2018 ජුනි 30 වන සෙනසුරාදා

හිර ගෙදර ඉඳන් එම්.ඒ. උපාධිය ගත් හිටපු එස්.අයි

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 279
සිපිරි ගෙදර යකඩ කූරු අතරට සිරවූ මිනිසුන් දහනව දහසක් මෙරට සිටින බව, වැඩිදෙනකු දන්නේ නැත. සෑම වසරකට වරක් ලක්ෂ පහකට වැඩි පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාරගත වන බවද වැඩි දෙනකු දන්නේ නැත

මේ රැඳවියන්ගෙන් වැඩිම පිරිස නූගතුන්ය. දුප්පතුන්ය. පාසලකට පමණක් නොව, දහම් පාසලකට අඩියක් නොතැබූ අයද මේ අතර සිටිති.
 
ඒ අනුව, බන්ධනාගාරගතව සිටින සිරකරුවන් අතරින් 3000කට වැඩි පිරිසක් කිසිදිනෙක පාසල් ගොස් නැති අතර 7000කට වැඩි පිරිසක් උසස් අධ්‍යාපනය හැදෑරුවන් බවට බන්ධනාගාර වාර්තා හෙළි කරයි.
 
මෙහි වඩාත්ම ඛේදජනක තත්ත්වය වන්නේ මේ වන විටත් උපාධිධාරීහු 30කට අධික පිරිසක් සිරදඬුවම් විඳීමය. කෙසේ වුවද සිරකුටිය තුළ සිට උගතුන් වූත්, උපාධිධාරීන් වූත් සිරකරුවන්ද නැත්තේ නොවේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියට නව අරුතක් දුන් එවන් සිදුවීම් අතර හිටපු උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ, නැමති සිරකරුවාගේ නම එහි ඉතිහාසයට එක්වන්නකි.
 
ඒ සමඟම සිහිපත් වන්නේ සිරකරුවකු විසින් කලකට පෙර බන්ධනාගාර බිත්තියක ලියා තැබූ සටහනකි. බන්ධනාගාරය යන්නට ඒ සිරකරැවා දුන් අරැත හා ඉන්දික බමුණුසිංහ සිරකරැ චරිතය අතර මනා සබැඳියාවක් දනවයි.
 
“කම්මැලියාට බෝඩිමක්
හිඟන්නාට දන්සලක් 
මෝඩයාට රාජ්‍යයක්
උගතාට විදුපියසක්”
 
මෙරට අධිකරණ ඉතිහාසය තුළ ඉමහත් ආන්දෝලනයකට ලක්වූ බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයෙන් පොලීසියද සසල වූයේ එවකට දක්ෂ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද එහි ප්‍රධාන විත්තිකරැ කරවමිනි. එම ඝාතන සිද්ධියෙන් මරණ දඬුවම හිමිවූවන් අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, හිටපු උප පොලිස් පරීක්ෂක ඉන්දික බමුණුසිංහ, රවිඳු වාස් ගුණවර්ධන (වාස් ගුණවර්ධන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුතා) සමඟ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙක් වෙති.
 
අදට වසර තුනක් තිස්සේ ඔවුන් හයදෙනා වැලිකඩ බන්ධනාගාරයේ “චැපල් වාට්ටුවේ” “සී 3” සිරමැදිරියේ ගත කරනුයේ ජීවිතය පිළිබඳ කිසිදු බලාපොරොත්තුවක් නොමැතිවය. එහෙත් ඉන්දික බමුණුසිංහ හිටපු උප පොලිස් පරීක්ෂකවරයා සිය සිරකුටිය ජීවිතයට අභියෝගයක් බවට පත් කර නොගත්තේය. සිරදිවිය වෙස් වලාගත් ආශිර්වාදයක් කොට සලකන්නට ඔහු හුරුපුරුදු වූයේ අපූරු සිරකුටිය තුළට වී දින සති මාස ගණන් කල් ගෙවද්දීය.
 
2013 වසරේදී මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වන විටත් ඔහු 2012 වසරේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (බී.ඒ.) බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වී එහි ප්‍රථම වසරද අවසන් කර සිටියේය.
 
ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන බමුණුසිංහ නුගේගොඩ, සාන්ත ජෝන් විද්‍යාලයේ උසස් පෙළ හැදෑරුවද විශ්වවිද්‍යාල වරම් ලබන්නට තරම් ලකුණු ලබා සිටියේ නැත. ඔහු බාහිර උපාධිය කරන්නට ලියාපදිංචි වූයේ ඒ නිසාය. ඉගෙනුමටත්, ක්‍රීඩාවටත් උපන් හපන්කම් දැක්වූ ඔහු උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූයේ 2006 වසරේදීය.
 
ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා යටතේ පෑලියගොඩ පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශයට සම්බන්ධ වන විට දිවයින පුරා නොමැකෙන නමක් තබමින් රාජකාරියට උරදී සිටියේය. වාස් ගුණවර්ධන මහතා යටතට පත්වන විට ඔහුගේ ජීවිතය මුළුමනින්ම උඩු යටිකුරු වේ යැයි කිසිවකුත් නොසිතන්නට ඇත. දෛවයේ සරදමක් පරිද්දෙන් ඒ සියල්ල එලෙසින්ම සිදුවෙද්දී උපාධිධාරිනියක සමඟ යුගදිවියට ගමන් අරඹා ගතවී තිබුණේ හරියටම මාස 4 ක් පමණි.
 
මොහොමඩ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට නඩු පවරනු ලැබුවේ 2014 මාර්තු 31 දාය. ඒ වන විටත් වසරකට අධික කාලයක් තිස්සේ ඔවුන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවූයේ කවදා හෝ නිදහස් වී ගෙදර යන්නටය. උසස් අධ්‍යාපන වරම් හිමිකර ගැනීමේ ඔහුගේ එකම සිහිනය මෙම අවාසනාවන්ත සිද්ධියත් සමඟම බොඳව ගියද ආත්මවිශ්වාසය හා ආත්මධෛර්යය තුළින් සිරකුටියේ යකඩ කූරු මතින් නැගී සිටින්නට ඔහු වෙර දැරූ වාර අනන්තය.
 
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ හා එවකට වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දන ඒකනායක මහත්වරුන්ගේ ආශිර්වාදය මැද සිය තිර අදිටන අත්නොහළ ඔහුට නිලධාරීන් දෙදෙනාම අත්වැලක් වූයේ නොසිතූ අයුරිනි. ඔහු වැලිකඩ බන්ධනාගාරයට සිර අංක ටී.22006 නමින් නොම්මරයක් පමණක් බවට පත්වුවද ඉදිරි අධ්‍යයන කටයුතු කරගෙන යාමේ මුල් අත්තිවාරම තබමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් පරීක්ෂණයට පෙනී සිටින්නට තරම් ඔහු වාසනාවන්ත විය.
 
ඒ වන විටත් පෝරකය පාමුල සිරකුටියට වී රැය පහන් වන තෙක්ම පත පොත පරිශීලනය කරමින්, නිදිවරමින් කාලය ගත කළ ඔහුට ඉහළින් ලැබුණු ආශිර්වාදය මහා සවියක් වී තිබිණි. එතෙක් සිමෙන්ති පොළොව මත වැතිර පොත පත හැදෑරූ ඔහුට පුටුවක්, මේසයක් පමණක් නොව, මේස ලාම්පුවක්ද සැපයුණු අතර රාත්‍රී දහයෙන් පසු බන්ධනාගාර නීතියට අනුව සිරවාට්ටුවල විදුලි බුබුළු නිවීයද්දී අඳුරු සිරකුටිය තුළ මේස ලාම්පු එළියෙන් ඔහු දිගටම අකුරු කළේ අනෙකුත් සිරකරැවන් නින්දට වැටෙද්දීය.
 
බන්ධනාගාරයේත්, විශ්වවිද්‍යාලයේත් විශේෂ අවසරය මත සෑම සති දෙකකට වරක්ම බන්ධනාගාරයටත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත් පියමනින ඇය සිය සැමියා බැලීමට පැමිණෙන හැම වාරයකදීම සරසවියෙන් ලබාගත් දේශන සහිත හඬපට ඔහුට ලබාදුන්නේ නැණ නුවණ සවිමත් කරන්නට තරම් සැබෑ සෙනෙහසින් යුතුවය. නව යොවුන් වියේදීම තම දෙපළට අත්වූ ඉරණම දෙස හැම විටෙකදීම උපේක්ෂා සහගතව බැලීමට හුරුපුරුදු වූ ඇය සැමියාගේ අධ්‍යයන කටයුතුවලට ජීවයක් ගෙන දුන්නේ 2013 වසරේ සිටය. සිය උත්සාහයේ අවසන් ප්‍රතිඵලය වූයේ ඔහු ඉහළින්ම ශාස්ත්‍රවේදී (බී.ඒ) උපාධිය සමත් වී බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දෙමිනි. 
 
