2018 ජුනි 30 වන සෙනසුරාදා

වයස අසූවෙදිත් තරගෙට දුවන රත්නපුරේ ජෝඩුව

 2018 ජුනි 30 වන සෙනසුරාදා, ප.ව. 06:00 262

♦ කසාද බැන්දේ ට්‍රැක් කිට් එකෙන්
 මුදු වෙනුවට මාරු කෙරුවේ කුසලාන
 රට රාජ්ජවලට ගිහින් කප් පිට කප් ගත්තත් ඉන්නෙ තාම පුංචි නිවෙසක

ඔහු තවමත් දුවන්නේය. චන්ද්‍රදාස රණතුංග නමින් ඉපදුණු ඔහුගේ උප්පැන්න සහතිකයට අනුව මේ වන විට වයස අවුරුදු අසූවකි. එසේ වුවද තවමත් ඔහු තරග ඉසව් රාශියකට සහභාගිවෙන මලල ක්‍රීඩකයෙකි. එතරම් උසක් නැති මේ කුඩා මිනිසාගේ පාදවල තවමත් තාරුණ්‍යයේ ජවය එලෙසින්ම පවතී.චන්ද්‍රදාසගේ ආදරණීය බිරිය නමින් මැණිකේ ගම්ලත්ය. ඇය චන්ද්‍රදාසගේ ජීවිතයට මැණිකක්ම විය. චන්ද්‍රදාස මෙන් හරි හරියට ක්‍රීඩාපිටියේ වේගයෙන් දුවන මැණිකේට අද වයස අවුරුදු හැත්තෑවකි. නමුත් ටික දුරක් දිවගොස් හති වැටෙන අපේ කාලයේ තරැණියන්ට මැණිකේ අපූරු පූර්වාදර්ශයකි. සබරගමු පළාතෙන් උපන් මේ අපූරු දෙපළ අද සැදෑසමය ගෙවුවද අදද ඔවුන්ගේ ජීවිතවල වැඩි කාලයක් ගෙවෙන්නේ ක්‍රීඩාපිටිය හෝ ක්‍රීඩා පුහුණුවීම්වලය.

දරු මුණුපුරු මිණිපිරියන් රැසකගේ ආදරය ලබන චන්ද්‍රදාසගේත් මැණිකේගේත් ආදර කතාව ගොඩනැගෙන්නේ 1965 අගෝස්තු මස 13 වැනිදාය. චන්ද්‍රදාස හා හා පුරා කියා ‘අ’ යන්න ඉගෙන ගත්තේ රත්නපුර බැස්මිස්ටන් විදුහලේය. වර්තමානයේදී රත්නපුර ෆර්ගසන් විදුහල ලෙසින් හඳුන්වන්නේ එයයි. පසුව චන්ද්‍රදාස එවකට රත්නපුර බෞද්ධ විදුහලෙන් ඉගෙනුම ලැබීය. වර්තමානයේදී රත්නපුර ධර්මපාල විදුහල ලෙසින් හඳුන්වන්නේද එයයි.

පාසලේ හේරත් ගුරු මෑණියන් එකල චන්ද්‍රදාසව ක්‍රීඩාවට යොමුකරලීමට උත්සාහ දැරුවාය. පාසල් ක්‍රීඩා තරගවලින් චන්ද්‍රදාසට ජයග්‍රහණ හිමිවුවද අනිකුත් පාසල් මට්ටමේ පැවති තරගවලින් චන්ද්‍රදාසට හිමිවූයේ අන්ත පරාජයකි. මේ අතර 1959 වසරේ පාසල් විවෘත මාර්ග ධාවන තරගයක් පැවැත්වුණි. ඒ සඳහා සහභාගි වීමට විදුහල්පතිගේ අවසරය අනිවාර්යය විය. චන්ද්‍රදාසට මේ තරගයට යාමට විශාල ආසාවක් ඇතිවිය. ඒ වෙනුවෙන් ඔහු විදුහල්පතිගේ අවසරය ඉල්ලීය.

