2018 ජුනි 30 වන සෙනසුරාදා

ගල උඩ ඉඳගෙන කීවෙම හොල්මන් කතා

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 900

සිතේ හැටියට කිඹුල්ලු බැලුව අපි ගියා දවල්ට කන්න ජෝන් අයියාගේ ගෙදර. ගෙදරට යන පාර දිගේත් කෑම සුවඳ. ජෝන් අයියාගේ හාමිනේට හරි රසට කෑම උයන්න පුළුවන්. මේසෙ පිරෙන්න එක එක වෑංජන. මාළුම එක එක විදිහට හදලා. පලාවක්, සම්බෝලයක් කවදාවත් ඒ කෑම මේසෙ වැරදුණේ නෑ. පලා වර්ග කන්න වික්‍රමසිංහ මහත්තයා හරිම ආසයි.

ඉස්සෝ, කකුළුවෝ, වේලෙන්න හදාපු මාළු ඇඹුල් තියල් කන්නත් හරිම රුසියා. බඩ පිරෙන්න කාලා කාලා අපි කරන්නේ ඉර හැරෙනකම් ගේ ළඟ ගල් තලාවේ ඉඳගෙන දොඩව දොඩවා ඉන්න එක. අතීත විත්ති තමා ඉතින් ඔය හැමදාමත් කතා කරන්නේ. වික්‍රමසිංහ මහත්තයා ජෝන් අයියා එක්ක වැඩිපුරම කතා කළේ භූත කතා, හොල්මන් අවතාර ගැන. ජෝන් අයියා ඔය වගේ කතා කියන්න මාර මිනිහා. ගැමියොත් විශ්වාස කළා කොග්ගල ඔයේ අවතාර, හොල්මන් ඉන්නවා කියලා. ගල් තලාවේ උජාරුවට හරිබරි ගැහිලා තමයි ජෝන් අයියා ඔය අවතාර කතා කියන්න පටන් ගන්නේ.

“ඔන්න අපේ මහත්තයෝ දෙයියන් පල්ලා මේ සත්තයි... දවසක් ඇඳිරියක කොල්ලෙක් පහන් ගල කිට්ටුව මාළු අල්ලමින් ඉඳලා. පාවෙන ඔරු පියල්ල භාගයක්ම අල්ලපු මාළුවලින් පිරිලා. ඔයට කළුවර වැටෙනවත් එක්කම කොල්ලාගේ ඔරුව ඉදිරිපිටින් ලස්සන කෙල්ලක් ඔරුවක් පැදගෙන ඉදිරියට ගිහින්. කොල්ලා ඒ පාර මාළු ඇල්ලිල්ල පැත්තක තියලා අර ලස්සන කෙල්ලට වහ වැටිලා ඔන්න ඒකි පස්සේ ගිහින්.

කොල්ලා දාගෙන හබල් ගහනවලු. ඒත් මොන.. කෙල්ලට කිට්ටු වෙන්නවත් බෑලු. කෙල්ලගේ වේගයෙන් ඔරුව පදින්නත් බෑලු. කොල්ලට නිකම් මඤ්ඤං වගේලු ඔන්න මොකද්ද මේ සංගදිය කියලා. කොල්ලත් අතඇරලා නෑ. වෙර වීරිය දාලා කෙල්ලට කිට්ටු කළාලු. මෙන්න බොලේ කිට්ටු කරද්දිම කෙල්ල අතුරුදන්ලු.

කොල්ලා කොහොමහරි ඔරුව තොටුපළට අල්ලලා. තොටුපළට ගාල් කරලා බහිද්දිම කොල්ලා සිහිය නැතිව වැටිලා. කොල්ලාගේ වෙලාවට තොටුපළේ ධීවරයෝ රොත්තක්ම ඉඳලා. මෙන්න බොලේ ටික වෙලාවක් යද්දි කොල්ලා සිහි විකල්ලෙන් කියවනවලු. “ගම්දූව දූපතේ දිය නොසිඳෙන ගල් ළිඳෙන් වතුර ටිකක් ගෙනත් මගේ මූණට ගහපල්ලා..” කියලා. හනිකට ඒ පාර එතන හිටපු ධීවරයෙක් කොල්ලාගේ මූණට වතුර ඉහලා.. ඊට පස්සේ තමා කොල්ලාට සිහිය ආවේ.”

