2018 ජුනි 30 වන සෙනසුරාදා

ජනමාධ්‍ය ආයතනය පවරා ගත්තේ CTV නාළිකාවටද?

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවාව ආරම්භ කිරී‍මෙන් පසුව ඊට අවශ්‍ය වෘත්තීය තාක්ෂණ ශිල්පීන් පුහුණු කරවීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනය ආරම්භ කරනු ලැබීය. ඊට ජර්මනියේ ෆ්‍රෙඩ්රික් ඊබට් පදනමේ අනුග්‍රහය ලැබී තිබුණි. 1982 ඇරඹි ආයතනය දස වසරකට පසුව පරිපාලනය සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයට පැවරුණු අතර යළිත් 2014 වර්ෂයේදී ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත පවරා ගැනුණි. එහි අරමුණ රූපවාහිනී මාධ්‍යට පමණක් සීමා වූ ආයතනය සෙසු සියලු ජනමාධ්‍ය ඉගැන්වීම සඳහා ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ලෙස ස්ථාපිත කිරීමටය.

දශක තුනකට අධික කාලයක් එසේ පැවති ආයතනය පසුගිය මැයි 12 දින අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනමාධ්‍ය අමාත්‍යංශය සිය විෂය පථයෙන් මුදාහැර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පවරා තිබුණි. මේ අයුරින් ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පවත්වාගෙන ගිය ඉඩම සහ ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැවරීම පිළිබඳ ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ සැකසංකා මතුව තිබේ.

ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය පිහිටුවා ඇති පරිශ්‍රය කොළඹ 07 කුරුඳුවත්ත ප්‍රදේශය නිසාත් අක්කර එකහමාරක තරම් වූ භූමියක් අයිති එහි පර්චසයක වටිනාකම ලක්ෂ 250 ඉක්මවා තිබෙන බැවින් ආයතනය හා භූමිය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හදිසියේ පැවරීම සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිරෙමින් පවතී.

ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනය සතුව ඇති සියලු දේපල ශ්‍රී ලංකා පදනම් ආයතනය වෙත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පසුගිය 22 දින පදනම් ආයතනය වෙත දන්වා තිබුණු අතර 25 දින එම භාණ්ඩ බාරගන්නා ලෙසට පදනම් ආයතනය වෙත දැනුම් දී තිබුණි. එසේම භාණ්ඩ බාර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් තිදෙනකු යොදවා සිටි බවද වාර්තා විය. ජනමාධ්‍ය ආයතනය වසා දැමීමට නියෝග ලැබෙන විටද එහි මාධ්‍ය පාඨමාලා 15ක් පමණ පවත්වාගෙන යමින් තිබිණි. මෙම පවරා ගැනීම හරහා පාඨමාලා හදාරන සිසු සිසුවියෝ සිය අධ්‍යාපන කටයුතු පිළිබඳව අර්බුදයකට පත්ව සිටිති. එසේම ආයතනයේ සේවයේ යෙදෙන කාර්ය මණ්ඩලවල පිරිස ද වෘත්තීය වශයෙන් ගැටලුවලට මුහුණ දී සිටින අතර ආයතනයේ  ප්‍රධානීන් සේවයෙන් ඉල්ලා අස්වීම සඳහා අදාළ ලිපි බාරදී ඇති බවද වාර්තා වී තිබේ. මෙවැනි හේතු නිසා දැනට විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සැක පහළ කරන්නේ දේශපාලන අරමුණක් පෙරදැරිව ඉහත ආයතනය ජනපති ලේකම් කාර්යාලය වෙත පවරාගෙන ඇති බවය.

චිත්‍රපට අධ්‍යක්ෂණය, තාක්ෂණය හා සෞන්දර්යවේදය, පූර්ව නිෂ්පාදන කටයුතු, සිනමා හා රූපවාහිනී, කැමරාකරණය, සංස්කරණය, මාධ්‍ය කළමනාකරණය හා මාධ්‍ය අලවිකරණය, දැන්වීම්කරණය, රූපවාහිනී කැමරාකරණය, හඬකැවීම් ශිල්පය, වැඩසටහන් ඉදිරිපත් කිරීම, ප්‍රවෘත්ති නිවේදනය, නිශ්චල ඡායාරූපකරණය හා ග්‍රැෆික් කලාව ඇතුළු පාඨමාලා 15ක් පමණ මේ ආයතනය තුළ ක්‍රියාත්මක විය. මෙම පාඨමාලාවන්හි සම්පත් දායකත්වය සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෘත්තීයවේදීන් හා කලා ශිල්පීහු ද සහභාගී වී සිටියෝය.

