2018 ජුනි 30 වන සෙනසුරාදා

මුලින් බැන්නට දැන් හොඳ කියන 1990

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

සුවසැරිය ගිලන් රථ ඇතුළේ දරු උපත් 27ක්!

ශ්‍රී ලංකාව යනු බොහෝ දුෂ්කර ප්‍රදේශවලින් සමන්විත කඳුකර රාජ්‍යයකි. රට පුරා සමාන්තර ලෙස ව්‍යාප්ත වූ පුළුල් සාර්ථක ප්‍රවාහන සේවාවන් අපට නැත. මේ හේතුවෙන් වඩාත් දුෂ්කර අභියෝගයකට මුහුණ දෙන්නේ රෝගීන් යැයි කියන්නට පුළුවන. මහ මඟදී සිදුවන හදිසි අනතුරු ස්වාභාවික විපත්, වසංගත රෝග ආදියෙන් අපට අඩුවක් නැත. දුප්පත්ම අය මේ තත්ත්වවලට මුහුණ දෙන්නේ තම රෝගියා ත්‍රී රෝද රථයකට නංවා රෝහල කරා ගෙන යෑමෙන්ය. ත්‍රීරෝද රථයේ ගමන කොහොමටත් අවදානම්ය. ඒ හැරෙන්නට එහි රියදුරාට රෝගීන් පිළිබඳ හැඟීමක් නැත. මෙලෙස නුසුදුසු ප්‍රවාහනය නිසා අසාධ්‍ය රෝගීන් මරණයට පත්වූ අවස්ථා ද බොහොමයකි.

දියුණු රටවල සෞඛ්‍ය සේවාවේ අනිවාර්ය අංගයක් වන්නේ උසස් මට්ටමේ ගිලන් රථ සේවයයි. එය හැඳින්වෙන්නේ පූර්ව රෝහල් සත්කාරයක් ලෙසය. අංග සම්පූර්ණ ගිලන් රථ සේවාවක් තුළ ප්‍රථමාධාර කට්ටල තිබේ. රෝගියා අවදානමකින් තොරව ප්‍රවාහනය කළ හැකි මෙවලම් හා උපකරණ ද තිබේ. මේ හැරෙන්නට එබඳු රථයක් තුළ හදිසි සේවා සැපයිය හැකි වෛද්‍ය කාර්මික ශිල්පියෙක් ද සිටී. ඔහු හදිසි ප්‍රතිකාර මා සත්කාර සම්බන්ධයෙන් විද්‍යාත්මක පුහුණුවක් ලැබූ වෘත්තිකයෙකි. අසාධ්‍ය රෝගීන් අවදානමෙන් හා මරණයෙන් ගලවා ගත හැකි හොඳම ක්‍රමයක් ලෙස ගිලන් රථ සේවාව හැඳින්විය හැකි අතර අප රටෙහි ද දුප්පත් ජනතාවට 24 පැයේ ඕනෑම වේලාවක ක්‍රියාත්මක වන මෙවැනි සේවාවක් අරඹනු ලැබූයේ අසල්වැසි ඉන්දියාවේ සහයෝගයෙනි. 2016 වසරේ ජූලි මස ලැබූ මෙම සුවසැරිය ගිලන් රථ සේවාවට මේ වනවිට වසර දෙකක් සපුරා තිබේ.

මේ ගිලන් රථ සේවය හා පූර්ව සත්කාරක සේවාව මුළුමනින්ම නොමිලයේ ක්‍රියාත්මක වෙයි. මේ සඳහා ජනතාව කළ යුත්තේ හදිසි අවස්ථාවකදී දුරකථන ඇමතුමක් ලබා දීම පමණි. මේ වනවිට මෙම සුවසැරිය ගිලන් රථ සේවාවෙහි රෝගීන්ට හදිසි අවශ්‍යතා ප්‍රතිකාර කිරීම සඳහා ගිලන් රථ 88ක් පමණ බස්නාහිර හා දකුණු පළාත තුළ කේන්ද්‍ර ගත කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ මෙම ගිලන් රථ 13ක්ද, මාතර 9ක්ද, හම්බන්තොට 6ක්ද, ගම්පහ 24ක්, කොළඹ 25ක් සහ කළුතර 11ක් වශයෙන් තිබෙන මෙම ගිලන් රථවල නැවතුම වී ඇත්තේ ප්‍රදේශයේ පොලිස් ස්ථානයයි. එය එසේ වීමට හේතුව වන්නේ රජයේ රෝහල් පරිශ්‍ර තුළ සුවසැරිය ගිලන් රථ සේවාවට එරෙහි පැන නැගුණු විරෝධයයි.

සුවසැරිය ගිලන් රථ සේවය අරඹා මේ වනවිට වසර දෙකකට ආසන්න කාලයක් වන අතර මේ දක්වා කාලය තුළදී හදිසි අවස්ථා 75000කට වැඩියෙන් මොවුන් තම සේවය ලබා දී තිබේ. එක් දිනකදී හදිසි අවශ්‍යතා දුරකථන ඇමතුම් 800 – 1000ත් අතර ප්‍රමාණයක් මෙම සුවසැරිය ගිලන් රථ සේවාව සඳහා ලැබෙන අතර එලෙස ලැබෙනා ඇමතුම්වලට ප්‍රතිචාර දක්වමින් දිනකට හදිසි අවශ්‍යතා 175ත් 200ත් අතර ප්‍රමාණයක් ඉටු කෙරෙන බව එහි ප්‍රකාශකයෙක් අපට පැවසීය.

