2018 ජුනි 30 වන සෙනසුරාදා

ගුවන් තොටින් රත්රන් පැන්නූ ආගමන නිලධාරියා

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 60

වර්ෂ 2018 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකා රජය මගින් හඳුන්වා දුන් නව බදු ප්‍රතිපත්තිය යටතේ මෙරටට නිත්‍යනුකූලව රත්තරන් ගෙන එනවිට, ඒවා රේගුව හමුවේ ප්‍රකාශ කළ විට, පෙර ගෙවූ බදුවලට අමතරව තවත් 15%ක අමතර බදු මුදලක් ගෙවන්නට සිදුවේ. මෙම නව බදු ප්‍රමාණය එතෙක් සීමිතව සිදුවෙමින් පැවති රත්තරන් ජාවාරම තවත් වැඩි කරලන්නට සමත් වී තිබේ.

රත්තරන් ජාවාරම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා මෙන්ම මුහුදු මගින් ද ක්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබේ. මෙම ජාවාරමේ ඉත්තන් ලෙස ධීවරයින්, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරීන් මෙන්ම උසස් රාජ්‍ය නිලධාරීන්ද යොදාගෙන තිබීම ජනතාව තුළ කම්පනයක් ඇති කිරීමට සමත්ව තිබේ. ඒ අතුරින් ඉකුත් ජූනි 22 දින රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරියෙකු රැපියල් තුන් කෝටි හැට ලක්ෂයක් තමන් හැඳ සිටි කලිසමේ සාක්කුවල සඟවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත්කිරීම මෙම ජාවාරමේ බරපතළ කූටප්‍රාප්තියක් ලෙස පෙන්වා දිය හැකිය.

මුළුරටම එකම හීනයක නින්දට වැටී සිටිති. එහෙත් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය 22 දින රාත්‍රීයේත් ඇවිස්සුණ කඩිගුලක් මෙන් කාර්යයබහුලව පැවතුණි. ශ්‍රී ලංකාවේ සිට විවිධ රටවල් කරා පිටත්ව යන සහ පැමිණෙන මගීන්ගෙන් එදින රාත්‍රී ගුවන් තොටුපොළ පිරී ඉතිරී යන්නට පටන් ගෙන තිබුණි. කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂාවට හමුදා නිලධාරීන් මෙන්ම, විවිධ ආයතනවල නිලධාරීන් සිටියත්, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් වඩාත් සුවිශේෂී මෙහෙවරක් කළ සිදුවීමක් පසුගිය 6/22 දින රාත්‍රියේ සිදුවුණි.

ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් දවසේ පැය 24 පුරා ගුවන් තොටුපොළ විවිධ ස්ථානවල රාජකාරීමය වශයෙන් රැඳී සිටිමින්, නිරීක්ෂණ, ගවේෂණ මෙන්ම රැකවල්ද සලසමින් සිය සේවා ඉටුකරති. ඔවුන්ගේ උකුසු ඇසට ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙකු රත්තරන් ජාවාරමක් සිදු කරමින් පවතින බවට නිරීක්ෂණය වී තිබුණි.

මෙම කටයුත්ත විශේෂයෙන් මගීන් බහුල රාත්‍රී කාලයේ සිදුවන බවට ඔවුන්ට විවිධ අංශ මගින් ද තොරතුරු ලැබී තිබුණි. මෙම ජාවාරම්කරුවන් තම කටයුතු සඳහා රාත්‍රී කාලයම තෝරා ගැනීමට විශේෂ හේතු ගණනාවක්ම තිබේ. රාත්‍රී කාලයේ කොතරම් ගුවන් තොටුපොළ තුළ විදුලි ආලෝකය තිබුණත්. බොහෝ ජුගුප්සාජනක සිද්ධීන් අඳුරට වසන් වී මොහොතකින් සිදුකළ හැකි වීමත්, බොහෝ නිලධාරීන් විඩාබරව සිටීමත්, තවත් බොහෝ නිලධාරීන් කාර්යබහුලත්වයට පත්ව සිටීමත් ඒ අතර වේ.

