2018 ජුනි 30 වන සෙනසුරාදා

ක්ලේමෝ බෝම්බය සොයාගත් ඔඩ්ඩුසුඩාන් මහ රෑ මෙහෙයුම

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 105

මුලතිව්, ඔඩ්ඩුසුඩාන් මාර්ගයේ ස්ථානයක ඔඩ්ඩුසුඩාන් පොලිසියේ රථවාහන අංශයේ පොලිස් සැරයන් නිරංජන් (10336) මහතා සහ පොලිස් කොස්තාපල් රත්නායක (8036) මහතා රාජකාරියේ නිරතව සිටියේ මාර්ග නීති රීති උල්ලංඝනය කරන රියදුරන් අල්ලා ගැනීමටය.

ඒ පසුගිය 22 වැනිදා අලුයම කාලයයි.

ත්‍රිරෝද රථයක් එනවා දුටු පොලිස් නිලධාරීන් දෙදෙනා එයට නතර කරන ලෙස අණ කළේ ඔවුන්ට ඇති වූ සැකයක් මතය. ත්‍රිරෝද රථයේ වේගය තවත් වැඩිකර පලා යන්නට පටන් ගෙන ඇත්තේ පොලිස් අණ තුට්ටුවකටවත් මායිම් නොකරය. 

පොලිස් නිලධාරීන් දෙදෙනා පලා යමින් තිබූ ත්‍රිරෝද රථය පොලිස් යතුරු පැදියෙන් හඹාගොස් එය නතර කර ගන්නවාත් සමඟම එහි සිටි දෙදෙනෙක් අසල තිබෙන කැලෑවකට පලා ගොස් ඇත.

ත්‍රිරෝද රථය පරීක්ෂා කර බැලීමේදී එහි පිටුපස අසුනේ කිලෝ 15 ක් පමණ බර අධි බලැති ක්ලේමෝ බෝම්බයක්, බෝම්බ පිපිරවීමට යොදා ගන්නා ඩෙටනේටර් 84 ක්, ටී 56 උණ්ඩ 120ක පමණ තොගයක්, දුරස්ථ පාලක 06 ක්, බර අවිවලට යොදන 7.62 වර්ගයේ උණ්ඩයක්, රාත්‍රියේ දුර බලන කන්ණාඩියක්, එල්.ටී.ටී.ඊ කොඩි දෙකක්, එල්.ටී.ටී.ඊ. කමිස 03 ක් එම කලිසම් 02 ක් හා එල්.ටී.ටී.ඊ. හිස් වැස්මක් තිබී සොයා ගැනීමට පොලීසියට හැකි වී ඇත.
ක්ලේමෝ බෝම්බය 2005 වසරේ නිෂ්පාදනය කර ඇති එකක් බව එය පරීක්ෂා කර බැලීමේදී හෙලිවිය.

මේවා සියල්ල තිබුණේ කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් බැරල් දෙකක බහාය.

ත්‍රිරෝද රථයේ රියදුරා අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා මේ බව උසස් පොලිස් නිලධාරීන්ට දැනුම් දුන්හ.

අත්අඩංගුවට ගත්තේ ආරියරත්නම් ත්‍යාගරාසා නමැති කිලිනොච්චියේ පදිංචි 48 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.

උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත කැලෑවට පලා ගිය දෙදෙනා අල්ලා ගැනීමට පොලිසිය මෙහෙයුමක් දියත් කළේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ද සහාය ඇතිවය.

ත්‍රිරෝද රථයේ සිටියදී පොලිසියෙන් මිදී පලාගොස් එක් පුද්ගලයෙක් කැලෑවේ සැඟව සිටියදී අල්ලා ගැනීමට සෝදිසි මෙහෙයුමේ නිරතව සිටි භට කණ්ඩායම්වලට හැකිවිය.

ඔහු කිලිනොච්චිය පදිංචි රාජේන්ද්‍රන් රිසිකනේෂන් නමැති අවුරුදු 22ක තරම් වයසේ පසුවන තරුණයෙකි.

පොලිස් කණ්ඩායම් කැලෑවේ සෝදිසි මෙහෙයුම් කළත් ඔහු කොටුකර ගැනීමට නොහැකි විය.

අල්ලාගත් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී ත්‍රිරෝද රථයේ සිට පලා ගිය අනෙකා කිලිනොච්චිය ශාන්තිපුරම් 12 වැනි පටුමගේ පදිංචි වෙල්ලසාමි එගම්බරම් (38)  නමැති හිටපු කොටි සාමාජිකයෙක් බවට තොරතුරු අනාවරණය විය.

