2018 ජුනි 30 වන සෙනසුරාදා

පාන් බිස්නස් එකට පාන් කියාගන්නත් බෑ. ඒ තරම් බදු.

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 530

පාන් නිෂ්පාදනයට ප්‍රධාන වශයෙන් තිරිඟු පිටි භාවිත කරන නිසා පාන් නිෂ්පාදනවල මිලට තිරිඟු පිටි මිල බලපායි. තිරිඟු පිටි ආනයනය කරන සීමාසහිත ප්‍රීමා සමාගම විවිධ අවස්ථාවල තිරිඟු පිටි මිල ඉහළ නැංවූ අතර එය ආණ්ඩුවට පවා පාලනය කරගත නොහැකිව අධිකරණවලට යාමට පවා පසුගිය කාලයේ සිදු වූ බව අපට මතකය.

පාන්වලට පාලන මිලක් පවතින නමුත් එම මිල ඉක්මවා විවිධ මිල ගණන්වලට විවෘත ලෙසට අලෙවි කරනු දැකගත හැකිය. පාන් ගෙඩියක බර අවම වශයෙන් ග්‍රෑම් 450ක් විය යුතු යැයි නියම කර ඇති අතර එම බරේ පාන් ගෙඩියක මිල රුපියල් 55ක් විය යුතු යැයි ආණ්ඩුව උපරිම සිල්ලර මිල ආණ්ඩුව තීරණය කර තිබේ. එහෙත් අද වෙළෙඳපොළේ ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් සොයා ගැනීම නිකිනි සොයනවාටත් වඩා අපහසුය. එසේම බර ගැන නොසලකා විවිධ මිල ගණන්වලට පාන් අලෙවි කර ජනතාව ගසා කෑමට බේකරි මුදලාලිලා කටයුතු කරති. ප්‍රමිතිය ගැන නොසලකා අද වෙළෙඳපොළේ අලෙවි කරන පාන් ගෙඩියක බර ග්‍රෑම් 250 – 350 අතරය. ඇතැම් පාන් ගෙඩිවල බර වැඩි කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කරයි. විවිධ පෝරණුවල නිෂ්පාදිත පාන් විවිධ හැඩවලින් යුතු අතර ප්‍රමිතියෙන් පහළය.

ගමේ බේකරියේ නිෂ්පාදනය කරන පාන් මෙම මිලට අලෙවි කළද සුපිරි බේකරිවලින් රුපියල් 300 – 400 මිලට ද පාන් වෙළෙඳපොළට එයි. අතමිට සරු පින්වත්තු එම මිලට ගැනීමට සැදී පැහැදී සිටිති. ඔවුන්ට ගෙඩියේ උසස් තත්ත්වය, මිල ගැන තැකීමක් නැත. එපමණක් නොව විවිධ බේකරි නිෂ්පාදන සහ කෙටි කෑම වර්ග ද ඒවායේ ඉතාම ඉහළ මිල ගණන්වලට අලෙවි කෙරේ. පාන් දුප්පතාගේ ආහාරයක් මෙන්ම පොහොසතාගේ බොජුනක් බවට ද පත්ව තිබෙන්නේ මේ ආකාරයටය.
පාන් නිෂ්පාදනය කරන තිරිඟු ඇටවලට රජයට කිලෝවකට රුපියල් 10ක් බදු අය කරන අතර විවිධ අවස්ථාවල එම බද්ද අඩු කරන ලෙස සමාගම ඉල්ලා සිටී. එසේ බදු අඩු කරන ලෙස ඉල්ලන්නේ පිටි මිල ඉහළ නොදැමීම සඳහා යැයි ප්‍රීමා සමාගම කියයි. එහෙත් ප්‍රීමා සමාගම තම ඒකාධිකාරී බලය ගොඩ නගාගෙන අනම්‍ය ඉල්ලුමක් පවතින තිරිඟු ආනයනය කර අලෙවි කිරීමෙන් අසීමිත ලාභයක් ලබයි.