එදින රාත්‍රියේ කෙමෙන් මැදියම් රැය කරා එළඹෙමින් තිබුණි. හරියටම වේලාව රාත්‍රී 11.30ට ආසන්නය. ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් කලක් තිස්සේ සෙවිල්ලෙන් සිටි ආගමන -  විගමන නිලධාරීයා අද තම රාජකාරිය සඳහා පැමිණ තිබෙන අයුරු ඔවුහු දැකගත්හ. දින ගණනාවක විවේකයකින් පසුව ඔහු යළිත් සිය රාජකාරිය සඳහා පැමිණ තිබුණි. කටුනායක ගුවන් තොටුපො‍ළේ පැමිණීමේ පර්යන්තය තුළ ඇති ආගමන - විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රය ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට පළමුවෙන්ම හමුවන රාජකාරී ස්ථානයකි. එය අවට පරිසරය එතරම් මගීන් ගැවසෙන ජනාකීර්ණ ස්ථානයක් නොවී තිබීමද විශේෂත්වයකි.

මෙම ප්‍රදේශය අවට මගීන් හැරෙන්නට වෙනත් කිසිවෙකු ගැවසීම සිදු නොකරන අතර, මෙම පරිශ්‍රයට මඳ දුරකින් ආපනශාලාවක් තිබේ. මෙම ආගමන - විගමන නිලධාරීවරයා ඇතැම් දිනවල තම රාත්‍රී රාජකාරි වේලාව තුළ මෙම ආපනශාලාවට ගොඩවන අයුරු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට මීට පෙර කීප අවස්ථාවකදීම නිරීක්ෂණය වී තිබුණි. ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට මෙම රත්තරන් ජාවාරමට තිත තැබීමට සුදුසුම දිනය අද බව ඉවෙන් මෙන් වැටහෙන්නට විය.

මධ්‍යම රාත්‍රියට තව පැය භාගයක් තිබියදී, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙක්, මෙම ආගමන - විගමන නිලධාරීයාට නොපෙනෙන්නට ඔහු දෙස සියුම් නිරීක්ෂණයක යෙදී සිටින්නට වූහ. ගතවූයේ නිමේෂයකි. ආගමන - විගමන නිලධාරීවරයා සිය රාජකාරී අසුනෙන් නැගිට, සෙමෙන් සෙමෙන් වටපිට බලමින් සමීපයේ ඇති ආපන ශාලාව වෙත ඇදෙන්නට විය. ඒ වනවිට එම ආපන ශාලාව තුළ මගීන් කීප දෙනෙකු පමණක් රැඳී සිටි අතර, මින් එක් අයෙකු සමඟ සුළු මොහොතක් කථා කළ මොහු, ඔහු ලබාදුන් යම් දෙයක්, තම කලිසමේ සාක්කු දෙකේ ඔබාගන්නා අයුරු ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට පැහැදිලිව නිරීක්ෂණය විය. එම ආරක්ෂක නිලධාරීන් තිදෙනා තවත් මොහොතක් හෝ ප්‍රමාද නොවී, මෙම ආගමන - විගමන නිලධාරීවරයා අල්ලාගෙන, ඔහුගේ සාක්කු පරීක්ෂාකර බලන්නට විය.

ආරක්ෂක නිලධාරීන්ගේ සැකය, ඔවුන්ගේ නිරීක්ෂණය, ඔවුන්ට ලැබී තිබූ තොරතුරු සියල්ලක්ම 100%ක් ම නිවැරැදි බව සනාථ කරමින්, ආගමන - විගමන නිලධාරීවරයාගේ රත්තරන්වලින් පිරී ගිය සාක්කු එම ආරක්ෂක නිලධාරීන්ගේ දෑත්වල දැවටෙන්නට පටන් ගෙන තිබුණි. මෙම නිලධාරීවරයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ආගමන - විගමන දෙපාර්තමේන්තු ශාඛාවේ දෙවන උසස්ම නිලධාරීවරයාය. ඔහු තනතුරෙන් ජ්‍යෙෂ්ඨ බලලත් ආගමන - විගමන නිලධාරීවරයාය. මොහු කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටින 50 හැවිරිදි අයෙකි.