වෙල්ලසාමි 21 වැනිදා රෑ මට ඇවිත් කිව්වා ගමනක් යාමට අවශ්‍ය බව. මගේ ත්‍රිරෝද රථයෙන් ඔහුත් රිසිකනේෂන් ද කනකරායන්කුලම් ප්‍රදේශය බලා ගිය කරුකුසුම්කුලම කැලෑ ප්‍රදේශයේදී වෙල්ලසාමි ත්‍රිරෝද රථය නතර කරන ලෙස මට උපදෙස් දුන්නා. ත්‍රිරෝද රථය නැවැත්තුවට පස්සේ ඔහු එයින් බැස කැලෑවට ඇතුළට ගියා. ඊට පස්සේ ප්ලාස්ටික් බැරල් දෙකක් ඔසවාගෙන ඇවිත් ත්‍රිරෝද රථයට පැටෙව්වා. නිධානයකින් ගත්තු බඩු වගයක් බව ඔහු කිව්වා යැයි ත්‍රිරෝද රථයේ රියදුරා පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.

ඊට වඩා මේ ගැන යමක් කීමට තමා නොදන්නා බවද ත්‍රිරෝද රථ රියදුරා පොලිසියට කියා තිබේ.

පොලිස් ප්‍රශ්නකිරීම් හමුවේ රිස්කනේෂන් නැමැති තරුණයා පවසා ඇත්තේ මේ ගැන සියලු තොරතුරු දන්නේ වෙල්ලසාමි යැයි කියාය.

වෙල්ලසාමි යුද්ධයේදී තුවාල ලබා එක් අතක් අහිමිව සිටින කොටි සාමාජිකයකු බවට කරුණු අනාවරණ වීම නිසා එය ඔහු පහසුවෙන් හදුනා ගැනීමට හොඳ සලකුණක් නිසා උතුරේ සියලු පොලිස් ස්ථානවලට මොහු ගැන තොරතුරු ලබාදීමට පියවර ගත්තේය.

වෙල්ලසාමි නමැති හිටපු කොටි සාමාජිකයා කොටුකර ගැනීමට උතුරුකරය පුරා දැඩි ආරක්ෂක වැටක් යෙදීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පියවර ගනු ලැබිණි.

මාන්කුලම් පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන් මහගෙදර (29221), පොලිස් කොස්තාපල්වරුන් වන අක්මීමන (3746), උපුල් (84528), පොලිස් සැරයන් රියදුරු රණසිංහ (8006) යන මහත්වරුන් පොලිස් ජීප් රථයකින් ජංගම සංචාරයේ නිරතව සිටියේ පසුගිය සෙනසුරාදා රාත්‍රි කාලයේය.

මාන්කුලම් මාර්ගයේ කිලෝමීටර් 3 - 4  කණු දෙක අතර ප්‍රදේශයේ එක් අතක් අහිමි පුද්ගලයකු ගමන් කරන අයුරු මුලින්ම දැක ඇත්තේ පොලිස් සැරයන් මහගෙදර මහතාය.

පොලිස් කණ්ඩායම අතක් අහිමි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු වෙන කවුරුත් නොව වෙල්ලසාමි නමැති හිටපු කොටි සාමාජිකයා බව හෙළිකර ගැනීමට පොලිසියට වැඩි වේලාවක් ගත වූයේ නැත.

මෙම සැකකරුගේ සහෝදරයෙක් වන වෙල්ලසාමි මුත්තුකුමාර් සහ සහෝදරිය වන වෙල්ලසාමි මාරි අම්මා එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ව සිටියදී ඉකුත් යුද සමයේ හමුදාව සමඟ ඇතිවූ ගැටුම්වලට ලක්ව මියගොස් ඇත.

ඒ හේතුවෙන් මෙම පවුල එල්.ටී.ටී.ඊ.ය විසින් මහ විරු පවුලක් ලෙස නම් කර වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පැසසුම් ද ලබා ඇති බව කියති.

වේල්ලසාමි නැමැති හිටපු කොටි සාමාජිකයාට විදෙස්ගත දෙමළ ඩයස්පෝරාවෙන් වරින් වර ලක්ෂ 15 ක පමණ මුදලක් ලැබී ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබේ.