සිංහල භාෂාවට අමතරව දමිළ භාෂාවෙන් ද පාඨමාලා පැවැත්වූ ආයතනය ක්ෂේත්‍රය පිළිබඳ පාඨමාලා පැවැත්වූ ලංකාවේ ප්‍රමුඛතම ආයතනයයි. පෙර සඳහන් කළ පරිදි රූපවාහිනී නාළිකාවක ආරම්භය පිළිබඳ කතාව මුසාවක් වී නොමැත. ඒ අනුව වාර්තා වී ඇත්තේ පදනම් ආයතනයේ මූලිකත්වයෙන් රූපවාහිනී නාළිකාවක් ආරම්භ කිරීමේ කටයුතු සිදු කෙරෙමින් තිබෙන බවය. එම නාළිකාව මෙරට සංඛ්‍යාත භාවිතා නොකර පියෝ ටීවී ඔස්සේ විකාශනය කෙරෙන්නක් බවද සඳහන්ය. මෙය දේශපාලනික අරමුණකින් සිදුනොවන්නක් බවට බලධාරීන් පෙන්වා දුන්නද ඒ පිටුපස සිටිනා බලවතුන් කවුරුන්දැයි පිළිබඳ ක්ෂේත්‍රයේ සියල්ලෝ අවධානයෙන් පසුවෙති.

මේ අතර පදනම් ආයතනයේ සභාපති නීතිඥ සරත් කෝන්ගහගේ මහතා ප්‍රකාශ කොට තිබුණේ ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලයට පැවරීමෙන් මීට ඉහතදී වූ වරදක් නිවැරදි වී ඇති බවය. ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ 1973 අංක 15 දරන පනත යටතේ එම ආයතනය රාජ්‍ය නායකයා යටතේ පැවතිය යුතු බවකි. එසේම වසර 36ක් පමණ මේ ආයතනය ශ්‍රී ලංකා පදනම් ආයතනය යටතේ තිබුණු බවද විවිධ ඇමතිවරුන් සිය බලතල භාවිතයෙන් තම වපසරිය වැඩිකර ගැනීම සඳහා පදනම් ආයතනයෙන් වෙන්කර තිබෙන බවද සඳහන් කළේය. ඔහුට අනුව 2014දී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිදුකර ඇත්තේද එවැන්නකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් පත්‍රිකාවක් 2012 වර්ෂයේදී යොමුකර 2014 වසරේදී එය සමාගම් ආඥා පනත යටතේ ලියාපදිංචි කර ඇති බවත් මේ ආයතන භූමියට අයත් පර්චස් 102ක ඉඩම හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නිල නිවස සඳහාත් පර්චස් 44ක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ව්‍යාපෘතියක් සඳහා යොදවා ඇති බවත් ඒ මහතා අනාවරණය කොට තිබුණි. මෙසේ කැඩී වෙන්ව යන ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය හා ඉඩම රැකගැනීමටත් පෙර සිදුව ඇති වැරදි නිවැරදි කිරීමටත් එම ආයතනය රාජ්‍ය නායකයා යටතට ගෙන තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සී. ටීවී නමින් රූපවාහිනී නාළිකාවක් ආරම්භ කිරීමේ අදහස ප්‍රත්‍යක්ෂය. ජනමාධ්‍ය අභ්‍යාස ආයතනය ශ්‍රී ලංකා පදනම් ආයතනය යටතට පවරාගෙන C-TV නාළිකාව රූපවාහිනී අභ්‍යාස ආයතනය හරහා සිදු කිරීමේ අපේක්ෂාවක් පවතින බව ක්ෂේත්‍රයේ බහුතරයක් අතර සැකයක් පවතී.

ශ්‍රී ලංකා පදනම් ආයතනය, රූපවාහිනී සංස්ථාව, ෆ්‍රෙඩ්රික් ඊබට් ජර්මානු පදනම එක්ව ත්‍රීපාර්ශ්වීය ගිවිසුමක් යටතේ රූපවාහිනී අභ්‍යාස ආයතනය ආරම්භ කර තිබේ. ඒ සඳහා ජර්මන් ආයතනයෙන් මුදල් ආධාර, රූපවාහිනී සංස්ථාවේත් තාක්ෂණය හා කාර්ය මණ්ඩලය යොදවා තිබුණි. මෙය ආරම්භ කොට ගිවිසුම්ගත කාලයට අනුව ජර්මානුවන් පිටත්ව ගියේ දස වසරකට පසුවය. විදෙස් ආධාර මගින් ක්‍රමවත් ව්‍යාපෘති ආරම්භ කෙරුණ ද ඒවා නිසියාකාරව දීර්ඝකාලීනව පවත්වාගෙන යාමට සැලසුමක් නොතිබීම රටේ අභාග්‍යකි.

♦ සමන්ත ප්‍රදීප් විල්තෙර