මේ වනවිට හදිසි දරු උපත් 27ක් පමණ සුවසැරිය ගිලන් රථ සේවාව තුළ සිදුව ඇත. සුවසැරිය ගිලන් රථ සේවය පිළිබඳව මෙරට සිටින බොහෝ දෙනෙක් ප්‍රශංසා මුඛයෙන් කතා කරති.  

හාට් ඇටෑක් හැදුණු මට එවේලෙම පිහිට වුණා
- පී. කේ. සුමනදාස - ඇල්පිටිය

“1990 කියන මේ හදිසි ඇම්බියුලන්ස් එක කතා කරපු ගමන් විස්තර අහගෙන ගෙදරටම එනවා. මට දිනක් හෘදයාබාධයක් හැදුණා. අපේ ගෙදරින් කතා කරපු ගමන් 1990 ඇම්බියුලන්ස් එක ඇවිත් ප්‍රතිකාර ලබාදීලා හැකි ඉක්මනට මාව රෝහල වෙත ගෙන ගියා. කවුරු මොන දේ කිව්වත් මේ ගිලන් රථ සේවය දුප්පත් අපිට පොඩි මිනිහට විශාල සහනයක්.”

ගංවතුරෙම ඇවිත් මගේ පුතාව රෝහලට ගෙනගියා
- එම්. ඩී. රම්‍යලතා - මතුගම

“පහුගිය ගංවතුර කාලයේ සීතලට එක පාරටම මගේ දරුවා අසනීප වුණා. ගංවතුර නිසා එක වාහනයක්වත් තිබුණේ නැහැ. පස්සේ මම 1990 ගිලන් රථ සේවයට කතා කළාම ගංවතුර තත්ත්වය බලන්නේ නැතුව ඔවුන් ආවා. ඇවිල්ලා එවෙලෙම පුතාව රෝහලට ගෙනියන්න උදව් කළා. ඇත්තටම මේ සේවාව දුප්පත් අපිට ලොකු සේවයක් කරනවා.”

මේ වනවිට මෙම සුවසැරිය ගිලන් රථ සේවාව 1990 සුවසැරිය පදනම ලෙසට පිහිටුවීමට වූ පනත් කෙටුම්පත පසුගිය 21වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමඟම 1990 සුවසැරිය ගිලන් රථ සේවය ශ්‍රී ලංකාව පුරා පළාත් නමයේම දිස්ත්‍රික්ක 25 තුළම ක්‍රියාත්මක කිරීමට රජය විසින් සැලසුම් කර ඇත.

හදිසි අවස්ථාවකදී 1990 අංකයට ඇමතූ විට විනාඩි 13ක් ඇතුළත රෝගියා සිටින ප්‍රදේශයට පැමිණිය හැකි වඩාත්ම ආරක්ෂිත ආකාරයට රෝගියා රෝහල්ගත කිරීමට හැකි “සුවසැරිය” මගින් මහජනතාවට විශාල සේවයක් සිදුවේ. එමෙන්ම රට පුරාම මේ ගිලන්රථ සේවය ක්‍රියාත්මක කිරීමේදී තවත් ගිලන් රථ 209ක් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය වන කාර්ය මණ්ඩලය 1800ක් පමණ වනු ඇත. ලබන මස අවසානයේදී මෙහි මීළඟ අදියර ලෙස මෙම සුවසැරිය ගිලන් රථ සේවාව ඌව සහ උතුරු පළාත්වල ඇරඹීමට නියමිතය.

අප දන්නා පරිදි ශ්‍රී ලංකාවේ සෑම රෝහලකටම ගිලන් රථ සේවයක් නැත. ගිලන් රථ සේවයක් පවතින රෝහල් ද සිය සේවාව බොහෝ විට ලබා දෙන්නේ රෝගියා රෝහලකින් තවත් රෝහලකට ප්‍රවාහනය කිරීම සඳහාය. නිවසට හෝ අනතුර සිදුවූ ස්ථානයට ගොස් රෝගීන් රුගෙන ඒම සිදුවන්නේ හදිසිම අවස්ථාවලදී පමණි. ඇතැම්විට රියදුරන් නිවාඩු ගියවිට ගිලන් රථ සේවය මුළුමනින්ම නවතින රෝහල් ගැනද අප ඕනෑ තරම් අසා ඇත. තවත් රෝහල්වල ගිලන් රථ අන්තිමටම අබලන්ය. පෞද්ගලික ගිලන් රථ සේවා කිහිපයක් රටේ ඇතිමුත් ඒවායෙහි සේවාව ලබා ගැනීමට අධික මිලක් ගෙවිය යුතුය. සාමාන්‍ය පුද්ගලයකුට එබඳු වියදමක් දරාගත නොහැකිය. මේ පසුබිම තුළ සුවසැරිය ගිලන් රථ සේවාව නිදහස් සෞඛ්‍ය සේවාව තහවුරු කිරීමට රුකුලක් බව කිව යුතුය.

►හසිත් අංජන