ජෝන් අයියා කියන ඔය කතා අහගෙන ඉඳලා අවසානෙට වික්‍රමසිංහ මහත්තයා අහනවා ජෝන් අයියා ඔය කතා විශ්වාස කරනවද කියලා. එහෙම අහන්නෙත් හිනා වෙවී. වික්‍රමසිංහ මහත්තයා කවදාවත් ඔය හොල්මන් අවතාර විශ්වාස කළේ නෑ. ඒත් හොල්මන් ගැන අවතාර ගැන පරීක්ෂණ කරන්න ඒ කතා අහ අහා රසවිඳින්න වික්‍රමසිංහ මහත්තයා හුඟාක් ආසා කළා.

එදා ඔය කතාව කියලා ඉවර කරලා ජෝන් අයියා ඔය හිඳෙන්නේ නැති වතුර ගත්තා කියන ළිඳ තියෙන්නේ අපේ ගෙට උඩින් කියලා ජෝන් අයියා අත දිගු කරලා පෙන්නුවා. ඒ පෙන්නුවා විතරයි මෙන්න වික්‍රමසිංහ මහත්තයාට පුදුම හදිස්සියක් අර හිඳෙන්නේ නැති ළිඳ බලන්න. එහෙමනම් අපි ඒ ළිඳ බලන්න යමු කියලා ඒ වෙලාවෙම නැගිට්ටා.

අපි ඉතින් ඔන්න කැලෑ රොද මැදින් වැටිච්ච අඩි පාර දිගේ ළිඳට ගියා. ගල් තලාව උසයි. ගලේ උසම තැන තමා ළිඳ තියෙන්නේ. අපි ගල් තලාව ළඟට යද්දිත් ළිඳ පිටාර ගලනවා. “මේ ළිඳ කොච්චර විතර ගැඹුරද..?” වික්‍රමසිංහයන් ජෝන් අයියාගෙන් විමසුවේ ඇස් දෙක ලොවි ගෙඩි දෙකක් තරම් ලොකු කර ගනිමිනි.

කතා නැතුවම ජෝන් අයියා ලොකු රිටක් කපා එය ළිඳ තුළට එබුවේය.

“හ්ම්... මනුස්සයෙක් පොව්වන්නේ නැති තරමට ගැඹුරයි.. ඒ වුණාට පතුල පේන්නේ අත පොව්වන මානයෙන්.” එහෙම කියාගෙනම මාර්ටින් වික්‍රමසිංහයන් උතුරා යන ළිඳ දියට නැමුණේය. වතුර දෝතක් ගෙන මුව සෝදාගෙන නිල් කැටේට දිලිසෙන දියවර දෙස ලෝභ ඇස්වලින් බලා සිටියේය.

“දාහය නිවෙන්නත් එක්ක නරකද වතුර ටිකක් නා ගත්තොත්..?” කොට්ටව සිරිසේන එසේ පැවසුවේ ජෝන් අයියාගේ අත තිබූ පනිට්ටුව තම අතට ගනිමිනි.

“ආ.. ඒක කදිම අදහසක්. හැන්දෑව වෙද්දී මෙතන එක රොත්තක්.. දිය නාන්න එන ඈයෝ පිරිලා... ඊටත් දූපත්වල අයත් එනවනේ මෙතන්ට දිය නාන්න.” එදා වික්‍රමසිංහ මහත්තයා ජෝන් අයියා ගෙනත් තිබූ රෙදි සබන් ගාලා හොඳට සංතෝෂෙන් නාගත්තා..”

අදටත් වික්‍රමසිංහයන් දිය නෑ ගන්දූවේ දූපතේ ළිඳ එලෙසම පැවතියත් එදා මෙන් ඒ ළිඳ නිල් කැටේට දිලිසෙන්නේනම් නැත.

“දැන් ඔය ළිඳේ කවුරුත් නාන්න එන්නේ නෑ. සමහරු කියනවා ළිඳ මිනිස්සු බිලි ගන්නවලු. තව සමහරු කියනවා නිධානයක් තියෙනවලු. නයි ඉන්නවලු. ඔය කතා ඔක්කොම බොරු. ඒත් බයට කවුරැත් එන්නේ නෑ.”

“ඇත්තටම සිරිසේන මහත්මයා කවදාවත් කොග්ගල ඔයේ හොල්මන් අවතාර දැකලා නැද්ද?” අපි මොහොතක් දෑස් අයා කොට්ටව සිරිසේනයන් දෙස බැලීමු.

“අදටත් මිනිස්සු කියනවා හොල්මන් අවතාර දැක්කා කියලා. මමනම් දැකලා නැහැ. ඒත් දේවතා එළිනම් මාසයට දෙතුන් වතාවක්වත් දකිනවා. කෙම්මුර දාට රතු, නිල් පාට එළි යනවා. සී ගාලා ශබ්දයක් විතරයි ඇහෙන්නේ. ඇසි පිය ගහන සුනංගුවට ඒ එළි ඈතට ගිහින්.”

