2018 ජුනි 30 වන සෙනසුරාදා

මිනිසුන් අතින් වැනසෙන මෙරගල්ල රන් සැතපුම

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 191

මහ මුහුදෙන් වට වූ පුංචි දිවයිනක මිනිස්සුන්ට තියෙන වටිනාම සොඳුරුම සම්පතකි වෙරළ. මේ එවන් වූ ලංකාවේ තවත් සුන්දර වෙරළ තීරයක කතාවකි. මේ කතාවේ දෙපැත්තක් තිබේ. වෙරළේ සුන්දරත්වය විඳින්න අයිතිය තියෙන්නේ විදෙස් සංචාරකයින්ට පමණක්ද? වෙරළේ සුන්දරත්වය විනාශ කරන්නේ ඇත්තටම කවුද?

“ දැරූ තරු පංතියේ හෝටල් කිහිපයක්ම පිහිටා ඇත. 1970 දශකයේ පමණ මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ආරම්භ වී තිබුණද වෙරළ වඩාත් ප්‍රකටව පැවතියේ සංචාරකයන් අතරය. ගල්කිස්ස, බෙන්තර වැනි සංචාරක කලාපවලට සාපේක්ෂව දේශීය සංචාරකයන්ගෙන් මෙම ප්‍රදේශයට ලැබුණේ අඩු අවධානයකි. විදෙස් සංචාරකයින් මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන් ගැවසුණු නිසාවෙන් සංචාරක මඟ පෙන්වන්නෝද මෙම ප්‍රදේශයේ විශාල වශයෙන් බිහිවූහ. අද වනවිට මෙම වෙරළේ සංචාරක වෙරළ නියාමක සංගම් කිහිපයක්ම පවතී.

“දැන් මෙහේ සෙනසුරාදා ඉරිදා රජයේ නිවාඩු දවස්වලට සෑහෙන්න ලෝකල්ස්ලා එනවා. ගෙස්ට්ලා හෝටල්වලින් එළියට බහින්නේ නෑ එතකොට. ලංකාවේ අය කුණු හැමතැනම දානවා. ඩස්බින් තිබුණත් ඒවලට දාන්නේ නෑ. සමහරු බීලා බෝතල් බිඳලා යනවා. වීදුරු කටු හැමතැනම. ඒවා අස් කරන්නේ අපි.” වෙරළ නියාමක සංගමයක සභාපතිවරයෙක් වන නිශාන්ත නිමල්ශාන්ත මහතා එලෙස පවසයි. වෙරළ නියාමකයින් සමස්තයක් ලෙස දේශීය සංචාරකයන්ගේ ආගමනයට අකමැතිය. විවිධ මාධ්‍ය හරහා එන්න එන්නම වෙරළ තීරය ජනප්‍රිය වෙමින් තිබේ. ස්වභාවික ගල් පරයක් හේතුවෙන් ස්වභාවික තටාකයක් මෙම වෙරළේ නිර්මාණය වී තිබේ. මෙම ස්ථානයේ දිය නෑමට පෝය දින ඇතුළු නිවාඩු දිනවලදී විශාල පිරිස් මෙහි එති. එවන් අවස්ථාවලදී විදෙස් සංචාරකයන් වෙරළට පැමිණීමට දක්වන්නේ මැලිකමකි. විදේශිකයන් වෙරළට නොපැමිණෙන විට සංචාරක මග පෙන්වන්නන් හට ඇති ආදායම් මාර්ග වැසී යයි. මෙම විරෝධය මතුවීමට මූලික හේතුව වී ඇත්තේ එයයි.