ඒ පිළිබඳ පුවත බන්ධනාගාරය තුළ පැතිර යද්දී සෙසු සිරකරුවන් එකසිතින් ඔහුට ආශිර්වාද කරන්නටද අමතක කළේ නැත. දිනය 2017 ජනවාරි මස 5 වැනිදාය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයට ඔහුටද ඇරයුම් ලැබිණි. සිරකරුවකු ලෙසින් නොව, උපාධිධාරියකු ලෙසින් එදා ඔහු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ගියේ සාමාන්‍ය මිනිසකු පරිද්දෙනි. 
 
විශේෂ ගණයේ සිරකරුවකු නිසා ඒ බැව් නොදැනෙන්නට ආරක්ෂක රැකවලුන්ද සාමාන්‍ය පරිදි උත්සව ශාලාවේ අසුන්ගෙන සිටියේ උපාධිධාරී සිරකරුවාගේ ආත්මගෞරවය ආරක්ෂා කර දීමටය. උත්සවයට සහභාගි වීම සඳහා උපාධි ලෝගුව පවා බන්ධනාගාර නිලධාරීන් ඔහුට සපයා දී තිබීමද විශේෂ සිද්ධියකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එවකට කුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි අතින් ඔහු එදා සිය උපාධි සහතිකය ලබාගත්තේ මුළු ලෝකයම තමන් දෑතට ගත්තාක් මෙනි. එය එදා ඒ තරමටම සංවේදී දසුනක් බවට පත්ව තිබුණි. ඒ දසුන එදා උත්සව ශාලාවේ සිටි කාගේත් නෙතට කඳුළක් එක් කළ බවද කිව යුතුය.
 
දෛවයේ කුරිරු සරදමට ලක්ව ඔහුගේ මුළු ජීවිතයම සිරකුටියක සිරවුවද ඒ සිත සිරකර තබන්නට කිසිවකුටත් නොහැකි විය. බන්ධනාගාර අධිකාරියේ අවසරය මත ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය සඳහා ලියාපදිංචි වූයේ ඊළඟ පිම්මටය. යළිත් සිරකුටියේ රාත්‍රී පහන් දැල්විණි. තම සගයන් දෙදෙනා නිදද්දී ඔහු යළිත් ජීවිතයට මුහුණ දුන්නේය. ඉහළ නිලධාරීන්ගේ අවසරය මත සිය අධ්‍යයන කටයුතු නිදහසේ පවත්වාගෙන යාම සඳහා දිවා කාලයේ ගත කිරීමට ඔහුට වෙනම ස්ථානයක්ද සැකසිණි.
 
සිරදඬුවම් පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිහිපදෙනකුගේ හා ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකුගේ සහාය ද ඔහුට ලැබී තිබුණේ අනාගත ගමන් මඟ ජයගන්නට සවිමත් අත්වැලක් සපයමිනි. කාලය කෙමෙන් ගෙවෙද්දී ඔහු රාත්‍රී කාලය පුරාවට පෝරකය අබියස පිහිටි සිරකුටියට වී නිදිවර්ජිතව සිටිමින් ඊළඟ ඉලක්කය හඹා ගියේය. ඒ සඳහා ඔහුට අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට වත්මන් වැලිකඩ බන්ධනාගාර අධිකාරී එම්.එෆ්. ලාහිර් මහතා සැමවිටම සැදී පැහැදී සිටියේ දෙපාර්තමේන්තුවට එමගින් හිමිවන කීර්තිය අන් හැමකටම වඩා වටිනා නිසාය.
 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ විශේෂ අවසරය මත ඔහුට ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (එම්.ඒ.) සඳහා වන විභාගයට පෙනීසිටීම සිරකුටියේ සිටම සිදුකිරීමට හැකිවීමද විශේෂත්වයකි. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරය තුළ විශේෂ විභාග මධ්‍යස්ථානයක්ද පිහිටුවීමට සිදුවිය. 2017 ඔක්තෝබර් මස 27 සිට දෙසැම්බර් 10 දක්වා විභාගයට දින නියමවූයේද ඒ අතරය. එම කාලය ඇතුළත සෑම ඉරු දිනයකදීම විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ අධීක්ෂණය යටතේ විභාගය පැවැත්විණි.
 