කෙසේ වුවද අද වනවිට ආදායම් බදු පනත මගින් අලුතෙන් හඳුන්වා දුන් බදු සහ රුපියල් අවප්‍රමාණය වීමෙන් බොහෝ භාණ්ඩ මිල ඉහළ යමින් පවතිත්දී සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන තිරිඟු පිටි නිෂ්පාදනවල මිල මෙලෙස දිනපතා ඉහළ යාම විශාල හිරිහැරයක් බවට පත්ව තිබේ. බේකරි හිමියන් සහ ආපනශාලා කර්මාන්තයට සම්බන්ධ අය පවසනුයේ පාන් නිෂ්පාදනවල මිල ඉහළ යාම ආණ්ඩුවේ වරද නිසා සිදුවන බවය. යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු මුලදී සියයට 11ක්ව තිබූ වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ නැංවූ අතර ජාතිය ගොඩනැගීමේ බද්ද, ව්‍යාපාර පිරිවැටුම් බද්ද ආදී බදු රාශියක් තම ව්‍යාපාරවලට එල්ල කර ඇති බව ඔවුහු කියති. ඒ නිසා ආණ්ඩුව කියන මිලට නියමිත බරෙන් යුතු පාන් අලෙවි කර නොහැකි අතර තමුන්ට පාන් අලෙවියෙන් සිදුවන පාඩුව යන්තම් හෝ ආවරණය කර ගන්නේ කෙටි කෑමවල මිලෙන් බව ඔවුහු කියති. ඒ නිසා කෙටි කෑම මිල ඉහළ දැමීමට සිදුව ඇති අතර වෙළඳපොළේ පවතින දැඩි තරගකාරීත්වය නිසා විශාල ලෙස මිල ඉහළ නැංවීමට ද ඔවුන්ට නොහැකි වී ඇත.

වර්තමානයේ රටේ පවතින බේකරි නිෂ්පාදනවල මිල සහ ඒ හේතුවෙන් බේකරි හිමියන්ට මුහුණ පාන්නට සිදුව ඇති ගැටලු පිළිබඳ විග්‍රහයක යෙදෙන සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන මහතා මෙසේ පවසයි.
“අද බේකරි නිෂ්පාදනවල මිල ඉහළ ගොස් තිබෙන්නේ මුළුමනින්ම රටේ පවතින අසාධාරණ බදු ප්‍රතිපත්තිය නිසයි. ආණ්ඩුව ඉතාම අසාධාරණ ලෙස නිෂ්පාදනවල ප්‍රධාන අමුද්‍රව්‍යවලටත් අතුරු නිෂ්පාදන ද්‍රව්‍යවලටත් බදු ගහනවා. මේ හැර දැන් රුපියල අව ප්‍රමාණය වීම නිසා දිනපතා බදු වැඩිවෙනවා. මේ තත්ත්වයට කිසිදු විසඳුමක් නොදීම නිසා බේකරි හිමියන් මෙන්ම අසරණ පාරිභෝගිකයන් ද අමාරුවේ වැටිලා සිටිනවා. බේකරි නිෂ්පාදන බොහෝ කොට පාරිභෝජනය කරන්නේ සාමාන්‍ය දුප්පත් ජනතාවයි. ඒ අය මේ නිසා හැම පැත්තෙන්ම අමාරුවේ වැටිලා තියෙනවා. දොස් කියන්නේ අපටයි.

ආණ්ඩුව තිරිඟු ආනයනයේදී තිරිඟු ඇටවලට කිලෝවකට රුපියල් 10ක බද්දක් අය කරනවා. එයට අතිරේක වශයෙන් තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කරන දේවලට ද දිගට හරහට බදු ගහනවා. එකම දේකට දෙවරක් බදු ගැසීම ඉතාම අසාධාරණයි. පාන් ගෙඩියකට රැපියල් 2ක ජාතිය ගොඩනැගීමේ බද්දක් අය කරන අතර තිරිඟු පිටිවලින් නිෂ්පාදනය කරන අනිත් සෑම ආහාරයකටම රුපියල් 2 බද්දට අමතරව රුපියල් 15ක වැට් බද්දක් ගෙවිය යුතු වෙනවා. මේ අනුව කෙටි කෑමවලට සියයට 17ක බද්දක් ගෙවිය යුතු වෙනවා. පෙර ආණ්ඩුව කාලේ තිබුණේ සියයට 11යි.