සංචාරක මග පෙන්වන්නන් හා අප සිදුකළ කතාබහේදී තවත් කරුණු කිහිපයක් පැහැදිලිවිය. ඇතැම් අවස්ථාවල සංචාරක හෝටල්වලින් වෙරළට පිවිසෙන ගේට්ටු අසල සංචාරකයාට බාධාවන සේ දේශීය සංචාරකයන් රැඳී සිටින බව ඔවුහු කියති. ඖෂධ නිෂ්පාදනයට වැදගත් මුහුදු පැළෑටි වර්ගයක් ස්වභාවික ගල්පර මත පවතින බව සමීක්ෂණ මගින් හෙළි වී ඇති බව පවසන ඔවුන් ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානයක් යොමු නොවන නිසා දේශීය සංචාරකයන් අතින් එම පැළෑටි විනාශවන බවද ඔවුහු පෙන්වා දෙති. තවද නිවාඩු දිනවලදී වෙරළ පිවිසුම් මාර්ග අසල අවිධිමත් ලෙස රථවාහන නවතා තැබීම හරහා බාධා සිදුවන බව ඔවුහු කියති. 

“විදේශිකයන් මෙම පරිසර පද්ධතියට දක්වන්නේ අධික ඇල්මක්. ඔවුන් අතින් පරිසර විනාශයන් සිදුවෙන්නේ නෑ. සිදුවෙමින් පවතින විනාශයට ඔවුන් තුළ කනගාටුවක් තිබෙනවා.” යැයි ඔවුහු කියති.

මොරගල්ල වෙරළ කලාපයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන්නේ අලුත්ගම පොලිස් ස්ථානයට අනුබද්ධව ක්‍රියාත්මක වන මොරගල්ල සංචාරක පොලිස් ස්ථානයයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් සංචාරක පොලීසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එස්.එච්. සිරිමාන්න මහතාගෙන් අපි විමසීමක් කළෙමු. එහිදී ඔහු පැවසුවේ දේශීය සංචාරකයන්ගේ පැමිණීම අවම කිරීමට නීති ප්‍රතිපාදන නැති බවයි. වෙරළට පැමිණීමට සැමට අයිතියක් ඇති බවත්ය. එහෙත් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ තමන් දැනුවත් බවත් දිවා රාත්‍රී පොලිස් මුර සංචාර මෙම වෙරළ තීරයේ ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මහතා කියයි.

“මොරගල්ල සිනමන් බේ කියන ප්‍රදේශයට හරියට සංචාරකයන් එනවා. විශේෂයෙන් සෙනසුරාදා, ඉරිදා රජයේ නිවාඩු දිනවලදී. පිටස්තර ප්‍රදේශවලින් එන ඒ පිරිස් සම්පූර්ණයෙන්ම මේ වෙරළ අපිරිසිදු කරලා තමා අවසානයේදී යන්නේ. වෙරළේ එකතුවෙන ප්ලාස්ටික් බෝතල්, පත්තර අපද්‍රව්‍ය සියල්ලම සුද්ද කරන්නේ සංචාරක මගපෙන්වන්නන් හා ඒ අවට තියෙන හෝටල් සේවකයන්. අපි පොලීසිය විදිහටත් නිතරම මේ පිළිබඳව දැනුවත් කිරීම් කරනවා.” ඔහු සඳහන් කළේය.

රථවාහන අවිධිමත් ලෙස නවතා තැබීමේ ගැටලුවට විසඳුමක් ලෙස නියමිත ස්ථානයක රථගාලක් ස්ථාපනය කර මුදලක් ඒ වෙනුවෙන් අය කිරීම විසඳුමක් වනු ඇතැයිද ඔහු පැවසීය.

වෙරළ එක් පුද්ගලයකුට හෝ පිරිසකට අයිති නැත. නමුත් වෙරළට පැමිණෙන සැමට එහි අසිරිය විඳීමට මෙන්ම එය රැක ගැනීමටද වගකීමක් ඇත. මෙම වෙරළ කලාපයේ පිහිටා ඇති තරු පංතියේ හෝටල් වසරකට බිලියන ගණනින් මුදල් ජාතික ආර්ථිකයට එකතු කරයි. එමෙන්ම වෙරළ නිසා ඍජු හා වක්‍ර රැකියා සිය ගණනක් බිහිවී ඇත. එමෙන්ම ප්‍රදේශයේ බොහෝදෙනාගේ ජීවන මාර්ග සංචාරක කර්මාන්තය සමඟ බැඳී පවතී. දැන් සිදුවන පරිසර විනාශය හරහා ඒ සියලුදෙනාගේ ජීවන මාර්ග අවදානමට ලක්ව තිබේ.

