න පුළුවන්. ඒ නිසා ආරක්ෂක අංශ ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතුයි.

4. මේ රටේ ඔවැනි සහන ක්‍රම හැදුවා, ලංකා පුත්‍ර කියලා බැංකු හැදුවා. ඒවායේ එක එක දේවල් කළා. නමුත් මේවා රටේ නිෂ්පාදනය වැඩි කරන්න, රටේ කර්මාන්තවල ශක්තිය වැඩි කරන්න උදව් වුණේ නැහැ. සමහර වෙලාවට වුණේ ඔය රාජ්‍යය බැංකුවල සහ රජයේ බදු මුදල් විශාල වශයෙන් බෙදලා දීලා විනාශ වීමයි. ඕනම නම් ව්‍යාපාරිකයෝ දහයක් දොළහක් සාර්ථක වෙලා ඇති. ඒ නිසා ඔය අණබෙර ගහලා කරන වැඩ ගැන අපිට කිසි විශ්වාසයක් නැහැ.

 

ගත්ත ණය ගෙවාගෙන මෙහෙම හරි කරන එක නරකද?

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී - එම්.එච්.එම්. සල්මාන්

1. ජනතාවට අත්‍යශ්‍යම වෙන රාජ්‍ය ආයතන නඩත්තු කරන එක කළ යුතුයි. කාර්යක්ෂම රාජ්‍ය ආයතන පවත්වාගෙන ගිහින් ජනතාවට හොඳ සේවයක් ලබා දෙනවානම් ඒක කාටත් හොඳයි.

2. නෑ නෑ ඒවගේ පාලනයක් නම් රටට අවශ්‍ය නැහැ. මොකද හිට්ලර් කිව්වම අපිට මතක්වෙන්නේ වෙනත් චරිතයක්නේ. මට හිතෙන විදිහට ඒ අනුනායක හිමියන් එ්කෙන් අදහස් කරන්න ඇත්තේ දැඩිව සිටිය යුතුයි කියන එක වෙන්න ඇති. නමුත් ඉතින් ඔය වගේ කතා අහන අයයි තේරුම් ගැනීමට හැකියාව තිබෙන අයයි අතරත් ලොකු පරතරයක් තියනවනේ.

3. මෙහෙමයි මින් ඉදිරියටත් විශාල වශයෙන් ආයුධ හම්බවෙන්න පුළුවන්. ඒ කියන්නේ LTTE සංවිධානය පරාජයට පත්වෙලා තිබුණ ආයුධ තමයි ඔය මතුවෙන්නේ. නැවතත් ඒ වගේ හමුවෙන්න පුළුවන්. ඒනිසා මේ සම්බන්ධව අවශ්‍යම වැඩපිළිවෙළවල් රජය විසින් හැකි ඉක්මනට ගනියි කියලා හිතනවා.

4. නැහැ පරක්කු වුණේ නැහැ. පසුගිය රජයෙන් ගත්ත ණය ගෙවන්න මේ රජයට පසුගිය කාලය වැයවෙන්න ඇති. ඒවත් ගෙවාගෙන ඉදිරියට මේ විදිහට වැඩසටහන් හඳුන්වා දෙන එක හොඳයි. පහුවෙලා හරි කමක් නෑ රටේ ජනතාවට හොඳක් වෙනවානම් හොඳයිනේ.

ජනතාවගේ පැතුම ගෝඨාභය වගේ නායකයෙක්

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී - පද්ම උදයශාන්ත

1. මේ ආණ්ඩුවට අද කිසිම විදියකට රාජ්‍ය ආයතන දියුණු කිරීමේ වැඩපිළිවෙළක් නැහැ. හම්බන්තොට වරාය වික්කා, සෙවණගල හා පැලවත්ත සීනි කර්මාන්ත ආයතන විකිණීමේ සැලසුමක ඉන්නවා කියලා අපි පාර්ලිමේන්තුවේදීත් කිව්වා. තවත් රාජ්‍ය ආයතන ගාණක් විකිණීමේ සූදානමක මේ ආණ්ඩුව ඉන්නවා. රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම කොහොම වුණත් විකිණීමේ උත්සාහයක් තිබෙනා බව අපි දන්නවා.