පැහැදිලිව කිවතොත් රුපියල් 35කට අලෙවි කරන මාළු පාන් ගෙඩියකට රුපියල් 6ක් බදු ලෙස ගෙවිය යුතු වෙනවා. මිල වැඩි වනවිට ගෙවිය යුතු බද්ද ද ක්‍රමයෙන් ඉහළ යනවා. මෙය ඉතාම අසාධාරණයි. බනිස්, රෝල්ස්, බර්ගර්, කේක්, වඩේ වැනි කෙටි කෑමවලටත් මේ සියයට 17 බද්ද වලංගු කර තියෙනවා. සාමාන්‍ය බනිස් ගෙඩියකින් කිඹුලා බනිස් එකකින් අය කරන බද්ද රුපියල් 5ක්. රෝල් එකක් රුපියල් 50කට අලෙවි කරන විට රුපියල් 8/ 50ක බද්දක් ගෙවිය යුතුයි.

බේකරි නිෂ්පාදනයට පාවිච්චි කරන අතිරේක අමුද්‍රව්‍ය සඳහා බදු නිතරම ඉහළ යනවා. මාගරින් කිලෝවක මිල රුපියල් 500යි. එයට සියයට 200ක බදු අය කරනවා. බටර් කිලෝව රුපියල් 2000යි. එයට බද්ද සියයට 500යි. බටර් මිල ඉතාම ඉහළ නිසා අද බේකරි නිෂ්පාදනවලට බටර් යොදාගන්නේ නැහැ. වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ මාගරින්. බටර් පාන් කියලා අද පාරිභෝගිකයා කන්නේ බටර් පාන් නෙවෙයි. මාගරින් පාන්. ෆාම් ඔයිල් ලීටරය රුපියල් 120ක් බදු වදිනවා. මෙම ද්‍රව්‍යවල ආනයනික මිලට වඩා බද්ද වැඩියි. බදු නැතිනම් මාගරින් කිලෝව රුපියල් 150ට, බටර් කිලෝව රුපියල් 500ට අලෙවි කරන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් සාමාන්‍ය ජනතාවට ගුණදායක ආහාර පාරිභෝජනය කිරීමේ අයිතිය අහෝසි කර තිබෙනවා.

මෙලෙස බදු වැඩිවීම නිසා කෙටි කෑමවල මිල වැඩි කරන්න බේකරි හිමියන්ට අනිවාර්යයෙන් සිදුව තිබෙනවා. අද පුහුණු ශ්‍රමිකයන්ට ගෙවන මුදල ද ඉහළයි. එසේම ප්‍රවාහනය, විදුලිය, ජලය වැනි හැමදේටම මිල වැඩියි. පාරිභෝගිකයන් මෙහි සත්‍ය තත්ත්වය දන්නේ නැහැ. ඔවුන් හිතන්නේ අපි අසාධාරණ ලෙස මිල නංවනවා කියලා. එහෙත් අපි මෙය කැමැත්තෙන් කරන දෙයක් නෙවෙයි. කර්මාන්තය දිගටම කරගෙන යාමට නම් මිල වැඩිකිරීම හැර අන් විකල්පයක් නැහැ. බේකරි නිෂ්පාදනයට අදාළව ලක්ෂ 5ක පමණ වෘත්තිකයන් සිටිනවා. ඔවුන්ගෙන් යැපෙන අය ලක්ෂ 10 – 12 පමණ වෙනවා. යම් විදියකින් බේකරි කර්මාන්තය බිඳ වැටුණහොත් මේ සියලු දෙනාම අනාථ වෙනවා.

සංගමය ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කෙටි කෑමවලට බදු සහනයක් සලසන ලෙසයි. සාමාන්‍ය ජනතාව පාවිච්චි කරන බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට විශේෂයෙන් බලපානවා.

සෘජුවම මෙය ජනතාවට බලපාන ප්‍රශ්නයක්. ජනතාවාදී රජයකින් මෙම සහනය සිදුවිය යුතුමයි. අප මේ පිළිබඳ මුදල් ඇමැති හෝ ජනාධිපති සමඟ සාකච්ඡාවක් ඉල්ලා තිබෙනවා. අපි එය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එසේම ත්‍රිරෝද රථ වැනි ජනතාවට සෘජුව බලපාන වෘත්තිකයන්ගේ සංගම් සමඟ ද ඒකාබද්ධ වෙලා ආණ්ඩුවට දැනෙන උද්ඝෝෂණයක් කිරීම අපේ ඊළඟ බලාපොරොත්තුවයි.”