මෙම ප්‍රදේශය අයත්වන්නේ බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටයි. වත්මන් ප්‍රාදේශීය සභා සභාපති වේන්ත විමලරත්න මහතාගෙන් අප විමසූ විට ඔහු පැවසුවේ තමන් මේ පිළිබඳව දැනුවත් බවයි.

“තාම ප්‍රාදේශීය සභාව පිහිටුවලා වැඩි කාලයක් නෑ. දැනට පවතින තත්ත්වයට හේතුව මේ ගැටලුව පිළිබඳ බලධාරීන්ගේ නිසි අවධානයක් නොතිබුණු එක... මම මේ ප්‍රදේශය පෞද්ගලිකව නිරීක්ෂණය කළා. ඉදිරියේදී සියලුදෙනා එක්ක කතාකරලා විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා.” ඔහු කීය.

රන් සැතපුම නමින් හඳුන්වන මෙම වෙරළ තීරයට දිනෙන් දින අත්වෙමින් තිබෙන්නේ ඛේදනීය ඉරණමකි. දේශීය සංචාරකයන්ට මෙහි පැමිණීම සීමා කිරීම සිදුකළ හැකිද යන ප්‍රශ්නය අපට ඉතිරිවෙයි. වෙරළට පැමිණීමට සැමටම අයිතියක් ඇති නිසාවෙනි. වෙරළේ තැන තැන හැසිරිය යුතු ආකාරය පිළිබඳ කුඩා පුවරුද රඳවා ඇත. එහෙත් මෙහි සිදුවන පරිසර හානියේ අඩුවක් නම් දක්නට නොමැත.

කැලිකසළ හා දේශීය සංචාරකයන්ගේ ගැටලුවට අමතරව තවත් ගැටලු ගණනාවක් අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පවතී. ස්වභාවික ගල්පරේ ජීවත්වන විසිතුරු මසුන් අල්ලා රට පැටවීම එවැන්නකි. මෙය නීති විරෝධී එසේම ස්වභාව සෞන්දර්යයට සිදුකරනු ලබන මහා විනාශයකි. තවත් පැත්තකින් සංචාරක හෝටල්වලින් අපවිත්‍ර ජලය මුහුදට එක්වීමද සිදුවෙයි. මෙය දුටුවන් තුළ පිළිකුල ඇතිකරන සංසිද්ධියකි. සමස්තයක් ලෙස මේ සියල්ලටම අවධානය ඉක්මනින්ම යොමුකිරීම ඉතා වැදගත්ය.

මෙම වෙරළ තීරයේ පමණක් නොව දිවයිනේ බොහෝ සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළවල වර්තමාන තත්ත්වය මේ හා සමානය. වෙරළ යනු අප රටට මහත් සම්පතකි. සංචාරක කර්මාන්තය හරහා වෙරළෙන් රට තුළට ගලා එන විසල් ධනස්කන්ධයක්ද වෙයි. තවත් පසෙකින් වෙරළ දූපතක මිනිසුන්ගේ ජීවිතය රකින රන් වැටකි. වෙරළ රුකගැනීම රටක ආණ්ඩුවට පමණක් කළ නොහැක. මිනිසුන්ටද ඒ සඳහා යුතුකමක් ඇත.

චමිඳු නිසල් ද සිල්වා මොරගල්ල සංචාරයකින් පසු....

සේයාරූ - සුමුදු හේවාපතිරණ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00