“උඹට මොන තරගද බං... උඹ දුවන්න පුළුවන් එකෙක්ද... මෙන්න මෙහේ පැත්තකට වෙලා හිටපං ඉස්කෝලෙට අගෞරව නොකර. හැතැප්ම පහමාරක් දුවන්න උඹට පුළුවන්ද...”

අවසරය වෙනුවට චන්ද්‍රදාසට විදුහල්පතිගෙන් ලැබුණු පිළිතුර එය විය. චන්ද්‍රදාස අධෛර්යමත් නොවීය. දිගින් දිගටම අවසර ඉල්ලා කිහිප වතාවක්ම ගුරු නිවාසයේ දොරකඩ සිටගත්තේය. තරගයට කලින් දවසේ මහ රෑ එකොළහමාරටත් කලාමැදිරි එළියෙන් චන්ද්‍රදාස ගුරු නිවාසයේ දොරට තට්ටු කර විදුහල්පතිට ඇවටිලි කළේය. මේ ඇවටිලි විදුහල්පතිට කන්දොස්කිරියාවක් වුවද ගුරු මෑණියන්ට එය අහිංසක ඉල්ලීමක් විය.

“අනේ.. ඔය අවසරය මේ කාලකන්නියාට දෙන්න... නැත්නම් අපිට බුදියගන්න ලැබෙන්නෙ නැහැ. එළිවෙනකම් දොරට ගහාවි...”

ගුරු මෑණියන්ගේ ඉල්ලීමෙන් විදුහල්පතිගේ අවසරය චන්ද්‍රදාසට ලැබුණි. පහුවදා උදේ පාන්දර කාටත් කලින්ම චන්ද්‍රදාස ක්‍රීඩා පිට්ටනියට වාර්තා කළේය. තරගය ආරම්භ විය. චන්ද්‍රදාස හැතැප්ම පහමාරක් දිව්වේය. අවසානයේදී ඒ ධාවන තරගයෙන් තෙවැනි ස්ථානය ඔහු හිමිකරගත්තේය. අදටත් එම පාසලේ වැඩිම දුරක් දුවගොස් කුසලානයක් ගත් එකම ක්‍රීඩකයා ඔහු පමණි. ඒ වෙනුවෙන් පාසල් වත්තේ සිටවූ කෝන් පැළය අද විශාල වෘක්ෂයක් වී අතුපතර විහිදී පවතී. එදා සිට අද දක්වා චන්ද්‍රදාස මලල ක්‍රීඩකයෙක් ලෙස විවිධ ඉසව් නියෝජනය කළේය. ඔහු ජාත්‍යන්තර තලයේ රන් පදක්කම් රාශියක් ගෙන ආ ක්‍රීඩකයෙකි. මීටර් සීයේ සිට සැතපුම් 26 ක් දක්වා හැම ඉසව්වක්ම චන්ද්‍රදාස නියෝජනය කළේය. සුගතදාස ක්‍රීඩාංගණය එවකට මැටි පොළොවකි. එම මැටි පොළොවේ දුර දිවීමේ තරග තුනක් එකම දවසේ දුවගොස් ජයග්‍රහණය කළ එකම ක්‍රීඩකයාද ඔහුම විය.