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්

“හෝටල්වල අලෙවි කරන කෑමවල මිල දිනපතා වැඩි වෙනවා. පාරිභෝගිකයා නියම මිල දන්නේ නැහැ. හෝටලයකින් අද කෑම කන මිලට හෙට කන්න බැහැ. මස්, මාළු, එළවළු මිල අහස උසට. ඉතින් කොහොමද පහත මිලකට නිසි ගුණාත්මකභාවයෙන් යුතු කෑම දෙන්නේ. සබන් කෑල්ලේ මිලත් දිනපතා වැඩිවෙනවා. ඒ කිසිම හේතුවක් නැතුව. ඒත් ආහාර මිල වැඩිවෙන්නේ අදාළ අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසයි.

අනිත් අතට ආහාර ද්‍රව්‍යවලට අය කරන බද්ද කීයද? එම බද්ද පාරිභෝගිකයාගෙන් අය කරගෙන ආණ්ඩුවට ගෙවනවාද එහෙම නැතිනම් වෙනත් අතරමැදියෙක් වාසි ලබාගන්නටද යන්න ජනතාව දන්නේ නැහැ. පාරිභෝගික සේවා අධිකාරියේ කාර්යභාරය ගැන ජනතාවට අවබෝධයක් නැහැ. ඔවුන් කියන දේවල් කරනවාද කියලා හිතන්න බැහැ. එහෙම කළානම් බඩු මිල කොතරම් අඩු වෙන්න ඕනද? එහෙම වෙලා නැහැ.

පාන් ආදි අතුරු නිෂ්පාදනවල, කෙටි කෑමවල මිල ඉහළ යාම ආපන ශාලා කර්මාන්තයට මේ වනවිට තදින් බලපානවා. අද හොදි සමඟ පාන් කෑල්ලක් කෑවොත් බත් පැකට්ටුවක මිලට වැඩි මිලක් ගෙවන්න වෙලා. එහෙම නම් දුප්පත් ජනතාවට පාන් කැබැල්ලකින්, කෙටි කෑමකින් වේලක් පිරිමසා ගන්න බැහැ.

අපි තමා වෙළඳසල් ඉදිරිපිට තරාදියක් තැබීම අනිවාර්ය කළ යුතු බව පැවසුවේ. තමා මිලට ගන්නා භාණ්ඩ නිසි බරට තියෙනවාද කියා සනාථ කර ගැනීම පාරිභෝගිකයාට තිබිය යුතු අයිතිවාසිකමක්. ඒත් අද එය ක්‍රියාත්මක නැහැ. බේකරි කර්මාන්තය ඉතා හොඳින් කරගෙන යන පාරිභෝගිකයාට සහනයක් වන සේ කටයුතු කරන අය ඉන්නවා. ඒ වගේම අප්‍රසාදයට පත්වන ලෙස එය කරන අයත් ඉන්නවා. ආණ්ඩුව කළ යුත්තේ මෙම කර්මාන්තයේ ඇති අඩුපාඩු සොයා බලා වර්තමාන ලොවට ගැලපෙන අයුරු එය සකස් කිරීමයි. පාරිභෝගිකයාට සහ නිෂ්පාදකයාට සහන සැලසෙන අයුරු බේකරි කර්මාන්තය නියාමනය කළ යුතුය.

පාන් ගෙඩියක බර ග්‍රෑම් 450 කියලා නියම කළාට එහි මිල ගැන නියමයක් නැහැ. ඒ නිසා පාන් හිතූ මිලට විකුණනවා. කෙටි කෑම වර්ගත් එහෙමයි. කෑම එකක, තේ කෝප්පයක ප්‍රමිතියක් හෝ නියම මිලක් නැහැ. අද මිල දර්ශන ප්‍රදර්ශනය කරන්නේ නැහැ. අප සංගමයට ආපන ශාලා හිමියන් පාලනය කළ නොහැකියි. අප ආණ්ඩුවට කියන්නේ ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය යන්නයි. එවිට මෙම දුර්වලතා යම් පමණකට හෝ මගහරවා ගත හැකියි.

►යසවර්ධන රුද්රිගු