වන්නි මානුෂීය මෙහෙයුම පැවති වකවානුවේ ප්‍රංශයට පලා ගිය එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ සාමාජිකයෙක් වෙල්ලසාමි නමැති මෙම හිටපු කොටි සාමාජිකයා මෙහෙයවා ඇති බව ත්‍රස්ත්‍රවාදි විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන ලද විමර්ශනවලින් පෙනී ගොස් ඇති බව දැන ගැනීමට ඇත.

එල්.ටී.ටී.ඊයේ අවි ආයුධ වළ දමා ඇති ස්ථාන කිහිපයක් ගැනද වෙල්ලසාමි තොරතුරු ආනාවරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කොළඹ ත්‍රස්ත්‍රවාදී විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ පවත්වාගෙන යයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ කිරීම සහ ත්‍රස්ත ක්‍රියා සැලසුම් කිරීම සම්බන්ධයෙන් කාරා ලැසිම්හම් කුලෙන්ද්‍රන් හෙවත් මාස්ටර් සෝලෙයි, ලුවිස් මරියනායගම් හෙවත් ජනා සහ මුරුගයියා නවේන්ද්‍රන් නැමැත්තන් 2017 වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසිනි.

කුලේන්ද්‍රන්ගෙන් ප්‍රශ්න කර ගොනුකරගත් තොරතුරු මත ඔහුගේ නිවසේ සඟවා තිබූ අධි බලැති ක්ලේමෝ බෝම්බයක් සොයාගත් අතර එය උතුරේ දෙමළ දේශපාලනඥයෙක් ඝාතනය කිරීමට යොදා ගැනීමට සඟවාගෙන සිටි බෝම්බයක් බව ත්‍රස්ත්‍රවාදී විමර්ශන කොට්ඨාශය කළ පරීක්ෂණවලින් හෙළිවිය.

සී 04 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය යොදා සකස් කරන ලද බෝම්බයක් ද ත්‍රස්ත්‍රවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් එම වසරේම සොයාගත්තේ ලුවිස් මරියානා නමැති කොටි ක්‍රියාකාරිකයාගෙන් අනාවරණය කර ගත් තොරතුරු මතය.

මෙම සැකකරුවන් පසුගිය මාස 03 ක කාලය තුළ (2017 වසරේ) ඉතාමත්ම නිදහස්ව, බියකින් තොරව කිලිනොච්චිය ප්‍රදේශයේ තම අභිප්‍රායන් ඉටුකර ගැනීම සදහා ක්‍රියාකර ඇත.

කිලිනොච්චිය ප්‍රදේශයේදී 2016 නොවැම්බර් මාසයේ 27 වැනිදා එල්.ටී.ටී.ඊ ධජය ඔසවා ඡායාරූප ලබාගෙන ඒවා විදේශගත එල්.ටී.ටී.ඊ බලවේග වෙත යවා තිබේ.

කොළඹ ත්‍රස්ත්‍රවාදී විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පොලිස්පතිවරයා වෙත 2017 ජනවාරි මාසයේ 23 දා තමන් යවා ඇති තොරතුරු වාර්තාවක මේ තොරතුරු සියල්ල ඇතුළත්ව ඇත.
මෙම තොරතුරු වාර්තාවේ සඳහන්ව ඇති කරුණු කාරණා අතර ඉතාමත් භයානක කාරණය වනුයේ 2016 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් යන මාසවලදී කිලිනොච්චිය ප්‍රදේශයේ මහා මාර්ග ආරක්ෂක රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කර ඔවුන් සතු ගිනි අවි පැහැර ගැනීමට කිහිප අවස්ථාවකම සැලසුම් කර තිබෙන බව සඳහන් කර තිබීමය.

තිස්වසරක යුද්ධයෙන් පසු තල් අරඹට සාමය උදා වී ඇත.

හමදාවේ සිය ගණනක් ඇස් මස් දන්දෙමින් ජීවිත පූජාකර තල් අරඹට උදාකර දුන් සාමය නැති කිරීමට උත්සාහ දරන ත්‍රස්තවාදී කණ්ඩායම්වල එම උත්සාහයන් ව්‍යවර්ථ කිරීමට රජයේ වගකිවයුතු අංශ නිරන්තර අවධියෙන් සිටිය යුතු බව මෙහිලා අවසාන වශයෙන් සඳහන් කළ යුතුය.

රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පැවසුවේ මෙසේ අවි ආයුධ හමු වුවත් රජයක් වශයෙන් කිසිසේත් එල්.ටී.ටී.ඊය වැනි සංවිධානාත්මක කල්ලි නැවත රට තුළ ඇති වීමට කිසිසේත් ඉඩ නොදෙන බවය.

♦ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00