2. මේ රට වැටිලා ඉන්න තත්ත්වේ දැකලා උන්වහන්සේ පැවසුවේ උදාහණයක්. එහෙම නැතුව හිට්ලර් පාලනයක් රටට ගේන්න නෙවෙයි. නමුත් අද රජයේ ඇතැම් පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රටේ නායකත්වයට එයි කියලා. එක එක විලම්භීත කතා කියනවා. නමුත් රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ වගේ නායකත්වයක්. රටේ තිස් අවුරුදු යුද්ධය ඉවර කළ දෙවැනි නායකත්වය තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ එවැනි කෙනෙකුගේ පැමිණීමක්.

3. 2015 ජනවාරි 08න් පස්සේ බටහිර ගැති, ඉන්දියානු ගැති රූකඩ පාලනයක් මේ රටේ ස්ථාපිත වුණේ නිකම් නෙවෙයි. මෙවැනි දේවල් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම යුද්දෙන් පස්සේ ඇතිවෙලා තිබුණු සිංහල, දෙමළ, මුස්ලිම් සහයෝගිතාවය විනාශ කරන්න තමයි මේ කුමන්ත්‍රණයක් දියත්වෙන්නේ. ඉතින් වෙනස් කිරීමට 2020ට කලින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට ගේන සටන අපි කළයුතුයි. ඒ නිසා අපිට ලැබෙන පළවෙනි මොහොතෙම මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි.

4. ඉදිරි පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය නිසා මේ ආණ්ඩුවට දැන් මොකක් හරි වැඩක් කරන්න වෙලා තියෙනවා. ඒ තත්ත්වය මත තමයි, මෙවැනි වැඩසටහන් එන්නේ. ඒ නිසා ජනතාවට පැලැස්තර විසඳුම් දෙන්න තමයි මොවුන් මේ උත්සාහ කරන්නේ. නමුත් මේ වැඩවලට ජනතාව තවදුරටත් රුවටෙන්නේ නැහැ කියලා ආණ්ඩුව දැනගන්න ඕන.

 

උතුරේ ත්‍රස්තවාදයට යළි ඉඩක් නෑ

ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - ඉ. චාල්ස් නිර්මලනාදන්

1. සමහර රජයේ ආයතනවල කාර්යක්ෂමතාවය ඉතාමත් අඩුයි. සමහර ඒවගේ ජනතාවට හොඳ පිළිගැනීමක් තියනවා. කොහොම වුණත් රාජ්‍යය ආයතනවලින් ලබාදෙන සේවය තව ටිකක් පුළුල් කරනවා නම් හොඳයි. පසුගිය ආණ්ඩුවට වඩා මේ ආණ්ඩුව යටතේ තිබෙන රජයේ ආයතනවල වැඩ කෙරෙන විදිය හොඳයි.

2. නැහැ මිලිටරි පාලනයක් රටට අවශ්‍ය නැහැ. රටේ හැමෝටම එක ලෙස ඉන්න පුළුවන් මේ යහපාලනය වගේ රජයක් තමයි රටකට අවශ්‍යය වෙන්නේ.

3. නැවත උතුරේ ත්‍රස්තවාදයක් ඇතිවෙයි කියලා විශ්වාසයක් නෑ. දෙමළ ජනතාව බොහෝ දෙනෙක් ඒ පාලනය ගැන කතා කරන්නවත් කැමති නෑ. මේ රජයේ ආරක්ෂක අංශ සොයා බැලිය යුතුයි. මේ ආයුධ මොන තැනට ගෙනියන්න හැදුවද කියලා. ඒ පිළිබඳව හොයාබලා ජනතාව දැනුවත් කළයුතුයි.

4. පසුගිය ආණ්ඩුව අරගෙන තිබුණු ණයත් එක්ක තමයි මේ විදිහට යහපාලන රජයට සංවර්ධන කටයුතු කරන්න ප්‍රමාද වුණේ. ඉදිරියට මේ වගේ තවත් වැඩසටහන් ක්‍රියාත්මක වේවි කියලා අපි විශ්වාස කරනවා.

සංස්කරණය : 
හසිත් අංජන 
සේයාරූ / අන්තර්ජාලයෙනි