පහන් ගල ගැනද කොග්ගල ගැන කතා කරද්දි කතා නොකරම බැරිය.

“මොකද්ද සිරිසේන මහත්තයා ඔය කියන පහන් ගල?”

“ඔන්න දවසක් වික්‍රමසිංහ මහත්තතයා කීවා මට පහන් ගල බලන්න ඕන කියලා. ‘සිරිසේනලා මේ ගල ළඟ තිබිලා මොනවද හොයාගත්තා නේද? ඒවා පරණවිතානට දෙන්න. මමත් මතක් කරන්නම්.’ වික්‍රමසිංහ මහත්තයා එහෙම කීවේ මෙන්න මේ හේතුව නිසා. 1970 ගණන්වල ගාල්ලේ හිටිය මහ දිසාපති පී. ඒ. ටී. ගුණසිංහ මහත්තයා මේ ස්ථානයේ සමීක්ෂණයක් කළා. ඒ කාලේ මම කොග්ගල මුලාදෑනියා. මමත් ඉතින් ඔය වැඩේට සෑහෙන්න උදවු කළා. ගල ළඟ බහිරව පූජාවකුත් කළා. ඒ වෙලාවේ අපිට එතන තිබිලා තඹ පෙට්ටියක් හම්බුණා. ඊතල යුගලක්, පොල්ලක්, සිංහ රූපයක්, පිත්තල පහන් ගොඩක්, තඹ කාසි ගොඩක් හම්බුණා.

ඒ කාලේ.. මම මේ කියන්නේ ඈත පුරාණේ මිනිස්සු බාරහාර වුණේ මේ පහන් ගලටනේ. මම හිතන්නේ ඒ බාරහාර වෙන්න තියපු ඒවා තමා මේ හමුවුණේ. මිනිස්සු කියන්නේ මැණික්, මුතු, රත්තරන් මේ ගලේ නිධන් කරලා තියෙනවා කියලා. නිධානය ගන්න ගලට බෙහෙත් වත් කරපු පාර තමා ගල පැලිලා තියෙන්නේ කියලත් කියනවා. හුඟාක් ධීවරයන් කියනවා හරියටම දවල් දොළහට මේ පහන් ගල ළඟින් සුරූපී කාන්තාවක් ඔරුවක් පැදගෙන යනවා කියලා.

තව අය දැකලා තියෙනවලු ගල උඩ ලොකු කළු මිනිහෙක් වාඩිවෙලා ඉන්නවා. ඒ අවතාර දැකපු හැම එකාම එතැනම කලන්තේ දාලා වැටිලා. රෑට මාළු අල්ලද්දී මමත් දැකලා තියෙනවා ගල උඩ රතු පාට ලොකු එළියක් තියෙනවා. මම කවදාවත් ඒ කිට්ටුවටනම් ගියේ නෑ. දැක්ක ගමන් මම කරන්නේ දියෙන් ගොඩට එන එක.

සමහරු දැක්කලු ගල් දොරක් ඇරිලා එකෙ රත්තරන්, මැණික් දිස්න දෙනවා. මිනිස්සු කියන්නේ ගල් ලෙනේ දොර ඇරෙන්නේ බිල්ලක් ඕන වුණාම කියලා. ඒ හින්දා දොර ඇරෙනවා දැක්ක ගමන් ධීවරයෝ දනිපනි ගාලා ගොඩ එනවා. දවසක් වික්‍රමසිංහ මහත්තයා අපි පහන් ගලට එක්ක ආවා. ජෝන් අයියා කීවා ලොකු කුඹුක්කන් ආඳෙක් ඉන්නවා කියලා. සමහරදාට ඌ රෑට ගල උඩට එනවලු. එතකොට කුඹුක්කන් දිලිසෙනවලු. ඒකටලු ඔය මිනිස්සු ගල උඩ එළියක් තියෙනවා කියන්නේ කියලා.

මිනිස්සු ළඟට එද්දි ආඳා ඇදිලා යන නිසාලු එළිය අතුරුදන් වෙනවා කියන්නේ. කොහොමත් ජෝන් අයියානම් යකාටවත් බය නැති එකෙක්...”

කොට්ටව සිරිසේනයන්ගේ මතක පැසේ අහුමුලු පුරා මතක මහ කොතෙකුත්ය. ඒ මතක අපි සති ගණනක් මුළුල්ලේ දිගහැරියෙමු.

ඉඳින්... අපට නවතින්නට අවසර.... ගාල්ලෙන් කොළඹට එන්නට අවසර...

 

►සංජු
සේයාරූ I චන්න කස්සප කෝරළේආරච්චි