මෙම නිලධාරීයාගේ සාක්කු පිරී ඇත්තේ රත්තරන්වලින් බව සැක හැර දැනගත් ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්, වහා මෙම නිලධාරීවරයා සහ රත්තරන් තොගය ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගත්හ. රේගු නිලධාරීන් මෙම ආගමන - විගමන නිලධාරීයාගේ හැඳ සිටි කලිසමේ සාක්කු දෙක තුළින් රත්රන් පාර්සල් කීපයක්ම එළියට ගනු ලැබීය. එහි රත්රන් බිස්කට් 60 ක් තිබූ අතර, ඒවායේ මුළු බර කිලෝග්‍රෑම් 06 ක් බව රේගුව කිරා මැන බැලීය. මෙම රත්රන් බිස්කට් සියල්ලේ වටිනාකම රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් බව ප්‍රකාශයට පත් විය.
මේ වනවිට, එනම් රාත්‍රී 12.30 වනවිට මාධ්‍යවේදීන් රැසක්ම මෙම සිද්ධිය වාර්තා කිරීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. මේ පුවත පසුදින එනම් 23 දින අලුයම 5.00 සිටම විවිධ ගුවන් විදුලි, රූපවාහිනි සහ විවිධ වෙබ් අඩවි ඔස්සේ විකාශනය කෙරෙන ප්‍රධාන පුවත බවට පත් වී තිබුණි. මෙම පුවත ඇසූ - නැරඹූ සියලු ශ්‍රාවකයන් - ප්‍රේක්ෂකයන්, උසස් රාජ්‍ය නිලධාරීවරයෙකු විසින් සිදුකළ මේ කටයුත්ත පිළිබඳව මහත්සේ සංවේගයට - කම්පනයට පත්ව සිටින ආකාරය මේ පිළිබඳව මාධ්‍යවේදීන්ගෙන් සිදු කෙරෙන විමසීම් වලින්ම අනාවරණය වී තිබුණි. තමන් මේ ආකාරයට මීට පෙර එක් වතාවක් පමණක් රත්තරන් ගුවන් තොටුපොළෙන් හොරෙන් පිට කළ බවත්, තමන්ට ඒ සඳහා එක් වාරයකට රුපියල් ලක්ෂයක් ගෙවන බවත් මෙම ආගමන - විගමන නිලධාරීවරයා ප්‍රකාශ කර තිබේ. එහෙත් තමන් මෙම රත්තරන් ලබාදුන් පුද්ගලයා හෝ ගුවන් තොටුපොළෙන් පිටකළ පසු භාර ගන්නා පුද්ගලයා පිළිබඳවද කිසිවක් නොදන්නා බවද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්. ජාබීර් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය, රේගු අධිකාරී එම්.අයි.එම්. ස්මායිල්, සහකාර රේගු අධිකාරීවරුන් වන ධනුෂ්ක ධර්මතිලක, සමනළ සමරසේකර, අමිල බණ්ඩාර, ප්‍රබෝධ මාසකෝරාල සහ චමෝද් සමරකෝන් යන මහත්වරු මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ මලික් ජයමාල් පෙරේරා මහතා මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය පැවැත්වූ අතර, එහිදී මෙම රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් වටිනා, කිලෝ ග්‍රෑම් 06 ක් බර රත්තරන් බිස්කට් 60 රාජසන්තක කළ අතර, මෙම ජ්‍යෙෂ්ඨ බලලත් ආගමන - විගමන නිලධාරීවරයාට රුපියල් තිස් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කළේය. මෙතරම් විශාල මෙම දඩ මුදල කිසිදු ප්‍රමාදයකින් තොරව ඔහු ගෙවා දැමුවේ, තමන් දුප්පත්, අවංක රාජ්‍ය සේවකයෙකුද යන්න ශ්‍රී ලංකා වාසීන්ට සිතීමට යමක් ඉතුරු කරමිනි.

♦ කටුනායක ටී.කේ.ජී. කපිල

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00