බන්ධනාගාර ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් බමුණුසිංහ සිසුවා ශාස්ත්‍රපති (එම්.ඒ.) විභාගය ඉහළින්ම සමත් වූ පුවත රටටම අනාවරණය වූයේ නොබෝදාය. 
 
ලාහිර් අධිකාරිවරයා සඳහන් කරන අන්දමට ඔහු සමාජ විද්‍යාව විෂය යටතේ “ඒ” සාමාර්ථයක් හා “බී” සාමාර්ථ 5 ක් ලබාගනිමින් ඉහළම වාර්තාව තැබුවේ ලෝකයේ බන්ධනාගාරගත එවැනි සිරකුරුවන්ගේ නාමාවලියේ 5 වැන්නා බවට පත් කරමිනි.
සමාජ විද්‍යා න්‍යාය (බී), සමාජ පර් යේෂණ (බී), සහජීවන සමාජ විද්‍යාව (බී), සමාජ ශාස්ත්‍රීය (බී), සමකාලීන සමාජ විද්‍යාව (බී), සංයුක්ත සමාජ විද්‍යාව (ඒ) ඔහුගේ විභාග ප්‍රතිඵල ලේඛනයට අයත් විය.
 
විභාග සාමාර්ථයේ මධ්‍යම අගය මත ඉහළම ලකුණු මට්ටමක් වාර්තා කිරීමට බමුණුසිංහ නැමැත්තා සමත් වී ඇතැයිද ලාහිර් මහතා කීවේය.
 
සිරගතව සිටියදී ශාස්ත්‍රපති උපාධියද, (බී.ඒ) ශාස්ත්‍රවේදී උපාධියද (එම්.ඒ) හිමිකරගෙන මෙරට එකම සිරකරුවා වූ ඔහුගේ ඊළඟ අරමුණ “දර්ශනපති” විභාගයට පෙනීසිටීම බවද ලාහිර් මහතා අනාවරණය කළේය.
 
ඒ සඳහා සමාජ විද්‍යාව යටතේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වීම සඳහා ඔහු අවසරය ඉල්ලා ඇතැයිද කී ලාහිර් මහතා දර්ශනපති (M Phil) උපාධිය සඳහා “පුනර් සමාජානුයෝජනය” නැමති නිබන්ධනය ඉදිරිපත් කරන බව ඔහු පැවසූ බවද සඳහන් කළේය. එහි අවසන් අදියර වන ආචාර්ය (පී.එච්ඩී) උපාධිය ලබාගැනීම බැවින් දර්ශනපති (එම්.ඒ) විභාගයෙන් පසු ඔහු ඊටද මුහුණදීමට සූදානම්ව සිටින බවද අධිකාරිවරයා කියා සිටියේය.
 
තමන්ගේ ගමන් මඟට සවිමත් අත්වැලක් වූ කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ඒ සැබෑ මිනිසුන් පිළිබඳවද ඔහු සිය කෘතවේදීත්වය පළකිරීමට අමතක නොකරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාද, සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාතිලක, මහාචාර්ය වසන්තා සුබසිංහ, ආචාර්ය උබේසේකර, ආචාර්ය සුභාෂිණී, ආචාර්ය ගීතානි අමරතුංග, ආචාර්ය සිසිර, ආචාර්ය අනූෂා සහ ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර ඒ අතර සිටින බව ඔහු පවසා තිබිණි.
 
සිය මානසිකත්වය බිඳනොගෙන විශිෂ්ට දක්ෂතා පෙන්වා ඇති මෙම සිරකරු සෙසු සිරකරුවන්ට ආදර්ශයක් මෙන්ම සමස්ත දෙපාර්තමේන්තුවට අභිමානයක් බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා පවසයි. 
 
►ජයන්ත සමරකෝන්