පස්වැනි ප්‍රවීණයන්ගේ මළල ක්‍රීඩා උළෙලේදී එක දිනයකදී ඉසව් හයක් දිනූ එකම ක්‍රීඩකයාද චන්ද්‍රදාස වූවේය. එදින ඔහු මීටර් 100, 200, 400, 800, 1500, මීටර් 80 කඩුලු මතින් පැනීම වැනි ඉසව් නියෝජනය කරමින් ජය ලැබුවේය. ලංකාවේ හුදෙකලා වැඩිම දුරක් දුවන ලද ක්‍රීඩකයාද වන්නේ චන්ද්‍රදාසය. 1965 අවුරුද්දේ දෙසැම්බර් මස 31 වැනිදා රත්නපුර සමන් දේවාලයේ සිට කතරගම දේවාලය දක්වා හැතැප්ම එකසිය දාහතරක් දිවගොස් නැවත රත්නපුරට දිව ඒමටද ඔහු සමත් විය. එපමණක්ම නොව, 1994 පෙබරවාරි මස 14 වැනි දින රත්නපුර ධර්මශාලාව අසලින් උදෑසන 6ට මල්වල, කාර්නිය, පලාබද්දල හරහා සිරිපා මළුවට හුදෙකලා මාර්ගයේ ධාවනයේ යෙදුණු චන්ද්‍රදාස ක්‍රීඩකයා උදේ 10 වන විට සිරිපා මළුවට දුවගොස් එතැන් සිට හැරමිටිපාන, එරත්න හරහා නැවතත් කුරුවිට නගරයේ බෝධිය අසලින් ධාවනය අවසන් කළේය. හැතැප්ම හතළිස් අටක් පැය අටයි විනාඩි හතළිස් පහකින් චන්ද්‍රදාස එදා නිම කළේය. එකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටි අතුල ආටිගල මහතා තරගය නිමකළ මේ තරුණයාගේ කරට අත දමා &තෝ යකෙක්...” යැයි පැවසීය.

තනිකඩ ජීවිතයක් ගත කළ තරුණ චන්ද්‍රදාසට පෙම්වතිය මුණගැසෙන්නේද ක්‍රීඩාපිටියේදීමය. ඒ මුණගැසීමත් හරිම අපූරු සිදුවීමකි. පාසල්වල නිවාසාන්තර විවෘත ක්‍රීඩා තරගයක් පැවතිණි. කුරුවිට විදුහලේ සිටි මැණිකේ හේරත් එවකට ඉතා දක්ෂ ක්‍රීඩිකාවකි. මෙම පාසලේ නිවාසාන්තර තරග ආරාධිත තරගය සඳහා චන්ද්‍රදාස තම පාසල නියෝජනය කළේය. එය තම ජීවිතයේ දෛවෝපගත තරගයක් යැයි එදින චන්ද්‍රදාස සිතන්නට නැත. නමුත් මේ වන විට චන්ද්‍රදාස සහභාගි වූ ඉතා වටිනාම කුසලානය ලැබූ තරගය වන්නේද එයයි. චන්ද්‍රදාසගේත් මැණිකේගේත් දෙනෙත ඉන් පෙර කිසිදිනෙක මුණගැසී නොතිබුණි. චන්ද්‍රදාස තම තරගය සුපුරුදු පරිදි ජයග්‍රහණය කළේය. ඔහු පිට්ටනියේ නිදහස් තැනක වාඩිවී අනෙකුත් තරග නැරඹුවේය. ඉතා කුඩා, සුන්දර පාසල් යුවතියක් තරග ඉසව් කිහිපයකින්ම ජයග්‍රහණය කරනු ඔහු දැක්කේය. ඇය එදින “දක්ෂම මලල ක්‍රීඩිකාව” කුසලානයද හිමිකරගත්තාය. චන්ද්‍රදාසගේ තරුණ සිත ඇය කරා ඇදීගියේ නිමේෂයකිනි. ඔහු ඇය සමඟ කතා කළේය. ඒ ඔවුන්ගේ පළමු මුණගැසීමය. ඉන් පසුව ඔවුහු පෙම්වතුන් වූහ.

චන්ද්‍රදාසගේ ක්‍රීඩා දිවියට අදට වසර 66 කි. මැණිකේගේ ක්‍රීඩා දිවියට වසර 54 කි. තවමත් මේ දෙපළ ක්‍රීඩාවේ නියලෙති. චන්ද්‍රදාසගේත්, මැණිකේගේත් ආදරයට ගෙවල් දෙකෙන්ම විරුද්ධ විය. මේ නිසාම දිනක් චන්ද්‍රදාස විවාහ රෙජිස්ට්‍රාර් මුණගැසුණේය. ඒ වන විටත් මැණිකේ පාසල් ශිෂ්‍යාවකි. එවකට විවාහ මුද්දර ගාස්තුව රුපියල් පනස් දෙකයි සත පනහකි. කේන්දර හෝ නැකැත් බැලීමක් නොතිබිණි. රාහු කාලය ගැන කිසිවක් දැන සිටියේ නැත. චන්ද්‍රදාසත්, මැණිකේත් රෙජිස්ට්‍රාර් ඉදිරියේ අසුන් ගත්හ. මැණිකේ නිවෙසින් පැමිණ සිටියේ සුපුරුදු ක්‍රීඩා ඇඳුමෙනි. චන්ද්‍රදාසත් සුපුරුදු ක්‍රීඩා ඇඳුමෙන් පැමිණ සිටියේය. චන්ද්‍රදාසගේ මිතුරන් දෙදෙනකු වූ ඇම්. ඩේවිඩ් සහ පී. සමරපාල සාක්ෂිකරුවෝ ලෙස අත්සන් තැබූහ. චන්ද්‍රදාසත් මැණිකේත් කාටත් හොර රහසේ එදා විවාහ වූහ. නගරයේ ඇති ස්ටූඩියෝ එකකින් ඔවුහු තම මංගල ඡායාරූපයද ගත්හ. එයද අපූරු ඡායාරූපයකි. හුවමාරු කරගන්නට මුදු නොතිබුණි. ඒ වෙනුවට ඔවුහු කුසලාන දෙකක් හුවමාරු කරගත්හ. මොවුන්ගේ විවාහය සිදුකළ රෙජිස්ට්‍රාර් මහතාට අද වසර අසූ හයකි. සෑම වසරකදීම විවාහ සංවත්සරය දා චන්ද්‍රදාසත් මැණිකේත් බුලත් අතක් ගෙන මෙම රෙජිස්ටාර් මහතා හමුවීමට යති. විවාහ වී කාලයක් ගිය විටදී ගෙවල්වලින්ද මොවුන්ට ආශිර්වාදය ලැබුණි.

සබරගමු පළාතට ඇවිදීමේ තරගය හඳුන්වාදෙනු ලැබුවේද චන්ද්‍රදාසත්, මැණිකේත් විසිනි. කොළඹට පමණක් සීමාවූ එය රත්නපුර දිස්ත්‍රික්කයට ගෙන ගිය මුල් කාලයේදී මේ දෙපළට ලැබුණු උසුළු විසුළුවල නිමක් නැත. රත්නපුර නගරයේ ඇවිදීමේ තරගවලට පුහුණු වෙද්දී මහපාරේ ගමන් ගත් බොහෝදෙනා විහිලු කළහ. ඇතැමුන් මේ කොණේ සිට පාරෙන් එහා පැත්තට හිස් තැඹිලි කෝම්බ විසිකළහ. මොවුන්ගේ මඟ හරස් කළහ. නමුත් ඔවුහු කිසිදා අධෛර්යමත් නොවූහ. හිස් තැඹිලි කෝම්බ මඟහැර ඔවුහු තම ගමන ගියහ.

ඔවුහු බොහෝ රටවල්වලට ගොස් ජයග්‍රහණ අත්පත් කරගැනීමටද සමත් වූහ. මැලේසියාවේ පැවති 1990 හයවැනි ආසියාතික මාර්ස්ටර්ස් මළල ක්‍රීඩා තරගයේදීත්, 1992 සිංගප්පූරුවේ පැවති ආසියාතික මාර්ස්ටර්ස් තරගයේදීත් පමණක් නොව 1994, 1996, 2000, 2004, 2005, 2006 යන වසරවල ආසියානු මාර්ස්ටර්ස් මළල ක්‍රීඩා තරගවලදීද අප රටට ජයග්‍රහණ අත්පත් කර දී තිබේ.

ඉතිරිය ලබන සතියට

►දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූප - සුමුදු හේවාපතිරණ